නොමේරූ දරු උපත් වලකාගන්නේ කෙසේද ?


නොමේරූ දරු උපතක් සිදුවීමට ඇති අවස්තා බොහොමයකි.ඒ අතරින් ස්භාවිකවම ඇතිවන නොමේරූ දරු උපත් , කළලය ආවරණය කරන පඨක නියමිත දිනට පෙර බිදීම  ( Water bag damage ) නිසා ඇතිවන නොමේරූ දරු උපත් , මවගේ සහ දරුවාගේ ජීවිත අවධානමකදී වෛද්‍ය විද්‍යාත්මක මැදිහත්වීමක් මත නියමිත දිනට පෙර කරනා දරු උපත් ආදිය දැකිය හැකිය.නොමේරූ දරු උපතක් ඇතිවීමට බලපාන සමහර අවදානම් තත්වයන් මගහරවාගත හැකි වන අතර තවත් සමහරක් වලක්වාගත නොහැකි අවදානම් තත්වයන් කලින් හදුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට කල්වේලා ඇතිව ක්‍රියාකල හැකිවේ.

පළමු දරුවා නොමේරූ දරුවෙකු නම් ඇතිවියහැකි අවදානම් තත්වයන් .

කලින් නොමේරූ ළදරුවෙකු ලැබී ඇති මවකට දෙවෙනි දරුවා නොමේරූ ළදරුවෙකු ලෙස ලැබීමේ අවධානම 20% කි.නොමේරූ ළදරුවන් දෙදෙනෙකු බිහිකල මවකට තුන්වන දරුවා නොමේරූ දරුවෙකු වීමට ඇති අවදානම 40% කි.නිවුන් දරු උපත්වලදී නොමේරූ දරුවන් ලැබීමේ අවදානම වැඩි නිසා එවන් අවස්තාවලදී ඉතා විශේෂ සැලකිල්ලක් දැක්වීම යහපත්ය.

මවගේ ගර්භාෂයේ හෝ යෝනි මාර්ගයේ සංකූලතා ඇතිවිටදී ...

ගර්භාෂයේ හෝ යෝනි මාර්ගයේ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතිවිටදී නොමේරූ දරුවන් බිහිවීමේ අවදානම වැඩිවේ.ගර්භාෂයේ ගෙඩි තත්වයන් ඇතිවිටකදී නොමේරූ දරුවන් බිහිවීමේ අවදානමක් ඇතිවේ.එමෙන්ම ගර්භණීය සමයේ මවට සිදුකරන නොයෙක් ශල්‍යකර්ම වලදී කුස තුළ වැඩෙන කළලය නොමේරූ ළදරුවෙකු ලෙස බිහිවීමේ අවදානම වැඩිවේ.යෝනි මාර්ගයේ හෝ ඒ ආශ්‍රිතව ඇතිවන බැක්ටීරියා ආසාදනවලදී එම බැක්ටීරියා යෝනි මාර්ගය ඔස්සේ ඉහලට ගමන්කර කළලය ආවරණය කරන පටල වලට ලගාවිය හැකි බැවින් ඇතිවන උත්තේජන නිසා Prosstaglandin  වැඩිපුර ශ්‍රවය වී ගර්භාෂයේ සංකෝචන වැඩි වී කළලාවරණ පටල දුර්වලවීමෙන් පිපිරීම් සිදුවිය හැකිය.මේ හේතුවෙන් කුස තුළ වැඩෙන කළලය නොමේරූ ළදරුවෙකු ලෙස බිහිවේ.

අඩු වයස් ගර්භණීභාවයන් වලදී .

වයස අවුරුදු 19 ට අඩු නව යොවුන් වියේ ගැබ් ගැනීම් වලදී නොමේරූ දරුවන් බිහිවීමේ අවදානමක් පවතී.නව යොවුන් වියේ දියණියන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මගින් යම්තාක් දුරට මෙම තත්වයන් වලක්වාගැනීමට හැකිවේ.ඇතැම් අවස්තාවලදී සමාජ ගැටලු සහ අඩු අධ්‍යාපනය මේ සදහා බලපායි.

වෙනත් කාරනා ..

ගර්භණීය සමයේ දුම්පානය කරනා මව්වරුනට කුස තුල වැඩෙන කළලයේ නියමිත සති ගණන සම්පූර්ණ කිරීමට පෙර කළල ආවරණ පඨල පිපිරීමේ අවදානමක් පවතී.එවිට නොමේරූ දරුවෙකු බිහිවේ.එම නිසා ගර්භණීය කාලය තුළ දුම්බීම නතරකල යුතුය.

ශරීරයේ ස්කන්ධ දර්ශකය හෙවත් BMI අගය 20 ට වඩා අඩු මව්වරුන්ටද නොමේරූ දරුවන් ඇතිවීමේ සම්භාවිතාවයක් පවතී.මේ නිසා ශරීරයේ ස්කන්ධ දර්ශකය අඩු මව්වරුන් මවක් වීමට පෙර යහපත් පෝෂණ පිලිවෙතක් අනුගමනය කරමින් BMI අගය 20 ට වඩා වැඩිකරගැනීමට කටයුතු කල යුතුය.

ගර්භණීභාවයන් දෙකක් අතර පරතරය එක් වසරකට වඩා අඩු වූ විටත් ලැබෙන දෙවැනි දරුවා නොමේරූ දරුවෙකු ලෙස බිහිවීමේ අවදානමක් පවතී.එම නිසා සුදුසු පවුල් සංවිධාන ක්‍රමයක් අනුගමනය කරමින් දරුවන් අතර හොද පරතරයක් පවත්වාගැනීමට කටයුතු කල යුතුය.

වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි කුමාරි
නොමේරූ ළදරු ඒකකය
මූලික රෝහල - ඇල්පිටිය

Post a Comment

0 Comments