හෙළ වෙදකමේ භග්න චිකිත්සාව

යමෙකු රෝද පුටුවකින් සිංහල වෙදගෙදරට පැමිණ දෙපයින් තමාගේ නිවසට යන්නේ නම්, තවත් කාන්තාවක හැරමිටි වාරුවෙන් පැමිණ තමාට වාරුව දුන් හැරමිටිය අමතක වන්නේ නම් ඊට දක්‍ෂතා දැක්‌වූ සිංහල වෙදකමත් වෙදදුරුවරයා පිළිබඳවත් අපට කිවයුත්තේ කුමක්‌ද?

සැබවින්ම දේශීය වෙදකමේ මෙවැනි හාස්‌කම් අප ඉදිරිපිට සිදුවූ ඒවායෑයි කිවතොත් යමෙකුට එය පිළිගැනීමට තරම් අපහසුවක්‌ වනු නොඅනුමානය.

එහෙත් පසුගිය දිනෙක කළුතර ප්‍රදේශයේ කාන්තාවක්‌ වැලිගම බොරාල පාරේ මදනායක වෙදමැඳුරට ගියේ වසර කිහිපයක්‌ ඔත්පලව සිටය. මා දන්නා හඳුනන මිත්‍රයකු මගෙන් කළ විමසීමකට අනුව මෙම කාන්තාව එම වෙදමැඳුරට රැගෙන ගියේ දහසක්‌ අපේක්‍ෂාවන් පොදිබැඳගෙනය. ඒ අදහසට අංශුවකින් හෝ අඩුවක්‌ නොවන්නට එම වෙද මැඳුරේදී ලැබුණු ප්‍රතිකාරය මත ලැබුණු සුවය හෙළ වෙදකමේ මහානුභාව ඉතා ඉහළින් පසක්‌ කරන්නාක්‌ මෙනි.

මෙම කාන්තාව එම වෙද ගෙදරින් පිටව යන දිනයේ මමද එතනට අහම්බෙන් මෙන් පිවිසියේ වෙනත් අවශ්‍යතාවකට යන ගමනකදීය. මා දෙනෙත් පිට ඇවිදගෙන ගිය එම කාන්තාව මටද පිංදෙමින් මෙවැනි වෙදදුරුවරුන් සිටින රටක අපටත් ජීවත්වීමට වාසනාව තිබීම ගැන උදම් ඇනුවාය. දෙවැනියට මා සඳහන් කළ කාන්තාවද මැදි වයස ඉක්‌මවූ සිව්දරු මවකි. තම දරුවන්ගේ අත්පිටින් පැමිණ හැරමිටි මාරුවෙන් සිටගෙන සිටියත් වෙනත් යමක්‌ කිරීමට හැකියාවක්‌ ඇයට නොවීය.

තුනටියේ වේදනාවත් දෙපාවල වේදනාවත් දැඩි අසරණතාවයකට පත්කළ මෙම කාන්තාවගේ මුවින් නිතර පිට වූයේ සිහින් කෙඳිරියකි. එම කෙඳිරිල්ල ඇය කෙතරම් වේදනාවකට පත්කර ඇත්දැයි යමෙකුට දෙසැරයක්‌ සිතීමට අවශ්‍ය නැත. එහෙත් මේ මදනායක වෙදමැඳුරේදී සති කිහිපයකින් ලැබූ ප්‍රතිකාර වසර ගණනාවක්‌ දැඩි පීඩාවකට පත්ව සිටි ඇයට තමාගේ හැරමිටියත් අමතක වීමට තරම් ප්‍රබල විය.

පසුගිය සතියේ මෙම වෙදදුරුගේ ප්‍රතිකාරයන් තුළින් සුවය ලැබූ රෝගීන් කිහිපදෙනකු පිළිබඳව මම හඳුන්වා දුන්නෙමි. එහෙත් මේ සතිය වන අප එම රෝගීන් පූර්ණ සුවය ලබා තම තමන්ගේ නිවසට ගොස්‌ ඇත්තේ වෙදදුරුට බුලත් අතක්‌ දී වැඳ නමස්‌කාර කරමිනි.

කැඩුම් බිඳුම් වෙදකමේදී අස්‌ථි රෝගය කුමක්‌ වුවත්, එනම් කැඩීම්, බිඳීම්, පිපිරීම්, තැලීම් සහ අස්‌ථි දිරායැම් යන රෝගාබාධ දේශීය ප්‍රතිකාර තුළින් සුවකිරීම දක්‍ෂ වෛද්‍යවරයකුට එතරම් අපහසුවක්‌ නැත. මෙහිදී රෝගියාගේ වයස, රෝගයේ ස්‌වභාවය හා ඖෂධ සංයෝගය වෙදදුරු විසින් වටහාගෙන කරන ප්‍රතිකාරය අති සාර්ථකත්වයක්‌ ගන්නා බව අමුතුවෙන් පැහැදිලි කළ යුත්තක්‌ නොවේ.

අස්‌ථි රෝග පිළිබඳව විමසුම් ඇස යොමුකරද්දී අපට වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ කොන්දේ ආබාධවලට ලක්‌වූ රෝගීන් හා හන්දිපත් රෝගාබාධයන්ට ලක්‌වූ රෝගීන්ය. මොවුන්ගෙන් වැඩි පිරිසක්‌ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා අන්තිමේදී සුවයක්‌ නොලැබුණු තැන ශල්‍ය කර්මයන්ට පවා නියම වූවෝ වෙති. එහෙත් මෙහිදී ඇතැම් අයෙක්‌ ප්‍රකාශ කළේ එම ශල්‍යකර්ම වැරදී ගියහොත් සදාකාලික අබ්බගාතයෙකු වීමටද ඉඩ ඇති බවකි.

එසේ නම් මෙවැනි සැකමුසු ප්‍රතිකාරයකට යොමු වී තම සදාකාලික දුක්‌ගොඩකට ඇද වැටී අපාදුක්‌ විඳීමේ අවදානමකට වඩා දේශීය ප්‍රතිකාරයකින් ලබන සුවය කෙතරම් වටින්නේද?

කෙසේ වෙතත් වෙදුදරුවරයකු පිළිබඳව වැඩි වර්ණනාවක්‌ කිරීමට ගියහොත් එහි සැකමුසු බවක්‌ තිබෙන්නට බැරි නැත. නමුත් කිවයුතු දේ හෝ පැහැදිලි කළ යුතුදේ පැහැදිලි කිරීම වර්ණනාවක්‌ නොවේ යෑයි සිතන මා යම් වෙදදුරුවරයකු හා ඔහුගේ ප්‍රතිකාර විධි කියන්නට ඉදිරිපත් වන්නේ සැබවින්ම සමාජ සත්කාරයක්‌ ලෙසය.

මේ ලිපි පෙළ හරහා හඳුනාගත් දේශීය වෙදදුරුවන්ගෙන් ප්‍රතිකාර ගෙන සුව වූවෝ බොහෝ පිරිසකි. ඔවුන්ගෙන් අපට ලැබෙන පැසසුම් මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.

ඒ තුළින් ලබන ආත්මතෘප්තිය වැඩි වැඩියෙන් හෙළ වෙදදුරුවරුන් සොයා යැමට මම උනන්දු කරනවා යෑයි කීවොත් එහි මුසාවක්‌ නැත.

මේ සත්කාර්යය තුළින් යම් තරමකට හෝ ගිලානෝපස්‌ථානයට කිසියම් දායකත්වයක්‌ මමද දරනවා යෑයි මගේ අදහසයි. එසේ හෙයින් නිවැරදි දක්‍ෂ වෙදදුරුවරුන් සොයා අප ඒ අයව රොගීන්ට හඳුන්වාදීම එක අතෙකින් මා ලැබූ භාග්‍යයක්‌ සේ මට දැනෙයි.

මෙවැනි වාතාරණයක්‌ යටතේ වැලිගම බොරාල පාරේ මදනායක වෙදදුරු පිළිබඳව අප කිහිප විටක්‌ම හඳුන්වා දුන්නෙමු. එහෙත් එයම ප්‍රමාණවත් නොවේ යෑයි මා අදහස්‌ කළේ ඇතැම් විටෙක රෝගීන් මේ ලිපි සහිත පුවත් පතක්‌ රැගෙන අප කාර්යාලයට පැමිණ තොරතුරු විමසන විටදීය.

මෙවැනි වෙදදුරුවරුන් පිළිබඳව නිරන්තරයෙන්ම මා විමසිලිමත් වෙද්දී මදනායක වෙදදුරුගේ විශේෂ ප්‍රතිකාරයන් පිළිබඳවද නැවත සිහිපත් කළ යුතු යෑයි සිතමින් ඔබ රෝගාබාධයන්ට පිහිට වන්නේ කෙසේදැයි මම වෛද්‍යතුමාගෙන් ඇසීමි.

"මේ සිංහල වෙදකම පිළිබඳව කතාකරන කොට ආසියාවේ තිබෙන පැරණිම වෙදකමක්‌ කියලා කිව්වොත් ඒකෙ වරදක්‌ නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට අවිච්චජින්නව පැවත එන මේ වෙදකමේදී ඒ ඒ පරම්පරාවලට ආවේණික වුණු ප්‍රතිකාර විධි තියෙනවා. දැන් මම කරන්නේ අපේ පරම්පරාවට උරුම වුණු වෙදකමක්‌.

මෙතෙනදී මම කැඩුණු අස්‌ථි යකඩ වගේ වෑල්ඩිං කරනවා කියන්නෙ නැහැ. ඒවගේම කොළ වර්ග, පොතු වර්ග බැඳීම්, මල් වර්ග වලින් හදන මැල්ලුම් වර්ග, තැවිලි වර්ග, පත්තු වර්ග ආදී වශයෙන් කෙරෙන ප්‍රතිකාර ක්‍රමයක්‌ භාවිත කරන්නෙත් නැහැ.

ගොඩාක්‌ රෝගවලට බලපාන්නෙ කොඳු ඇට පෙළේ ආබාධ වගේම ඒ ආශ්‍රිතව ඇති නිල අවහිර වීම. මේවා අපි මුලින්ම හඳුනාගන්නෙ රෝගියා හොඳට පරීක්‍ෂා කරල. සමහර අයගෙ කියන තරම් රෝග දරුණු නැහැ. අපේ අත්දැකීම් තුළින් රෝගියා කියන දේත් කියන්න හදන දේත් හොඳටම තේරුං අරගෙන තමයි ප්‍රතිකාර කරන්නෙ.

කොහොම වෙතත් රෝගියා සමඟ දිගින් දිගටම පිළිසඳරක යෙදෙද්දී නිකම්ම රෝග තත්ත්වය සහ රෝග නිදානය තේරුම් අරගෙන කරන ප්‍රතිකාරය වරදින්න විදියක්‌ නැහැ.

මම තවත් විශේෂ දෙයක්‌ කිව යුතුමයි ඇතැම් රෝගීන්ට තියන ආබාධ එමටයි. ඒ ආබාධ එක දවසකින් සුවකර ගෙන යන්න එන අයත් ඉන්නවා. එහෙම රෝග එක දවසකින් සුවකරන්න තරම් පුළුවන් කමක්‌ නැහැ. ඇතැම් විටෙක සතියක්‌ දෙකක්‌ එක තැනෙක ඉඳල ප්‍රතිකාර ගත්තොත් අපි පැහැදිලිවම ඒ රෝගියා සුවපත් කරල යවනවාමයි.

මේ තත්ත්වය අපි කියන්නේ කිසියම් වගකීමකින්. යමෙකුගේ ආබාධයකට පැයක දෙකක ප්‍රතිකාරයකින් සුවයක්‌ ලබාදෙන්න බැහැ. අපි මේ කරන වෙදකමේදී ශරීරයට දැනෙන විදියට එහෙමත් නැත්නම් රෝගියාට දැනෙන විදියටයි ප්‍රතිකාර කරන්නෙ.

ඔබ බටහිර වෛද්‍ය විද්‍යාවේදී කියන ඇට දිරායැම, එහෙමත් නැතිනම් බද්ධ කිරීම අප ගණන් ගන්නෙ නැහැ. එහෙම කියන ආබාධවලට ඉතා සාර්ථක වෙදකමක්‌ අපි ළඟ තියෙනවා. අපි ඒ වගේ ප්‍රතිකාර කරල සුවවුණු රෝගීන්ගේ නාම ලේඛන පවා අපට ඕනතරම් ඉදිරිපත් කරන්න පුළුවන්.

මේ ප්‍රතිකාර ක්‍රමය යමෙකුට පැහැදිලි කරන්න අමාරුයි. ඒ තරමට ගැඹුරුයි. ඒත් අපට ඉගෙනීමෙන් හා පලපුරුද්දෙන් හොඳ අවබෝධයක්‌ තියෙනවා."

මදනායක වෙදදුරු ඉතාමත් සූක්‍ෂමව රෝගියා පරීක්‍ෂා කර ලබාගන්නා රෝග විනිශ්චය සාර්ථක ප්‍රතිකාරයකට මහත් පිටිවහලක්‌ වන්නේමය.

මේ තත්ත්වය යටතේ රෝගීන් දහස්‌ ගණනකට ප්‍රතිකාර කිරීමෙන් ලත් පළපුරුද්ද රෝගීන්ගේ දුක්‌බර ජීවිතවලට දෙන වටිනාකම කොතෙක්‌ද යන්න අපට සිතාගත නොහැකිය.

ඇතැම් සිංහල ප්‍රතිකාරයන්ට කසාය හැලි ගණන් පානය කිරීමට අවශ්‍ය වුවත් මදනායක වෙදදුරුගේ ප්‍රතිකාරයන්හිදී එසේ කිරීමට අවශ්‍ය නොවේ. එනිසාම බොහෝ පිරිස්‌ මේ සඳහා යොමුවන අතර ඉන් ලබන සුවයද විස්‌තර කළ නොහැක.

"අපි රෝගය හඳුනාගෙන කොඳු ඇට පෙළේ වෙනස්‌වීම්, එසේත් නැතිනම් ගැස්‌සීම්, ස්‌නායු ක්‍රියා නොකිරීම්, නහර වල ලේ කැටිති ඇතිවීම් වගේ කරුණු නිරීක්‍ෂණය කරල ඒවා නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරවල ශරීර අභ්‍යන්තරයට වගේම පිටතටත් ප්‍රතිකාර ක්‍රම යොදවනවා. එසේ නොමැතිව මොන ආකාරයෙන් ප්‍රතිකාර කළත් රෝගය සුව වනවා කියන්න අපහසුයි.

අස්‌ථිවල, සන්ධිවල වගේම උකුල් අස්‌ථිවල කාටිලේජ වර්ධනය නොවීමෙන් ශබ්ද ඇතිවීම්, වේදනාව, ඇවිදීමේ අපහසුව නිතරම දකින්න පුළුවනි. මේ වගේ අවස්‌ථාවලදී අපි කාටිලේජ වර්ධනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර කරල මෙම රෝග සුව කරවලා දෙනවා. අපි පැහැදිලිව යමක්‌ කියනවා නම් කැඩුණු අස්‌ථියට වුණත් එය සවිවීමට කාටිලේජ වර්ධනයක්‌ අවශ්‍යයි. මේ වගේ අවස්‌ථාවක රෝගියාගේ වයස සැලකිල්ලට ගත යුතුයි.

මම මෙතෙනිදී විශේෂයෙන් කියන්නෙ ඔය කොදු ඇටපෙළේ තියන රෝග අපි ඉතාමත් කෙටි කාලයකින් සුව කරවල පෙන්නනවා. විශේෂයෙන් කොඳුඇට පෙළේ රෝග මුල් කාලයේදී සුවකර නොගත්තොත් කල්ගත වෙනකොට පාද දක්‌වා දිවයනවා.

අපි ළඟට එන රෝගීන්ගෙන් වැඩිපුරම එන්නේ කොන්දේ ආබාධවලට ප්‍රතිකාර ගන්නයි. ඒ අයට විශේෂ පහසුකම් සපයා නේවාසිකව ප්‍රතිකාර කරනවා. ඇතැම් වේලාවට බටහිර වෛද්‍ය විද්‍යාවේ ලක්‍ෂ ගණන් යන ශල්‍යකර්ම වලට දින දෙක තුනක ප්‍රතිකාරයකින් අපි සුවකරල දෙනවා.

මෙවැනි රෝගවලදී සම්බාහනය කිරීමක්‌ හා නිල තෙරපුමක්‌ අවශ්‍යයි. ඒ කරන්නේ අති පැරණි ඖෂධ ඇඟ පුරා ගැල්වීමෙන් පස්‌සෙ. මේ ප්‍රතිකාරය කොන්දේ ආබාධවලට අමතරව අනෙකුත් රෝගයන් සමනයටත් ඉවහල් වෙනවා.

වසර ගණනාවක්‌ නොකඩවා රෝගීන්ගේ ආබාධවලට ප්‍රතිකාර කිරීමෙන් ලැබූ අත්දැකීම් එකින් එක විස්‌තර කරමින් මදනායක වෙදැදුරු අවසන් වශයෙන් ප්‍රකාශ කළේ මොනම අස්‌ථි ආබාධයන්ට ලක්‌වූ රෝගියකු වුවත් තමා ළඟට පැමිණියහොත් ඒ අය වගකීමෙන් භාරගෙන නිරෝගි සුවයක්‌ ලබාදෙන බවයි.

අපේ ලිපි පෙළ හරහා සුවපත් වූ රෝගීන් බොහෝයි. එමෙන්ම තවත් බොහෝ රෝගීන්ගේ සුවසෙත සඳහා දිගින් දිගට ලියවෙන මේ ලිපි තුළින් යම් වෙදදුරුවරයකුගේ විස්‌තර හෝ දුරකථන අංකය ලබාගැනීමට අවශ්‍ය නම් අප ආයතනයට කතා කිරීමෙන් දැනගත හැකියි.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments