පීඩිත සිතට එකම ඔසුව භාවනාව


වර්තමාන ජන සමාජයේ බොහෝදෙනකු ගත කරන්නේ කාර්යබහුල ජීවන රටාවකි. මේ නිසාම ශාරීරික හා මානසික පීඩාවන්ට ගොදුරුවන මොවුහු ඉන් මිදීම සඳහා විවිධ උපක්‍රම සොයති. අතැමුන් ශාරීරික උත්තේජන වෙත යොමුවන අතර තවත් සමහර පිරිස් වෛද්‍යවරුන්ගේ උපදේශන පතති. මිනිසුන්ගේ එදිනෙදා කාර්යබහුල දිවිය මඟින් ලැබෙන මානසික හා ශාරීරික ආතතිය නිවාරණය පිණිස බුද්ධ දේශනයේ සඳහන් ‘භාවනා’ බොහෝ ඉවහල්වන බව වැඩිදෙනෙක් නොදනිති. මානසික හා ශාරීරික ආතතිය දුරු කිරීමට “භාවනා” ව ප්‍රයෝජනවත් වන්නේ කෙසේද යන්නත්, එය සාර්ථකව සිදු කරන්නේ කුමන ආකාරයටද යන්න පිළිබඳවත් අදහස් දක්වන්නේ බුදුගල්ලෙන ආරණ්‍ය සේනාසනයේ රුවන්ගිරියේ සමතවංශ හිමිය.

ස්වාමීන්වහන්ස, බුදුරජාණන්වහන්සේ භාවනාව අර්ථ දැක්වූයේ කෙසේද?

බුදුන්වහන්සේ දේශනාකොට වදාළ “භාවනා”ව යනු “සිත වැඩීම” යි. එහි මූලික පදනම වන්නේ සිත දියුණු කිරීමයි. “භාවේ තබ්බන්ති භාවනා” යනුවෙන් බුදු වදනින් දේශනාකොට තිබෙනවා. නොසන්සුන් සිත සන්සුන් කර ගැනීමට මෙන්ම පීඩාවෙන් පිරුණ සිත සැහැල්ලු කරගැනීමටත් “භාවනා”ව උපකාරී වෙනවා. ලෝකයේ වෙනස්වන බව හා ජීවිතයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මය සිහි කරමින් එයින් මිදී සදාකාලික විමුක්තිය ලැබීම පිණිස “චතුරාර්ය සත්‍ය” අවබෝධ කරගැනීමට බුදුන්වහන්සේට ඉවහල් වූයේත් “භාවනා” වයි. “බුද්ධ” යනුවෙන් අදහස් කරන්නේ මනුස්සයකු සතු බුද්ධියේ උපරිම අවස්ථාවයි. බුද්ධියෙන් ඉහළම තලයේ සිටින පුද්ගලයා බුදු රජාණන් වහන්සේයි. උන්වහන්සේට ඒ තත්ත්වයට පත්වෙන්න ලැබුණේ “භාවනා” වැඩූ නිසයි. කෙනෙකු බුදුවරයකු කරන්නටත් මනස උසස් තත්ත්වයට ගෙන ඒමටත් තරම් “භාවනා” ව ප්‍රබලයි.

වර්තමානයේ බොහෝ‍ දෙනා “භාවනා” ව ගැන විවිධ අර්ථකථන දක්වනවා නේද?

අද සමාජයේ එක් එක් පුද්ගලයන් භාවනාව නොයෙක් පැතිවලට යොමු කරගෙන සිටිනවා. මේ විදියට කළ යුතුයි, මේ විදියට කරන්න ඕන, මේ විදියට තමයි මේවායේ ප්‍රයෝජන ලැබෙන්නෙ කියල එක එක මතිමතාන්තර තමන්ගෙ අදහස්වලට ගලපගෙන සමාජයට ඉදිරිපත් කළාට එයින් නියම ප්‍රයෝජන ලැබෙනවද කියන එක තමයි ගැටලුව. සමහර අය බුදුන්වහන්සේ දේශනා කළ “භාවනා”වේ හරයවත් ක්‍රමවේදයවත් හරිහැටි අවබෝධයක් නැතුව තවත් අයට “භාවනා” ව ගැන උ‍පදෙස් දෙනවා. බුද්ධ දේශනයට අයත් නැති “භාවනා” සමහර අය ක්‍රියාත්මක කරනවා. ‘භාවනා’ව නිවැරදිව කළයුතු දෙයක්. එහෙම නොවුණොත් එමගින් කිසිදු යහපතක් ලැබෙන්නෙ නැහැ.

ඇතැම් දේශකයන් ‘භාවනා’ව ඉතා සංකීර්ණ දෙයක් ලෙස හඳුන්වන නිසා මිනිසුන් ඒ සඳහා යොමුවීම වළකිනවා නේද?

‘භාවනා’ වේ සංකීර්ණ ක්‍රමත් තිබෙනවා. හැබැයි සාමාන්‍ය පුද්ගලයන්ට ප්‍රගුණ කිරීමට පහසු ඉතා සරළ ක්‍රමත් තිබෙනවා. ඒ නිසා සමහර අය තමන්ගේ උගත්කම හා සිල්වත්කම පෙන්වන්න ‘භාවනා’ ව ඉතා ගැඹුරු දෙයක් බව පෙන්වනවා. ඒ නිසා බොහෝ දෙනා හිතනවා ‘භාවනා’ ව හැමෝටම කළහැකි දෙයක් නොවන බවට. එය වැරදි මතයක්.

බුද්ධ දේශනාවේදී ‘භාවනා’ කළයුතු ආකාරය පැහැදිලි කර තිබෙන්නේ කොහොමද?

‘භාවනා’ව වැඩීම නිසීදන ඉරියව්වෙන්ම පමණක් නොව සතර ඉරියව්වෙන්ම කළහැකි බවයි බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළේ. එලෙස ‘භාවනා’ කරනවානම් සෑම අවස්ථාවකදීම සිතේ දියුණුවට කටයුතු කරන්න ඕන. එවිට අපේ සිතේ සංහිඳියාව ඇතිවී සිත පාලනය කරගන්න හැකියාව ලැබෙනවා.

වත්මන් සමාජ රටාව දෙස බැලූවිට ඔවුන්ගේ මනසට ‘භාවනා’නම් ඔසුව අවශ්‍ය යැයි ඔබවහන්සේ සිතනවද?

අද සමාජයේ තිබෙන තරගකාරී රටාවත් සමඟ සිතේ ‘සමාධියක්’ කියන මාත්‍රයක්වත්, ජීවිතය ගැන අවබෝධයක්වත්, නැතිව හැල්මේ දුවන තත්ත්වයකට පත්වෙලා. එය දිළිඳු තැනැත්තාගේ සිට ධනවත් තැනැත්තා දක්වාත්, නූගත් පුද්ගලයාගේ පටන් උගත්, බුද්ධිමත් පුද්ගලයා දක්වාම ප්‍රසාරණය වෙලා තිබෙනවා. එකිනෙකා අභිභවා යාමට උත්සාහ කිරීම සමාජ පිළිලයක් බවට පත්වී එයින් සමාජය විෂම තත්ත්වයට පත්වෙලා. ධර්මය පැය විසිහතර පුරාම ශ්‍රවණය කළත් ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. වටහාගන්න උනන්දුවකුත් නැහැ. හරිහැටි වටහාගත්තානම් වෙනස්වන සමාජය තුළ වෙනස්වන ජීවිතවලට සදාතනික සැප ලබා දෙන්න මේ හැටි වෙහෙසෙන්නෙ නැහැ.

සදාකාලික නොවන ජීවිතයට සදාකාලිකව හිමිකරගන්න තැත්කරන්නෙ මොනව ද? කෙළවරක් නැති සැප සම්පත් නේද? මේවායෙන් අත්වෙන්නෙ මොනවද...? අසහනය නොවේද? අන්න ඒ අසහනය තමයි මිනිසාගේ මනස අවුල්, වියවුල් කරන්නෙ. තරගකාරීත්වය පිටුපස මොනවද තිබෙන්නෙ. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නේද? මේ සියල්ලෙන් අත්වෙන්නෙ මොනවද? අසහනය, ‘දරාගත නොහැකි ආතතිය, ඒකයි බුදුරජාණන්වහන්සේ දේශනා කළේ අස්ථිර ජීවිතේ තුළ ස්ථිර කිසිවක් නොමැති බව. මෙන්න මේ සිද්ධාන්තය තේරුම් ගන්න ඕන. එය තේරුම්ගත් බවත් සමාජය දෙස විමසිලිමත්ව බලනවිට පේන්න නැහැ. ඒ නිසා අවුලෙන් අවුලට පත්වෙන පීඩාවෙන් දූෂ්‍ය වූ මනසට ඔසුවක් අවශ්‍ය යැයි සිතෙනවා. ඒ සඳහා හොඳම ඔසුව තමයි ‘භාවනා’ව.

එදිනෙදා ජීවන අර‍ගලයට මැදිහත්වී පීඩාකාරී මනසින් යුත් පිරිසට මනස සැහැල්ලුකර ගැනීමට උචිත සරළ භාවනා ක්‍රම තිබෙනවාද?

සිතේ වික්ෂිප්තභාවය නැතිකරගන්න, සිතේ සමාධිය ඇතිකරගන්න, “චතුරාරක්ෂක භාවනා”ව සුදුසුයි කියල බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබෙනවා. චතුරාරක්ෂක භාවනාව අතරිනුත් ඉතා සරළ භාවනාවක් වන “බුද්ධානුස්සති භාවනා” ව මේ සඳහා යෝග්‍ය යැයි බුදුන්වහන්සේ වදාළා. එය කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම ඉතා පහසුවෙන් කළ හැකි භාවනාවක්, බුද්ධානුස්සති භාවනාව කියන්නෙ බුදුරජාණන්වහන්සේගේ නව අරහාදී ගුණ කදම්භය සිහි කිරීමයි. මේ භාවනා ක්‍රමයට විශේෂ ස්ථානයක් ඉරියව්වක් අවශ්‍ය නැහැ. සතර ඉරියව්වෙන්ම ඉන්න අවස්ථාවක එය කළ හැකියි.

සතර ඉරියව්ව කියන්නෙ ඇවිදීම හෝ ගමන් කිරීම, සිතීම, හිඳීම, නින්දට යාමයි. මේවායින් කුමන ඉරියව්වකින් වුවත් බුදුගුණ සිහි කිරීමට බාධාවක් නැහැ. හැබැයි බුද්ධානුස්සති භාවනාව වෙනම කාලයක් වෙන් කරගෙන සිදු කරනවනම් වඩාත් හොඳයි. ඒ වගේම ‘ආනාපානසති භාවනා’වත් අවුල්වූ මනස නිරවුල් කිරීමට උපකාරී වෙනවා. ආනාපානසති භාවනාව කියන්නෙ තමන් ඉහළට ඇදගන්නා හුස්ම දෙසත්, රඳවා තබාගන්නා හුස්ම දෙසත් යළි පහළට දමන හුස්ම දෙසත් මනස යොමු කිරීමයි. ඒ භාවනා ක්‍රමය තුළිනුත් සිත ඒකාග්‍රතාවයකට පත් කළ හැකියි. මෙවැනි භාවනා සිදු කිරීමෙන් මානසික පීඩනය දුරුකළ හැකියි. එවිට ශාරීරික විඩාවද පහව ගොස් මනසට මෙන්ම ශරීරයටද සැහැල්ලුව ලැබෙනවා.

මෙවැනි භාවනා ක්‍රම මඟින් මනස සැහැල්ලු කර ගැනීමට මිනිසුන් උත්සුක නොවන්නේ කුමන කාරණාවක් නිසා ද?

ප්‍රධානතම දේ අනවබෝධයයි. ධර්මය දැනගෙන සිටියත්, භාවනා ක්‍රම ගැන අසා තිබුණත් ඒවා පිළිබඳ වැටහීමක් නැහැ. වැටහීමක් නැති තැන විශ්වාසයක් නැහැ. විශ්වාසය නැති නිසා ඒවාට යොමු වෙන්නෙ නැහැ. සමහර පිරිස් ධර්මය හා භාවනාව කෙරෙහි අවබෝධය හා විශ්වාසය තිබෙනවා. ඒත් ඒවායින් ප්‍රයෝජන ලබා ගන්න උනන්දුවක් නැහැ. භාවනාවට හුරුවූ කෙනා නිරායාසයෙන්ම ඒ දේට ‍යොමු වෙනවා. එවැනි පුද්ගලයන් නිතරම සැහැල්ලු මනසින් වෙසෙනවා. සිත කියන දේට මිනිසාගේ ජීවන චක්‍රය වෙනස් කළ හැකියි. යහපත් පැත්තට මෙන්ම අයහපත් පැත්තට යොමු කළ හැකියි. යහපත් දේට සිත සමාධිගත කරනවනම් සිතේ සැනසුම සෑම මොහොතකම රැඳී තිබේවි.

රුවන්ගිරියේ සමතවංශ හිමි
සටහන - නිශාන් මෙන්ඩිස්