බල මාළු අධිපෝෂණ ගුණයෙන් යුත් ආහාරයක්


'පොලුයි බතුයි බල මාළුයි කිරියි පැණියි වගෙ යාළුයි' මෙයින් කියවෙන්නේ රුහුණට ආවේණික රසවත් මෙන්ම පෝෂණයෙන් අධික ආහාර වේලක් ගැන. බල මාළු කියපුවම බොහෝදෙනෙක් ආහාරයට ගන්න පසුබට වෙනවා. රුහුණේ අය නම් එහි රසය ගුණය හොඳින් දන්නවා. බල මාළු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බලයි. එය අධිපෝෂණ ගුණයෙන් යුත් ආහාරයක්.

බල මාළුවල මෙම ක්‍රියාකාරිත්වයට හේතු වන්නේ ‘හිස්ටර් ඩීන්’ යනුවෙන් හඳුනාගෙන ඇති අධිපෝෂණ ක්‍රියාකාරිත්වයෙන් යුත් එමයිනෝ අම්ලය මෙහි අඩංගු වීමයි. හැබැයි මෙම ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ අලුත් බල මාළුවල පමණයි. ඒ අනුව නැවුම් බල මාළු ආහාරයට ගැනීමෙන් අධිවේගයෙන් යුක්තව හිස්ටර් ඩීන් ක්‍රියාකාරීත්වය මොළයේ සෛල කරා ඇදී යනවා. මේ පිළිබඳව පර්යේෂණයක් කරන ලද ඇමෙරිකානු ජාතික මහාචාර්ය වුට්මාන් පවසන්නේ බල මාළු ආහාරයට ගැනීමෙන් පසුව ශරීරයේ රුධිරයේ ක්‍රියාකාරීත්වයේ වේගය වැඩිවන නිසා හිස්ටර් ඩීන් එමයිනෝ අම්ලය මගින් මොළය වෙත ගොස් එහි සෛල වර්ධනය වැඩි කරවන බවයි.

මෙම එමයිනෝ අම්ලයේ ක්‍රියාකාරීත්වය මගින් මිනිස් මොළය විස්මිත වෙනස්කම් රැසකට පරිවර්තනය වෙනවා. මේ අනුව ඇතිවන බුද්ධි ගණනය මගින් සිතීමේ හැකියාව වර්ධනය වීම, නිර්මාණශීලීත්වය, කතිකත්වය, එඩිතරකම හා සටන්කාමීත්වය, ප්‍රජා පාලනයේ දක්‍ෂතාවය නිරන්තරයෙන්ම මිනිස් මොළයේ සිතුවිලි දහරාවන් තුළ උද්දීපනය වීමෙන් ක්‍රියාවට නැංවෙන බව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.

මේ අනුව අපේ රටේ සිටි දකුණේ උපත ලැබූ පසු කලෙක සමාජය තුළ කීර්ති නාමයක් තැබූ බොහෝදෙනෙකු සිටි බවට සාක්‍ෂි අපමණයි. ඒ අතරින් මුණිදාස කුමාරතුංග, මහාචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම්, ගත් කතුවර මාර්ටින් වික්‍රමසිංහ වැනි විද්වතුන්ද, පූජ්‍ය තොටගමුවේ රාහුල හිමි, පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය පැලෑනේ සිරි වජිරඥාන හිමි, මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ලෝකයේ ප්‍රථම වරට භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස මහාචාර්ය පදවියෙන් පිදුම් ලැබූ ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය භාෂාන්තර විශාරද පූජ්‍ය පරවාහැර ශ්‍රී වජිරඥාන හිමි වැනි ලෝක ප්‍රකට වූ ගිහි පැවිදි ශ්‍රේෂ්ඨ චරිත පෙන්වාදිය හැකියි. ක්‍රිකට් ක‍්‍රීඩාවෙන් ලෝක වාර්තා තබා අප රටට කීර්තියක් ලබාදුන් සනත් ජයසූරියද බල මාළු හොඳින් ආහාරයට ගත් රුහුණු පුත්‍රයෙක් බව අමතක කරන්න එපා.            
ජපන් ජාතිකයන් යුද්දෙන් පසුව තම රට ගොඩනැගීම සඳහා සිය දෙදනික ආහාර රටාව පවා වෙනස් කරනු ලැබුවා. ඔවුන් පසු කලෙක බල මාළු ප්‍රධාන වශයෙන් සිය ආහාර වේලට එකතුකර ගත්තා. එය ඔවුන්ගේ මොළයේ වර්ධනයට තවත් ලොකු පිටුවහලක් වුණා. එමගින් ලබාගත් ඥාන ශක්තියෙන් දැවැන්ත නිෂ්පාදන ලෝකයට ඉදිරිපත් කරන්නට ඔවුන්ට හැකිවුණා. ජපානය, ඇමෙරිකාව සහ යුරෝපා රටවලින් අපේ මුහුදේ බල මාළුවලට හොඳ ඉල්ලුමක් තියනවා.

බල මාළු අල්ලා ආරක්‍ෂාවක් නොමැතිව තැබුවහොත් එය පැය හයක් ඉක්මවීමෙන් පසුව ‘‘හිස්ටර් ඩීන්  එමයිනෝවේ ක්‍රියාකාරීත්වය අඩු වන්නට පටන් ගන්නවා. එය කෙමෙන් ආහාරයට ගත නොහැකි හිස්ටර් මීන් නමැති තත්ත්වයට පරිවර්තනය වෙනවා. එවැනි අනාරක්‍ෂිත පරණ මාළු ආහාරයට ගත්විට ශරීරය පුරා කැසීම, පලු දැමීම, වමනය යාම, විරේක වීම ආදී විවිධ ආසාදන තත්ත්වයන් ඇති වෙනවා. ඒ වගේ අනාරක්‍ෂිතව දින ගණනක් තැබූ මාළු ආහාරයට ගැනීමෙන් ඇතැම්විට ජීවිත හානි පවා සිදුවන්නට පුළුවන්.

කල් තබාගැනීම සඳහා අධිශීතකරණවල බල මාළු තබා ගැනීම වරදක් වන්නේ නැහැ. හැබැයි හොඳ තත්ත්වයේ අධිශීතකරණ විය යුතුයි. එවිට හිස්ටර් ඩීන් එමයිනෝ අම්ලය ආරක්‍ෂා වෙනවා. නමුත් මීට වසර සිය ගණනකට එපිට සිට අපේ පැරුණ්නන් බල, කෙලවල්ලා, ඇටවල්ලා යන එකම පවුලට අයත් මාළු කල් තබාගැනීම සඳහා කළේ මාළු පිරිසුදු කර මැටි වළඳක අසුරා ගොරකා, ලුණු, හා දෙහි ඇඹුල්, මාළු සමග මුසුකිරීමයි. එයින් හිස්ටර් ඩීන් එමයිනෝ අම්ලය සුරැකෙනවා. අදටත් ජනප්‍රිය ඇඹුල් තියලය ඒ ක්‍රමවේදයේම කොටසක්. බලන්න අපේ හෙළ සූප ශාස්ත්‍රය කෙතරම් විද්‍යාත්මකද කියා. ඒ නිසා ඔබ බල මාළු ආහාරයට ගන්න බිය වෙන්න එපා. එය ඔබේ දරුවන්ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු ආහාරයක්. එය ඔබගේ දරුවාගේ බුද්ධි වර්ධනයට කරන හොඳ ආයෝජනයක්.

සටහන - අතුල රංජිත් වෙදමේස්ත‍්‍රිගේ
උපුටා ගැනීම - www.ada.lk