සුවසේ නිදා ගැනීමට ඉසිවර උපදෙස්‌


සුවසේ නිදා ගැනීමට නොහැකි වුවහොත් සුවපත් නිරෝගී ජීවිතයක්‌ ගෙවීම අසීරුය. දිවා කාලයේ කාර්යක්‍ෂම වැඩ කළ හැක්‌කේ රාත්‍රි කාලයේ ලබන නින්දෙන් ලැබෙන්නා වූ විවේකයෙනි. එසේ වුවද වෙහෙස වී වැඩ කරන බොහෝ දෙනකුට රාත්‍රි නිදාගැනීමට නොලැබෙන බවත් නිදිවරන බවත් අසන්නට ලැබේ. එහි ප්‍රධාන හේතුව සුවසේ නින්ද නොයැමය.

නින්ද පිළිබඳව ජ්‍යෙතිෂයේද, වාස්‌තු විද්‍යාවේ ද ධර්මයේද වටිනා කරුණු රාශියක්‌ සඳහන් වී තිබේ. මේ වටිනා දුර්ලභ කරුණු බොහෝමයක්‌ අප්‍රකටය. පොත් ගණනාවක්‌ කියවා අධ්‍යයනය කළ යුතුය. සුවපත් නින්දක්‌ ලැබීමට අපේක්‍ෂා කරන ඔබ වෙනුවෙන් මේ ඉසිවර උපදෙස්‌ හැකි තරමින් සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

නින්ද කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක්‌ වන්නේ ඔබේ නිදන කාමරය පිහිටා ඇත්තේ නිවසේ කුමන දිශාවේද යන්නයි. නිවසේ ප්‍රධාන නිදන කාමරය (ඵSඔEඍ ඊE ඍධධඵ) නිරිතදිග දිශාවේ පිහිටීම ඉතා සුදුසුය. එසේ නොහැකි නම් දකුණ හා බටහිර පැත්ත ද ශුභය. නැගෙනහිර, වයඹ, ගිනිකොන පැති ඊළඟට සුබය. එම දිශාවල නිදන කාමර පිහිටුවා ගන්න. උතුර හා ඊසාන යන දිශාවල නිදන කාමර ඉතා අශුභය.

උක්‌ත කරුණ සලකා බලා ඔබේ නිදන කාමරය මෙම සුබ දිසාවනට තිබේදැයි බලන්න. නැත්නම් එය සුදුසු දිශාවකට ඇති කාමරයකට මාරුකර ගැනීම උචිත වේ. නිරිත දිශාවට ඇති කාමරය ගෙදර ප්‍රධානියාට වඩාත් උචිත වන්නේය.

මීළඟට සැලකිය යුත්තේ ඔබ නිදාගන්නා විට හිස දමන දිශාවයි. කිසි විටෙකත් උතුරට හිස දමා නිදා ගැනීම නොකළ යුතු බවත් ඉතා අශුභ බවත් වාස්‌තු නියමයක්‌ බව සලකන්න. පෘථිවි ගෝලයේ උතුරු ධ්‍රැවය දෙසට හිස දැමීමෙන් ශාරීරික හා මානසික සෞඛ්‍යය හානිකරන බව නූතන විද්‍යාඥයෝ ද පිළිගනිති. නැගෙනහිරට හෝ දකුණට හිසලා සැතපීමෙන් සැප සම්පත් ඇති කරන බව "දක්‍ෂිනෙ සුබ සම්පදඃ" යන සොලෝක පාඨය අනුව කියෑවේ. උතුරට හා බටහිරට හිසලා නිදාගැනීමෙන් තම වංශයට හා දරුවන්ට රෝග පීඩා ඇති වන බව ඉසිවර නියමයයි. විශේෂයෙන් ළමයින් නිදාගන්නා විට නැගෙනහිරට හිස දමා නිදාගැනීමෙන් ඥනය වර්ධනය වන බව කියෑවේ. උතුරට හිස දමා නිදාගැනීම නිසා හෘද රෝග, මොලයේ ස්‌නායු ආබාධ ඇති වේ.

ඔබ නිදාගන්නා විට පාද දැමිය යුත්තේ උතුරට හෝ බටහිරට වුවද පූජා කාමරය හෝ බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා වැන්නන් දෙසට පාද දැමීම සුදුසු නොවේ. එමෙන්ම මවුපියන්, ගුරුවරුන් වැනි උතුමන් දෙසට පාද දමා නිදා ගැනීම ද සුබ නැති බව සලකන්න. මේ පිළිබඳ වටිනා කතාවක්‌ ධර්මයේ සඳහන්ය. සැරියුත් හිමියන්ට ධර්මාවබෝධය ලැබීමට එක සතරපද ගාථාවක්‌ ප්‍රමාණවත් විය. ඒ පැවිදිවීමට පෙරය. "යේ ධම්මා හේතුප්පබවා" යන මෙම ගාථාව කියන ලද මහා කස්‌සප හිමියන් සිටි දිශාවට පාද දමා කිසි දිනෙක සැරියුත් හිමියෝ සැතපුණේ නැත. ඒ ගුරු ගෞරවයයි.

මීට අමතරව ඔබ අවිවාහක තරුණියක්‌ නම්ද විවාහපේක්‍ෂිත නම්ද ඔබ නිදන කාමරයේ දොර දෙසට පාද දමා නිදාගැනීම අශුභ බව සලකන්න. එමෙන්ම ඔබේ නිදන කාමරය තුළ ඇති කණ්‌ණාඩියකින් නිදා සිටින අයුරු දැකීම ද සුබ නැත. අවිවාහක හෙවත් යුගදිවියක්‌ පතන අය මේ උපදෙස්‌ පිළිපැදීම මැනවි. දැනට ඔබ නිදාගන්නේ පාද දොර දෙසට දමා නම් වහාම ඔබේ ඇඳ වෙනස්‌ කිරීම සුදුසුය.

නිදන කාමරයේ ඇඳ තබන දිශාව ද වාස්‌තු විද්‍යා නියමයන්ට අනුකූල විය යුතු වේ. ඔබේ නිදන කාමරයේ නිරිත දිශාවේ ඇඳ තබාගැනීම උචිතය. දකුණ, බටහිර දෙවැනිව ද සුදුසුය. ඊසාන දිශාවේ ඇඳ තැබීම ඉතා අශුභය. කාමරයේ ඊශාන දිශාව හිස්‌ව තැබීම මැනවි.

නිදන ඇඳ පිළිබඳව ද බොහෝ කරුණු වාස්‌තු ශාස්‌ත්‍රයේ සඳහන් වේ. පුරාණ ඉසිවරුන් ප්‍රකාශ කර ඇති මෙම කරුණු අනුව පැරණි නිවෙස්‌වල ගෘහභාණ්‌ඩ නිපදවා ඇති බව පෙනේ. ඇඳක නැතහොත් සයනයක දිග පළල හා උස ගත යුත්තේ මෙසේය. සයනයේ දිග දෙකට බෙදා ලැබෙන ප්‍රමාණයෙන් අටෙන් එකක්‌ අඩු කළ විට ලැබෙන ප්‍රමාණය පළල විය යුතුය. දිගෙන් තුනෙන් එකක්‌ ඇඳේ උස විය යුතුය. ඇඳක කකුල් සාදන විට ඊට භාවිත කරන දැවයේ අග මුල මාරු නොවිය යුතුය. එසේ අග මුල මාරු කරන ලද ඇඳ කකුල් ඇති විට නිදාගන්නා තැනැත්තාට ඇතිවන රෝගාබාධයන් විස්‌තර කර තිබේ.

එමෙන්ම ඇඳක්‌ එකම ගසක දැවයෙන් කරන ලද නම් ධනවත් බවද, ගස්‌ දෙකක නම් වඩා සුබ බවද තුනක නම් දරු සම්පත් වර්ධනය ද හතර නම් ධනය හා කීර්තිය ද ගස්‌ පහක දැවයෙන් කරන ලද සයනයක යමෙක්‌ නිදාගනී නම් මරණයට පැමිණෙන බව ද ඊට වැඩි නම් පරපුරේ විනාශය ද සිදුවන බව කියා තිබේ. මේ අනුව ඇඳක්‌ සෑදීමට ගස්‌ හතරක දැව භාවිතය ඉතා සුබ බවත් ඊට වැඩි වීම ඉතා අසුබ බවත් දත යුතුය.

ඇඳන් නිර්මාණයට සුබ හා අසුබ ලී වර්ග ද තිබේ. මේ අනුව ඇද්දෙමට, මොර, තිඹිරි, ඇට්‌ටේරියා, සඳුන්, බුරුත, කළුවර, සල්, මහරිය යන ලී ඉතා සුබය. අකුණු වැදුණු ගස්‌ වර්ගද, බෝ, නා ආදී පූජනීය වෘක්‍ෂද සොහොන් භූමි හා මහාමාර්ගවල ඇති වෘක්‍ෂ ද ඇඳ සෑදීමට සුදුසු නැති බව සලකන්න. මේ අතර යකඩ හෝ ලෝහයෙන් සාදන ලද ඇඳන් නිදාගැනීම සුදුසු නොවේ.

ඔබ නිදාගන්නේ ඇඳක නොව බිම නම් ඉහත දිශා ආදිය ගැන සලකා බැලිය යුතුය. බිම නිදාගැනීම වරදක්‌ නොවේ. එහෙත් ඔබ නිදාගන්නේ තවත් කෙනකු නිදාගන්නා ඇඳක්‌ අසල වීම සුදුසු නොවේ. ඇඳේ නිදාගන්නා අයගේ ප්‍රශ්වාස වාතය අපිරිසිදුය. බරය. එය ඇඳ මට්‌ටම සිට පහළට පැතිරෙන නිසා බිම නිදාගන්නා ඔබට එම අපිරිසිදු වාතය ආශ්වාස කරන්නට සිදුවේ. අපිරිසිදු වාතය සෞඛ්‍යයට හිතකර නොවේ. එසේ නැතිව කෘමි, සර්ප ආදී සතුන්ගෙන් ආරක්‍ෂාකාරීව බිම සැතපීම මැනවි. බිම නිදාගැනීම ස්‌වභාවිකය. සතුන් ද බිම නිදාගනී.

මේ අතර ඔබ නිදාගන්නා ඇඳට හරියටම කෙළින් සිටින සේ පහත මාලයක ඇඳක මවුපියන්, ගුරුවරුන් හෝ උසස්‌ අය නිදාගැනීම ද සුබ නොවේ. අපට පරීක්‍ෂා කරන්නට ලැබුණු එක්‌ දෙමහල් නිවසක බිරිඳ හා සැමියා නිදාගන්නා ඇඳට හරියටම කෙළින් යටමාලයේ බුද්ධ ප්‍රතිමා, දේවරූප සහිත පූජා ස්‌ථානයක්‌ තිබිණි. මෙය වහාම වෙනස්‌ කරන ලෙස උපදෙස්‌ දුන්නද සැලකිල්ලට ගත්තේ නැත. පසුව මේ නිවස විකුණා දැමීමට අයිතිකරුට සිදුවිය. අනතුරුව එය කඩා බිඳ දමා අලුත් ගොඩනැඟිල්ලක්‌ සාදා තිබේ.

ඔබ නිදාගන්නා ඇඳට හරියටම ඉහළින් හරස්‌ අතට බාල්ක, තලාත් ආදිය පිහිටීම ද සුබ නොවේ. ඔබේ සිරුර හරහා එවැනි තලාත් බාල්ක ආදිය තිබීම ද සෞඛ්‍ය ගැටලු ඇති කරයි. එය වෙනස්‌ කිරීමට පමා නොවන්න.

මේ අතර නිදාගන්නා තැනට යටින් ජලනල, උල්පත්, ළිං තුංනි වැනි ජලය ගමන් කරන ස්‌ථාන තිබීම ද ඉතා අශුභය. පිළිකා වැනි බරපතළ රෝග ඇතිවීමට ද කොන්දේ අමාරු ආදියට ද එය බලපානු ඇත. සමහර විට ඔබ නොදැනම මෙවැනි ජල ධාරා භූගතව තිබිය හැකිය. ළිඳ ඇති විට ඊට ජල උල්පත් එන පැත්ත නිරීක්‍ෂණය කළ විට මෙය දැනගත හැක. ජල නළ ද ඉතා අශුභය.

ඔබ යුගදිවියට පත්ව සිටින අතර බිරිඳ හෝ සැමියා අසලම නිදාගන්නේ නම් සැලකිය යුතු කරුණු බොහෝය. විවාහක යුවළක්‌ නිදාගත යුත්තේ සැමියාගේ වම්පැත්තේ බිරිඳ සිටින අයුරිනි. නැත්නම් බිරිඳගේ දකුණු අත පැත්තෙන් සැමියා සිටින අයුරිනි. බිරිඳ දකුණු ඇලයටත්, සැමියා වම් ඇලයටත් හැරී නිදාගැනීමෙන් අෙන්‍යාන්‍ය ආදරය වර්ධනය වේ. ලිංගික සබඳතා ශක්‌තිමත් වේ. මංගල පෝරුවේ නංවන විට මනාලයාගේ වම්පසින් මනාලිය සිටුවන්නේ මේ කරුණු මතය. විවාහක යුවලක්‌ නම් ඔබලාට මෙසේ නිදාගැනීම බොහෝ සුබඵල දෙනු ඇත. මීට ප්‍රතිවිරුද්ධව එනම් සැමියාගේ දකුණු පසින් බිරිඳ නිදාගන්නේ නම් යුගදිවිය ඉක්‌මනින්ම නිසරු වීමට ඉඩ තිබේ.

එමෙන්ම විවාහක යුවලක්‌ නිදන කාමරයේ කණ්‌ණාඩි මේස තැබීම සුබ නොවේ. නිදාගන්නා ආකාරය කණ්‌ණාඩියකින් දැකීම යුග දිවියට හානිකර බව පෙං ෂුයි ශාස්‌ත්‍රය කියයි. තවද ඔබ නිදන ඇඳ යට පරණ සපත්තු, කුණු රොඩු තැබීම ද ඉතා අශුභය. ඇඳ යට පිරිසිදුව තබාගැනීම මැනවි. පවුල් අවුල්, අධික වියදම්, අඹුසැමි භේද ඇතිවීමට ද මෙය හේතුවන බව සලකන්න.

වර්තමානයේ නවීන විද්‍යාවේ දියුණුවත් සමඟ දායාද වී ඇති විදුලි හා විද්යුත් උපකරණ ද නින්දට මහත් බාධාවක්‌ හා අනේකවිධ සෞඛ්‍ය ගැටලු ඇති කරන බව කිව යුතුය. පෘථිවියේ ස්‌වභාවික භූ ආකර්ෂණ ශක්‌තිය හැර වෙනත් ශක්‌තීන් සිරුර වටා ක්‍රියාත්මක වීම නිසා භූමියේ ආකර්ෂණ ශක්‌තිය විකෘති වේ. මෙය සිදුවීමට නවීන උපකරණ බෙහෙවින්ම හේතු වී ඇත.

උෂ්ණාධික බව නිසා විදුලි පංකා ක්‍රියාත්මක කර සාදා ගැනීමට බොහෝ දෙනා පුරුදු වී සිටී. එහෙත් විදුලි මෝටර් ක්‍රියාත්මක වන විට චුම්බක බලයක්‌ ද ඇති කරයි. මෙය ශරීරයට හිතකර නොවේ. බොහෝ අයගේ ජංගම දුරකථනය ඇත්තේ ද නිදාගන්නා ඇඳ අසලමය. මෙම විද්යුත් තරංගද, රූපවාහිනි, පරිගණක ආදී උපකරණවලින් නිකුත් වන තරංග ද ශරීරයට අහිතකරය. නින්ද සුවදායී වීම කෙරෙහි මෙම උපකරණ ද බාධා කරන බව සලකන්න. මානසික ආතතිය හා ව්‍යාකූලතා ඇති කරන ප්‍රධාන හේතුවක්‌ ලෙස ජංගම දුරකථනය සලකනු ලැබේ.

සුවපත් නින්දක්‌ ලැබීමට සිතුවිලි ද බොහෝ බාධා ඇති කරයි. තරහ, ක්‍රෝධ, වෛර සිතිවිලි හා රාගාධික සිතුවිලි ද අමිහිරි මතකයන් ද ඊට හේතු වේ. මෙයට ප්‍රත්‍යක්‍ෂ ඖෂධයක්‌ වන්නේ භාවනාවයි. මෛත්‍රි භාවනාව නිසා ආනිසංස එකොළහක්‌ ලැබෙන අතර එයින් තුනක්‌ම සුවපත් නින්දකට හේතුවෙයි. එනම් සුවසේ නින්දට යයි. ("සුඛං පතිබු-ජති") එමෙන්ම සුවසේ පිබිදේ. (සුඛං සම්බු-ජති) මේ නිසා නින්දට යැමට පෙර ආගම සිහිකර සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා, සුවපත් වෙත්වා යෑයි මෙත් වඩන්න. මෙසේ විනාඩි කිහිපයක්‌ ගතකර නින්ද යනතුරුම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් සිහිකරමින් නිදාගන්න. එය ප්‍රමාණවත්ය. මෛත්‍රී භාවනාවේ තවත් ආනිශංසයක්‌ වන්නේ නපුරු සිහින නොපෙනීම ("නපාපතං සුපිනං පස්‌සති") යන්නයි. මේ අනුව ඔබට මෛත්‍රී භාවනාව ඉතා සුවපත් නින්දක්‌ ගෙනදෙනු ඇත.

යහපත් නින්දකට බලපාන නිදන කාමරයේ දිශාව, ඇඳ තබන දිශාව, හිස තබන දිශාව, පාද දමන දිශාව, ඇඳ සාදන දැව වර්ග ඇඳ වටා නොතිබිය යුතු දේ මෙන්ම මෛත්‍රි භාවනාව ගැනත් කෙටියෙන් සාකච්ඡා කළෙමු. මෙම කරුණු ඔබට හා ඔබේ පවුලේ අයට ඉතා සුවදායක නින්දක්‌ ලබාගැනීමට ඉවහල් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්