රවි අපලය පරදන්න පිනට යොමුවෙන්න


ජ්‍යෙdතිෂය අනුව අනාවැකි කීම, භාෂාවක්‌ පරිවර්තනය කිරීමට සමානය. කේන්ද්‍ර පරීක්‍ෂාවක්‌ කර ඔබේ අනාගත සිදුවීම් පැවසීමට භාවිත කරන හඳහනේ එම සිදුවීම් කිසිවක්‌ ලියා නැත. ඒ වෙනුවට ඇත්තේ ඔබ උපන් වේලාවේ අහසේ ගමන් කරමින් තිබූ ග්‍රහතාරකාවන්ගේ සටහනක්‌ පමණි. රවි, චන්ද්‍ර ආදී ග්‍රහයින්ගේ නම් හා ඒ ඒ ග්‍රහයින් ගමන් කළ මේෂ, වෘෂභ, මිථුන ආදී රාශීන්ද නැකත් තරු ආදී විස්‌තර ද සඳහන් කරන බැවින් "සඳහන" යන වචනයෙන් මිදී "හඳහන" යන වචනය සෑදී ඇති බවද කියෑවේ.

එසේ ග්‍රහ තාරකා වලට සම්බන්ධ වචන දෙස බලා අනාවැකි කීම යනු භාෂාවක්‌ පරිවර්තනය කිරීමට සමාන යෑයි කියන්නේ එබැවිනි. එහෙත් එසේ අනාවැකි කියන විට හෝ ලියන විට භාවිත කරන වචන නිසා ජ්‍යෙdතිෂය පිළිබඳව බොහෝ දුර්මත හා වැරදි වැටහීම් ඇතිවී තිබේ. සූර්ය දිව්‍ය රාජයා, රාහු අසුරේන්ද්‍රයා, හෙනහුරා වැනි වචන නිසා ග්‍රහයින් දෙවිවරුන් ලෙස සැලකීම එවැනි වැරදි වැටහීමකි. එමෙන්ම සෙනසුරු දුක දෙනවා ගුරු ධනය දෙනවා රාහු ඇවිද්දවනවා වැනි ප්‍රකාශවලින්ද ග්‍රහයින් දුක හෝ සැප දෙන බවක්‌ කියෑවේ. මෙවැනි ප්‍රකාශනවලට සවන් දෙන බොහෝ උගතුන් ද විද්‍යාව හදාරන ශිෂ්‍යයන් ද ජ්‍යෙdතිෂය මිථ්‍යා මතයක්‌ ලෙස බැහැර කිරීමට පෙළඹීම පුදුමයක්‌ නොවේ. මේ පිළිබඳව ස්‌කන්ධ පුරාණය නම් මූලික පැරැණි ග්‍රන්ථය උපුටා දක්‌වන දශා ප්‍රදීපයේ සඳහන් වන්නේ "ග්‍රහ අපල වනාහී මනුෂ්‍යයාගේ පූර්ව කර්ම විපාකයම වේ" යනුවෙනි.

යම් දෙයක්‌ ඉගැන්වීමේදී වචන රාශියක්‌ දීර්ඝ ලෙස විස්‌තර කරනවාට වඩා සටහනකින් පෙන්වීම මගින් අවබෝධකරදීම පහසුය. එබැවින් පුරාණ සෘෂිවරු විසින් ග්‍රහයින් පිළිබඳ විස්‌තර කරන විට දේව රූප මගින් එම පැහැදිලි කිරීම් කර තිබේ. මේ හැර ග්‍රහයින් යනු දෙවියන් අසුරයින් හෝ වෙනත් සත්වයකු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය.

ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රයේදී හඳහන යනු පෙර කර්ම ගැන විස්‌තර කරන සටහනකි. යම් පුද්ගලයකු මෙලොව උපදින විට ඊට හේතු වන්නේ කර්ම විපාකයකි. ඒ උපත ලබාදුන් ජනක කර්මය හා අනෙකුත් කර්ම විපාක දෙන ආකාරය හා ඒ ඒ කාලයට ග්‍රහ තරකා පිහිටන ආකාරයත් අතර සුවිශේෂ සම්බන්ධයක්‌ තිබේ. ග්‍රහයකු උපතේදී හා මේ කාලයේදී පවතින තත්ත්වය මත ගත වන්නේ පින් පලදෙන කාලයක්‌ද නැතහොත් පව් පලදෙන කාලයක්‌ දැයි උගත් ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රඥයකුට කිව හැකිය. අනාවැකි කීමේ පදනම මෙයයි.

මේ හැර කිලෝ මීටර් ලක්‍ෂ, කෝටි ගණන් ඈත අහසේ පිහිටි ග්‍රහයින් විසින් මිනිසුන්ට අපල කරන්නේ නැත. මෝටර් රථයක වේගය එහි වේග මාපක මීටරයක්‌ මගින් පෙන්වනවාක්‌ මෙනි. රියෑදුරු වේගය වැඩි කළා මිස මීටරය එය කළේ නැත. එහෙත් මීටරය ඒ බව හඟවයි. රතු බල්බය දැල්වී අනතුර හඟවයි. එය බල්බය කළ දෙයක්‌ නොවේ. එමෙන්ම අපල යනු ග්‍රහයින් කළ දෙයක්‌ නොවේ.

අප විසින් පෙර ආත්ම භව වලදී කළ අකුසල කර්මවල විපාක ග්‍රහ අපල ලෙස හැඳින්විය හැකිය. අකුසල කර්ම විපාක යටපත් කළ හැක්‌කේ අකුසලය හඳුනා ගැනීම හා ඊට ගැලපෙන කුසල කර්ම කරමින් එහි බලය මැඩ පැවැත්වීම මගිනි.

මෙතැන් සිට රවි, චන්ද්‍ර ආදී ග්‍රහයින් පිළිබඳව කෙටි විස්‌තරයක්‌ කරමින් ඒ ඒ ග්‍රහයින්ගේ අපල ඊට හේතු හා ප්‍රතිකර්ම පිළිබඳව විස්‌තර කිරීමට අදහස්‌ කරමු.

සූර්යයා හෙවත් රවි ග්‍රහ මණ්‌ඩලයේ ප්‍රධානියා වන්නේය. අනෙක්‌ ග්‍රහයින් කැරකෙන්නේද රවි මතය. එම සියලු ග්‍රහලෝක ආලෝකය ලබා ගන්නේද රවිගෙනි. අන් ග්‍රහයින්ට වඩා විශාල වූ ද බර වූද, ශක්‌තිමත් වූද, රවිගෙන්ම දවස උදාවන්නේය. උදෑසන හිරු පරිසරයද ප්‍රබෝධමත් කරයි. අඳුර දුරුවෙයි. හිරු සවසට බැස යන විට ඒ ගතිය දුරුවෙයි. හිරු නොදකින රාත්‍රිය කළුවරය. අන්ධකාරය. ගස්‌ කොළං පවා රාත්‍රියට නිහඬව නිදයි. ආදී මිනිසුන් සූර්යයාට වන්දනා කළේද මේ බලය නිසා විය හැක. සූර්යයා සතු මේ ගති ලක්‍ෂණ හොඳින් අවබෝධ කර ගැනීම මගින් ඔබේ කේන්ද්‍රය රවිගේ බලය හා දුබල බව නිසා ඔබට ලැබෙන සියලු දේ දැනගත හැකි වන්නේය.

ඔබේ උපත සිදුවූයේ මධ්‍යහ්න කාලයේ නම් කේන්ද්‍රයේ 10 වැනි කොටුවේ රවි සටහන් වනු ඇත. ඒ රවි ඉතා බලවත් වන වේලාවය. මෙයට දික්‌ බලය යෑයි කියනු ලැබේ. මේෂ රාශියේ රවි උච්ච බලය ලබයි. සිංහ රාශියේ ස්‌වක්‍ෂේත්‍ර නම් බලය ලැබේ. මධ්‍යම රාත්‍රියේ උපන් අයගේ රවි කේන්ද්‍රයේ 4 වැනි කොටුවේ සටහන් වනු ඇත. එය දුර්වලය. තුලා රාශියේ නම් රවි නීච නැති දුබල බවට පත්වේ.

හිරු දවාලට දෙන ඉහත උසස්‌ ගති ගුණ හිරු බලවත් අයටද රාත්‍රියට දෙන දුබල බව කේන්ද්‍රයේ හිරු දුර්වල අයට ද හිමිවේ. ඒ කර්ම විපාක වශයෙනි.

ග්‍රහලොව හිරු බලවත් වන්නාක්‌ මෙන්ද අන් අයට තම ආලෝකය දෙන්නාක්‌ මෙන්ද බුදු, පසේ බුදු මහරහතන් ආදී උතුමෝද මව් පියන්ද, සත්පුරුෂ ස්‌වාමිවරුන්, ඔබගේ ජීවිතයට ආලෝකය ලබාදෙන අය වෙති. මේ උතුමන්ට ගරු කළ උපකාර කළ උවටැන් කළ අයගේ කේන්ද්‍රයේ රවි බලවත් වෙයි. ඒ අය සමාජයේ කැපී පෙනෙන දක්‍ෂතා ඇති නායකත්ව ගති ගුණ ලබන අනුන්ගෙන් ගරු සම්මාන ලබන රාජ්‍ය තනතුරු ලබන අය වනු ඇත.

එමෙන්ම ඉහත අයට අපවාද අපහාස කළ, පහර දුන් අයගේ රවි දුර්වලව රවි අපලය උදාකරයි. මෙවැනි අය රාත්‍රි කාලයේ හිරු මෙනි. කිසිදු තේජසක්‌ ආලෝකයක්‌ නැත. පෞරුෂත්වයක්‌ නැත. සභාවක කැපී පෙනෙන්නේ නැත. රවි අපලය ලබන විට තනතුරු අහිමි වේ. රාජ දඬුවම් ලැබේ. තනතුරුවලින් පහළ වැටේ. රාජ්‍ය බලය අහිමිවේ. රජයේ සේවයක සිටීනම් ඈත පළාතකට මාරු කරයි. පියාගේ දේපළ අහිමි වේ ඌෂ්ණාධික පරිසරවල වාසය කිරීමට සිදුවේ.

පිත්aතාධික රෝග දැවිල්ල උණ, හිසේ අමාරු, ඇස්‌ රෝග හට ගනී. පිරිමි අයගේ දකුණු ඇසත් ස්‌ත්‍රියගේ වම් ඇසත් දුර්වල වේ. රැකියා කරන ස්‌ථානයේ ප්‍රධානියා අමතක වෙයි.

කේන්ද්‍ර පරීක්‍ෂාවකින් රවි අපලය හඳුනාගත යුතුය. එවිට රවිට අදාළ ශාන්ති කර්ම කළ යුතුය. ශාන්ති කර්ම යනු කුසලකර්ම වේ. රවි හිමි ද්‍රව්‍ය දානය දීම රවි හිමි අයට වතාවත් කිරීම හා ඒ සඳහා රවිදින හෝරා යොදා ගැනීම මගින් අපල යටපත්වී භුභඵල උදා කරන්නේය.

රවි අපලයක්‌ ඇති විට නායකත්වය ලැබීමට බාධා ඇති කරන බැවින් දේශපාලනය කිරීම, නායකත්වය සඳහා සටන් කිරීම සුදුසු නැත. එමෙන්ම අව්වේ වැඩ කිරීම, උෂ්ණාධික ආහාර ගැනීම, වතුර බීම අතපසු කිරීම සුදුසු නොවන්නේය.

බුද්ධ පූජා බෝධි පූජා තබන විට රවි දින රවි හෝරාව ශුභය. රතු නෙළුම් මල්, දාස්‌ පෙතියා මල්, සූර්යකාන්ත මල්, වී පොරි, විළඳ මිශ්‍ර කිරි ආහාර උක්‌ හකුරු සමග පූජා කරන්න. ඒවා අංක 1, 10, 100 ආදී ලෙස අංක 1 වන සේ එකතුව ලැබෙන සංඛ්‍යා සුදුසුය. අභිසම්බිදාන යන්ත්‍රය පැළඳීමට ශුභය.

තවද ඇස්‌ අන්ධ අයට උපකාර කිරීම, සතුන්ට ආහාර හා වතුර බීමට දීම, පිපාසයෙන් පෙළෙන අයට සිසිල් බීම තැඹිලි ආදිය දීම මව්පියන්ට උපස්‌ථාන කිරීම ශුභය.

රවි අපලය ඇති විට බුද්ධ පූජා, බෝධි පූජා තබා සූර්ය පිරිත කියවීම මැනවි. මෙම පූජා තබා ශක්‍ර දෙවියන් ඇතුළු දෙවියන්ට පිං දීම ආදිය මගින් රවි අපලය මග හරවා ගෙන ශුභ ඵල උදාකර ගත හැකි වන්නේය.

සුනිල් කුමාර ගම්ලත්
උපුටා ගැනීම - දිවයින පුවත්පත