බුදුපියාණන්ටත් තුන්වරක්‌ අපල කළ සෙනසුරු ඒරාෂ්ඨකය


කලියුග වර්ෂ 2458 න් මතු වෙසක්‌ මස පුර පසළොස්‌වක නම් තිථියලත් කුජදින මධ්‍යහ්නයෙහි විසා නැකතේ ප්‍රථම පාදයෙන් කටක ලග්නයෙන් දඹදිව කෝසල රජයට අයත් ශාක්‍ය ප්‍රාන්ත රාජ්‍යයේ කපිලවස්‌තුපුර ලුම්බිණි නම් මහා සල් උයනේදී සිද්ධාර්ථ කුමරුන්ගේ උපත සිදුවී ඇත. ජන්ම ඒරාෂ්ටක අපලයෙන් උපන් සිදුහත් කුමරුගේ ලග්නය කටක වෙයි. 1 ගුරු රාහුද 4 ශනි චන්ද්‍ර ද 7 කුජ කේතුද 8 - 9 සිකුරුද 10 රවි, බුද ග්‍රහයන් ද ව්‍යාස සෘෂිවරයා තම පුතු පරාශරටද කියාදී ඇති හඳහන නිවැරදි හඳහන ලෙස පිළිගැනීමට බොහෝ සාධක තිබේ.

සෙනසුරූ ඒරාෂ්ටක අපලයකදී පහත සඳහන් පරිදි අපලය විපාක දෙයි. ළඟම ඥාතිනීගේ මරණ, ශෝක වේදනා, නින්දා අපහාස, චෝදනා එල්ලවීම්, හදිසි අනතුරු ඇතිවීම, රැකී රක්‌ෂා අහිමිවීම, දරන තනතුරෙන් හා තත්ත්වයෙන් පහත වැටීම, කායික, මානසික දුක්‌ පීඩා හා කරදර යෙදීම, සම්රෝග, වාත රෝග, අඹුදරු ඥාති හිතමිතුරන්ගේ ප්‍රශ්න, කරදර ඇසීමට දැකීමට සිදුවීම, සොර සතුරු කරදර, උන්හිටිතැන් අහිමිවීම, දුක්‌ විඳින කල්පවතින රෝග ඇතිවීම සැප ලැබීමේ වාසනාව තිබුණත් ඒවා විඳීමේ වාසනාව යටපත්වීම ද, සේවාදායක දායකකාරකාදීන්ගෙන් ප්‍රශ්න, කරදර ඇතිවීම කරන්නට සැරසෙන හැම කටයුත්තකටම බොහෝ සේ බාධා ඇතිවීම මතකය කල්පනාව අඩුවීම, අනුවන ක්‍රියා සිදුකිරීම, අලසවීම හා උදාසීන ගතිද ඇති කරයි.

සිදුහත් කුමරු උපත ලබා ඇත්තේද අෂ්ඨක ඒරාෂ්ඨක අපලයෙනි. උප්පත්තියෙන් දින 7 කට පසු මව මියයැම, මහාමායා දේවියගේ මරණින් මව්කිරි හා මව් සෙනෙහස අහිමිවීම ද, කොතරම් සැප සම්පත් තිබුණද ගසක්‌ යට උප්පත්තිය ලැබීමටද මෙම අපලය හේතුවී ඇත.

මෙම උප්පත්තියෙන් වසර 29 කට පසු සෙනසුරු අෂ්ඨක ඒරාෂ්ඨක අපලයේ දෙවන අවස්‌ථාවට එළඹීණි. එවිට සෙනසුරු මහ දශාවේ අඟහරු අන්තර් දශාව ලබා තිබිණි. පස්‌වැන්න හඳහනක දරුඵල කියන ස්‌ථානයයි. කටකයෙන් 5 වැන්න වූ වෘශ්චික රාශිය අධිපතියාද, අඟහරු ග්‍රහයාමය. ශනි, කුජ පුරුෂ දරු උපතක්‌ සිදුකරයි. උන්හිටි තැන් අත්හැර දමා යැමට ඉහත කී ඒරාෂ්ඨකය බලපා ඇත.

රාහු අන්තර් දශාවේ අනුවන වැඩට පෙළඹේ. දුෂ්කර ක්‍රියා කරයි. සම් මස්‌ නහර ඇටවලට ඇලී ඇට සැකිල්ලක්‌ බවට පවත්වනතුරු බුදු බව ලබා ගැනීම සඳහා වීර්යය වඩයි. එය අසාර්ථක උත්සාහයක්‌ විය. ගුරු අන්තර් දශාවේද, මධ්‍යම ප්‍රතිපදාවට පත්ම වීර්ය වැඩුවේද දස මරුන්ගේ බාධක කරදර බිඳ දමමිනි. අෂ්ඨක ඒරාෂ්ටකය කුජ රාහු ගෙවී තිබූ නිසා උත්සාහය ක්‍රමයෙන් සාර්ථක වූයේ බුධ මහ දශාවේදී බුද්ධත්වය ලැබීමෙනි.

පළමු ජන්ම ඒරාෂ්ඨක අපලය වයස අවුරුදු දහනවය විස්‌ස කාලයේදී ලබා ඇත. දෙවන ජන්ම ඒරාෂ්ඨකය වයස අවුරුදු 50 දී පමණ ලබා ඇත. ජන්ම ඒරාෂ්ඨකය වර්ෂ 7 1/2 ක්‌ තිබේ. අෂ්ටක ඒරාෂ්ටකය ඇත්තේ වසර 2 1/2 කි. වයස අවුරුදු 52 දී කේතු මහ දශාව ලබා තිබේ. චිංචිමානවිකාවන් බොරු දරු ගැබක්‌ පෙන්වා අපකීර්තියට පත් කිරීමට උත්සාහ කිරීමෙන් නින්දා අපහාස විඳීමට සිදුවිය. සුන්දරී පරිභ්‍රාජිකාව තීර්තකයින් විසින් දූෂණයකොට මරවා බුදු සමිඳුන්ගේ පරමල් ගොඩක සඟවා උපායශීලීව අපකීර්තියට පත්කිරීමට මිනිය රැගෙන ගමක්‌, නගරයක්‌ පාසා වීදි සංචාරය කර ප්‍රදර්ශනය කරමින් නින්දා අපහාස චෝදනා කිරීම සිදුවූයේ දෙවන ජන්ම ඒරාෂ්ටක අපලය තිබූ කාලයේදීය. වසර 30 කට වසරක්‌ සෙනසුරු ග්‍රහයා රාශි 12 පසුකරයි. 3 වැනි වතාවට සෙනසුරු ජන්ම ඒරාෂ්ඨක අපලය වයස අවුරුදු 79 දී පමණ ලබා ඇති බැව් සම්බුදු හඳහනට අනුව පිළිගත හැකිය.

සිකුරු අධිපති මාරක අපල ගෙනදේ. කේතු අන්තර් දශාව ඔත්පල කරවන රෝග ඇති කරයි. පාචන රෝග, අජීර්ණ, සමේ රෝග ඇති කරයි. මේ අනුව ලෝහිත පක්‌ඛන්දිකා රෝගය වැළඳුණි. පුරා වසරක්‌ව පැවතුන එම රෝගය සුවකිරීමට ජීවක වෛද්‍යවරයා ඇතුළු කිසිම අයෙකුට නොහැකි විය. භේෂඡ්ජ ඛාණ්‌ඩය කට පාඩම්ව සිටි ආනන්ද හාමුදුරුවන්ට හෝ කිසිදු රජවරයෙකුට සිටුවරයෙකුට මෙකී කර්ම විපාකාජා ආබාධ රෝගය සුවකිරීමට නොහැකි විය.

මේ අනුව බලන කල වෛද්‍යවරුන්ට සොයාගත නොහැකි යම් රෝග ජ්‍යෙdතිෂඥයන්ට හඳුනා ගැනීමට හැකි බව පිළිගත හැක. කර්ම විපාක වශයෙන්a රෝග හටගනී නම් බෙහෙත්වලින්ම පමණක්‌ රෝග සුවකරගත හැකිවේද? ශාන්තිකර්ම වශයෙන් බෝධිපූජා පැවැත්වීම කපුටන්ට දානයදීම තුළින් ඇතිකරගන්නා කුසල් සිත්වලින් පෙර සසර කරන ලද අකුසලකර්ම විපාක බොහෝ දුරට අඩුකරගත හැක.

සෙනසුරුගේ වාහනය කපුටා වෙයි. කපුටු දානය වශයෙන් එළඟිතෙල් මිශ්‍ර පහන්තිර සහිත කිරිබත් දානය කිරීම සෙනසුරු අපලයෙන් පීඩා විඳින්නන්ට බොහෝ ගුණදායකය.

පෙර කරන ලද අකුසල කර්ම නිසා ඒරාෂ්ටක අපල ලබා දුක්‌විඳින්නට සිදුවේ. නිතර නිතර පුණ්‍ය ක්‍රියාවන්හි යෙදීමෙන් මෙම අපල මර්දනය කරගත හැක. පව් නොකිරීම තුළින් විශාල බලයක්‌, ශක්‌තියක්‌ ඕනෑම අයෙකුට ලබාගත හැකි අතර ඉන් සමාජයටද වන සේවය අමිල බැවින් අද සිට පව් නොකිරීමට අදිටන් කර ගැනීම ඔබට අපට යහපත් වනු නොඅනුමානය.

ආයුර්වේද වෛද්‍ය ජ්‍යෙdතිෂවේදී 
සුගත් ශාස්‌ත්‍රානන්ද
සටහන- ධම්මික හේවාවසම්
උපුටා ගැනීම - දිවයින පුවත්පත