අප සේවාදායකයන් පදිංචිව සිටින නිවාස නැතහොත් නිවාස ඉදිකිරීමට බලාපොරොත්තු වන ඉඩම්වල සුබාසුබ පරීක්‍ෂා කර දෙන මෙන් කෙරෙන ඉල්ලීම් බොහෝ ය. ජන්ම පත්‍ර පරීක්‍ෂා කරන විට තත්කාල ශාස්‌ත්‍රය මගින් ද පදිංචි ඉඩම් හා ගෙවල් වල තොරතුරු කිව හැකිය. එහෙත් එම හඳුනාගත් දෝෂ නිවැරැදි කිරීම සඳහා භූමි පරීක්‍ෂාව ද අවශ්‍ය වන අතර ඉල්ලීම් කෙරෙන්නේ ඒ අනුවය.
නවීන විද්‍යාවට එකඟ දේ පමණක් සත්‍යය යෑයි පිළිගන්නා භෞතිකවාදීන් බහුල මෙකල කිසියම් නිවසක දොර පිහිටා ඇති ස්‌ථානය අයහපත් බව හෝ ඉඩම නුසුදුසු බව කීම පමණක් ප්‍රමාණවත් නොවේ. එයින් වන අයහපත කුමක් ද? බොහෝ අය එසේ විමසති. පුරාණ වාස්‌තු විද්‍යා පොත්පත්වල මෙන්ම නවීන පොත් වල ද වාස්‌තු දෝෂ සඳහන්ව ඇතත් එම දෝෂ සත්‍ය බවට විද්‍යාත්මකව තහවුරු කර ඇති අවස්‌ථා දක්‌නට නොලැබෙන තරම් ය.
සමහර ඉඩම් හා ගෙවල් වාසනාවන්ත බවත් තවත් සමහර ගෙවල්වල පදිංචිව සිටි අයට බොහෝ කරදර හා විපත් ඇති වූ බවත් දක්‌නට ලැබේ. සමහරුන්ට කරදර කාලයක් උදාවන්නේ අලුත් නිවසක පදිංචි වූ පසුවය. මේ කරුණ පිළිබඳව විමසා බැලීම මෙම ලිපියේ පරමාර්ථයයි.
උතුර, ඊසාන, නැඟෙනහිර පහත් බිම සුබපලදායකය. ඒ පුරාණ වාස්‌තු ශාස්‌ත්‍රයේ නියමයකි. එසේ වන්නේ මන්දැයි සෙවීමට අප වාසය කරන පෘථිවියේ පිහිටීම දෙස අවධානය යොමු කළ යුතු වේ. (රූපය බලන්න)
අප වාසය කරන්නේ ගෝලාකාර ලෝකයකය. එය සූර්යා වටා ගමන් කරමින් තිබේ. තමා වටාම එක් වරක් පැය විසිහතරකට වරක් භ්‍රමණය වන පෘථිවිය ඉලිප්සාකාර මාර්ගයක සූර්යා වටා පරිභ්‍රමණය වෙයි. පෘථිවිය, නිරක්‍ෂය මගින් දෙකට බෙදෙන්නේ උත්තරාර්ධගෝලය හා දක්‍ෂිණාර්ධ ගෝලය වශයෙනි. එය නැඟෙනහිර දිශාවට ඇල වී තිබේ. එනම් ඊසාන ප්‍රදේශය සූර්යයා දෙසට ඇල වී ඇත. උතුර ඊසාන හා නැඟෙනහිර ප්‍රදේශයට හිරුගේ ආකර්ෂණය හා එළිය මනාව ලැබේ. දකුණ, බටහිර, වයඹ දක්‌වා හිරු එළිය ලැබෙන්නේ නැත. අඳුරුය. හිරුගේ ආකර්ෂණය, එළිය මනාව ලැබෙන විට ඒ ප්‍රදේශය භ්‍රමනය මගින් හිරුගේ දිශාවට හැරී තිබිය යුතු වේ. බටහිර සිට නැගෙනහිරට භ්‍රමණය වන විට මේ තත්ත්වය ඇති වේ.
පෘථිවිය චුම්භකයක් ලෙස ද ක්‍රියා කරයි. එහි උත්තර ධ්‍රැවය හා දක්‍ෂිණ ධ්‍රැව කුඩා චුම්භකයක උතුරු දකුණු ධ්‍රැව මෙන් ම ක්‍රියා කරයි. උතුරු කටුව හෙවත් මාලිමා යන්ත්‍රය ක්‍රියා කරන්නේ මේ අනුවය. චුම්බක උතුර පෘථිවියේ දකුණට ආකර්ෂණය වේ. එහි දකුණ පෘථිවියේ උත්තර ධ්‍රැවය දෙසට කැරකී නවතී. එහි උතුරේ සිට දකුණට චුම්බක බල රේඛා ගමන් කරනු ඇත.
චුම්බක උතුර ධන ආරෝපිත වන අතර දකුණු දිශාව සෘන ආරෝපිතය. පෘථිවියේ තත්ත්වය මෙසේ වන අතර උතුරෙන් දකුණට ධන ආකර්ෂණ ශක්‌තියක් පවතී.
අප පදිංචිව සිටින නැතහොත් මිලදී ගන්නට බලාපොරොත්තු වන ඉඩමේ තත්ත්වය ද එසේමය. ඒ ඉඩම ද මහා පෘථිවියේම කොටසක් වන බැවිනි. ඉඩමේ ශක්‌තීන් ගලා යන්නේ ධන දිශාවට ද නැතහොත් සෘන දිශාවට ද යන්න තීරණය වන්නේ එහි පිහිටීම අනුවය. උස් පැත්තේ සිට පහත් පැත්තට ශක්‌තිය ගලා යයි. සෘන හෝ ධන වන්නේ මේ අනුවය.
ඉඩම ස්‌වභාවිකව පිහිටා ඇති ආකාරයට එහි කෙළවර උස්‌ව හෝ පහත්ව පිහිටිනවා ඇත. පෘථිවි ගෝලයේ පිහිටීම අනුව උතුර, ඊසාන හා නැඟෙනහිර ධනාත්මක බව ඉහත දක්‌වන ලදී. එම දිශාවන්ට ප්‍රතිවිරුද්ධ වූ දකුණ, නිරිත, බටහිර සෘන හෙවත් අයහපත් බලශක්‌තියක් පෙන්වනු ඇත. ඉඩම උස්‌ව පිහිටා ඇති දිශාව අනුව ඉඩමේ ශුභ අශුභ තත්ත්වය තීරණය වන්නේය.
මෙම න්‍යාය විද්‍යාත්මකය. පුරාණ වාස්‌තු විද්‍යාත්මක නියමයන් මෙයට කොතරම් එකඟ ද යන්න විමසා බලන විට මනාව පැහැදිලි වේ. පහත සඳහන් වන්නේ වාස්‌තු ග්‍රන්ථවල සඳහන් නියමයන් කිහිපයකි.
ගජ පෘෂ්ඨ භූමිය
යම් ඉඩමක් දකුණ, බටහිර, වයඹ, නිරිත, යන දිශාවන් උස ද එම භූමිය ගජ පෘෂ්ඨ භූමිය නම් වේ. මෙම භූමියේ වාසය කරන අය ධනයෙන් පිරුණේa වෙයි. ආයුෂ වර්ධනය වේ. මෙහි සැකයක් නැත.
කුර්ම පෘෂ්ඨ භූමිය
යම් භූමියක මැද උස්‌ව වටේට පහත්ව ඉබ්බෙකුගේ පිට මෙන් තිබේද එහි වාසය කරන අය සැප ද, මහත් වූ ධනය ද වස්‌තු සම්පත් ලැබීම ද වෙයි.
දෛත්‍ය පෘෂ්ඨ භූමි
යම් බිමෙක නැගෙනහිර, ඊසාන, ගිනිකොන උස්‌ව බව වේද, බස්‌නාහිර පහත් ද එය දෛත්‍ය පෘෂ්ඨ භූමි නමි. එහි වාසය කරන අයට ධන, ප්‍රඥා, සිවුපා, යන මොවුන් හානි වේ. මෙහි සැකයක් නැත. ඉතා අශුභ බව කියන ලදී.
ඊසාන පැත්ත පහත් වූ භූමිය ශ්‍රියාව හා සැප දෙන්නීය. නැඟෙනහිර පහත් වූ භූමිය අභිවෘද්ධිය ඇති කෙරේ. උතුර පහත් භූමිය ධනය දෙනවා ඇත. දකුණ පහත් භූමිය මරණය හා ශෝකය පමුණුවයි. නිරිත දිගට පහත් නම් ගෘහ හානිය සිදු වේ. ගිනිකොන පහත් නම් ධන හානි වේ. බටහිර පහත් භූමිය කීර්තිය දෙයි. ධන හානි වෙයි. වයඹ පහත් භූමිය ද ශුභ නොවේ.
මෙකල නවීන වාස්‌තු විද්‍යාව හදාරා ගෘහ නිර්මාණ ශිල්පයේ යෙදෙන උගතුන් මේ අන්දමේ භූමි පරීක්‍ෂාවක් කරන බවක් නොපෙනේ. එහෙත් අපගේ අතීත සිංහල ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව සජීවී උදාහරණ වන ශ්‍රී දළදා මාලිගාව, සීගිරිය, මෙන්ම අනුරාධපුර නගර නිර්මාණයේ නටබුන් දෙස ද බලන විට ඒවා විස්‌මයජනක නර්මාණ බව පිළිගැනීමට සිදුවේ.
පුරාණ වාස්‌තු විද්‍යාව ගෘහ නිර්මාණයට පමණක් සීමා වී නැත. එය නිවසේ වාසය කරන අයගේ ඇඳ, පුටු, මේස වැනි ගෘහ භාණ්‌ඩ හා පාවහන් ආදියේ නිර්මාණය දක්‌වා වටිනා නීති - රීති පෙන්වා ඇති අතර, ගෙවත්තේ වැවිය යුතු ගස් - වැල් පිළිබඳව ද කියා දෙයි.
අප මෙම ලිපිය මගින් සොයා බැලීමට උත්සාහ කළේ ඉඩමක සුබාසුබ තීරණය කළ පැරැණි වාස්‌තු නීති රීති කොතරම් දුරට විද්‍යාත්මකද යන්නයි. බිත්ති බැඳීම, දොර ජනෙල් පිහිටුවීම, වහල, මුළුතැන්ගෙය හා ළිං ආදී කරුණු පිළිබඳව සොයා ගෙන ඇති පුරාණ වාස්‌තු විද්‍යා මූලධර්ම ද මෙවැනි විද්‍යාත්මක පදනම මත පිහිටා ඇති අතර ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමු.
කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්
0 Comments