සියලූ රෝ දුක්‌ නසන "පුලස්‌ති" වෙද මැඳුර


දොෂ මූල හා රෝග මූලයෙහි යථාර්ථය මනාව අවබෝධ කර ගෙන, වාතයෙන්, පිතෙන් හා සෙමෙන් මිනිස්‌ සිරුරට වැළඳෙන ඕනෑම රෝගයකට ප්‍රතිකාර කිරීමට සිංහල පාරම්පරික වෙදවරු ඉසිවරයෝ ය. එනිසාම බටහිර වෛද්‍ය විද්‍යාව දියුණු යෑයි කියන අද දවසේත් දේශීය ප්‍රතිකාරවලට නැඹුරුවන්නන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවන බවක්‌ පෙනෙන්නට ඇත.

මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් අනූන වූ මේ පැරැණි වෙද පරපුර මානව සංහතියේ පැවැත්ම උදෙසා කැප වන්නේ හුදෙක්‌ ආත්මාර්ථය බැහැර කර පරාර්ථයම මුල් කරගෙනය. එදවස සෑම ගමේ වෙදැදුරකුගේම ඉනෙහි ඖෂධ මංජුසාවක්‌ දක්‌නට ලැබුණේ ඒ නිසා ය.

තමන්ට කළ නොහැකි දේ තවත් අයකුගේ සහාය ලබමින් ඔවුන් කළ ප්‍රතිකාරය නොවැරදුන හෙයින් ගැමියන්ට වෙදැදුරුවරයා තරම් වටිනා කෙනකු තවත් නොසිටියාක්‌ මෙනි.

ගුප්ත විද්‍යාව හා ජ්‍යෙතිෂය සමඟ බැඳුණු මෙය රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ ද අවධානයට හා ගෞරවයට ලක්‌වීම මෙහි පැවැත්මට තවත් රුකුලක්‌ විය.

දඬුබැඳිරුප්ප පුලස්‌ති වෛද්‍ය මධ්‍යස්‌ථානය හා දර්ශන දේශීය බෙහෙත් ශාලාවේ අධිපති සරත් කු=මාර එරමුදුගහගෙදර හෙවත් පුලස්‌ති වෙදැදුරු හා සිය පුතු වජිර ජීව සරත් කුමාර එරමුදුගහගෙදර යන දෙදෙනා දිගු වෙද පරම්පරාවකට නෑකම් කියන්නෝ ය. වළගම්බා රජ දවස කන්දා වැද්දාගෙන් පැවත එන මොවුහු දේශීය වෙදකමේ පියා ලෙස සැලකෙන පුලස්‌ති ඉසිවරයාණන්ගේ පරපුර හා බැඳී පවතී.

පසුගිය දිනෙක අපි ඔවුන්ගේ වෙද අසපුව දැක බලා ගැනීමට ගියේ විවිධ රෝගපීඩාදියෙන් කායිකව හා මානසිකව දුක්‌ විඳින ජනතාවට කිසියම් පණිවිඩයක්‌ සපයන්නට ය. එය යථාර්ථයක්‌ බවට පත් කරමින් වෙද මැඳුර හා බැඳුණු බොහෝ දේ අපට කදිමට සාක්‍ෂි සැපයීය.

නෙක ඖෂධ ශාකයන්ගෙන් අනූන ඒ වෙද මැඳුර ආශ්‍රිත පරිසරය ඉතා දැකුම්කලුය. විටෙක ඖෂධ නිෂ්පාදනාගාරයෙන් නික්‌මෙන සුවඳ ගත සිත පුබුදුවාලමින් තිබියදී දියවැඩියාව, වකුගඩු, අර්ශස්‌, අංශභාග, රුධිර පීඩන, පිළිකාව, කොලොස්‌ටරෝල්, හ!ද රෝග, ආතරයිටීස්‌, අම්ල පිත්ත, සෙම, ඇදුම හා කුෂ්ඨ රෝග වැළඳුන රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ ප්‍රතිකාර සඳහා පැමිණෙමින් සිටියහ.

සුදුවතින් සැරසුන පුලස්‌ති වෙදැදුරු මෙකී රෝගීන්ට ප්‍රතිකාර කරද්දී ඔහුගේ පුත් වෛද්‍ය වජිර කුමාර එරමුදුගහගෙදර ඒ ආසන්නයේම තවත් අසුනක රෝගීන් දැඩි පරීක්‍ෂාවකට ලක්‌ කරමින් නක්‍ෂස්‌ත්‍ර හා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වල යෙදෙන්නේය.

මෙහිදී අප හා පිළිසඳරක යෙදුණු පුලස්‌ති වෙදැදුරු

"පාලනයකින් තොරව ආහාර ගැනීමෙන් අද මුළු මිනිස්‌ සමාජයේ බොහෝ පිරිසක්‌ රෝගීන් වෙලා. විෂ ආහාරවලින් කට පිනවන්න දිව පිනවන්න ගිහිල්ල තමන්ගේ ගත ලෙඩවන එක මේ කිසි කෙනකුට පේන්නෙ නැහැ. අනික වේලාවට ආහාර ගන්නෙ නැහැ. ශරීරයේ ඩහදිය පිටවෙන්න ඇඟ වෙහෙසවන්නෙ නැහැ. ඉතින් වැඩි පිරිසක්‌ නිකරුණේ රෝගීන් බවට පත්වෙලා.

"අපේ මිනිස්‌සු තමන්ගෙ වත්තෙ තියෙන දේ වුණත් හදාගෙන කන්න කම්මැලියි. අපට වැළඳෙන ගොඩක්‌ රෝගවලට තම තමන්ගෙම වත්තෙ තියෙන ගහ වැළ ඉතාමත් ප්‍රයෝජනවත්. ඒත් ආහාරයට ගන්නෙ නැහැ. එක්‌කො තිත්තයි කියයි. නැත්නම් අමිරසය කියයි. එහෙමත් නැත්තං මේව කන්නෙ හරක්‌ බව කියයි. මෙහෙම කියන අය හැමදාම ලෙඩ්ඩු."

"බලන්න අද දවස වෙනකොට දියවැඩියාවෙන් රුධිර පීඩනයෙන් වගේම කොලොස්‌ටරෝල්වලින් පෙළෙන කී දාහක්‌ ඉන්නවද කියල. මේ රෝග තුනම එක පවුලක සහෝදරයො වගේ"

"අනික තමයි මේව සුවකර ගන්න බෙහෙත්වලට අපි කොච්චර වියදම් කරන්න ඕනද. ඒව සේරම පිටරටවලට ඇදිල යන අපේ ජාතික ධනය. එක ලෙඩකට අල්ලක්‌ පිරෙන්න බෙහෙත් බීල තවත් රෝග රැසක්‌ හදා ගන්නවා."

"අද දවස වන විට දියවැඩියා රෝගය උත්සන්න වෙලා ඉන්සියුලින් ගන්න කී දාහක්‌ ඉන්නවද කියලා හිතාගන්නත් බැහැ. එහෙම තියෙද්දී කීයෙන් කී දෙනාද තමන්ගෙ වත්තෙ තියෙන පලා කොළ ටිකක්‌ කන්නෙ."

"සාමාන්‍ය දියවැඩියාවට කුරක්‌කන් පිටි හොඳටම හොඳයි. ඒත් අපේ ඇත්තො කඩේට ගිහිල්ල කුරක්‌කන් පිටි වෙනුවට ඇමරිකන් කාරයන්ගෙ පිටි අරන් එනව. හොඳයි අපි නිකමට හිතමු පොළට යන අපේ කාන්තාවන්ගෙන් කී දෙනාද කොළ ජාති ගේන්නෙ කියලා. මේ හැම දෙයක්‌ ගැනම ගෘහනියක්‌ වුණාම දැනුවත් වෙන්න ඕන."

"විශේෂයෙන් දියවැඩියාවට මෙනේරි, කුරක්‌කන්, ඕලු බත්, හීනටි බත් හොඳටම හොඳයි. සතියකට සැරයක්‌ දෙසැරයක්‌ ආහාරයට ගන්නවා නම් ගුණය අනන්තයි. ඒ වගේම කරපිංච කියන්නෙ කොච්චර හොඳ ඖෂධයක්‌ ද? ඒත් අපේ අය හොද්දට දාන කරපිංච කොළෙත් හපන්නෙ නැතිව පිඟානෙ පැත්තකින් තියල විසිකරල දානව. පේනව නේද ඒකෙන් තියෙන නොදැනුවත්කම."

"මේවට අමතරව රණවරා, බෙලිමල්, හොඳටෝම හොඳයි. ඒ වගේම වරක කොස්‌ ගසක ඉඳුණු කොල තම්බල බීමෙන් දියවැඩියාවට ඉන්සියුලින් ගහන්න ඕන වෙන්නෙත් නැහැ. ඒ තරමට ශරීරයේ සීනි පාලනය කරනවා. ඉතිං කිසි කෙනකුට කියන්න බැහැ කොස්‌කොළ ටිකක්‌ තම්බල බොන්න වෙලාවක්‌ නැහැ කියල."

"සමහර විට මේව කියන කොට අපේ ඇත්තො අහවි කොස්‌කොළ කන්න බොන්න තරම් අපි එළුවොද? කියල. මේක තමයි අපේ සිංහලයගෙ වැරැද්ද."

"ශරීරය නිරෝගීව තියාගන්නවා නම් කෑම පාලනය අත්‍යවශ්‍යයි. අපට නැත්තෙත් ඒ පාලනය තමයි. කට දිව පිනවන්න ගිහිල්ල සදාකාලික රෝගියෙක්‌ වෙන්නෙ අපේම නොදැනුවත්කම නිසා."

පුලස්‌ති වෙද මැඳුරට එන රෝගීන්ට මෙන්ම ඔවුන් සමඟ එන බොහෝ පිරිසකට වෙදකමට අමතරව උපදෙස්‌ ද ලැබෙන්නේ සැබෑ වෛද්‍යවරයකුගේ ගුණාංග ඉස්‌මතු කරමින් ය.

වසර දහස්‌ ගණනක්‌ ඉපැරැණි අපේ පරපුරට ආවේණික වුණු රහස්‌ බෙහෙත් වට්‌ටෝරු අපි ළඟÊදැනටත් තියෙනවා. මෙයින් හදාගත්ත ඖෂධවලින් සුව කළ නොහැකි යෑයි ප්‍රතික්‍ෂේප වුණු බොහෝ රෝගීන්ට සුවය ලැබුණා. එනිසා ඕනෑම අභියෝගයක්‌ බාරගෙන ප්‍රතිකාර කරන්න අපි හැම විටම සූදානම්."

"අද බලන්න පිළිකාව වැළඳුන රෝගීන් කොච්චර දුක්‌ විඳිනවද කියලා. මහරගම පිළිකා රෝහලට ගියපුවාම ඒක අගේට බලාගන්න පුළුවන්. ඒ අසරණ රෝගීන්ට වගේම වේදනාවක්‌ ඒ පවුල්වල අයටත් දැනෙනවා. ඒත් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් කරන ප්‍රතිකාරවලින් ගුණ තියෙන්නෙ මුල් අවදියේදී රෝගය හඳුනාගෙන කළොත් පමණයි. ඒත් යම් විදියකින් රෝගය උත්සන්න වෙලා නම් එක්‌කො විදුලිසර අල්ලයි. එහෙමත් නැත්නම් ගෙදර ගෙනියන්න කියයි. මේකයි සැබෑ තත්ත්වය.

පුලස්‌ති වෙදැදුරුගේ පුත් වජිර කුමාර ද තම පියා හා පරපුර අනුගමනය කරමින් කළ ප්‍රතිකාර වැරදුණේ නැත. අනෙක්‌ බොහෝ රෝගවලට මෙන්ම පිළිකා රෝගයට ද ඔහු දක්‍ෂයෙකි.

දිනක්‌ ඔහුගේ ප්‍රතිකාර අපේක්‍ෂාවෙන් පැමිණියේ මහරගම පිළිකා රෝහලෙන් ප්‍රතික්‍ෂේප කළ රෝගියෙකි. දැඩි මානසික පීඩාවකට පත්ව සිටි ඔහු ආණමඩුවේ සෙනරත් අබේසිංහ නමැති විවාහක තරුණයෙකි.

වජිර කුමාර වෙදැදුරු රෝගියා දැඩි පරීක්‍ෂාවට ලක්‌ කළේ සියලු දුක්‌ ගැනවිලි අසාගෙන සිටියාට පසුවය. මුහුණේ, බෙල්ලේ හා ඉකිලිවල මතු වී තිබූ ගැටිතිවලින් පිළිකාව පැතිරී ඇති බවක්‌ ඔහුට වැටහිණි.

"මහරගම පිළිකා රෝහලෙන් මොකද කිව්වේ." වජිර වෙදැදුරු රෝගියාගෙන් ප්‍රශ්න කළේ ඔහුගෙන්ම සියල්ල දැන ගන්නටය.

අබේසිංහ තරුණයාගේ මුවින් වචන පිටවෙනවා වෙනුවට නෙතින් කඳුළු කඩා වැටෙන්නට විය. ඒ වන විට සිය සිඟිති දරුවා කරපින්නා ගත් බිරිඳ ද පසෙකට වී ඉකි ගසන්නට පටන් ගත්තාය.

දෙදෙනාගේම දුක තුනීවන තුරු හඬන්නට ඉඩ හැර වෙදැදුරු නිහඬව සිටියේය.

මේ හද කම්පා වන අවස්‌ථාවේ පසෙක බලා සිටි රෝගීන්ට ද දැනුණේ වේදනාවකි. වෙද මැඳුර මීයට පිම්බාක්‌ මෙන් නිහඬ ය. වට පිටාවේ වූ බෙහෙත් පැළෑටි මඳ සුළඟට හසු වී රෝගීන්ට පවන් සලන්නාක්‌ මෙන් සැලෙන්නට විය.

විමලසිරි අගලකඩ
දිවයින පුවත්පත