නිකොටින් ලෝලිත්වය සුවකර ගැනීමට පහසු මගක්


නිකොටින් කියන්නේ දුම්කොළයේ තියෙන අතිශයින්ම ඇබ්බැහිවන සුළු උග්‍ර  විෂ රසායනයක්.මේක පළිබෝධනාශකයක් හැටියට පාවිච්චි කරන බව ඔබ තවමත් නොදන්නවා ඇති. කව්රු හරි කෙනෙක් බුලත්විට කනවනම්, සිගරට් හරි බීඩි හරි බොනවනම් ඒ පුද්ගලයාගේ ලේ වලට මේ විෂ රසායනය එකතු වෙනවා.නිකොටින් ලෝලිත්වය කියන්නේ මේ විෂ රසායනයට තිබෙන කෑදරකම. ආසාව. වෙනත් විදියකින් කිව්වොත් බීඩි,සිගරට් බොන්නයි බුලත්විට කන්නයි තියෙන ආසාව.මෙන්න මේ විෂ රසායනට දක්වන ආසාව එහෙම නැත්නම් ඇබ්බැහිය කියන්නේ මානසික ලෙඩක්. මේ ලෙඩේ සනීප කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. පහසු මග කිව්වේ ඒක. ඔබටත් මෙහෙම දෙයක් කවදා හරි හිතිල තියෙනවද? ඒ තමයි ඇබ්බැහි වෙනවා කියන්නේ මොකක්ද කියන පැනය. අපිට මේක ඇත්තටම ප්‍රශ්නයක්. ඔය වචනේ පාවිච්චි වෙන්නේ මත්ද්‍රව්‍යය ගැන කථා කරන කොටයි. මේ කතාබහ ඒ ගැනයි.

මත්ද්‍රව්‍යයක් කියන්නේ අපේ ස්නායු පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය විකෘති කරලා මත්බවක් ඇතිකරන  ඕනෑම ද්‍රව්‍යයකට.මේ මත්ද්‍රව්‍යය තමන්ගේ ඇගට හොඳ නෑ කියලා දැන දැනත්, තමන්ට ආදරය කරන මිනිස්සු තමන් මේ මත්ද්‍රව්‍යය පාවිච්චි කරනවට කැමති නෑ කියලා දැන දැනත් ඒ මත්ද්‍රව්‍යය නවත්තන්නේ නැතිව ආයෙ ආයෙමත් පාවිච්චි කරන්න හිතෙනවා. නැවැත්තුවොත් අයියෝ මං කරගත්තු මෝඩකමක් කියලා සිත් වේදනාවක් හට ගන්නවා. ඇබ්බැහිවෙනවා කියන්නේ ඒකයි. ඇත්තම කිවුවොත් යමකට ඇබ්බැහි වෙනවා කියන්නේ එයින් ගැලවෙන්න බැහැ කියන්නේ ශාරීරික කාරණයක්ම නෙවෙයි ඔබට අවශ්‍ය නම්, ඕනෑ කම ස්ථීර නම්, මේ වැදගම්මකට නැති වැඩෙන් ගැලවෙන්න පුලුවන්.

ඔබට අපි කොතරම් අනතුරු ඇඟෙවුවත් එතැනදිත් යම් ගැටලුවක් අපිට මතුවෙන්න පුලුවන්. ඒ දුම්කොළයේ තියෙන්නේ නිකොටින් විතරද කියන ගැටලුව. අපි නොදැන ඉන්නවා වුණාට දුම්කොළයේ රසායන වර්ග 4000ක් පමණ තිබෙනවා. ඒවායින් 250ක් විතර උග්‍රවිෂ රසායන. 65ක් විතර පිළිකා ඇතිකරන රසායනත් තියෙනවා. දැන් නම් ඔබට මෙන්න මෙහෙම හිතේවි. මගෙ අම්මෝ එතකොට සිගරට්, බුලත්විට බීඩි කියන්නේ විස ගුලියක් නේ! ඉතින් ඇයි මේ මිනිස්සු ඒවට මෙච්චර කැමැත්තක් දක්වන්නේ? ගැටලුව ඇත්තේ එතැනයි. මේවා විකුණන අය මිනිස්සුන්ව ගොනාට අන්දලයි තියෙන්නෙ ඇයි ඔබට නොහිතෙන්නේ කවුද අපිව ගොනාට අන්දලා තියෙන්නේ? කියලා.


ඔබට එහෙම හිතන්න තියෙන නිදහසත් ඔවුන් අවුරලා ඒකයි මේ සිද්ද වෙලා තියෙන්නේ නිකොටින් තමයි මිනිස්සුන්ව ගොනාට අන්දවන්න සිගරට් එකේ තියෙන විෂ රසායන හා තාර අපේ ශරීරයේ සෑම සෛලයකටම හානිකරනවා. හිසේ පටන් දෙපතුල දක්වා සෑම අවයවයකටම හානි කරනවා. ලිංගිකබෙලහීනතාවය, අංශභාගය, හෘදයාබාධ, පිළිකා විතරක් නෙමේ. ඒකෙන් ඇතිකරන අහිතකර ලිස්ට් එක ගොඩාක් දිගයි. සිගරට් බොන කට්ටිය ඒකෙන් ඇතිවන පලවිපාක ගැන දන්නවා.තමන් කවදාහරි දවසක සිගරට් බීලා බීලා මැරෙන බවත් දන්නවා. ඒත් මේක නවත්තගන්න තමන්ගේ හිත
ඉඩදෙන්නේ නැහැ. මේක තමයි නිකොටින් උගුලේ සටකපටකම කියලා කියන්නේ. එහෙම වෙන්නේ ඇයි කියලා සිගරට් බොන කෙනාවත් දන්නේ නැහැ. සිගරට් එක තමන්ව මරලා දානකම් ඒ අය දන්නේ නැහැ. ඒ තරමටම ඒ අයගේ සිහිය දුර්වල වෙලයි තියෙන්නේ.

අපි තවත් මේ කාරණය දුර දිගට හිතුවොත් මෙහෙමත් හිතන්න පුලුවන්. නිකොටින් උගුල කියන්නේ ජනගහනය පාලනය කරන්න සොබාදම් මාතාව අටවපු උගුලක් ද කියලා, ඒ උගුල පාවිච්චි කරලා බහුජාතික සමාගම් අධික ලාභ උපයනවා. දැන් තමයි අපි වැදගත්ම දේ කතාකරන්න  පටන් ගන්නේ, කොහොමද මේ නිකොටින් උගුල නිෂ්ක්‍රිය කරන්නේ?

නිකොටින් උගුල වැඩ කරන හැටි පළමුව ඔබ දැනගෙන සිටිය යුතුයි. මේක මෙච්චර කාලයකට මිනිස්සු දැනගෙන හිටපු නැති, විස්තර කරලා දීපු නැති අභිරහසක්. මේක දැන ගත්තා කියන්නේ ආයේ කිසිම මත් උගුලකට තමන්ව ගොනාට අන්දන්න බෑ. මේ දැනුමින් කෙනෙක් සන්නද්ධ උනොත් එයාට සියලුම මත් උගුල් වලින් ගැලවිලා නිදහස් වෙන්න පුළුවන්.

නිකොටින් කියන්නේ වතුරේ දියවන විෂ රසායනයක්. බුලත්විට කෑවහම හරි සිගරට්බිව්වහම හරි නිකොටින් අපේ ලේ වලට එකතු වෙලා මුළු ඇග පුරාම ගමන් කරනවා. ලේවල දියවෙච්ච නිකොටින් මුත්‍රා සහ දහඩිය එක්ක ඇගෙන් අයින් වෙනවා.එතකොට ලේවල තියෙන නිකොටින් ප්‍රමාණය අඩුවෙලා අපට අසහනකාරී පාළු අනාරක්ෂිත හැඟීමක් දැනෙන්නට පටන් ගන්නවා. මට බුලත්විටක් කන්න ඕනේ. සිගරට් එකක් බොන්න ඕනේ අත්වලින් හා කටින් යමක් කරන්න ඕනේ. වගේ අසහනකාරී හැඟීමක් එනවා. මේකට ඉංග්‍රීසිියෙන් කියනවා නිකොටින් විත්ඩ්‍රෝවල් සිම්ප්ටම් කියලා.සිංහලෙන් කියනවා නිකොටින් බැහැරවීමේදී ඇතිවන අපහසුතාව කියලා.


මේක මානසිකව බලපාන දෙයක්. මේ අසහනකාරී හැඟීම එහෙමත් නැත්නම් ඉෂ්ට කරගත යුතු බලවත් ආශාව නිසා අපේ උපරිමයෙන් තිබුණු මානසික සුවතාවය පහළ බහිනවා. ආයෙමත් පාරක් ටිකවේලාවකින් පස්සේ බුලත්විටක් කෑවම හරි සිගරට් එකක් බිව්වහම හරි අඩුවෙච්චි නිකොටින් ආයෙමත් ලැබිලා අර අසහනකාරී හැඟීම දුරුවෙලා මානසික සුවතාවය ටිකක් වැඩිවෙනවා. ඒ විදියට අඩුවෙච්ච මානසික සුවතාවය තරමක් වැඩිවීම නිසා හිතට සහනයක් දැනෙනවා. සැහැල්ලූවක් දැනෙනවා. මේ අසහනකාරී හැඟීම දුරුවෙලා හිතට සැහැල්ලුවක් සහනයක් දැනීම තමයි ඔය සතුටක්, වින්දනයක් කියලා කියන්නේ.

සිගරට් එකක් බිවුවම මරු කියලා මිනිසුන් හිතන එකේ සත්‍යයක් නැහැ. ඒ වගේම එයින් සිරුරට එක දශමයකවත් පෝෂණයක් ලැබෙන්නෙත් නැහැ. කිසිම ආකාරයකින් ගුණයක් ශරීරයට ඇත්කරන්නේ නැහැ. සිගරට් එකෙන් සැබෑ සතුටක්, වින්දනයක් ලැබෙනවනම් මිනිස්සු මේක නවත්තගන්න උත්සාහ කරන්නේ ඇයි? බාගෙට බීලා විසි කරන්නේ ඇයි? තමන්ගේ ළමයින්ට සිගරට් බොන්න එපා කියන්නේ ඇයි? අවුරුද්දේ මාස 6ක් සිගරට් බීලා ඉතිරි මාස 6 නොබී ඉන්නේ ඇයි? කොටින්ම කිව්වොත් සිගරට් බොනවා හරි බුලත්විට කනවා හරි කියන්නේ ඇතුලතින් දැවෙන ගින්නක් නිවා ගන්නවා වගේ වැඩක්. අසහනකාරී හැඟීමක් දුරු කර ගන්නවා වගේ වැඩක්.

අපේ ඇගේ තියෙන දදයක් කසන කොට සනීපයක් සැහැල්ලුවක් දැනෙනවා නේද? ඔලූව බිත්තියේ හප්පගෙන හප්පගෙන ගිහිල්ලා නැවැත්තුවාමත් සනීපයක් තියෙනවානේද? සිගරට් එකක් බීපං බුලත්විටක් කාපං කියලා නිකොටින් රකුසා දැඩි ලෙසින් ඉල්ලන කොට ඒ අසහනකාරී හැඟීමෙන් මිදෙන්න දුම්කොළ කාලා තාවකාලිකව සහනයක් ලබා ගන්නවා.ආයෙ ටිකවෙලාවකට පස්සේ ලේවල නිකොටින් අඩුවෙලා අසහනකාරී හැඟීම එන්න පටන් ගන්නවා. ඊට පස්සේ දිගින් දිගටම මුළු ජීවිත කාලය පුරාවටම අර අසහනකාරී හැඟීම දුරුකර ගන්න දුම්කොළ පාවිච්චි කරන්න ඒ පුද්ගලයාට සිද්ධවෙනවා. නිකොටින් උගුල කිව්වේ මේකයි.


සමහරු කියන්නේ මං ස්ට්‍රෙස් එක නැති කරගන්න සිගරට් බොනවා කියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. මොකද  ඇත්තෙන්ම කිවුවොත්  සිගරට්  බිවුවට පසුවදාටත් අර ස්ට්‍රෙස් එක නැතිනම් ආතතිය දෙගුණ වී ඔබට දැනෙන බව තමයි ඇත්ත. ඊයේ සිගරට් එක බොන්න ඔබ පසුම්බියෙන් මුදල් වැය කළා. ආතතිය නවත්ත ගන්නයි එහෙම කළේ. නමුත් ඒ ආතතිය ඔබේ හිස්වූ පසුම්බිය දකිද්දි තවත් වැඩිවෙලා තිබුණ ආතතියත් එක්ක එක්වෙලා දෙගුණ වෙලයි නැවත ලැබෙන්නේ. නිකොටින් ඇගට ඇතුල් වෙලා අර අසහනකාරී හැඟීම දුරුවෙලා ගිහින් තාවකාලිකව මානසික සුවතාවක් දැනෙන එකට තමයි ඔය ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් ආතතිය දුරුවීමට උදව් වෙනවා කියන්නේ. ඇත්තටම හිතලා බැලූවොත් ආතතිය ඇතිකළේ සිගරට් එකෙන්. එහෙමත් නැත්නම් බුලත්විටේ තිබ්බ දුම්කොළයෙන්.

සමහරු කම්මැලි හිතුනහම,යාළුවොත් එක්ක ඉන්නකොට, කෑම කෑවයින් පස්සේ, ටොයිලට් යනකොට හරි මොකක් හරි වැඩක් කරන්න කලින් සිගරට් එකක් අනිවාර්යයෙන්ම බොන්න ඕනේ කියලා කියන අවස්ථා ඔබටත් හමුවෙලා ඇති මතක තියා ගන්න සිගරට් එකක් බොනවා හරි බුලත්විටක් කනවා හරි කියන්නේ අසහනකාරී හැඟීමක් දුරු කරගන්නවා කියන එකයි. එයින් ඔබ ඔබ දුර්වලයෙක්. මානසික වශයෙන් ශක්තියක් නැති බෙලහීනයෙක් කියන පණිවිඩයත් සමාජ ගත කරනවා.  මෙයින් ඔබේ පෞරුෂය සම්බන්ධයෙන් දකින අයට ඇතිවෙන්නේ අඩු තක්සේරුවක්. කොහොම නමුත් දුම්පානය කරන කෙනාට ඒ හැඟීම විවිධාකාර අවස්ථාවල දුරුකරගන්න හිතෙනවා.එයා හැම මොහොතෙම බලන්නේ සිගරට් එකක් බීලා නිකොටින් උගුලට අහුවෙන්න කලින් හිටපු මානසික සුවතාවට යන්න. ඒත් කවදාවත්ම විසක් පාවිච්චි කරලා ඒ දේ කරගන්න බැහැ.

එහෙම කියන්නේ? අපි සිගරට් බොන්නේ හරි දුම්කොළ කන්නේ ඇඟ එපා එපා කිය කිය කෑගහනකොටයි.සිගරට්ටුවේ තියෙන අප්‍රියජනක රසය හා ජරා ගඳ අමතක කරලා අසහනකාරී හැඟීම දුරු කර ගන්න ජීවිතය පරදුවට තබනවා.මේ විසට එරෙහිව දවසින් දවස ඇඟ ප්‍රතිරෝධයක් ගොඩ නගා ගන්නවා.අන්තිමේදී අසහනකාරී හැඟීම දුරුකරගන්නභාවිතා කළ යුතු නිකොටින් ප්‍රමාණය ඉහළ යනවා.එතකොට අවුරුද්දෙන් අවුරුද්ද සිගරට් හරි බුලත්විට හරි ගන්න ප්‍රමාණය වැඩිවෙනවා. මානසික සුවතාවය ඉහළයන ප්‍රමාණය අඩුවෙනවා.

කොහොමහරි මේක නවත්වනවා කියන්නේ හිතේ ආසාව මැඬගෙන ඉන්නවා කියන එකයි.මේකට අධිෂ්ඨාන ක්‍රමය කියලා කියනවා. ඒක බොහෝදෙනෙක් පාවිච්චි කරන අසාර්ථක ක්‍රමයක්. හැබැයි කලාතුරකින් හරියන අය ඉන්නවා. ඉතාමත්ම ටික දෙනයි.ටිකෙන් ටික අඩුකරගෙන ගිහින් නවත්වන්නත් ලේසියි කියල හිතන අයත් ඉන්නවා නමුත් ඒකත් අසාර්ථක වීමේ සම්භාවිතාවය වැඩියි.දවසකට සිගරට් 20ක් බොන කෙනෙක් විසිපාරක් අසහනකාරී හැඟීම දුරු කර ගන්නවා. ඕක අමාරුවෙන් 10ට බැස්සුවාම දහපාරයි අසහනකාරී හැඟීම දුරු කරගන්නේ. එතකොට අසහනයෙන් ඉන්න කාලපරාසය වැඩි වෙනවා. දැන් සිගරට් එකක් බීලා ඊළඟට සිගරට් එකක් බොන්නේ කොයි වේලාවේද කියලා පුල පුලා බලා ඉන්නවා.

සිගරට් එක ලෝකයේ තියෙන වටිනාම වස්තුව වෙනවා. ඒනිසා ආයෙමත් අසහනය වැඩිවෙලා අන්තිමේදී තමන්ටත් නොදැනීම කලින් ගානට වඩාවැඩියෙන් සිගරට් බොන්න පටන් ගන්නවා.ආදේශක පාවිච්චි කරලා සිගරට් නවත්වන්න පුළුවන් නේද? කියලත් ඔබට හිතෙයි. ඒකත් බහුතරයකට සාර්ථක වෙන්නේ නැහැ. ආදේශක පාවිච්චි කරන එක හරියට කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක්. ආදේශක වර්ග දෙකක් තියෙනවා. නිකොටින් අඩංගු ප්ලාස්ටර්, ස්ප්රේ, චුයින්ගම් වගේ දේවලූත් නිකොටින් අඩංගු නොවන ටොපි, චොකලට්, අයිස්ක්‍රීම්, පෙපර්මින්ට්, බනිස් වගේ දෙවල් මීට අදාලයි. සිගරට් බොන එක නවත්වලා දුම්කොළ කන්න පටන් ගත්තහම සමහරු හිතන් ඉන්නවා සිගරට් බොන එක නැවැත්තුවා කියලා.

ඒ අදහස හරි. නමුත් එයා තවමත් නිකොටින් උගුලට අහුවෙච්ච කෙනෙක්. එයාගේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. නිකොටින් තියෙන මොකක් හරි ආදේශකයක් හැටියට පාවිච්චි කරනවා නම් ඒයා සිගරට් බිව්වේ නැති වුනාට තවමත් නිකොටින් උගුලට අහුවෙලා ඉන්න කෙනෙක්. ටොපි, චොකලට්, චුයින්ගම් කෑවහම වෙන්නේ නිකං බර වැඩිවන එක විතරයි.අර අසහනකාරී හැඟීම තාවකාලිකව යටපත් වුනත් පස්සේ දවසක සිගරට් බොන්න පටන් ගන්නවා.

එතකොට සිගරට් එක නවත්වන්න තියෙන ස්ථිර හා පහසුම ක්‍රමය මොකක්ද? ඒක තමයි අපිට වැදගත්ම දේ සිගරට් එක මං නවත්වන්න  ඕනේ කියන මානසිකත්වයට මුලින්ම එන්න  ඕනේ. ඊට පස්සේ මං විස්තර කරලා දීපු කරුණු කාරණා ඔස්සේ හිතා බලලා තේරුම් ගන්න  ඕනේ සිගරට් එකෙන් මං බලාපොරොත්තුවෙච්ච ප්‍රතිලාහ මට ඇත්තටම දුන්නාද කියලා. සිගරට් එක බොන්න තමන්ට තිබිච්ච සාධාරණ හේතු මුලාවක් කියලා තේරුම්ගත්තම සිගරට් එක, එක රැයින් නවත්වන්න පුළුවන්.

මේ ගැන පොතක් ලියලා තිබෙන බව ඔබ තවමත් නොදන්නවා ඇති. දවසකට සිගරට් 100ක් බීලා පහසු මග අනුගමනය කරලා සිගරට් නවත්තපු ඇලන් කාර් කියන කතුවරයා ලියපු භාෂා 40කට පරිවර්තනය වෙච්ච EASY WAY TO STOP SMOKING කියන පොතේ සිංහල පරිවර්තනය. මේ පොත කියවා බලන අයෙකුට පොත කියවලා ඉවර උනාම ආයේ සිගරට් එකක් බොන්න අදහසක් ඔලුවට එන්නේ නැහැ. සිගරට් බොන කෙනෙකුට පොත කියවන ගමන් උනත් සිගරට් බොන්න පුළුවන්.තාවකාලිකව සිගරට් බොන එක  නවත්තලා ඉන්න කෙනෙක් නම් එහෙම නොකළාට කමක් නැහැ. පොතේ තියෙන්නේ ඇලන් කාර්ගේ ජීවිත කථාව. එයා සිගරට් එක එක රැයින් නැවැත්තලා ප්‍රීතිමත් මිනිසකු වෙච්ච හැටි පොතේ විස්තර වෙනවා. පොත කියවාගෙන යනකොට සිගරට් එක ගැන තියෙන මුලා සහගත අදහස් ඉවත්වෙලා යනවා.

සිගරට් එකනැවැත්තුවහම එන දැඩි හැඟීම මුහුණ දීලා නිදහස් මොහොත උදාකරගෙන යළි කිසිම දවසක සිගරට් එකක් කටේ තියන්න ඕන වෙන්නැති කෙනෙක් බවට පත්වෙන හැටි සරල භාෂාවෙන් විස්තර කරලා තියෙනවා. මේ පොත සහනදායී මිලකට පනාගොඩ හා නාරාහේන්පිට යුධහමුදා රෝහල්වලින් ලබාගන්න පුළුවන්.  සිගරට් එකෙන් නිදහස් වෙලා සතුටින් ජීවත්වන්න කැමති දහස් ගණනක් අපි අතරේ ඇති. ඒ වගේ අයට නොමිලයේ උදව්කරන්න මං කැමතියි. මට කථාකරන්න-0777812514

වෛද්‍ය ධනුෂ්ක දිසානායක
සම්බන්ධීකරණ ලේකම්
නිරෝගී හමුදාවක් - නීරෝගී දැයක් වැඩසටහන
යුධ හමුදා රෝහල
නාරාහෙන්පිට