අර්ශස් රෝගයට දේශීය ප්‍රතිකාර

කිසිවකුට පවසන්නට බැරි, එහෙත් ඉවසා දරාගන්නටත් බැරි, එක ඉරියව්වෙන් වැඩක් පළක් කරන්නටත් බැරි, වාඩි වී ඉන්නත් බැරි, හිටගෙන ඉන්නත් නොහැකි රෝගයක් ඔබට තිබේද? වී කුරුල්ලාට පමණක් නැති අනෙක් සියලුම සත්ත්වයනට ඇතැයි පවසන රෝගයක් ඔබ අසා තිබේද? දැන්නම් මේ ගැන ඉඟියක් ඔබට ලැබී ඇතැයි සිතමි. ‘මූලග්ගින්න’ ලෙස පැරැන්නන් හඳුන්වන මේ රෝගය ‘අර්ශස්’ ලෙස නම් කෙරේ. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සෑදෙන මෙම අර්ශස් රෝගය ඇත්ත වශයෙන්ම ජන ජීවිතයට මහත් කරදරයක් වූ රෝගයකි. මෙය ශාරීරික ආබාධයක් වුවත් මේ නිසා මානසික පීඩනයට පත්ව සිටින ජන සංඛ්‍යාව ඉතා විශාලය.

වෛද්‍ය හේතු

මේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය අර්ශස් රෝගය කල්තියා දැනගත හැකි ක්‍රමවේද ජේ‍යාතිෂයේ ඇති බව පෙන්වාදීම සහ ඇතැම් සුව නොවන අර්ශස් රෝගීන්ට උපකාරයක් කිරීමය. අර්ශස් බෝවන රෝගයක් නොවුණද ඇතැම්විට පරම්පරාවෙන් දායාද වන අවස්ථා ඇත. ජන සමාජයේ බොහෝ දෙනාට ඇති එහෙත් ප්‍රසිද්ධියේ කතා නොකරන නිසාම අර්ශස් රෝගය ගැන කතා කිරීම වැදගත් වේ. දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යාත්මකවත් අර්ශස් ගුද මාර්ගයේ හෝ අන්ත්‍රවල (බඩවැල්) ඇතිවන යම් ආසාදන තත්ත්වයක් නිසා හටගනී. මෙයට හේතු සාධක ලෙස පෙන්වා දෙන්නේ ආහාර රටාවේ වැරැදි ක්‍රමවේදයන්, පානය කරන ජල ප්‍රමාණය අඩුවීම, අධික බර ඉසිලීම, එකම ඉරියව්වෙන් වැඩි කාලයක් ගතකිරීම, මානසික අසහනය වැනි දේය. එසේම ඇතැම් ඔෟෂධ වර්ග වැඩි කාලයක් භාවිත කිරීමද මෙයට හේතු වේ. මුලින්ම පැවැසුවාක් මෙන් අර්ශස් රෝගයට වෛද්‍ය හෝ සෞඛ්‍ය හේතු නොව ජේ‍යාතිෂ විද්‍යාත්මකව එය හඳුනාගැනීමට උපකාරී වීම අරමුණයි.

අර්ශස් නොවන වෙනත් රෝග

ඇතැම්විට අර්ශස් රෝගයට සමාන වෙනත් රෝගද අර්ශස් ලෙස වරදවා තේරුම්ගැනීම දැකිය හැකිය. එසේම ‘ගොඩ වෙදකම්’ නිසා අර්ශස් රෝගය අසාධ්‍ය වන අවස්ථා ඇත. ඇතැම්විට ආහාර පානවල වෙනස්කම් නිසා හෝ ගමන්බිමන් හේතුකරගෙන හෝ දිනක් දෙකක් වැසිකිළි නොයෑම නිසා මලපහ කිරීමේ අපහසුව අර්ශස් රෝගය නොවේ. එසේම ඇතැම් අවස්ථාවල වෙනත් හේතූන් නිසා අන්ත්‍ර තුවාල වී රුධිරය වහනය වීමද අර්ශස් නොවේ. ඒවා තාවකාලික රෝග ලක්‍ෂණය. එසේම පුරුෂයන්ට පමණක් විශේෂ වූ ‘පුරස්ථි ග්‍රන්ථ’වල සිදුවන ආසාදන නිසා සිදුවන රෝග තත්ත්වයන්ද අර්ශස් හා සමාන වුවත් එයද අර්ශස් නොවේ. එසේම දේශීය වෛද්‍ය ක්‍රමයේ හඳුන්වන ‘භගන්දරා’ රෝගයද අර්ශස් හා සමාන වුවත් එයද අර්ශස් නොවේ. අර්ශස් රෝගය නිසි අයුරු හඳුනාගැනීමට නම් වෛද්‍ය පරීක්‍ෂණයක් කිරීම අත්‍යවශ්‍ය වේ. අනුමාන කිරීම නුසුදුසුය. කෙසේ වුවත් වර්තමානයේ අර්ශස් රෝගයට ලැබෙන අවසාන විසඳුම ශල්‍යකර්මයයි. එහෙත් ශල්‍යකර්මයට ලක්වුවත් ඇතැම්විට මේ රෝගය සුව නොවන අවස්ථා පවතී. එසේ වන්නේ ඇයි? ඊට විසඳුම කුමක්ද?

කලින්ම දැනගන්න

ජේ‍යාතිෂයට අනුව කෙනකුට අර්ශස් රෝගය වැලැඳීමට හැකිද යන්න තීරණය කළ හැකිය. කෙනකුගේ ජන්ම පත්‍රය නිසි ලෙස පරීක්‍ෂා කර බැලුවහොත් එයට පිළිතුර ‘ඔව්ද’, ‘නැද්ද’ යන්න සොයාගත හැකියි. එසේම අර්ශස් පමණක් නොව වෙනත් රෝගාබාධ ගැනද ජේ‍යාතිෂය මඟින් පූර්ව කථනයන් සිදුකළ හැකියි. වෛද්‍යවරයා වෙත ඔබ යන්නේ අර්ශස් රෝගය වැලඳුණාට පසුවය. එවිට වෛද්‍යවරයා ‘අර්ශස්’ රෝගියාට පිළියම් යොදනු ලැබේ. එහෙත් නිසි ජන්ම පත්‍ර පරීක්‍ෂණයකින් දැනට පවතින රෝගී තත්ත්ව මෙන්ම ඉදිරි කාලයේදී වැලඳීමට ඉඩ ඇති රෝගී තත්ත්වද දැනගැනීමට පුළුවනි.

කෙනකුගේ ජන්ම පත්‍රයේ ඇති හයවැනි රාශිය ‘රෝග ස්ථානයයි’. එය ‘සතුරු රාශිය’ ලෙසද හැඳින්වේ. එම රාශියෙන් යමකුට ඇතිවිය හැකි සහ පවත්නා රෝග ආබාධ මෙන්ම සතුරු කරදර ආදියද දැනගත හැකියි. එසේම අටවැනි රාශිය ‘මාරක ස්ථානය’ යන දරුණු වචනයෙන් හැඳින්වේ. එම රාශියෙන් බොහෝවිට ජීවිතයේ අවසාන මොහොත ගෙවා දමන ආකාරය පිළිබඳ ඉඟිකරයි. එසේම ශල්‍යකර්ම පිළිබඳ එම රාශිය පැහැදිලි කර දෙයි. හත්වැනි රාශිය විවාහස්ථානය සේ අප හැඳින්වුවද එම රාශියෙන්ද රෝගපීඩාදිය ගැන ඉඟි කරයි. උදාහරණයක් සේ විවාහයෙන් පසු සහකාරයා හෝ සහකාරිය පමණක් නොව ජන්මපත්‍රය අයත් පුද්ගලයාද අසනීප වන්නේ නම් ඉන් දැනගත හැකියි. එපමණක් නොව මෙම රාශීන්ට දෘෂ්ටිය දක්වන රාශීන්ගෙන්ද අපට තොරතුරු ලබාගත හැකියි. යම් දෘෂ්ටිය හෙළන රාශීන්ගෙන් රෝගපීඩාදිය ඇතිවීමේ ඉඩකඩ හඳුනාගත හැකියි. දැන් අප පළමුවෙන් අර්ශස් රෝගයට හේතුවන ග්‍රහ පිහිටීම් දැනගෙන ඉන් පසුව ශල්‍යකර්මයක් කළද සුව නොවන අර්ශස් රෝගවලට හේතුව සහ ඊට පිළියම් සොයා බලමු.

ග්‍රහ පිහිටීම

අප පුරුද්දට රාහු, කේතු, ශනි, කුජ යන ග්‍රහයන් අසුබ ග්‍රහයන් ලෙසත් සඳු, සිකුරු, බුධ, ගුරු ආදීන් සුබ ග්‍රහයන් ලෙසත් කතා කරමු. රවි ග්‍රහයා සුබද? අසුබද? අප සිතන්නේ උෂ්ණ ග්‍රහයෙක් කියා පමණි. කෙසේ වෙතත් මේ සෑම ග්‍රහයකු යම් අවස්ථාවක අපට රෝග පීඩාදිය ලබා දෙයි. උදාහරණ සේ සඳු ග්‍රහයා සෙම් රෝගත්, සිකුරු ග්‍රහයා මුත්‍රා, වකුගඩු රෝගත්, ගුරු ග්‍රහයා අත් පා කැඩීම් ආදියත් සිදුකරයි. ඒ අනුව අර්ශස් රෝගයට හේතුකාරක වන ග්‍රහ පිහිටීම් අපි සොයා ගන්නට උත්සාහ කරමු.

•    රාහු ග්‍රහයා උපතේදී සත්වන රාශියේ සිටීම විවාහයට පමණක් බාධා කිරීම නොව අර්ශස් රෝගය වැලඳීමටද හේතුය.
•    රවි ග්‍රහයා ලග්නස්ථානයේ ගෝචර වීම සහ හත්වැන්නේ ගෝචරවීම උෂ්ණ රෝග මෙන්ම අර්ශස් රෝගය සදන්නටද හේතුයි.
•    ලග්නාධිපති අටවැනි රාශියේ ගෝචරවීම, අර්ශස් සාදයි.
•    සිකුරු ග්‍රහයා හයවැනි රාශියේ ගෝචරවීම ආමාශ රෝගවලට හේතුයි. අවසානයේ අර්ශස් ගෙඩි සාදයි.
•    සඳු හයවැනි රාශියේ සිටීමද
•    රවි, රාහු, කුජ වැන්නන් හත්වැන්නේ පමණක් නොව පළමුවැනි රාශියේ සිටීමද අර්ශස් සාදන්නට ඉඩ ලබා දෙයි.

එසේම මේ ග්‍රහ පිහිටීම් පමණක් නොව යම් යම් මහ දශාවල අන්තර් දශාද අර්ශස් සහ උෂ්ණ රෝගවලට හේතුවේ.

රවි මහ දශාවේ බුධ අතුරු දශාව
සඳු මහ දශාවේ බුධ අතුරු දශාව
කුජ මහ දශාවේ රවි අතුරු දශාව
කේතු මහ දශාවේ කුජ අතුරු දශාව
මේ පමණක් නොව සූක්‍ෂ්ම දසා කාලයන්ද ඔබට ලෙඩ රෝග ඇතිකරන කාලයන් නිගමනය කරයි. ඒ නිසා ජේ‍යාතිෂවේදියකු ලවා ඔබේ ජන්ම පත්‍රය පරීක්‍ෂා කරවා බලාගෙන ලෙඩ රෝග කලින්ම හඳුනා ගන්න.

දැන් ඔබ බොහෝදුරට අර්ශස් රෝගය ඇතිවන්න ඉඩකඩ වැඩි අවස්ථා දැන හැඳිනගෙන හමාරය. ඉන්පසු ශල්‍යකර්මයන් සහ වෙනත් ප්‍රතිකාර කළද අර්ශස් සුවනොවන අවස්ථා හඳුනා ගනිමු. ඉන් පළමුවැන්න ඔබ ගතකරනුයේ රවි හෝ කුජ මහදශාවල නම් රෝගය සුවවීම කල්ගත වේ.

අනවින, කොඩිවින, හූනියම් ඔබ විශ්වාස නොකරනවා විය හැකිය. එහෙත් ඔබව විනාශ කිරීමට ඔබට යම් දෙයක් ජීවම් කොට ඔබේ ආහාර මඟින් ඔබට දිය හැකිය. සිත් දිනාගන්නටද මෙසේ කළ හැකිය. මේ සඳහා ඔබට ඒ දේ ලබාදෙන්නේ ඔබේ සතුරකු නොව ඔබේ ළඟම මිතුරෙකි. ඒ නිසා ඔබ කිසිවෙක් අවිශ්වාස නොකරයි. මෙසේ ඔබට ‘කැවුණු’ දේ රුධිරයට එක්වී කාලයක් යෑමේදී එය ලේ විසවීමක් බවට පත්වේ. එවිට ඔබ අසරණ රෝගියෙක් බවට පත්වේ.

වෛද්‍යවරුනට රෝගය සොයාගන්නට නොහැකිය. විකිරණ මඟින් හෝ වෙනත් නවීන ක්‍රමවලට මේ දේ හසුනොවේ. එහෙත් ඔබගේ රෝගයද සුව නොවේ. වෛද්‍යවරු ඔබට ශල්‍යකර්ම, එන්නත්, ඔෟෂධ ලබා දුන්නද අර්ශස් රෝගය නිට්ටාවට සුව නොවේ. ඊට හේතුව වෛද්‍යවරුන්ගේ අදක්‍ෂතාව හෝ වෛද්‍ය විද්‍යාවේ නොදියුණුකම නොවේ. ඔබේ අවාසනාවය. මෙවැනි අවස්ථාවක් ඔබට ඇති නම් පළමුව ජන්ම පත්‍රය පරීක්‍ෂා කර බලා දක්‍ෂ ගුප්ත විද්‍යා මහතකු ලවා ඔබට ‘ළය විරේකයක්’ කරවා ගන්න. එවිට ඔබට බලපෑ දෝෂය ඉවත්වනු ඇත. ඉන්පසු රෝගය සුවවනවා ඇත.

සහනයට උපදෙස්

අර්ශස් රෝගය වැලඳීමෙන් වැළැකී සිටීමට මෙන්ම අර්ශස් රෝගය වැලඳුණු රෝගීන්ට සහනය සඳහා උපදෙස් කිහිපයක් පහත දැක්වේ. හරක්මස්, දෙල්, බලමාළු, ඉස්සන් වැනි උෂ්ණ ආහාරවලින් වළකින්න. කෝපි පානයද අහිතකරය. හැකිතාක් පලා වර්ග සහ පලතුරු (අන්නාසි ආදිය නොව) ආහාරයට ගන්න. වැල්පෙනෙල වැලේ පස්පංගුවම මලවා කෑමත්, තම්බා බීමත් සුබදායකය. කතුරුමුරුංගා කොළ මෙන්ම බොහෝ දෙනා ආහාරයට ගැනීමට අකැමැති මඤ්‍ෙඤාක්කා දලු කෑමද හොඳයි. හැකිතාක් ජලය පානය කරන්න.

•    සියඹලා ස්වල්පයක් දියකොට සීනි සමඟ මිශ්‍ර කොට පානයක් ලෙස දිනපතා පානය කිරීම.
•    දිනපතා මීකිරි ආහාරයට ගැනීම (යෝගට් නොවේ)
•    ආහාරයට තලතෙල් මිශ්‍ර කිරීම.
•    පාන්පිටි සහ සුදු සහල් ආහාරය අඩුකිරීම.
•    මුං ඇට, කඩල ආදිය වැඩිපුර ආහාරයට ගැනීම.
ඔෟෂධ වශයෙන් පහත සඳහන් දේ අගය කළ හැකිය.

1.    මේස හැන්දක් පමණ තලතෙල් සමඟ ළිප තබා බැදගත් ගම්මිරිස් ඇට කුඩුකර ඒ දෙකම මිශ්‍ර කර ඒවා සමඟ බත් කටවල් කිහිපයක් ආහාරයට ගැනීම.
2.    කොල්ලු, මුංඇට, වියළි කහ කලං හතර බැගින් සහ රසකිඳ කලං තුනක් සමඟ වතුර පත අට එකට සිඳුවා උදේ සවස පානය කිරීම. උදේට තලතෙල් සමඟින් සවසට එළකිරි සමඟත් දින හතක් පානය කිරීම සුබයි.




විශ්‍රාමලත් විදුහල්පති (විශ්ව කීර්ති ජේ‍යාතිෂ විද්‍යා ප්‍රසාදිනි)
පේරාදෙණියේ එස්. වීරරත්න මව්බිම පුවත්පත

Post a Comment

0 Comments