සුද යාමේ රෝගය


සුකොමළ කාන්තා සිරුරට ඇතැම්විට වැලඳෙන ලෙඩ රෝග කිසිසේත් දරාගත නොහැකි ඒවායි. මේ නිසාම තාරුණ්‍යය, වෘත්තිය ජීවිතය, ගෘහජීවිතය වගේම විවාහ ජීවිතයත් අසහනයෙන් කල්ගෙවන්නට සිදුවිය හැකියි.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රයෙන් හට ගන්නා සුද යාමේ රෝගය (ශ්වේත ප්‍රදරය) මෙවැනි රෝගයකි. ඇත්තෙන්ම ලජ්ජාව නිසාම ප්‍රතිකාර සඳහා යොමු නොවීමෙන් රෝගය උත්සන්න වී යාම භයානක තත්ත්වයක් දක්වා ව්‍යාප්ත වීමේ ඉඩකඩද බොහෝයි.

කාන්තාවන්ට පමණක් නොව බාලිකාවන් හා වැඩිවියට පත් නොවූ දරුවන් අතරද මෙම රෝගය බහුල වශයෙන් දැකිය හැකියි. පොදු ව්‍යවහාරයේ සුදයාම, ඇඟ උණුකරවා යාම, සුදු මාලය, ශරීරය කෙට්ටු කරවන ලෙඩේ ආදී වශයෙන් හඳුන්වන්නේ ද මේ ශ්වේත ප්‍රදරයයි.

වෙද නෝනා, මේ සුදයාමේ රෝගය (ශ්වේත ප්‍රදරය) ඇතිවීමට හේතු මොනවාද?

හේතු ගණනාක් තියෙනවා. ඒ අතර,

* ගර්භාෂයේ සහ යෝනියේ ඉදිමුම

* ගර්භාෂ ගෙලේ බිත්ති මහත්වීම සහ ඉන් අධික ස්‍රාවයක් ගැලීම

* ගර්භාෂගත අර්බූද හෙවත් ගෙඩි

* ඩිම්බ කෝෂවල අධික ක්‍රියාකාරිත්වය

* ආහාර හා ඇවතුම් පැවතුම්වල දෝෂ

* ශරීර අභ්‍යන්තරයේ පවතින උෂ්ණය

* මානසික ආතතිය ආදී හේතු දක්වන්නට පුළුවන්.

මේ හේතූන්ට අමතරව කිරිපණු රෝගය ද තවත් හේතු සාධකයක්. විශේෂයෙන් මෙම තත්ත්වය වැඩිවියට පත් නොවූ දරුවන්ට බලපානවා. එපමණක් නොව නිතර නිතර ශෝකයට පත්වීම, කලකිරීමට පත්වීම, අන් අයට වෛර කිරීම, ද්වේෂ - ක්‍රෝධ සිතුවිලි උපද්දවා ගැනීම මෙම රෝගයට අත වැනීමක්. අධික කාමාශාවද රෝගය ඇතිවීමට ප්‍රබල හේතුවක් වෙනවා.

අවිවාහක කාන්තාවන් අධික රාග සිතුවිලිවල නිමග්න වෙමින් අධික ලෙස ඉන්ද්‍රියන් පිනවීමට යාමෙන්ද, එවැනි දර්ශන නැරඹීමෙන්ද ඉන් තෘප්තිය ලබන්නා වු අයට මෙම රෝගය වැලඳීමේ ප්‍රවණතාවය වැඩියි.

එසේම ශාරීරික පවිත්‍රතාවය, ඇඳුම් - පැලඳුම්වල පිරිසුදුකම යනාදිය කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕනේ. මේවායේ අපිරිසුදු බව ඩිම්බ කෝෂ කරා ගොස් ආසාදන තත්ත්වයන් ඇතිවීම මෙම රෝගය හටගැනීම ඉඩකඩ ඇති කරයි.

මෙවැනි රෝගියකුගේ ලක්ෂණ මොනවාද?

අත් පා සන්ධිවල වේදනාව, නිදිමත, ආහාර අරුචිය, තරහා යාම, ශරීරය කෙට්ටුවීම, කම්මැළි ස්වභාවය, යෝනි මඟින් සුදු පැහැ ස්‍රාවයක් ගැලීම රෝග ලක්ෂණ ලෙස දැකිය හැකියි.

මේ රෝග ලක්ෂණ අවධානයට නොගෙන සිටීමෙන් ඇතිවන දුබලතා මොනවාද?

යෝනිය අවට කැසීම, තුවාල ඇතිවීම, සම රැලි වැටීම, අස්ථි සන්ධිවල තදබව හා අධික වේදනාව, ශරීරය දිනෙන් දින වැහැරීම, තුනටිය වේදනාව, යෝනි මඟින් දුගඳ සහිත කහ පාටට හුරු කොළ පැහැ මිශ්‍ර උකු ස්‍රාවයක් පිටවීම, ශරීරය සුදුමැලිවීම, ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව හා අධික වේදනාව, ශාරීරික බලය හීනවීම යනාදි උවදුරු ඇති වෙනවා.

මේ රෝගයේ අහිතකර බලපෑම් මොනවාද?

නිසි ප්‍රතිකාර සඳහා යොමු නොවීම හේතුවෙන් යෝනි ආශ්‍රිතව හා ඉකිළි, කලවා යන ප්‍රදේශවල කැසීම හා කුෂ්ඨ හටගැනීම, මුත්‍රා දැවිල්ල, යටි බඩේ වේදනාව, අතපය හිරි වැටීම හා වේදනාව, ශරීර ශක්තිය හීනවීම, ඩිම්බ නාල ඉදිමීම, ගර්භාෂ ගත උපද්‍රව, දරුපල අහිමිවීම, ලිංගික ගැටලු හා යුග දිවියට බාධා හා ප්‍රශ්න ඇතිවීම ඉඩ තියෙනවා. පාසල් දරුවන්ට මෙම රෝගී තත්ත්වය හේතු කෙටගෙන අධ්‍යාපන වැඩකටයුතුවලට බාධා පමුණුවනවා.

රෝගයෙන් අත් මිදෙන්නට කටයුතු කළ යුත්තේ කෙසේද?

පළමුවෙන්ම මනස නිරවුල්ව තබා ගත යුතුය. එලෙසම පවිත්‍රතාවය කෙරෙහි සැලකිලිමත් විය යුතුය. ඇඳුම් පැලඳුම් හොඳින් සෝදා දැඩි හිරු රශ්මියෙන් වියළා ගත යුතුය. උෂ්ණාධික ආහාර පානවලින් වැළකීමත් වැදගත්.

ඒ අනුව ගත යුතු සුදුසු ආහාර ලෙස, කොළ කැඳ, කතුරු මුරුංගා, එළකිරි, ගොටුකොළ, අළු කෙසෙල්, දිවුල්, වැල් මී, රටඉඳි, රත්තම්පලා, රණවරා, වදමල්, ඉරමුසු, සැවැන්දරා, කුඹුක්, මාදං, අට්ටික්කා ආදිය දක්වන්න පුළුවන්. ඔබ මෙවැනි රෝගයකින් පෙළෙනවා නම් අබ, අච්චාරු, තක්කාලි, අන්නාසි, රටදෙල්, බල මාළු, ඉස්සො, දැල්ලො, කකුළුවන්, රඹුටන්, මැංගුස්, හරක් මස්, අඹ, තෙල් බැදුම්, ක්ෂණික ආහාර හා බීම වර්ගවලින් හැකිතාක් වැළැකී සිටිය යුතුයි.

මෙකී රෝග ලක්ෂණ ඇත්නම් ලජ්ජා නොවී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමෙන් සදා කාලයටම රෝගී තත්ත්වයෙන් මිදීමට හැකිවෙනවා.

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය කාන්ති මදුරප්පෙරුම

ශ්වේත ප්‍රධරය හෙවත් සුද යෑම >>>