නොසලකා හැරියොත් ඉදුරන් වනසන අම්ලපිත්තය


දේශීය වෙදකමේ නාඩි පරීක්‍ෂාවෙන් රෝග හඳුනාගැනීම සාමාන්‍ය දෙයක්‌ වුවත් ඉන් ගැඹුරට යමක්‌ කිවහැකි නම් එහි ඇත්තේ විශේෂ බවකි. අප පසුගිය සතියේ හඳුනාගත් අනෝමා සොලමන් වෛද්‍යවරියද නාඩි ශාස්‌ත්‍රය ඉතා ගැඹුරින් හදාරා මිනිස්‌ සිරුරට වැළඳෙන සියලු රෝග ඇඟිලි තුඩුවලින් අවබෝධ කර ගැනීම ඉතා සුවිශේෂී කරුණක්‌ වන්නේමය.

අපේ රට තුළ පැරණි වෙදැදුරුවරු මේ සඳහා දක්‌වා ඇති හැකියාව අනන්තය. අද දවසේත් එවැනි වෙදැදුරුවරු නැතිවා නොවුණත් නාඩි ශාස්‌ත්‍රයට මුල්තැන දී රෝග පරීක්‍ෂාවන්ට ලක්‌කරන්නෝ අල්පය.

නවීන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ වෛද්‍ය උපකරණ භාවිතයෙන් ඇතැම් ආයුර්වේද වෙදැදුරුවරුන් රෝග නිර්ණය කළත් පැරණි දේශීය වෙදදුරුවන් තවමත් රෝග හඳුනාගන්නේ අෂ්ඨවිධ පරීක්‍ෂාවෙනි.

පසුගිය සතියේ අනෝමා සොලමන් වෛද්‍යවරිය අස්‌ථි සම්බන්ධයෙන් මතුවන රෝග සඳහා නිවැරදි ප්‍රතිකාරයන් ලබාදෙන අයුරුත් ඊට දක්‌වන දක්‍ෂකමත් රෝගීන්ගේ අත්දැකීමෙන් අපි පෙන්වා දුන්නෙමු. මේ සඳහා අප බෙහෙවින්ම උනන්දුවක්‌ දක්‌වන්නේ මෙවැනි වෙදැදුරුවරියන් රටට හඳුන්වාදීම හුදෙක්‌ රෝගීන්ගේ සුවසෙත සලසා ගැනීම සඳහාම කීවොත් එහි වරදක්‌ නැතැයි මට සිතිණි.

ඇතැම් විටෙක අපිට වැළඳෙන රෝග නිවැරදිව හඳුනාගෙන ඊට නිසි ප්‍රතිකාරයන් කිරීමට දක්‍ෂතාවක්‌ දක්‌වන වෛද්‍යවරයකු හමුවන්නේ ඉතා කලාතුරකින් විය හැක. මෙහිදී අප විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ සෑම වෛද්‍යවරයකුම සෑම රෝගියකුටම එක ලෙස හරියන්නේ නැති බවය. කෙසේ වෙතත් සෑම සතියකම පළවෙන මේ ලිපිපෙළ හරහා තම තමන්ගේ රෝග සඳහා සුදුසු වෙදැදුරුවරයකු හඳුන්වාදීමට අපි නිරන්තරයෙන්ම කටයුතු කළෙමු. එවන් වෙදදුරුවරුන් හඳුන්වාදෙන අවස්‌ථාවක අනෝමා සොලමන් වෛද්‍යවරියද අප හඳුන්වා දෙන්නේ ඇය සතු මේ විශේෂ හැකියාවන් පිළිබඳ මා රෝගීන්ගෙන් ලබාගත් අත්දැකීම් හේතුකොටගෙනය.

යම් වෙදැදුරුවරයකුගෙන් ප්‍රතිකාර ගත් රෝගියකු එම වෙදැදුරුවරයා ගැන පවසන තතු කිසිසේත්ම මුසා බස්‌ විය නොහැක. එමෙන්ම තවත් රෝගියකු මුලාවේ දැමීමට සුවපත් වූ රෝගියකු කිසිවිටෙක පෙළඹෙන්නේද නැත. එනිසාම කිසියම් වෙදැදුරුවරයකුගේ තත්ත්වය වටහා ගැනීමට ඇති හොඳම සාධකය සුවපත්වූ රෝගීන්ගෙන් තොරතුරු විමසීමයි.

අනෝමා සොලමන් වෙදැදුරුවරිය ගැනද අපට දැනගැනීමට ලැබුණේ මා හිතවත් මිත්‍රයකුගෙන් හා එවැනිම සුවපත්වූ රෝගීන් කිහිප දෙනකුගෙනි. එනිසාම තවදුරටත් විස්‌තර විමසමින් ගැස්‌ට්‍රයිට්‌ස්‌ හෙවත් අම්ල පිත්ත රෝගයට ඔබ දක්‌වන දක්‍ෂතාව සහ එය වැළඳීමට හේතු කවරේදැයි මම විමසුවෙමි.

ගැස්‌ට්‍රයිටිස්‌ රෝගියකුගෙන් හැම වෙලාවකදීම අපට අහන්න ලැබෙන්නේ දුක්‌මුසු කතා. වෙලාවකට "අනේ අම්මෝ මගේ බඩ දැවිල්ලයි, උගුරට එනවා. ඔළුව රිදෙනවා, නැත්නම් පපුවේ වේදනා ගෙන දෙනවා" යෑයි කියල කියනවා.

ඇත්තෙන්ම වර්තමාන සමාජය දිහා බලන විට බහුල වශයෙන්ම දැකිය හැකි රෝගයක්‌ තමයි මේ ගැස්‌ට්‍රයිටිස්‌ කියල කියන්නෙ. ආමාශයේ ආම්ලිකතාව අධික වීමෙන් ශ්ලේෂ්මල පටල ප්‍රදාහය නිසා මෙම රෝගය දක්‌නට ලැබෙනවා. විශේෂයෙන් අවුරුදු 14 න් ඉහළ ළමා විය ඉක්‌මවන අය සහ වැඩිහිටි පුද්ගලයන්ගෙන් වැඩි ප්‍රමාණයක්‌ අම්ල පිත්ත රෝගීන් බව කිව්වොත් එහි වරදක්‌ නෑ.

"මේ ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වය ගැන විස්‌තරයක්‌ කළොත්

"මේකෙ තියන රෝග ලක්‍ෂණ හැටියට බඩ පපුව දැවිල්ල, බඩපිපුම, කැක්‌කුම, ආහාර රුචිය නැතිවීම, ආහාර ගත් විගසම උගුරට ඒම, හෘදය වේදනාව නිතර නිතර ඇතිවන හිසරදය මේ ගැස්‌ට්‍රයිටිස්‌ හෙවත් අම්ල පිත්ත රෝගයේ ලක්‍ෂණයි.

මේ තත්ත්වය ඇතිවීමට හේතු පැහැදිලි කළොත් නිරාහාරව බොහෝ වේලා සිටීම, අධික ලෙස මිරිස්‌ තක්‌කාලි අනුභවය, අච්චාරු අන්නාසි, තෙල් බැඳුම්, ඇඹුල් වර්ග ආහාරයට ගැනීම සහ දුම්පානය මත්පැන් පානය වගේම වෛද්‍ය උපදෙස්‌ නොතකා වේදනා නාශක පෙති වර්ග භාවිතය මේ රෝගය වැළඳීමට හේතුයි. මේ තත්ත්වයෙන් වැළකීමට නම් යහපත් ආහාර රටාවක්‌ වගේම මානසික ආතතියෙන් තොරවීම විශේෂයි.

මේ අම්ලපිත්ත රෝගය හෙවත් ගැස්‌ට්‍රයිටිස්‌ ඉතා භයානකයි. සමහර වෙලාවට මේ ගැන වැඩි අවධානයක්‌ යොමු නොකළොත් ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. අනික මේ රෝගයේ තියෙන නරකම දේ තමයි සියලු ඉන්ද්‍රියන් විනාශ කරන එක. සමහර වෙලාවට රෝගයෙන් දුක්‌විඳවනවාට වඩා මැරෙන එක හොඳයි කියල හිතෙනවා.

ආමාශයේ තුවාල හැදිල රුධිරය වහනය වීම, මෙම රෝගයේ දකින්නට ලැබෙන දරුණු අවස්‌ථාවක්‌. එම අවස්‌ථාවලදී නිසි වෛද්‍ය ප්‍රතිකාරයක්‌ නොලැබුණොත් තමන්ගේ ජීවිතය විනාශ වීම තමන්ටවත් වළක්‌වාගත නොහැකි දරුණු රෝගයක්‌.

මේ වගේ රෝගියකුට පත්‍ය හා අපත්‍ය කියල ආහාර රටා දෙකක්‌ තියෙනවා. අළුකෙසල්, වැටකොළු, පතෝල, බෝංචි, ගොටුකොළ, මුගුණුවැන්න, නිවිති, සාරණ, දියලබු, පුහුල්, වම්බොටු වැනි එළවළු හා පලාවර්ගද, හාල්මැස්‌සන් වැනි කුඩා මාංශ වර්ගද, මුංඇට, සෝයා, කවුපි, නිවුඩ්ඩ සහිත සහල්, කිරිබත් හා දියබත් මෙම රෝගය සඳහා ඉතාමත් හොඳයි.

එමෙන්ම හරක්‌මස්‌, ඉස්‌සෝ, කකුළුවන්, දැල්ලන්, අච්චාරු, අන්නාසි, තත්කාලි වැනි ආහාර වලින් හැකි තරම් වැළකී සිටිය යුතුයි.

අම්ලපිත්ත රෝගීන් සඳහා යෝගට්‌, මුදවපු කිරි, බාර්ලි, සව්කැඳ, හීන් බෝවිටියා ඉතාමත් ගුණදායකයි. ඒවගේම සව් කැඳ, මුස්‌සැන්දාස්‌, මුගුණුවැන්න, ගොටුකොළ, හාතාවාරිය, රණවරා, වැල්පෙනෙල වැනි කොලවර්ග වලින් හදාගත් කැඳවර්ග දීමටත් ඉතා ගුණදායකයි"

ඔබ මෙවැනි අම්ලපිත්ත රෝගියකු හඳුනා ගන්නේ කොහොමද?

අම්ලපිත්ත රෝගියකු හඳුනා ගන්න එතරම් අපහසු නැහැ. අනික මෙවැනි රෝගියකු මෙතෙන්ට එන්නෙ බාගෙට මියගිහින් වගේ. විශේෂයෙන් මෙවැනි රෝගියකුගේ නාඩි පරීක්‍ෂාවක්‌ නොකරම ඔහුගෙන්ම රෝගය හඳුනා ගන්න පුළුවන් කමක්‌ තියෙනවා.

මෙවැනි රෝගියකුටම ඔබ දෙන ප්‍රතිකාර ගැන පැහැදිලි කිරීමක්‌ කළොත්?

"පැහැදිලිව මම එක දෙයක්‌ කියනවා. එහෙම අමාරු තත්ත්වයේ පවතින අම්ල පිත්ත රෝගියකු මගේ ප්‍රතිකාරවලින් සුවකර දෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මම දෙන ඖෂධවලට රස බෙහෙතුත් ඇතුළත් වෙනවා. ඉතිං ඒ බෙහෙත් නිසියාකාරව පාවිච්චි කළොත් ඉතාමත් ඉක්‌මනින් සුවය ලබාගත හැකියි."

ඔබ කොහොමද එහෙම ස්‌ථිර වශයෙන්ම මේ රෝගය සුවපත් කරනවා කියල කියන්නේ.

මම එහෙම කියන්නෙ මගේ ප්‍රතිකාරවලින් ස්‌ථිරවම සුවපත් වුණු රෝගීන් කියන නිසා වගේම මගේ අද්දැකීම් තුළින් අනික මේ ප්‍රතිකාර අපි පුරුදු වෙන්න කරන දේවල් නොවෙයි.

රෝගියකුට සුවය ලබාදීමට තමා ලද අත්දැකීම් මුල්වනවාක්‌ මෙන්ම ඖෂධ සංයෝගය නියමාකාරයෙන් දැනගත යුතුය. මීට තවත් ප්‍රධාන හේතුවක්‌ වන්නේ තමාගේ අවිච්චින්ත වෙදපරපුරයි. එම වෙද පරම්පරාවේ ඖෂධ ක්‍රමවේදය මනාව ග්‍රහණය කර ගැනීමෙන් හා එය නිවැරදිව භාවිත කිරීමෙන් ඕනෑම රෝගියකුට සුවය ලබාදීමට දක්‍ෂ වෙදැදුරුවරයකුට එතරම් අපහසුවක්‌ නැත.

මේ අම්ලපිත්ත රෝගය නිට්‌ටාවටම සුව කරගන්න පුලුවන් ඖෂධයක්‌ අපි ළඟ තිබෙනවා. මේක හදාගන්නෙ රස බෙහෙත් යොදාගෙන. මේ ඖෂධය අපි හඳුන්වන්නෙ "වසන්ත සුකුමාකර රසය" කියලා.

මේ ඖෂධයට ස්‌වර්ණ භෂ්මරිදි භෂ්ම, රංග භෂ්ම, අඹු භෂ්ම, පුල භෂ්ම, මුතු භෂ්ම, කස්‌තුරි භෂ්ම එක එක ප්‍රමාණයට අරගෙන එළකිරි, උක්‌ රස පාවට්‌ටාකොළ යුෂ ලාක්‍ෂා රස, අලුකෙසෙල් අල යුෂ, නෙලුම්මල් යුෂ, සමන් පිච්ච මල් යුෂ යන මේවා සොරස කර හෝ වාතයෙන් භාවනාදී අඹරා පසුව කස්‌තුරි මිශ්‍රකර යළි අඹරා ගුංජා දෙකේ ගුලි හදාගෙන සීනි, ගිතෙල් හා මීපැණි, සුදුහදුන් සමඟ පාවිච්චි කිරීමෙන් අම්ලපිත්ත රෝගය සුවකර ගත හැකියි.

ඉතිං මේක හැමෝටම හදාගන්න අපහසුයි. කොහොම වුණත් අපි ඉතා අමාරුවෙන් හරි හදාගෙන රෝගීන්ට දෙන්නෙ රෝග සුවපත් වීමේ පරමාර්ථයෙන්

ඔබ කියූ ඔය රස බෙහෙතට අමතරව තම තමන්ගේ නිවෙස්‌වලදී හදාගෙන පාවිච්චිකළ හැකි පොඩි පොඩි බෙහෙත් කිව්වොත්

"එහෙම බෙහෙතුත් තියෙනවා. බොහෝ වෙලාවට එම ඖෂධ වලින් තාවකාලික සුවයක්‌ පමණක්‌ විය හැකියි.

ඉරමුසු, නෙල්ලි, කළාදුරු අල, ආඩතෝඩා මුල කසාය, මී පැණි දමා බීමද, අරළු, බුලු, නෙල්ලි කසාය මී පැණි දමා බීමෙන්, අරළු කොහොඹ පොතු රසකිඳ දුම්මෑල්ල, බුළු නෙල්ලි කසාය බීමද පාවට්‌ටා, ඉරමුසු, කළාදුරු අල, සුදු හඳුන් කසාය මී පැණි දමා බීමද ඉතාමත් ගුණදායකයි.

තම තමන්ගේ නිවෙස්‌ වලදී මෙවැනි කසායක්‌ පහසුවෙන් හදාගෙන පානය කළොත් තමන්ගේ අම්ලපිත්ත රෝගය හෙවත් ගැස්‌ට්‍රයිටිස්‌ මුළුමනින්ම මඟ හරවා ගන්න පුළුවන්කම තිබෙනවා"

විමලසිරි අගලකඩ