නාඩි පරීක්‍ෂාවෙන් රෝග හඳුනාගෙන ප්‍රතිකාර කරන වෛද්‍ය අනෝමා


වෛද්‍ය ලෝකයේදී උගතුන් අපට කොතෙකුත් මුණගැසෙනවා ඇත. එතුමෝ වෛද්‍ය විද්‍යාව පමණක්‌ නොව අවශේෂ භාෂා ශාස්‌ත්‍ර, දර්ශනාදියෙහිද උසස්‌ ප්‍රවීණතාවෙන් සමන්විතයෝය. එබඳු උදාර පුද්ගලයන්ගේ චරිතාපදාන හා සත්කාර්යයන් ජනතාවට දැනගැනීමට සැලැස්‌වීමෙන් හුදෙක්‌ සමාජයට සිදුවන්නේ උදාර මෙහෙවරකි.

මානව සුබසිද්ධිය උදෙසා කැප වන සාමාන්‍ය පුද්ගලයාගේ චරිතයකින්ද ගතහැකි ආදර්ශ බොහෝය. එසේ නම් මිනිස්‌ වර්ගයාගේ පමණක්‌ නොව සත්ව සංහතියේත් රෝ දුක්‌ නසන්නට මෙන්ම කායික මානසික පීඩාවන් දුරුකොට සැනසීම ලබාදෙන්නට මාර්ගෝපදේශක වශයෙන් ක්‍රියාකරන හෙළ වෙදැදුරු ගැන කවර කතාද?

මෙවන් හෙළ වෙදැදුරුවරියක්‌ ගැන අපට පසුගිය දිනෙක අසන්නට ලැබුණේ මා හිතවතෙකුගෙනි. රට ජාතිය බේරාගැනීමේදී ත්‍රස්‌තයන් සමඟ සටන් වැද තම මුළු ජීවිතයම කැප කරමින් ආබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන් සඳහා නොමිලයේම ප්‍රතිකාර කරන ඇය අනෝමා දමයන්ති සොලමන් වෛද්‍යවරියයි.

ශාකසාර හා හස්‌තසාර ගුණයට තම අත්ගුණයද එකතු කර ගනිමින් කරන ප්‍රතිකාරයන්හි සාර්ථකත්වය කෙතරම්ද යන්න ඇයගෙන් ප්‍රතිකාර ගත් බොහෝ රෝගීන් මා කළ සාකච්ඡාවලදී පැහැදිලි කර ගැනීමට මට එතරම් කරුණු කාරණා අවශ්‍ය නොවීය.

පරණ වෙද පරම්පරා කිහිපයකින් වෙදකම ප්‍රගුණ කළ සොලමන් වෛද්‍යවරියගෙන් දැනට ප්‍රතිකාර ගන්නෝ සිය ගණනකි. ඔවුන් අතර සිටි අසාධ්‍ය රෝගීන් කිහිපදෙනකුද සුවය ලබා තිබුණේ මෙම වෛද්‍යවරියගේ අත්ගුණයද පෙරටු කරගෙනය.

මම සංස්‌ථාවක විධායක ශ්‍රේණියේ නිලධාරිනියක්‌. දවසක්‌ මම පැළඳගෙන හිටපු අඩි උස සෙරෙප්පුවෙන් ලිස්‌සා මගේ එක්‌ පාදයක්‌ වළලු කරෙන් ගැලවුණා. දවස්‌ ගණකට පස්‌සේයි මට සිහිය ආවේ. එතකොට මම හිටියේ රෝහලේ ඇඳක්‌ උඩ.

මේ රෝහලේදී වෛද්‍යවරු කරන්න ඕන සියලු ප්‍රතිකාර කරලයි තිබුණෙ. තවත් දින කිහිපයකින් මම නිවසට ආවත් මගේ පාදයේ වේදනාව නම් අඩුවුණේම නැහැ. පස්‌සේ මම නැවත රෝහලට ගිහිල්ල බලපුවාම මගේ පාදය හොඳටම නරක්‌වෙලයි තිබුණෙ. අන්තිමේදී වේදනාව ඉවසාගන්න බැරිව තවත් වෙදකම් කිහිපයකට මුහුණ දුන්නා. ඒත් සුවයක්‌ ලැබුණේම නැහැ.

පස්‌සෙ මගේ මේ පාදය එන්න එන්නම දුර්වල වෙන්න ගත්තා. ඒ විතරක්‌ නොවෙයි මගේ මුළු ශරීරයම කොරවෙන්න වගේ පටන් ගත්තා. ඒත් මගේ කතාව කිසිම කෙනෙක්‌ ගණන් ගත්තේ නැහැ. අඩුම තරමේ මගේ නිවසෙ අයවත් ගණන් ගත්තේ නැහැ.

අන්තිමේදී මේ සියල්ල හිතේ තදකරගෙන මම නිවසින් පිටවුණේ ජීවිතය ගැන එතරම් බලාපොරොත්තුවක්‌ තියාගෙන නොවෙයි. අන්තිමේදී දෙවියන් මගේ මුහුණ දිහා බැලුව වගේ මේ වෛද්‍යවරිය ළඟට ආවෙ කිසිවක්‌ දැනගෙන නොවෙයි.

ඒ වෙන කොට පාදය පමණක්‌ නොව දැතේ ඇඟිලි පවා වැඩ නොකරයි තිබුණෙ. කොහොම කොහොම හරි මෙතුමියට පින්සිදුවෙන්න මට වෙලා තියෙන ඇබැද්දි හරියටම හඳුනාගත්තෙ මේ සොලමන් වෛද්‍යවරිය කියල කිව්වොත් ඒක තමයි ඇත්ත.

කොටින්ම කියනවා නම් මගේ පාදයේ බල නහරය තැලිල. ඒ ආශ්‍රිතව ඇති සියලු ඉන්ද්‍රියන් අඩපණ වේගෙන එන බව මුලින්ම කිව්වෙ මෙතුමියයි. අනිත් කිසි කෙනකුට මේ තත්ත්වය හඳුනාගන්න බැරිවුණේ මොන හේතුවක්‌ නිසාද කියල මට හිතාගන්න බැහැ. දැන් මම ඉතාමත් සුවසේ ජීවත්වෙන්නෙ මෙයාගෙ ප්‍රතිකාරවල තිබෙන ගුණය නිසායි.

හන්දිපත් වේදනාවට පත්ව සිටි තවත් කාන්තාවක්‌ තම රෝගී භාවය විස්‌තර කරමින් මෙසේ කීවාය. අපි නුවර ප්‍රදේශයෙ ඉඳල කොළඹට ආවේ මේ වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ගන්නයි. ඒකට ප්‍රධාන හේතුවක්‌ වුණේ දින කිහිපයක්‌ ඇතුළත අප වසර ගණනාවක්‌ වින්ද වේදනාව අඩුවීම නිසා. කොහොමහරි මගේ හන්දිපත් වේදනාවට නොකරපු ප්‍රතිකාරයක්‌ නෑ. ඒත් සුවය ලබාගත්තෙ මේ වෛද්‍යවරියගෙනුයි.

මේ රෝගීන්ගේ ප්‍රකාශයන් සමඟ මට තේරුම් ගැනීමට හැකිවූයේ හෙළවෙදකමේ තිබෙන බලය සහ ඒවා සංයෝග කරමින් ප්‍රතිකාර කරන වෛද්‍යවරියගේ දක්‍ෂතාවයයි.

මට දැනගන්නට ලැබුණ විදියට ඔබගේ ප්‍රතිකාර ගොඩක්‌ ගුණාත්මක පැත්තෙන් ලොකු සාර්ථකත්වයක්‌ තිබෙනවා. මේ රෝගීන්ගේ අත්දැකීම්. මේ පිළිබඳ මොනවද කියන්න තියෙන්නෙ. මම පළමුවෙන්ම ඇයගෙන් ප්‍රශ්නයක්‌ ඇසීමි.

කොයිතරම් වෙදකම් කළත් තමන්ට ඒක පිහිටන් නැත්නම් ප්‍රතිඵලය අසාර්ථකයි. ඒ වගේම ඖෂධ ගුණයත් එක්‌ක අත්ගුණයත් සංයෝග වීමෙන් ලැබෙන ප්‍රතිඵලය ඉතා සාර්ථකයි. වෙදකම තම තමන්ගේ පරපුරෙන් හෝ වෙනම ක්‍රමයකින් හැදැරුවත් අත්ගුණය කියන එක එන්නෙ සංසාරෙ පුරුද්දත් එක්‌ක.

අනෙක තමයි සිංහල වෙදැදුරුවරයෙකුට කිසියම් ආධ්‍යාත්මික ගුණයකුත් තියෙනවා. මේ ආධ්‍යාත්මික ගුණය සුළුවෙන් තකන්න ඕන එකක්‌ නොවෙයි. බොහෝ වෙදැදුරුවරුන් ඒ ආධ්‍යාත්මික ගුණය පිටතින් නොපෙන්නුවාට ප්‍රතිකාරවලින් පැහැදිලි වෙනවා. ඒ වගේම අපේ පියවි ඇසට නොපෙනෙන බලයකුත් තියෙනවා. මේ දෙකෙන්ම ප්‍රතිඵල ලබාගන්න එක සිංහල වෛද්‍යවරයකුට එතරම් අපහසු නැහැ.

ආයුර්වේදයේ තිබෙන තවත් සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක්‌ නේ රස වෙදකම කියල කියන්නෙ. මේ රස වෙදකමට අභියෝග කරන්න පුළුවන්. තවත් වෙදකමක්‌ නැතිතරම්. ඉතින් මම යම් යම් රෝග සඳහා රස වෙදකම යොදාගෙන සුව නොවෙනව කියන බොහෝ රෝගවලට ප්‍රතිකාර කරල නිරෝගි සුවය ලබාදෙනවා.

විශේෂයෙන් එකක්‌ කිවයුතුමයි. මගේ සෑම ප්‍රතිකාරයක්‌ම ස්‌වභාවධර්මයත් එක්‌කම කෙරෙන කාර්යයක්‌. මේ මහපොළොවෙන් උපන් අපි මේ මහපොළොවටම පස්‌වෙලා යනවා. එහෙමනම් මහපොළොවෙන්ම ලබා ගන්න දේ ශාස්‌ත්‍රානුකූලව පෙර සෘෂිවරයන්ගේ නියමයන්ට අනුව ප්‍රතිකාර කළොත් මොන රෝගයද සුව කරන්න බැරි.

මම එක උදාහරණයක්‌ කියන්නම්. ඔය හැම වෛද්‍යවරයෙක්‌ම පාවිච්චි කරන වෙද නලාවේ අයිතිකාරය? බටහිර වෛද්‍ය විද්‍යාව නොවෙයි. සිංහල වෙදැදුරුවරයායි. එතුමන්ලා මුලින්ම මේව නිපදවා ගත්තෙ ගව අඟකින්. ඒකෙ ලොකු පැත්තෙ තුනී කැබැල්ලක්‌ බැඳල අනෙක්‌ පැත්තෙ චූටි සිදුරක්‌ විදගෙන තමයි පපුවට තියල රෝග නිර්ණය කරගත්තෙ.

ඒ වගේම තමයි නාඩි පරීක්‍ෂාවත්. මේ නාඩි පරීක්‍ෂාව හරියට ඉගෙනගත්තොත් මුළු ශරීරයේම ඇතිවන රෝග ඇඟිලි තුඩුවලින් කියන්න පුළුවන්.

ඉතිං මේ වගේ වෙදකමක්‌ තමයි මම ප්‍රගුණ කරල තියෙන්නේ.

සොබා දහමෙන් දායාදවුණු වෙදකම පිය උරුමයෙන් හා මවු උරුමයෙන් දෙඅතේ මිට මොලවාගෙන පැමිණි අනෝමා දමයන්ති සොලමන් වෛද්‍යවරිය ඉතා නිහඬ සේවයක්‌ කරන්නීය. ඇය කොල්ලුපිටියේ වෛද්‍ය විද්‍යාපති වෙද ඇදුරු වරයාගෙන් වෙදකමට අත්පොත් තබා විෙද්‍යාaදයෙන් ආයුර්වේද වෛද්‍ය උපාධියද දිනා ඉන්දියාවට ගියේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය. එහිදී නාඩි ශාස්‌ත්‍රය පිළිබඳව හසල දැනුමක්‌ ලබාගත් ඇය තම මවුබිමට පැමිණ බොහෝ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට පිවිසියේ ලාබ අපේක්‍ෂාවෙන් නොවන බව පැහැදිලි වන්නේ රණවිරුවන්ට නොමිලයේ කරන ප්‍රතිකාර දෙස බැලීමෙනි.

තම පියා එඩ්මන් සොලමන්ද තම ආච්චි අම්මා වන ධනසේකර මුදියන්සේලාගේ යසෝ මැණිකේ බණ්‌ඩාර වෙද පරපුරෙන්ද ලබාගත් පත පොත හා පන්නරයද සිය වෘත්තියට එක්‌කර ගනිමින් ප්‍රතිකාරයන්හි යෙදෙන ඇය රෝග රැසකට ප්‍රතිකාර කිරීමට උපන් හැකියාවක්‌ දක්‌වන්නීය.

මේ සියලු දැනුම් සම්භාරය මුල් කරගනිමින් සියලු රෝගීන් අෂ්ටවිධ පරීක්‍ෂාවන්ට ලක්‌කර නාඩි පරීක්‍ෂාව මගින් රෝග නිර්ණය විනිර්ජනය කරමින්a ස්‌කෑන් පරීක්‍ෂණවලට පවා හසුනොවන බොහෝ රෝග හඳුනාගෙන ඒවාටද ප්‍රතිකාර කිරීමට දක්‍ෂතාවක්‌ දක්‌වන්නීය.

ඇයගේ ප්‍රතිකාරයන් අතර අංශබාග රෝගය, කාට්‌ලේජ ගෙවීම, දණහිස්‌ සන්ධිවල ඇතිවන සියලුම රෝග සඳහා විශේෂයෙන් ප්‍රතිකාර කරන සොලමන් වෛද්‍යවරිය සුස්‌මිතා ආබාධ, කශේරුකා ආබාධ ස්‌නායු ආබාධ මෙන්ම සන්ධි, වාත, ගැස්‌ට්‍රයිස්‌ටිස්‌ නිට්‌ටාවටම සුවකරන බව පවසන්නීය.

මෙහිදී අපට හමුවුණ තවත් නැටුම් ගුරුවරියක්‌ද මෙම වෛද්‍යවරියගේ ප්‍රතිකාරයන්හි ඇති ප්‍රබල බව පවසමින් දැනට ඇතිවී තිබෙන බෙල්ලේ ආබාධයට කළ කිසිම ප්‍රතිකාරයකින් ගුණයක්‌ නොලැබුණත් සොලමන් වෛද්‍යවරියගේ ප්‍රතිකාරයෙන් ඊට නිසි සුවයක්‌ ගෙන දුන් බව පැවැසුවාය.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments