ජීවිත දෝශ නසන අං තට්ටුව


එකල ගෝණ අං තට්‌ටු අපේ ඇත්තන්ගේ ඉපැරැණි නිවාසවල ඉස්‌තෝප්පුවේ දෙපස සවිකර තිබෙනු දැකීම සුලබ දසුනකි. සාමාන්‍යයෙන් ගමේ ආරච්චිලා, ගම්මුලාදැනිවරු, විදානේවරු හා යමක්‌ කමක්‌ තියෙන ප්‍රභූවරුන්ගේ නිවාසවල මෙම ගෝණ අං තට්‌ටු සවිකර තිබෙනු එදා දැකිය හැකිවිය.

එදා අපේ පැරැන්නෝ ගෝණ අං තට්‌ටු නිවාසවල ඉදිරිපස සවිකළේ ආවට ගියාට නම් නොවේ. මේ අං තට්‌ටු සවි කිරීමෙන් ඇස්‌ වහ කටවහ දොෂ දුරුවෙන බවට ඔවුන් අතර විශ්වාසයක්‌ පැවතුණි. ඒ විතරක්‌ නොව ගෝණ අං තට්‌ටු නිවාසවල සවිකිරීමෙන් නිවසට අමුතුම තාලයේ පෙනුමක්‌ ලැබෙන බවටද ඔවුන් අතර මතයක්‌ තිබිණි.

ඒ විතරක්‌ නොව එකල ගම්වල හිටපු කාන්තාවන් වී කෙටුවේ ගෝණ හම්වල දමාය. ගෝණ අං තට්‌ටු කැඩුම් බිඳුම්වලට ඇට පෑහෙන්න අර ගන්නවා. ඇස්‌ රෝගවලට ගෝණ අං කියතකින් කපල ඒවායේ රොඩු ගන්නවා. ගෝණ අං තට්‌ටු ගැන මේ තොරතුරු අපට විස්‌තර කළේ පාරම්පාරික අක්‍ෂි හා ගුප්ත වෛද්‍ය කේ. අමරසේන මහතාය.

ගෝණ අං තට්‌ටු යොදා කණප්පු ආදී ගෘහ භාණ්‌ඩ ද එකල සාදා තිබූ අතර එම භාණ්‌ඩ අදටත් ඉපැරැණි නිවාසවල දැකිය හැකිය.

ඇත්තටම ගෝණ අං තට්‌ටු නිවාසවල සවි කිරීමෙන් වාසනා ගුණයක්‌ තියෙන බවට විශ්වාසයක්‌ තියෙනවා. ගම්වල විවිධ නිලතල දැරූ අයගේ නිවාසවල තමයි ගෝණ අං තට්‌ටු ගහලා තිබුණේ. ඒ කාලයේත් ගෝණ අං තට්‌ටු පමණක්‌ රැගෙන යැම තහනම් වුණා.

ගෝණ අං තට්‌ටුවට ලෑලි ගහලා උපකරණයක්‌ විදියට ගෙන යැමට තමයි අවසර දුන්නේ. කණප්පු මේස ආදී ගෘහ භාණ්‌ඩවල කකුල්වලටත් ගෝණ අං තට්‌ටු යොදා ගත්තා. පැරැණි වලව්වල එම උපකරණ අදත් දක්‌නට ලැබෙනවා. මට මතකයි අපි ගිය විනෝද චාරිකාවකදී රාත්‍රියේදී ගෝන්නු රංචු පිටින් තමයි වතුර බොන්න වලවේ ගඟට ආවේ. ඇත්තටම මේ සත්වයා අද වන විට වඳවීගෙන යන සත්වයකු බවට පත්වෙලා තියෙනවා. මේ තොරතුරු අපට කීවේ විශ්‍රාමලත් විදුහල්පතිවරයකු වන උළුවිටිකේ කේ. යූ. ජී. සෝමපාල මහතාය.

පත්තිනි දෙවියන් පිදීම සඳහා පවත්වන ක්‍රීඩා දොළහෙන් එකක්‌ වන්නේ අං කෙළියයි. අං ඇදීම සඳහා ගන්නේද ගෝණකුගේ අඟකි.

ඌරුබොක්‌කේ ඩබ්ලිව්. ඒ. චන්ද්‍රදාස (57) හෙවත් මහතුන් අයියා අං ඇදීමට හොඳ පළපුරුදුකාරයෙකි. ගෝණ අං මේ ක්‍රීඩාව සඳහා හොයා ගන්නා අයුරු ඔහු අපට විස්‌තර කළේය. අං සොයා ගන්න යන්නේ කැලයට. අං අදින්න හැම අඟක්‌ම හරියන්නේ නැහැ. අඟ ඇතුලේ තැත්වා කියලා එකක්‌ තියෙනවා. ඒක නැති අඟක්‌ තමයි මේ ක්‍රීඩාවට ගන්නේ. අං විසිපහක්‌ තිහක්‌ විතර හොයලා තමයි මෙවැනි අඟක්‌ සොයා ගන්නේ ඇත්තටම මෙය දුර්ලභ අං විශේෂයක්‌. දැනට වඳවීගෙන යන සතෙකු වන ගෝණ අං තමයි මේ සඳහා ගන්නේ.

මරපු ගෝණාගේ අඟ අං ඇදීමට ගන්නේ නැහැ. ස්‌වාභාවික ලෙස මැරුණු සතකුගේ අං තමයි ගන්නේ. කාලෙකදී ගෝණුන්ගේ අං හැලෙනවා. ඒ වැටුණු අං හඳුනාගන්න පුළුවන්. මේ ක්‍රීඩාව කිරීමට ප්‍රථම අඟ බැඳීම කරනවා. ඒක කෙමක්‌ වගේ වැඩක්‌. අඟ බඳින එක කරන්නේ කාටවත් පේන්න නෙමෙයි. සුදු පිරිවටයකින් එම ප්‍රදේශය ආවරණය කරලා තමයි මේ කටයුත්ත කරන්නේ. ඇත්තටම මේ ක්‍රීඩාව කරන අයට පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා.

මේ ක්‍රීඩාවේදී කැඩිච්ච අං ආයිමත් භාවිත කරන්නේ නැහැ. දිනපු අං ආයි බඳිනවා. මේ ක්‍රීඩාවේදී පිට පිට තුන්වතාවක්‌ දිනුවොත් ඒ අඟ පූර්ව අඟක්‌ වෙනවා. ඒ අඟ අරන් තියලා විශේෂ අවස්‌ථාවකදී පමණයි අදින්නේ. වාර තුනකට වඩා දිනුවොත් ඒ අඟ පොර අඟක්‌ වෙනවා. මහතුන් අයියා අං ඇදීම ගැන විස්‌තර කරන්නේය.

අං අදින ඇත්තන් මේ කාරිය වෙනුවෙන් පේ වන්නේ සති දෙකක පමණ කාලයක සිටය. ඒ කාලයේදී මස්‌, මාළු, කරවල ආහාරයට ගන්නේ නැත. මත්පැන් පානය කරන්නේ නැත.

අං බැඳීමට ඉස්‌සෙල්ලා දෙහි ගෙඩියක්‌ පුච්චලා දෙහිගෙඩිය හිසේ ගාලා කහ දියර ගා ගෙන තමයි යන්නේ. අං ඇදීමේ ක්‍රීඩාවට පේ නොවී ආපු අය අපිරිසිදු ලෙස පැමිණි අය කරදරවලට ලක්‌වෙලා තියෙනවා. එක දවසක අං අදින අවස්‌ථාවේ අං අදින සීමාවට බීමතින් ආපු කෙනෙකුට අඟේ කෑල්ලක්‌ කැඩිලා ඇවිත් ඇඟේ වැදිලා විශාල තුවාලයක්‌ වුණා. ඒක හිතා ගන්නත් බැහැ. ඒ අඟ ඒ අසල සිටි කිසිකෙනෙකුට නොවැදී මේ මනුස්‌සයායට විතරයි වැදුණේ.

මේක දේව ශාන්තියක්‌, අං ඇදීමෙන් ගමට පළාතට සෙතක්‌ ලැබෙනවා. හරක බාන කුඹුරු ඉඩකඩම් රැකී රක්‍ෂා ලාබ ලැබෙනවා. මොන ප්‍රශ්න ආවත් කරදරයකින් තොරව විසඳලා දීමට තරම් දේව ශක්‌තියක්‌ තිබෙන බවද මහතුන් අයියා කියන්නේය.

මේ ඉන්දියාවේ හිටපු රජ කෙනෙකු වූ සෙරමන් රජතුමා සිහිනෙන් බිය වද්දා සුදු ගෝණකු පිළිබඳ කතාන්දරයකි.

ඉන්දියාවේ හිටපු රජ කෙනෙකු වූ සෙරමන් රජතුමා එක්‌ දිනක්‌ රාත්‍රියේ බියවී නින්දෙන් අවදි වූයේය. සෙරමන් රජතුමා සිහිනෙන් දැක තිබුණේ බියකරු සිහිනයකි. සුදු පැහැති ගෝණකු කෑගසන හඬ රජතුමා සිහිනෙන් දුටුවේය. එම බියකරු හඬ ඇසීමෙන් රජතුමා තිගැස්‌සිණි.

සුදු ගෝණාගේ හඬ ඇසීම නිසා රජතුමාගේ හිස තදින් කකියන්නට විය. රජ මාලිගාවට ජීවකයකු ගෙන්වා රජතුමාගේ හිසේ කැක්‌කුමට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය. දෙවි දොෂ නිසා රජතුමාට සුදු ගෝණකුගේ හඬ ඇසී ඇති බව නක්‍ෂත්‍රකරුවන්ගේ මතය විය.

මේ නිසා වස්‌ දොස්‌ හා දෙවි දොෂ තුරන් කිරීමට දෙවොල් මඩු යාගයක්‌ පැවැත්වීමට කටයුතු කෙරිණි.

මේ දෙවොල් මඩුවේ බිසෝ කපේ එන යාදින්නකි. එහි සෙරමන් රජතුමා ගැනද සඳහන් වන්නේය.

සසිරිබර සිරි යසා සෙරමන් රජු යසා

ගෝණකුගේ හඬ අසා රජ දැහැම නොම අසා

රජකරන ඒ දවසා ලොව රකින සුරනරන්

කුළුණු ලොව අදහසින් පෙරණ කළ අකුසලෙන් ලෙඩක්‌ තම හිසට වන්න

මේ යාදින්න ගෙනහැර දැක්‌වූයේ පහතරට නර්තන ශිල්පී හා ගුප්ත වෛද්‍ය ලක්‍ෂ්මන් හේවගේ මහතාය.

ගෝණා අවතාර විදියට පේන්නේ දෙවි දොෂවලට හා තනිකම් දොෂවලට. මෙවැනි රෝගීන්ට ඇප නූල් බැඳලා කන්නලව් කරනවා ගෝණුන් පේන්න එපා කියලා. ගුප්ත වෛද්‍ය ලක්‍ෂ්මන් හේවගේ මහතා ගෝණ අවතාර ගැන විස්‌තර කරමින් කීවේය. ගෝණා ගැන සඳහන් කරනවිට ගෝණාගේ අං තට්‌ටුව ගැන සඳහන් නොකරම බැරිය.

ගෝණ අං තට්‌ටුව යොදාගෙන සොරුන් අල්ලන අයුරු ඉපැරැණි පුස්‌කොල පොත්වල සඳහන් වන බවද ලක්‍ෂ්මන් හේවගේ කීවේය. මේකත් හරියට කණප්පු යවන වගේ වැඩක්‌ හොරු අල්ලන්න ගෝණ අං තට්‌ටු ඒ කාලයේ යොදාගෙන තියෙනවා. මේ සඳහා ගන්නේ ඉබේ මැරුණු ගෝණකුගේ අං තට්‌ටුවක්‌. ගෝණ අං තට්‌ටුව කහදියර වලින් හෝදලා හොඳට පිරිසිදු කරනවා.

ඊට පස්‌සේ මල් බුලත් තට්‌ටුවක්‌ තියලා 108 වරක්‌ ජීවන් කරනවා. ගෝණ අංවලට ජීවම් කිරීමෙන් පසු අං තට්‌ටුව පහළට තියලා ළමුන් දෙන්නෙක්‌ ලවා මේ අං තට්‌ටුවට අත් තබා ගන්න. කියනවා. පිරිමි ළමුන් දෙදෙන ගන්නේ ආකර්ෂණය ලබා ගන්න බඩු නැතිවූ ගෙදර ඉඳලා තමයි මේ අං තට්‌ටුව යවන්නේ. පස්‌සේ හොරු ඉන්න තැන් හොයාගෙන යනවා. ගෝණ අං තට්‌ටුවට ජීවම් කිරීමට විශේෂ මන්ත්‍රයක්‌ තිබෙනවා යෑයිද ලක්‍ෂ්මන් හේවගේ මහතා පවසන්නේය.

මේ කොයි හැටි වෙතත් අද වන විට ගෝණ අං තට්‌ටු සොයාගැනීම ඉතා අපහසුය. මේ අහිංසක සතා අද වන විට මස්‌ වැද්දන්ගේ ගොදුරක්‌ බවට පත්ව ඇත. වඳවීගෙන යන දුර්ලභ ගණයේ සත්වයකු බවටද ගෝණා අද වන විට පත්ව තිබේ.

මෙවැනි මිථ්‍යා විශ්වාස මේ සඳහා දැඩි පිටුවහලක්‌ වී ඇති බවද සඳහන් කළ යුතුය.

බ්‍රොහියර් හඳුනාගත් ලංකාව නමැති කෘතියේ ඇස්‌වහ කටවහ දොෂ ගැන හරි අපූරුවට විස්‌තර කොට ඇත්තේය.

එක්‌ දමිළ ගමකදී මෙවන් කතාවක්‌ මම ඇසුවෙමි. ගලකින් ගසන විට බේරීගත හැකි වුවත් ඇස්‌වහ කටවහ දොෂයන්ගෙන් බේරීගත නොහැකිය.

මේ නිසා ලෙඩ දුක්‌, පීඩා පැමිණ වීමද දුර්භාග්‍යයක්‌ සිදුවූ විටද හදිසි විපත්ති අවස්‌ථාවේදී ද කළයුතු පිළියම් නොකර ඒවා ඇස්‌ වහ කට වහ නිසා සිදුවූ දේ හැටියට ස්‌ථිරව සිතමින් ඒ කරදර තවත් වැඩිකර ගනු ලබයි. මේ නිසා සෑම අභාග්‍යසම්පන්න අවස්‌ථාවකදීම මේ මතයන්හි දැඩි ලෙස එල්බ සිටින ලාංකිකයා බලි ඇදුරාගේද කට්‌ටඩියාගේද කපුරාලගේද යන්ත්‍ර මන්ත්‍ර බලියාග කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන එම විපත් ඇස්‌වහ කටවහ දොෂ නිසා සිදුවී ඇති දේ හැටියට අදහමින් පැමිණ ඇති ව්‍යසනයට නිසි පිළියම් නොකර තව තවත් විපත්තිදායක කර ගනී.

ගාල්ල - ලලිත් චාමින්ද