අන්තගාමී කාමාශාව


මානව වර්ගයාගේ යහපැවැත්ම තහවුරු කිරීම සඳහා සොබා දහම විසින් විවිධ උපාය උපක්‍රම යොදාගෙන තිබේ. ඒ අනුව වර්ගයා බෝ කිරීම හා සම්බන්ධ ස්ත්‍රිය හා පුරුෂයා අතර බැඳීම් ඇති කරන ප්‍රේමනීය හැඟුම් උද්දීපනය කිරීමේ සංකීර්ණ ක්‍රියාවලියක් ද දායාද කර ඇත්තේ ය. ඒ අනුව විවාහ ගිවිස ගැනීම් හා දරුවන් හදා වඩා ගැනීම්වලින් යුත් ප්‍රීතිමත් පවුල් සංස්ථාවක් නිර්මාණය වී තිබේ.

එහෙත් මානවයාගේ මානසික හා කායික අවශ්‍යතා එක සමාන නො වේ. එබැවින් සොබා දහමේ අවශ්‍යතාවලින් බැහැරව සිත සහ කය ක්‍රියාත්මක කරන්නට මානවයාගේ නැඹුරුතාවන් ද දක්නට හැකිය. ලිංගික ක්‍රියාවලිය ද මානවයාගේ සතුට හා තෘප්තිය සඳහා සොබා දහම දුන් ත්‍යාගයක් වැන්න. එහෙත් එය අසාමාන්‍ය ලෙස භාවිතා කිරීමට යාම නිසා මානසික රෝග තත්ත්ව ද ඇතිවිය හැකිය. ඒ රෝග තත්ත්වයන් ගැන මඳක් විමසා බලමු.

ලිංගික රුචිකත්වය පිළිබඳ ඇති රෝග තත්ත්වය හඳුන්වනු ලබන්නේ අන්තරාදායී කාමාශාව පිළිබඳ අවුල් සහගත තත්ත්වය (Paraphelia) ලෙසයි. පුනරාවර්තනය වෙමින් (Recurrent) එනම් නැවත නැවතත් මතකයට, සිහියට නැංවෙමින් ප්‍රබල ලෙස (Intensely) ක්‍රියාත්මක වීම් මෙහිදී දක්නට ලැබේ. ලිංගිකව උත්තේජනය වූ විචිත්‍ර කල්පනා. මන:කල්පිත සිහින ලෝක (Fantasy) තුළ මහත් ආශාවන් පෙලඹවීම් හෝ චර්යාවන් හේතුවෙන් අසහනයටත් ක්‍රියාකාරිත්වයේ දුර්වලතාවන්ටත් පත්විය හැකිය. මෙම තත්ත්වයේ දී සත්ත්ව ලෝකයෙන් බැහැරව අජීවී ද්‍රව්‍ය තම ලිංගික සන්තර්පනය සඳහා යොදා ගනී.

මේ අතර ළමයින් හෝ ඒ සඳහා නොකැමති වැඩිහිටියන් හෝ යොදා ගනු පෙනේ. මෙවැන්නන් තමන්ට හෝ තම සහකරුට (Partner) විවිධ ආකාරයේ හානි සිදුකරනු දැක ගත හැකිය. මෙම රෝග කාණ්ඩය සමග තවත් රෝග කාණ්ඩ අටක් DSM-5 හි සඳහන් කර තිබේ. මෙම පැරපීලියා (Paraphelia) තත්ත්වය කරුණු තුනක් මත අසාමාන්‍ය බව හඳුනාගෙන තිබේ. මේ කාරණා සමාජයේ බොහෝ දෙනා අසාමාන්‍ය වූ ඒවා සේ පිළිගනිති. මෙම ලිංගික ආශාව (Urge), කැමැත්ත නිසා අනෙකාට හානි සිදු වේ. එසේ ම එම පුද්ගලයාට ද නොයෙක් ඛේදවාචකයන්ට මුහුණ දීමට සිදු වේ. මෙම රෝග තත්ත්වය සඳහා බලපාන මූලික හේතු සම්පූර්ණයෙන් ම නම් තාමත් හඳුනාගෙන නැත. නමුත් විෂාදය, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම සහ ඩිමෙන්ෂියා රෝග තත්ත්වය ද ඒ සඳහා බලපානු ඇත.

ලිංගික ක්‍රියාකාරිත්වය සඳහා යම් යම් අජීව ද්‍රව්‍ය, මත්පැන් කෙරෙහි ඇති දැඩි ආශාව, කැමැත්ත මත හඳුනාගත හැකි රෝග තත්ත්වයන් ආකාර තුනකින් දැකිය හැකිය. මේ වස්තූන් රාගෝත්පාදක (Fetish, Fetich) හෝ කාමෝද්දීපන වස්තු (Sexual objects) ලෙස හඳුනා ගැනීමට පුළුවන. මේ නිසා ඇතිවන රෝග තත්ත්වය (fetishism) ඇත්තන් ලිංගික උද්දීපනය සඳහා භාවිතා කරනුයේ පුද්ගල නොවන ද්‍රව්‍ය නැතහොත් වස්තූන් ය. මේවා (Inanimate objects) අජීව වස්තූන් ලෙස හැඳින්වේ. මේ තත්ත්වයන් ගැන සොයා බැලීමේ දී හඳුනාගෙන ඇත්තේ මේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන් ම වාගේ පුරුෂයන් තුළ පමණක් දක්නට ලැබෙන බවය. එසේ ම මේ අය විසමලිංගික (Heterosexual) යන් ලෙස හැඳින්වේ.

මෙවැන්නන් ඔවුන්ගේ ලිංගික උද්දීපනය සඳහා භාවිතා කරන වස්තූන් විවිධාකාර වේ. උදාහරණ ලෙස කාන්තා යට ඇඳුම්, රබර් ඇඳුම් (Rubber garments) වැනි දේ භාවිත කරනු දක්නට හැකිය. ඒවා තමන් ළඟ, සමීප කර තබා ගැනීමට රුචියක් දක්වනු පෙනේ. මේ කාන්තා යට ඇඳුම්වල ගඳ සුවඳ (Smell) සහ අතට, ඇඟට දැනෙන සුවපහසු සංවේදී බව (Texture) වැනි කාරණා ඔවුන්ගේ ලිංගික උද්දීපනය සඳහා භාවිතා කෙරේ. මෙවැනි පුද්ගලයන් තමන් ආශා කරන එවැනි වස්තූන් සොරකම් කරන්නට පෙලඹෙන බව ද දැක ගත හැකිය. ගෙවල් මිදුල්වල වනා ඇති රෙදිවැලවල් ගැන ඇස ගසාගෙන ඒවායින් තමන් කැමති දේ සොරා ගන්නා අය ගැන අපි අසා ඇත්තෙමු. ඔවුන්ගේ එම ක්‍රියාවන් හේතුවෙන් නීතිමය ගැටලු හා සමාජයේ දෝෂ දර්ශනයට ලක්වීමට හා නින්දා අපහාස විඳීමට ද සිදුවනු ඇත.

මේ අතර තවත් ඇතැම් පුද්ගලයින් තමන්ගේ අවශ්‍යතාව සඳහා අන් අයට බාධාවක් නොවන සේ තමන් ම කඩ සාප්පුවලින් මිලදී ගැනීමෙන් තම කාර්යය ඉටුකර ගන්නා බව ද කිව යුතුය. මේ ක්‍රියාවලිය නිතර නිතර සිදුකරමින් සිටීම නිසා එමගින් තමන්ට දැඩි මානසික අසහනකාරී වාතාවරණයක් ගොඩ නැගෙමින් පවතී. ඒ සමග ඔවුන්ගේ දෛනික කටයුතුවල ගුණාත්මකභාවය සහ ඵලදායීතාව අඩුවීම කාමෝද්පාදී අපිළිවෙළ (Fetishtic) ලෙස හැඳින්වෙයි. මෙහි ගැටලුවක් වන්නේ මේ චර්යාවේ ප්‍රතිඵල ලෙස තම සහකරු සමග සබඳතා අඩුවීම හෝ ගිලිහී යාමයි. එසේ ම නීතිමය ගැටලුවලට මැදිහත් වීමට සිදු වීමත් හඳුනා ගැනීමට පුළුවන. බොහෝ විට ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් සමග සමගාමී ව මේවා ද සිදු කරයි.

මීළඟට කාමෝද්පාදක ප්‍රතිලිංගිකවේශකාමය (Fetishistic Transvestism) නම් රෝග තත්ත්වය ද හඳුනාගත හැකිවේ. මෙම රෝගින් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් නිතර නිතර ඇඳීමට රුචිකත්වයක් දක්වන අතර ඒවා ලිංගික උද්දීපනය සඳහා යොදා ගැනේ. මෙම ස්වභාවය දක්නට ලැබෙන්නේ පූර්ණ වශයෙන් ම පිරිමි අය තුළ පමණක් වීම ද විශේෂත්වයකි. මෙහි දී සමහරවිට එක් ඇඳුමක් හෝ කීපයක් විය හැකිය.

සාමාන්‍යයෙන් මෙම තත්ත්වය මල්වර වියෙන් පසුව වෙනස්වීම දැකගත හැකිය. සාමාන්‍යයෙන් මෙම රෝගී තත්ත්වයේ පසුවන්නන් ඒවා සිදු කරන්නේ ඉතා රහසිගත ලෙස ය. එබැවින් ඔවුන් කාන්තා ඇඳුම් යටට ඇඳ බාහිර ලෙස පිටතින් සාමාන්‍ය පිරිමි ඇඳුම් අඳිනු හඳුනාගත හැකිය. නමුත් ඇතැම් අවස්ථා වල දී සමාජය තුළ ද විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුමින් සැරසී යන අවස්ථා ද දැකිය හැකිය.

පරලිංගික හෙවත් ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ මානසිකත්වය (Transexualism) තත්ත්වයේ දී ප්‍රතිවිරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් පැලඳුම් භාවිතා කළ ද එය යොදා ගන්නේ ලිංගික උද්දීපනය සඳහා නොවේ. එබැවින් මේ රෝග තත්ත්වය ප්‍රතිලිංගිකවේශකාමය (Transvertism) ස්වභාවයෙන් වෙනස් ය. ලිංගභේදය අනුව ඔවුන් පිරිමින් ලෙස හඳුනාගත හැකි වුවත් ඔවුන්ගේ ලැදියාව ගැහැනුන් ලෙස සිටින්නට ය. ගැහැනුන් ලෙස පෙනී සිටිමින් පිරිමින්ගේ ආකර්ෂණය ඔවුන් වෙත ඇදගන්නට ඔවුහු උත්සුක වෙති. කාන්තාවන් ලෙස පිරිමින් ඉදිරියේ කිසියම් රඟපෑමක් කරමින් ඔවුන් හා සමලිංගික සේවනයට ලැදිවීම ඔවුන්ගේ ස්වභාවයයි. කටහඬ පවා කාන්තාවන්ගේ විලාසයම හුරුව ගෙන සිටිනු දැකිය හැකිය. සිංගප්පූරුව, ඉන්දියාව වැනි සමහරක් රටවල ඔවුන් බහුල වශයෙන් කණ්ඩායම් ගැසී සිටිනු ද දැක ගැනීමට පුළුවන.

ළමා කාමය නොහොත් ළමයින් කෙරෙහි යොමු වූ කාමාශාව (Paedophilia) සහිත අය ක්‍රියාත්මක වන්නේ මල්වර නොවු දරුවන් සමග ය. ඔවුන්ගේ මනෝ ලෝකය (Fantasy) තුළ සැරි සරමින් තමන්ගේ ලිංගික ප්‍රබෝධය (Sexual) සඳහා දරුවන් යොදා ගැනීමට ඔවුහු පෙලඹෙති. එසේ ම තම ලිංගික ආශා තෘප්තිමත් කර ගැනීම සඳහා ඇති ප්‍රධානම හා එකම ක්‍රියාමාර්ගය එය බවට පත් කර ගනිති. මෙම තත්ත්වය ද බොහෝ විට පිරිමින් තුළ දක්නට ඇතත් (Paedophelia) ළමා කාම මනෝභාවය දුර්ලභ නොවන අතර එය කලාතුරකින් ලිංගික ක්‍රියාකාරකම් දක්වා යන බව හඳුනාගෙන තිබේ.

මෙහි දී ගොදුරුවන දරුවන් සාමාන්‍යයෙන් අවුරුදු 9 ට වැඩි මල්වර වියට පත් නො වූ දරුවන් බවත් එය සමාන ‍හෝ විරුද්ධ ලිංගිකයන් විය හැකි බවත් දක්නට ලැබේ. මෙහිදී ආදරයෙන් සුරතල් කිරීම (Fondling) හස්තෝපක්‍රමය (Masturbation) හෝ සම්පූර්ණ ලිංගික සංසර්ගය (Full coitus) සිදු කිරීම මගින් දරුවාට හානි කෙරේ. අවසානයේ ගොදුරු වු දරුවා ඝාතනය කිරීම දක්වා එය සිදු කෙරේ. පසුගිය දිනක වයස අවු. 9ක් වූ පාසල් දැරියක රවටා කැළෑවටක රැගෙන යන්නට උත්සාහ කළ එවැනි රෝගියකු ගැන මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඊට පෙර එවැනි ම දැරියක වු ''සේයා" නම් දැරිය දූෂණය කර ඝාතනයට ලක් කළ රෝගියා ඊට දෙමසකට පෙර ද එවැනි ම දරුවකුට අතවර කිරීම ගැන චෝදනා ලැබ සිරගතව නිදහස් වූ අයකු බව මාධ්‍යවලින් හෙළිකර තිබුණි. මෙවැනි රෝගීන් සිරගත කර පසුව යළි නිදහස් වුවත් කරන්නේ එයම ය. අවශ්‍ය වන්නේ ඔවුන්ට මානසික ප්‍රතිකාර ලබා දී රෝග තත්ත්වයන්ගෙන් මුදවා ගැනීමය.

කරුණාතිලක හඳුන්පතිරණ