දෙණිපිටියේ වෙද පරපුර

ඔබගේ මොළේ ඇතිවෙලා තිබෙන මේ තත්ත්වය ප්‍රතිකාර කළත් නොකළත් මෙයින් ජීවිතයට දැඩි බලපෑමක්‌ එල්ල වෙලා තියෙනවා."වෛද්‍යවරුන්ගේ ප්‍රකාශයට සූවෙන්නර් දැඩි භීතියට පත්වෙමින් කල්පනා කරන්නට පටන් ගත්තාය.

"කල්පනා කරන්න දෙයක්‌ නෑ අපට මේක ඔපරේෂන් කරන්න පුළුවන්. ඒත් ජීවිතයට වන බලපෑමට වග කියන්න අපට පුළුවන්කමක්‌ නෑ.

ඇති වී තිබෙන රෝගී තත්ත්වය කෙරෙහි දැඩි සැලකිල්ලක්‌ දැක්‌වූ වෛද්‍යවරු එකම මතයක එල්බ ගනිමින් කියා සිටියහ.

සූවෙන්නර් ඇමරිකන් ජාතික කාන්තාවකි. වයස අවුරුදු 35 ක්‌ පමණ වූ ඇයගේ මොළයෙහි හටගත් ආබාධයකින් දැඩි පීඩාවකට පත්ව සිටියත් ඊට නිසි ප්‍රතිකාරයක්‌ ඇමරිකාව වැනි දියුණු රටක දී වුව ලබා ගැනීමට නොහැකි වීමෙන් දැඩි කම්පාවට පත්ව සිටියාය. එහෙත් ඇමරිකන් වෛද්‍යවරුන්ගේ මතය කිසිසේත්ම පිළි නොගත් ඇය විකල්ප ප්‍රතිකාර ක්‍රම ගැන විමසිලිමත් වන්නට පටන් ගත්තාය."

"මේකට නිසි ප්‍රතිකාර ශ්‍රී ලංකාවේ තියෙනවා" ඇයගේ ප්‍රශ්නයට දින කිහිපයකින් ම පිළිතුරක්‌ ලැබුණේ, තවත් ප්‍රමාදවීම තම ජීවිත අවදානම වැඩිකර ගැනීමක්‌ නොවේ දැයි සිතූ ඇය වහා ශ්‍රී ලංකාවට පැමිණ වැලිගම පැලෑනේ ග්‍රීන්පිස්‌ හෝටලයේ නවාතැන් ගත්තාය.

එවකට මෙම හෝටලයෙහි අධිපතිත්වය දැරුවේ ලක්‍ෂ්මන් නමැති දැන උගත් පුද්ගලයෙකි. හෝටල් කළමනාකරණයට අමතරව බොහෝ දේ ප්‍රායෝගිකව දැන සිටි ඔහුට ප්‍රදේශයේ හෙළ වෙදැදුරුවරුන් ගැන ද මනා වැටහීමක්‌ තිබිණි.

සූවෙන්නර් මේ කිසිවක්‌ දැන මෙම හෝටලයේ ලැගුම් ගැනීමට පැමිණියේ නැත. එහෙත් ඇයගේ දෛවය ඇයට සරදම් නොකර නිසි තැනට යොමු කර තිබිණි.

"මේ තත්ත්වය සුවකර ගන්න ශ්‍රී ලංකාවේ ඕන තරම් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒවා දේශීය ඖෂධවලින් කරන ප්‍රතිකාර. අපි උත්සාහයක්‌ අරගෙන බලමු."

කළමනාකාරවරයා සූවෙන්නර්ගේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරක්‌ සපයමින් වහා වැලිගම පාරම්පරික හෙළ වෙදැදුරුවරයකුට ඇය යොමු කළේය. ඔහු වෙන කිසිවකු නොව දෙණිපිටිය වෙද පරම්පරාවේ උපුල් සමරකෝන් ජයවර්ධන වෛද්‍යවරයාය.

"අපේ දේශීය ප්‍රතිකාරවලින් මේක සුවකර ගන්න බැරිවෙන එකක්‌ නැහැ. කොහොම වෙතත් කරුණාකරල අපට තව දවස්‌ දෙක තුනක්‌ දෙන්න."

වෛද්‍යවරයාගේ කාරුණික වචන කිහිපයෙන් සෑහීමකට පත්වූ ඇය නැවත හෝටලය වෙත ගියේ නව ජීවිතයක්‌ ලැබුවාක්‌ මෙනි.

දෙණිපිටියට මෙන්ම දෙණිපිටියේ මුහන්දිරම් වෙද පරම්පරාවට දිගු ඉතිහාසයක්‌ ඇත. එදවස කෝට්‌ටේ යුගයේදී රණකාමී වීදිය බණ්‌ඩාර සහ සේනාව පෘතුගීසීන් සමඟ දරුණු සටන්වල යෙදී ඇත්තේ දෙණිපිටියේදීය. එම සටනේදී පෘතුගීසීන් විශාල ප්‍රමාණයක්‌ ඝාතනය විය. ඉතිරි කොටස ගාලු කොටුවට පසුබසින තුරු පහර දුන් අතර විඳින්නට වූ මේ දරුණු පරාජයන් හමුවේ පෘතුගීසීහු කෙතරම් අසරණ වීද යත් දෙණිපිටියේ නම ඇසූ පමණින් බියට පත්වන බවක්‌ පළවූයේය.

වීදිය බණ්‌ඩාර සමඟÊපැමිණි හේවාහැට පිරිසෙන් පැවත එන කොටසක්‌ ද "හේවා" යන වාසගමින් වර්තමානයේත් මෙම ගම්පියසෙහි ජීවත්වන බවක්‌ ඓතිහාසික තොරතුරුවල සඳහන් වෙයි. මෙම යුද සේනාවෙහි සිටි රාජකීය වෛද්‍යවරයා දෙනිපිටිය සමරකෝන් ජයවර්ධන පරම්පරාවෙන් කාන්තාවක්‌ සරණපාවාගෙන දෙණිපිටියේම පදිංචි වූ බවක්‌ ද කියෑවේ.

දෙණිපිටියෙහි වූ තවත් වෙද පරම්පරාවක්‌ වන මුහන්දිරම් වෙද පරපුරෙන් සමරකෝන් වෙද පරපුරේ අයෙක්‌ ද විවාහයක්‌ කරගෙන තිබුණේ මේ අතරය. මේ දෙපාර්ශ්වයටම නෑකම් කියන්නට උපුල් ජයවර්ධන වෛද්‍යවරයාට භාග්‍යයක්‌ උදා වූයේ එනිසාය.

උපුල් ජයවර්ධනගේ පියා එඩ්වින් සමරකෝන් ජයවර්ධනය. මෝදර වෙද මහත්තයා නමින් ප්‍රකට ඔහු විශේෂයෙන් සෙංගමාල රෝගය හෙවත් කහ උණ රෝගයට විශේෂ බවක්‌ ඉසිලීය. එමෙන්ම පක්‍ෂාගාතය හෙවත් අංශභාගය, රක්‌තරෝග ඇතුළු බොහෝ රෝගයන්ට විශ්මිත ප්‍රතිකාර කළ මෝදර වෙදැදුරුගේ ප්‍රතිකාර විධි අද දවසේත් පැරැන්නෝ සිහිපත් කරන්නේ කෘතගුණ සැලකීමක්‌ ලෙසය.

ඇමරිකන් ජාතික සූවෙන්නර් උපුල් ජයවර්ධන වෛද්‍යවරයාගෙන් තොරතුරක්‌ ලැබෙන තුරු සිටියේ නොඉවසිල්ලෙනි. ඇමරිකාව වැනි රටකින් කළ නොහැකි ප්‍රතිකාරයක්‌ ශ්‍රී ලංකාව වැනි පුංචි රටකින් කර ගැනීමට හැකි වුවහොත් එය කොතරම් වටනේ දැයි සිතූ ඇය මෙවැනි දෙයක්‌ මුළු ලොවම දැනගත යුතු නොවේ දැයි සිතුවාය.

"ඔබේ රටේ වෛද්‍යවරු හරි කරුණාවන්තයි. ඒ වගේම හරි නිහතමානියි. අපේ රටේ අය කරන්න බැහැයි කියූ දේ ඔබේ අය බාරගත්තා. මට හරි ආඩම්බරයි. මට හරි ආඩම්බරයි."

සූවෙන්නර් හෝටලයේ කළමනාකාරවරයාට නිතර කියන්නට පටන් ගත්තාය. විදේශිකයකුගෙන් මෙවැනි වදන් ඇසීමට ලැබීමත් භාග්‍යයක්‌ සේ සැලකූ කළමනාකාරවරයා ශ්‍රී ලංකාවේ තිබෙන පාරම්පරික වෙදකමෙහි ප්‍රබලත්වය විස්‌තර කරමින් ඈතින් වූ ගස්‌ වැල් පෙන්වා අර තිබෙන්නේත් අපේ රටේ ඖෂධ යෑයි අභිමානයෙන් කීවේය.

"මේ අතර උපුල් ජයවර්ධන වෛද්‍යවරයාත් මෙම කාන්තාවගේ රෝගය ගැන දැඩි අවධානයක්‌ යොමු කර තිබිණි. ඔහු සියලු රෝග නිර්ණ කාඩ්පත් පරීක්‍ෂා කර කිසියම් නිගමනයකට එළඹ තිබුණත් වැඩිදුර දැන ගැනීම සඳහා තම පියාගෙන් හා තවත් ගුරුවරයකුගෙන් තොරතුරු විමසීය.

"අප්පච්චි අද සුදු කාන්තාවක්‌ ආව නේ අපේ බෙහෙත් ශාලාවට."

උපුල් සිය පියා ඇමතුවේ කිසියම් උපදේශයක්‌ අපේක්‍ෂාවෙනි.

ඉඳහිට උපදේශයක්‌ පතන සිය පුත්‍රයාගේ කතාවෙන් යමක්‌ වටහා ගත් පියා කරමින් සිටි කාර්යය මඳකට නවතා ඔහු දෙස ඕනෑකමින් බැලුවේය.

"අප්පච්චි ඒ කාන්තාවගේ මොළේ ගෙඩියක්‌ලු"

"කොහොමද දන්නෙ"

"මම රෝග කාඩ්පත් පරීක්‍ෂා කළා."

"ගෙඩියක්‌ද පිළිකාවක්‌ද?"

ගෙඩියක්‌ කියලයි සටහන් වෙලා තිබුණේ."

"ඔය වගේ ගෙඩි වලට අපේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මමත් කිහිපයකට ප්‍රතිකාර කරල තියෙනවා. වාත රක්‌තයෙ අවසාන ප්‍රතිඵලයක්‌ හැටියටයි ඔය වගේ ගෙඩි එන්නේ. සමහර වෙලාවට මේ ප්‍රතිකාර කරන කොට ඇඟ පුරාම කුෂ්ඨයක්‌ දාන්නත් පුළුවන්. ඒකම තමයි ඔය ගෙඩිය සනීප වුණා කියල දැන ගන්න තියෙන ක්‍රමය. හැබැයි පුතේ ඔය සුදු කාන්තාවො ලෙඩට දුකට බයයි. යම් විදියකින් ඔය කාන්තාව බය වෙලා ශරීරය පුරා දමන ඔය කුෂ්ඨයට නැවත ඉංග්‍රීසි ප්‍රතිකාර කරන්න ගියොත් වැඩේ වරද්දගනී. ඒක නිසා හොඳට තේරුම් බේරුම් කරල දීල ඒ කුෂ්ඨයටත් ප්‍රතිකාර කිරීම තමයි නිවැරැදි දේ."

පියා තම පුතාට තවත් පාඩමක්‌ කියා දෙමින් ඊට අදාළ විස්‌තර ඇතුළත් පැරැණි පොත පත ඔහු අත තැබීය.

තම පියා කියූ දේ නිවැරැදිය. ඔහුගේ උපදෙස්‌ මත ප්‍රතිකාර ඇරඹිනි. මාස තුනකට වඩා ගත වූයේ නැත. ඇමරිකන් වෛද්‍යවරු මළවුන්ගේ දොරකඩට තල්ලු කර දමා තිබූ සුදු කාන්තාවගේ මොළයෙහි ගෙඩිය සුව අතට හැරී ශරීරයෙන් කුෂ්ඨයක්‌ පිට දමන්නට පටන් ගත්තේය.

"බය වෙන්න දෙයක්‌ නෑ. මේකටත් ප්‍රතිකාර අපි ළඟ තිබෙනවා."

සුදු කාන්තාව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් උපුල් වෛද්‍යවරයා ඊටද ප්‍රතිකාර කරමින් කාන්තාවට නිරෝගිමත් දිවියක්‌ ලබා දුන්නේ පරපුරේ විශ්මිත ප්‍රතිකාරයන් ගැන අගය වඩාත් ඔපවත් කරමිනි.

ඇමරිකන් කාන්තාව මෙමගින් ලැබූ සතුටත් සමඟÊතම රටට පැමිණ නිහඬව සිටියේ නැත. ඇය තමා ලැබූ අත්දැකීම් සියල්ල විස්‌තර කරමින් ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයන්හි බලවත් බව එරට වෛද්‍යවරු සමඟ ද ප්‍රකාශ කළාය.

විමලසිරි අගලකඩ දිවයින පුවත්පත

Post a Comment

0 Comments