තොවිල් පවිල්වලදී මූලික වන හිරු දෙවියෝ


හිරු දෙවියන් පිළිබඳ විශ්වාසය බොහොම පැරැණියි. සමාජ විද්‍යාඥයන් කියන විදිහට නම් හිරු සඳු මුල්කර ගත්තු හුඟක්‌ පැරැණි මාස ක්‍රමයක්‌ අපට තිබිල තියෙනව. හිරු නැත්නම් සූර්යයා දෙවි කෙනෙක්‌ ලෙස සලකා පූජා කිරීමේ සිරිතක්‌ ග්‍රීසිය, බැබිලෝනියාව, මිසරය වගේ රටවලත් තිබුණ බව කියනව. ලංකාව ගැන ලියපු රොබට්‌ නොක්‌ස්‌ එහෙමත් නුවර යුගයෙදි සිංහල ජනතාව අතර සූර්ය වන්දනාව තිබුණු බව කියනව.

සිංහලයේ මහා සංස්‌කෘතික උත්සවය විදිහට පිළිගන්න අලුත් අවුරුද්ද හිරු දෙවියන් පිදීමක්‌ බව සමහර උගතුන්ගෙ අදහසයි. කමත් හෑල්ල කියන පැරැණි පොතක හිරු දෙවියන් ගැන මෙහෙම සඳහනකුත් හම්බවෙනවා. 

හිරු දෙවියෝ වැඩිය තැනේ

බොල් පිනි නොතිබෙයි එතැනේ

සඳ දෙවියෝ වැඩිය තැනේ 

කරුවල නොතිබෙයි එතැනේ 

මේ කවියෙන් නම් පේන්නෙ හිරු දෙවියන් කෙළින්ම අපේ කෘෂි නැත්නම් ගොවි ජීවිතය සමග බැඳී තිබුණු බවයි. කෙත කියන වචනය බෞද්ධ සාහිත්‍යයෙත් හරියට එනවනෙ. "පින් කෙත" කියලනෙ අපි කියන්නෙ. කොහොමටත් සිංහල ජන සංස්‌කෘතියෙනෙ ඔය ඇදහිලි විශ්වාස එන්නෙ. කෙත කිව්වෙ බත සකස්‌ කරන තැනට. ඒ බත හදාගන්ට පිහිට වෙන දෙවි කෙනෙක්‌ තමා හිරු දෙවියො. ඒ හින්දනෙ හිරු දෙවියන් බසින තැන බොල්පිනි නැහැ කියල කිව්වෙ.

හිරු දෙවියන්ගෙ තෙද බල ගැන ගණ දෙවි හෑල්ලෙත් කියනව.

සූරිය කුල ඇති ඉරු දෙවියන්නේ 

පෑවිය අණසක ලොව පවතින්නේ 

කාරිය සිතුවා සාදා දෙන්නේ 

සූරිය දෙවියනි නුවණක්‌ දෙන්නේ 

නුවණට නැත්නම් බුද්ධියට ප්‍රසිද්ධ ගණ දෙවියොනෙ. ඒ උනත් මෙතැන දී සූරිය දෙවියන්ගෙනුත් නුවණ ඉල්ලනව. දෙවියන්ට පූජා කරන, වන්දනා කරන නරයො ඒ දෙවියන්ගෙන් නොයෙක්‌ දේවල් ඉල්ලනව. ජීවිතේ පවත්වා ගෙන යන්ට පිහිටාධාර ඉල්ලන්නෙත් දෙවියන්ගෙන්නෙ.

හිරු දෙවියන්ගෙ බල මහිමය සිහි කරල පිහිට ඉල්ලන හැටි මේ කවියෙනුත් හොඳට ඔප්පු වෙනව.

බබළා උදය ගිරි මුදුනෙන් වඩින්නේ 

නොවළා අඳුරු බිඳ ලොව එළි කරන්නේ

දැකලා සියලු රෝ දුක්‌ දුරු කරන්නේ 

මෙකලා සොඳින් ඉරු දෙවි මා රකින්නේ 

සූර්ය දිව්‍ය රාජයාගෙ බල මහිමය ලෝකය පුරාම විහිදී ගිය එකක්‌. අන්ධකාරය දුරු කරල ලොවම එළිය කරන්නෙත් සූර්ය දෙවියො මිසක්‌ වෙන කවුද? විශාලා මහ නුවර තුන්බිය දුරු කරන්ට වැඩියෙ බුදුහාමුදුරුවොයි. ඒ උනත් ඒ විදිහට බණ පිරිත් වදාරන්ට කරුණු කාරණා ලෑස්‌ති කළේ සූර්ය දෙවියන්ගෙ මැදිහත් වීමෙන් කියල විශ්වාසයක්‌ ජනප්‍රවාදෙ එනව. හැබැයි එතන සූර්ය දෙවියන් ගැන කියවෙන්නෙ ග්‍රහයෙක්‌ විදිහට. ග්‍රහයො කියන්නෙ තාරකාවලටනෙ. රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු කියන නවග්‍රහයන් එදා විශාලා මහ නුවර අට කොණේ හිටිය බව සාහිත්‍යයේ සඳහන් වෙනව. බලියාගයේත් ඒක විස්‌තර කරනව. පන්තිස්‌ බලි අරවා, එනුවර උපන් රෝග දුරු කරවා බණ පිරිත් කළ බව ග්‍රහ පූජා කරන කොට එහෙම ගායනා කරනවනෙ.

මේ අනුව හිරු දෙවියන් වන්දනාව ක්‍රමයෙන් ග්‍රහ පූජාවක්‌ බවට පත්වෙන්ට ඇති කියලත් හිතන්ට පුළුවන්. නව ග්‍රහ ශාන්ති පූජාවල හිරුට හෙවත් රවිට කරන වර්ණනා හරිම ලස්‌සන ගායනාවන් ඇහෙනව. මිනිස්‌ ජීවිතයක පරම ආයුෂ අවුරුදු 120 යිනෙ. නැකැත් ක්‍රමය අනුව රවිට අවුරුදු 6 ක්‌ අයිතියි.

ඒ විදිහට සිකුරුට අවුරුදු 20 යි, අඟහරුට 7 යි, රාහුට 18 යි, සෙනසුරුට 19 යි, සඳුට 10 යි, බුදට 17 යි, ගුරුට 16 යි, කේතුට 7 යි, මේ බෙදීම තව වෙනස්‌ විදිහටත් එනව.

මේ අනුව මුලින් පිහිට ආධාර ඉල්ලලා කළ හිරු වන්දනාව ක්‍රමයෙන් ග්‍රහ පූජාවක්‌ බවට පත් වෙලා බවයි පේන්නේ. අනුරාධපුරයෙ අභයගිරි විහාරයෙ හිරු දෙවියන්ගෙ ප්‍රතිමාවක්‌ තිබුණු බව කියනව. පොළොන්නරුවෙ ශිව දේවාලෙනුත් එහෙම ප්‍රතිමාවක්‌ හම්බු වෙනව. ඊට පස්‌සෙ ආපසු මහනුවර කාලෙදි තමා හිරු දෙවියන් ගැන කියවෙන්නෙ. විශේෂයෙන් කෘෂිකාර්මික සමාජයක ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට එදා හිරු දෙවියන්ගෙ ප්‍රතිමාවලට පූජා කළ බවයි පේන්නෙ. අද උනත් සිංහල අවුරුද්ද කිsයල පවත්වන සිරිත්විරිත් මූලිකවම හිරු හා ජ්‍යෙdතිෂය අනුව වෙන දේවල්නෙ. 

මිනිසුන්ගෙ එදිනෙදා ජීවිතයට බලපාන්නෙ ග්‍රහයොයි කියල විශ්වාසයක්‌ තියෙනවනෙ. උපන් දවසෙ ඉඳල මැරෙන කල්ම මේ ග්‍රහදොස්‌වල අඩුවක්‌ නෑ. සිංහල බෞද්ධයන්ගෙ සිරිතක්‌ තමා උපන් වෙලාව අනුව කේන්දරයක්‌ හදන එක. හඳහන කියන්නෙත් ඒකටනෙ. තමන්ට අපල කාලයක්‌ එනවද කියල ඔවුන් දැන ගන්නෙ හඳහන බලලයි. ඒ විතරක්‌ නොවෙයි ජීවිතේ හැම හොඳ වැදගත් දෙයක්‌ම කරන්ට කලින් හඳහන බලනව. දරුවකුගෙ ඉඳුල් කට ගෑම, අකුරු කියවීම, වැඩිවිය පැමිණීම හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර විවාහය වගේ හැම දෙයක්‌ම කරන්නෙ ඒ හඳහන බලල නැකැත් හදාගෙන. සමහර පළාත්වල කෙනෙක්‌ මියගියහම ඒ මිණිය ගෙයින් එළියට ගන්නෙත් නැකතකටලු. 

ඉතින් මේ නැකැත් බලන්නෙ ග්‍රහයන්ගෙ බලපෑම කොහොමද කියල සුද්ධ කරගන්ට. ග්‍රහයන්ට පූජාවක්‌ විදිහට බලියක්‌ නැටීමේ සිරිතකුත් තියෙනව. ජීවිතයට බලපාන ග්‍රහයන් බලියෙන් අඹල තමා බලි පූජා කරන්නෙ. බල කවි ගායනා කරන ඇදුරා විපතට වැටුණු ආතුරයාගේ සිත සතුටු කරවන්ට ස්‌තෝත්‍ර ගායනා කරනවා. නවග්‍රහ පූජා අතරට තමයි බෝධි පූජාව හා පිරිත් කීම අයිති වෙන්නෙ. ඒ හැම තැනකදිම හිරු දෙවියන්ගෙ බලය ගැන කියවෙනව. ඒ විතරක්‌ නොවෙයි ගොවිතැනින් යෑපුණු සමාජයක හැම දෙයක්‌ම කෙරෙන්නෙත් නැකතටනෙ. ඒ නැකැත් කරද්දීත් හිරු දෙවියන්ව තමා සිහි කරන්නෙ.

ගොවිතැනට වුවමනා ප්‍රධාන කාරණා දෙකක්‌ තියෙනව. එකක්‌ හිරු එළිය - අනෙක ජලය. මේ දෙකම ලැබෙන්නෙ අහසින් බවයි ගැමි විශ්වාසය. අහස්‌ දෙවියො කියල අහසත් හඳුන්වන්නෙ වැඩි ගෞරවයටයි. වැස්‌ස වළාහක දෙවියන්ට පූජා කරන්නෙ වැසි නැත්නම් ජලය ඉල්ලලා. මුළු රටටම සෞභාග්‍යය උදාකරන්නෙ කෙතින් ලැබෙන සරු අස්‌වැන්නයි. ඒ අස්‌වනු ලැබුණෙ හිරු දෙවියන්ගෙයි තවත් දෙවිවරුන්ගෙයි පිහිට නිසා බව ගැමි ජනතාව හිතනව. ඒ සියලුම දෙවියන්ට පූජා කරන්නට තමා අලුත් සහල් මංගල්ලේ පවත්වන්නෙ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන්ගෙ කාලෙ වී අමුණු 18 ක්‌ වැපිරෙන අක්‌කර 30 ක්‌ විතර තියෙන ගුරුදෙණි කෙත දළදා මාලිගාවට පූජා කළ බව සඳහන් වෙනව. ඒ වෙල්යායෙන් ලැබෙන සහල් පූජා කරන්ට තමා අලුත් සහල් මංගල්‍යය සිද්ධ කරන්නෙ.

අලුත් සහල් මංගල්ලෙට නැකැත් බලල ගුරුදෙණියෙ තිබුණු සහල් ගබඩාවට ගිහිල්ල එතනින් හාල් අරගෙන එනව. විදානේ එක්‌ක ගමරාළලා හත් දෙනෙක්‌ දියවඩන නිලමෙතුමාට බුලත් හුරුලු එහෙම දීල තමා ඒ වී ගබඩාවලට ගියේ. දේවාල හතරෙ කපු මහත්තයල මංගල අෂ්ටක ගායනා කරනව. මඟුල් බෙර එහෙම වාදනය කරල ඊට පස්‌සෙ තමා මාලිගාවේ කාරිය කෝරළ තැන ලේකම් මිටිය කියවන්නෙ. එහෙම මාලිගාවට වුවමනා හාල් ප්‍රමාණය නියම කරල පස්‌සෙ තමා මුළුතැන් පූජාව කරන්නෙ. මේ පූජාවට හාල් සේරු 80 ක මහා කිරි බතක්‌ හදනව.

මේ හැම කටයුත්තකදීම හිරු දෙවියන්ගෙ ගුණය, බලය කියන ස්‌තෝත්‍ර ගායනා කරනව. ඒ වුනත් දැන් ඒ පූජා පෙරහැරවල් නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි වගේ දෙවියන් මුල්කර ගෙන සිදුවෙනව. ඒක කාලානුරූපව විකාශනය වෙන්ට ඇති. මොකද ජන ජීවිතය සමග වැඩිපුරම සමීප දෙවිවරුන් පිරිසක්‌ අද ඉන්නවනෙ. ඒ වගේම හිරු දෙවියන් ග්‍රහ දෙවියකු විදිහට සැලකීමේ සිරිතකුත් තියෙනවනෙ.

දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ බුදු හාමුදුරුවො මේ ලෝකය ගැන කරන අගනා විග්‍රහයක්‌ තියෙනවා. වාසෙට්‌ඨ බමුණටයි කරුණු කියන්නෙ. ඒ විස්‌තරයට අනුව එක්‌ කාලයක මේ සක්‌වලම එකම දිය කඳක්‌. එකම අන්ධකාරයක්‌. සඳු හිරු දෙදෙනාම නැහැ. නැකැත් තාරකා නැහැ. සෘතු භේද නැහැ. ස්‌ත්‍රී පුරුෂ කවුරුවත් නැහැ. කොහොම හරි මේ පොළව උඩ ඉන්න සත්ත්ව විශේෂය ආහාරයට ගන්නෙ මහ පොළවයි. ඒ මහ පොළව ඇඟිල්ලෙන් ඇනල දිව ගාල රස බලනව. 

මේ විදිහට බලද්දීත් පේන දෙයක්‌ තමා හිරු සඳු කියන්නෙ වෙනම විශේෂ වස්‌තූන් බව. ඒත් අපේ මුතුන් මිත්තන්ට විද්‍යාව වගේ ගැඹුරු කාරණා කවුරුවත් පෙන්නල දීලත් නැහැනෙ. ඒ හින්ද ඒ අය තමන්ගෙ ජීවිතේ ගලා ගෙන යන්ට උදව් කරන හැම දෙයකටම ගරුකළා. පූජා කළා. අද වෙනකොට හිරු දෙවියන් ඇතුලත් වෙන්නෙ නෑ. ඒත් ජීවිතය මෙහෙයවන ග්‍රහ මණ්‌ඩලයෙ ප්‍රධානියා හිරු බවට පත්වෙලා. ශාන්ති පූජා, බලි තොවිල්, ගම්මඩු, පූන මඩු වගේම කොහොඹා කංකාරිය වගේ තැන්වලදී නම් හිරු තමා මුල් වෙන්නෙ. ඇත්තටම අද හිරු දෙවියන්ටයි සඳු දෙවියන්ටයි අනික්‌ දෙවියන්ට වගේ දේවාල නැති වුණත් පුද පූජා, ග්‍රහ පූජාවල නම් අඩුවක්‌ නෑ.

ජී. එස්‌.