කෝණ මාස වල නිවාස සෑදීම සුබද?

වාස්‌තු ශිල්පය යනු ස්‌වභාව ධර්මයට එකඟව විශ්ව ශක්‌තීන්ගේ දෝලනයට පටහැනි නොඑන ලෙස භූමිය මත සිදු කරනු ලබන නිර්මාණ ක්‍රියාවලියන් පිළිබඳව අවශ්‍ය භෞතික සහ පාර භෞතික දැනුම සපයන සුවිශේෂි විෂයක්‌ ලෙස ඉතාමත් කෙටියෙන් හඳුන්වා දිය හැකියි. නූතන නිවාස සැලසුම්කරණයේදී බොහෝ අය විශේෂ අවධානයක්‌ යොමු කරනු ලබන්නේ භෞතික පැතිකඩ සඳහා පමණි. එය නිවැරදි ක්‍රමය නොවන බව මතක තබා ගත යුතුයි. නිවසක්‌ ඉදිකිරීමේ දී භෞතික පැතිකඩට අමතර වශයෙන් ඒ හා බැඳුනු ආධ්‍යාත්මික පැතිකඩත් ප්‍රබලව ක්‍රියාත්මකවන බව හඳුනාගත යුතුයි. මෙම ආධ්‍යාත්මික පැතිකඩ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී වාස්‌තු විද්‍යාව තුළ හමුවන සංකල්ප රාශියක්‌ පවතිනවා. ඒවා අතර වාස්‌තු පුරුෂය, බ්‍රහ්ම පාදය, විශ්ව ශක්‌තිය, සුභ සහ අසුභ පාද, සුභ අසුභ දිශා, බහිරව පූජා, භූමි ඥාතීන්, කෝණ මාස සහ වාස්‌තු මරමස්‌ථාන ආදි ලෙස සංකල්ප රාශියක්‌ සඳහන් වෙනවා. මේවා පිළිබඳව නූතන ජනයා අතර පවතින දැනුම් අල්ප භාවය නිසාම නොසලකා හැර තිබීම ඉතාම කණගාටු දායක තFවයක්‌ ලෙස පෙන්වා දිය හැකියි.

වාස්‌තු ශිල්පය තුල හමුවන මෙවැනි පාර භෞතික සංකල්ප පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ මේ සෑම සංකල්පයකම විද්‍යාත්මක සත්‍යයන් පිළිබිඹු වන බව සහ ඉතාමත් තර්කානූකූලව ඒවා නූතන විද්‍යාව සමග සැසඳිය හැකි බවයි. පෙර විසූ අපගේ මුතුන් මිත්තන් මෙම වාස්‌තු සංකල්පය පිළිබඳව විශ්වාස කොට ඒවා ඇදහූ අතර ඒවායේ විපුල ප්‍රයෝජන ලබා ගන්නා ලදී. එසේ වුවද ව්‍යාජ කාර්මීකරණය හා තාක්‍ෂණ දියුණුව හමුවේ බිහිවී තිබෙන භෞතිකවාදී සංකල්ප නිසා මිනිසා හැම දෙයක්‌ම භෞතික අන්තයෙන් සිතීම තුල අතරමං වී ඇති බව පෙනී යනවා.

එසේ වුවද ආධ්‍යාත්මික බලය භෞතික බලයට වඩා සිය දහස්‌ ගුණයකින් වැඩි බව සිහිතබා ගත යුතුයි. මේ ගැන ඔබට පුංචි නිදසුනක්‌ පෙන්වන්නම්. ඔබට කොපමණ මිල මුදල් හා භෞතික සම්පත් තිබුණත් ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ බලවත් නම්, ඔබගේ මානසික ආතතිය සහ මානසික පීඩනය ඉහළ යාම තුළ සතුට ඔබගේ නිවසින් පලා යනු ඇත. එය ඔබට භෞතික දේවල් තුළින් ඉටුකර ගැනීමට හැකියාවක්‌ නැහැ. ඔබගේ රෝග පීඩා ඉස්‌මතු වීම පවුලේ සමගිය පළුදු වීම, සතුරන් ඇතිවීම, වැනි දේද ආධ්‍යාත්මක සංකල්ප තුල මතුවන්නා පාර භෞතික පැතිකඩක්‌ බව මතක තබා ගන්න.

පෙර විසූ ඍෂි උතුමන් මිනිසාට තේරුම් ගත නොහැකි ගැඹුරු සිද්ධාන්ත ඔවුනට සරලව තේරුම් කර දීම සඳහා විවිධ සංකේත සහ සංකල්ප මගින් ඉදිරිපත් කළා. වාස්‌තු පුරුෂ සංකල්පද එවැන්නක්‌ බව මතක තබා ගන්න. විශ්ව ශක්‌තීන් දෝලන න්‍යාය පැහැදිලි කර දීම සඳහා වාස්‌තු පුරුෂ සංකල්පය යොදාගත් බව මනාව ඔප්පු වෙනවා. එසේම භූමියේ පාද බෙදීම තුලද ඇත්තේ එවැනිම විද්‍යාත්මක සිද්ධාන්ත සමූහයකි. භූමිය මත ඇතිවන්නා ධන හා ඍ තරංග වල රටාව භූමියේ පාද සටහන තුලින් ඉදිරිපත් කර තිබෙනවා. එසේම කෝණ මාස වශයෙන් ඉදිකිරීම් නොකළ යුතු කාල පරාසයක්‌ පෙන්වා දී තිබෙනවා. එය වර්ෂයකට කෝණ තුනක්‌ ලෙස දක්‌වා තිබෙනවා. එහිදී සිදුවන්නේ පෘථිවියේ භ්‍රමණය හා පරිභ්‍රමණය තුල සිදුවන විචලනයන් නිසා ඇතිවන්නා වූ විශේෂ තවයන් පිළිබඳව හඳුන්වා දීමට සහ පෘථිවිය තුල චුම්භක ශක්‌තිය ප්‍රබල කාලයක්‌ වන මෙම කෝණ මාස තුල දී කරනු ලබන ඉදිකිරීම්වල විවිධ අඩුපාඩු සහ ඉරි තැලීම් හා ගිලා බැසීමට තිබෙන අවදානම අවම කර ගැනීම සඳහායි.

ඉහතින් පෙන්වා දුන් පරිදි වාස්‌තු ශිල්පය යනු සුවිශේෂි විෂය ධාරවක්‌ වන අතර ජ්‍යෙතිෂ්‍ය විද්‍යාව යනු වාස්‌තු විද්‍යාව නොවන බව ද මතක තබා ගත යුතුයි. වාස්‌තු ශිල්පය තුලදී ජ්‍යෙතිෂ්‍ය සංකල්පය යොදා ගැනීම පමණක්‌ සිදු කරන අතර වාස්‌තු ශිල්පය යනු වෙනම විෂයකි. මෙය වරද්දා ගෙන තිබෙන බව ප්‍රායෝගිකව අත්දැකීම් තුළින් මනාව පෙනී ගොස්‌ තිබෙනවා.

නූතනයේ නිවාස සැලැස්‌මක වාස්‌තු පරීක්‍ෂා කිරීම සඳහා බොහෝ අය සොයා යන්නේ ජ්‍යෙතිෂ්‍යවේදියා ළඟටයි. එය හරියට ලෙඩකට බෙහෙත් ගැනීමට දොස්‌තර ළඟට යනවා වෙනුවට කොන්දොස්‌තර ළඟට යනවා වගේ වැඩක්‌. නිවාස සැලැස්‌මක නැකත් බැලීම යනු වාස්‌තු බැලීමේ නොවන බව ඔබ මනාව අවබෝධ කර ගන්න. නිවසක්‌ ඉදිකිරීමට අවශ්‍ය සූභ මුහුර්තිය ලබාගැනීමට ජ්‍යෙතිෂවේදියා ළඟට යාම සුදුසු වන අතර වාස්‌තු බලා ගැනීමට වාස්‌තු ශිල්පයෙකු ළඟට යා යුතු වේ. වාස්‌තු ශිල්පයා සතුව සුවිශේෂි හැකියාවන් භෞතික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් තිබිය යුතුයි. ගෘහ නිර්මාණ ශිල්පියා සහ වාස්‌තු ශිල්පියා වෙනස්‌ වන්නේ එබැවිනි. වාස්‌තු ශිල්පියා සතුව ජ්‍යෙතිෂ්‍ය දැනුම, ගෘහ නිර්මාණ සහ තාක්‍ෂණ දැනුම වාස්‌තු ශිල්පීය දැනුම සහ වාස්‌තු මනෝවිද්‍යාත්මක දැනුම මෙන්ම ආධ්‍යාත්මික පරිචයක්‌ ද පැවතිය යුතුයි. එම නිසා වාස්‌තු ශිල්පය නිසියාකාරයෙන් හඳුනාගෙන ඔබගේ ගෘහයේ විශ්ව ශක්‌තිය නිසිලෙස එකඟ කර ගැනීමට ලෝ වාසීන්ට ප්‍රඥාව ලැබේවා යෑයි මෙත් සිතින් පතමු.  

වාස්‌තුවිද්‍යා විශාරද පේරාදෙණියේ, ඩී. යූ. සෙනරත්

Post a Comment

0 Comments