ශ්වේත ප්‍රධරය හෙවත් සුද යෑම


අද සමාජයේ කාන්තාවන් තුළ බහුලව දැකිය හැකි රෝගයක්‌ බවට පත්වී ඇති මෙම රෝගයට ගොදුරුව ඇති කාන්තාවෝ ලැ-ජාව හේතුවෙන් ඒ පිළිබඳව පැවසීමට මැළිවෙති. ශ්වේත ප්‍රධරය හෙවත් සුද යැමේදී යෝනි මාර්ගයෙන් පිටවන ස්‍රාවයක්‌ හේතුවෙන් විවිධ ගැටලුවලට කාන්තාවෝ මුහුණ දෙන අතර, ශරීරය කෙට්‌ටුවීම හා ඇඟ උණුකරවා යැම එමගින් සිදුවන බවට මතයක්‌ පැවතියද එය සත්‍යයක්‌ නොවේ.

යෝනි මාර්ගයෙන් ස්‍රාවයක්‌ පිටවීම සාමාන්‍ය තත්ත්වයකි. එය ඇසෙන් කඳුළු ගැලීම හා නාසයෙන් සොටු දියර ගැලීම මුඛයෙන් කෙළ ගැලීම හා සමාන සමාන්‍ය තත්ත්වයක්‌ බව කිව යුතුය.ස්‌ත්‍රියකගේ ජීවිතයේ කිසියම් අවස්‌ථාවක යෝනි මාර්ගයෙන් සුදුපාට දියරයක්‌ සෙමින් තුනීවට වැගිරීම ශ්වේත ප්‍රධරය සේ දැක්‌විය හැකිය. මෙහිදී අල්පවූ ස්‍රාවයක්‌ යෝනි මාර්ගයෙන් පිටවීම ස්‌වභාවික තත්වයකි. එසේ පිටවන ස්‍රාවය පැළඳ සිටින වස්‌ත්‍රයෙහි ගෑවෙන තරම් ඇලෙන සුළුÊඋකුගතියෙන් යුක්‌තව ඌෂ්ණ ගතිය සමගින් වර්ණයන්ගෙන් නිතර දෙවේලේ පවතී නම් ජනේන්ද්‍ර පද්ධතියෙහි හට ගන්නා රෝගයක ලක්‌ෂණයක්‌ විය හැකිය.රෝගී තත්ත්වයක්‌ නොවන සාමාන්‍ය සුද යාමක්‌ ඉහත සඳහන් ආකාරයට පවතී නම් එය සාමාන්‍ය ලක්‍ෂණයකි. 

බාල වයස්‌වල විවාහවීම, අපිරිසිදුකම හේතුවෙන් ඇති වන විෂ දිලීරයක්‌ යෝනි මාර්ගය ආක්‍රමණය කිරීම, අධික මෙථූන සේවය, ගබ්සාවීම්, ශරීරයේ අවිවේකී බව, තරබාරුව, මළ මුත්‍රාවීමේ වේගය, ක්‍රිමි රෝග, තරුණ වියේදී කාමුක සිතිවිලි පහළවීම, හැඟීම් ඇවිස්‌සෙන සුළුÊපොත් බැලීම් ආදියද සුද යැමට හේතු වශයෙන් දැක්‌විය හැකිය. මෙම සමයන්හිදී මුත්‍රා පහ කරන විට මුත්‍රා සමඟ සුද කැදලි වශයෙන් සොටු දියර වශයෙන් පිටව යයි නම් එය දුර්ගන්ධ ගතියකින් යුතුව පිටවෙයි නම් හා ඇලෙන සුළු ගතියකින් පවතී නම් එවිට යෝනි මාර්ගයෙහි කැසීමක්‌ ඇති විය හැකිය. එම අවස්‌ථාව රෝගී ලක්‍ෂණයක්‌ විය හැකිය. මෙවැනි තත්ත්වයක්‌ මත ගබ්සාවීම්ද සිදුවිය හැකිය.

මෙවැනි තත්ත්වයක්‌ පවතින රෝගියාගේ යෝනි මාර්ගයන් අධික වශයෙන් සොටුදියර ආකාරයට කහ පැහැයට ලා වර්ණ පැහැයට රතු පැහැයට ආදී වශයෙන් ඒ ඒ රෝගියාගේ ශරීරයෙහි පවතින සප්ත ධාතුවල තිබෙන ප්‍රකෘති හා විකෘතිතාවය අනුව රෝග ලක්‍ෂණ එක්‌ අයකුගෙන් තවත් කෙනෙකුට වෙනස්‌ විය හැකිය. මෙහිදී මෙම තත්ත්වය මත ශරීරයට නිතරම වේදනාවක්‌ ගෙනෙන තත්ත්වයක්‌ පවතින අතර අධික තෙහෙට්‌ටුව පපුවට මහන්සිගතිය, පපුව රිදුම, තුනටිය යටිබඩ වේදනාව, බඩ කොරවීම, ආහාර අරුචිය, හිසෙහි බරගතිය සහිත වේදනාව, ක්‌ලාන්ත ගතිය, අධික දහදිය ගැලීම, බඩ පිපුම, කළවා ප්‍රදේශයේ වේදනාව, විශේෂයෙන් සවස්‌ කාලයේ මුත්‍රාපිටවීම වැඩිවීම දිගෙන් දිගටම පවතී නම් එය ශ්වේත ප්‍රධර රෝගයෙහි ප්‍රධාන ලක්‌ෂණ වේ.

තවද තරුණ හා මැදි වයස්‌වල පසුවන තැනැත්තන් හට තවත් රෝග ලක්‍ෂණ පහළවීමට ඇති ඉඩකඩ වැඩිවේ. එවිට නිතර ක්‌ලාන්ත ගතිය, හිසෙහි වේදනාව, බඩේ වේදනාව, ඔසප් චක්‍රය අඩු වැඩි වීම හා දින කාලය වෙනස්‌කම් හා ශරීරය කෙට්‌ටුවීම, හෘදයවස්‌තුව දුර්ලවීම, පපුවෙහි කොටසින් කොටස වරින් වර වේදනාව දැනීම, මහන්සිය, ශරීරයේ මුත්‍රා දැවිල්ල, මුත්‍රාවර්ණය වෙනස්‌වීම, මුත්‍රා මද වශයෙන් පිටවීම, යටි පතුල් වේදනාව/ දැවිල්ල, අතපය හා කකුල්වල තද වේදනාව, අධිකව දහදිය දැමීම, ආහාර අරුචිය, අධික කේන්තිය, ශරීරය මළානිකවීම, ඇස්‌ වටය කළුපැහැ ගැනීම, ඇස්‌ ඇතුළට ගිලී පැවතීම, හිස කෙස්‌ ගැලවී යැම ආදී රෝග ලක්‍ෂණ වශයෙන් එක්‌ අයකුගෙන් තවත් අයකුට වෙනස්‌ව රෝග ලක්‌ෂණ පැවැතිය හැකිය.

මෙම රෝගී තත්ත්වයන් නිතර බහුලව පවතී නම් එය අසාමාන්‍ය ආකාරයේ ප්‍රධර තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. ඒ සඳහා ප්‍රතිකාර ලබාගත යුතුය. මෙවැනි තත්ත්වයක්‌ පවතින විට එය ලැ-ජාවට සඟවාගෙන රහසක්‌ වශයෙන් තබාගත හොත් කල් යත්ම පිටවන ස්‍රාවයන් තැවරීම, හේතුවෙන් ඉකිළි, කළවා ප්‍රදේශවල රෝගයන් ඇතිවීමට ඉඩ තිබේ.

ඉහත කී රෝගී ලක්‌ෂණ පවතින අය විශේෂයෙන්ම පළඳිනු ලබන වස්‌ත්‍ර ඉතා පිරිසිදුව තබා ගැනීම, කපු පුළුන්වලින් නිම කරන ලද රෙදි වස්‌ත්‍ර සෝදා හොඳින් අව්වේ වේලාගෙන පරිහරණය කළ යුතුය.ප්‍රතිකාර කිරීමේදී එම රෝගයට හේතුව සොයා බලා ප්‍රතිකාර ලබාගත යුතුය.

වා, පිත්, සෙම්, තුන්දොස්‌ ආදිය සමනය කරන අයුරින් ප්‍රතිකාර ලබාගත යුතුය. තවද රෝග කල් ගතවන විට සුව කිරීමට අපහසුතාවක්‌ද පැවතිය හැකිය. වෛද්‍යවරයා විසින් ලබා දෙන උපදෙස්‌ වලට හා ප්‍රතිකාර ඖෂධ ආදිය ලබාගැනීමෙන් හොඳ මනා පැවතුම් වත් පිළිවෙත් අනුගමනය කිරීමත් කළ යුතුය.

තවද තමන් විසින් ගන්නා ආහාර පාන ගිනියම් නොමැති මධ්‍යස්‌ථ ආහාර විය යුතුය. තේ, කෝපි, සීනි බහුලව නොගත යුතුය. චොකලට්‌, කොකෝවා මිශ්‍ර ආහාර වර්ග අහිතකරය. ශීත කළ ආහාර වර්ග, පැණිබීම වර්ග, අච්චාරු, විනාකිරි මිශ්‍ර ද්‍රව්‍ය, තක්‌කාලි, දෙල්, කිරිඅල, ඇඹුල් වර්ග, ඉස්‌සෝ, දැල්ලන්, කකුළුවන්, බලයා, හුරුල්ලා ආදී මාළු වර්ගද, සැමන්, සලාද, අන්නාසි, අඹ, ලොවි, රඹුටන් ආදී පලතුරු වර්ගද මෙම රෝගී තත්ත්වයට අගුණය. යෝග්‍ය ආහාර වනුයේ පළා වර්ග, කොළ කැඳ වර්ග, සුවදැල් කෙසෙල්, නේත්‍රාපලම් කෙසෙල් යනාදියයි. දිනපතා උදෑසන ස්‌නානය කර කැඳ වීදුරුවක්‌ හෝ තැඹිලි පානය කළ යුතුය. එසේම පිරිසිදු ඇල්දිය වීදුරුවක්‌ පානය කිරීම අගනේය. ඉතා හොඳ පැවැත්මෙන් යුතුව ප්‍රතිකාර ලබා ගන්නා විට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව හැකිතරම් දුරට අධ්‍යාත්මිකව, ප්‍රතිපත්ති අනුකූලව ගති පැවතුම්වලින් පරිපූර්ණව කාලය ගත කරමින් සිත තැන්පත් කර ගනිමින් ප්‍රතිකාර ලබාගත යුතුය. එවිට රෝගයෙන් මිදී යථා තත්ත්වයට පත් විය හැකිය.

ආයුර්වේද වෛද්‍යාචාර්ය ඩබ්ලිව්. ඒ. ටී. පී. සමරජීව - 
මාවැල්ලේ ආයුර්වේද ඖෂධ ශාලාව, 
ගොතටුව නව නගරය.