කාරුණිකබව, ධාරණ ශක්‌තිය පෙන්නුම් කරන චන්ද්‍ර මංඩලය

අත්ලේ පිහිටි චන්ද්‍ර මංඩලය පිළිබඳවයි අද අපි විස්‌තර කරන්නේ, පළමුවෙන්ම මේ සමඟ පළවන රූප සටහනත් බලා චන්ද්‍ර මංඩලය පිහිටා ඇත්තේ කොහේද කියා තේරුම් ගන්න. බුධ මංඩලයේ හා ඉහළ කුජමංඩලයේ පහත කොටසේ සිට මැණික්‌කටුවේ ඉහළ කොටස දක්‌වා වූ ගොඩැලි ප්‍රදේශය චන්ද්‍ර මංඩලයට අයත්වේ. කාරුණික බව, ධාරණ ශක්‌තිය, තැන්පත්කම, ශාස්‌ත්‍ර ඥනය ආදිය චන්ද්‍ර මංඩලය මගින් පෙන්නුම් කරයි. චන්ද්‍රයාගෙන් නිකුත්වෙන තරංග චලන ශක්‌තින් ගබඩා කරන ස්‌ථානය ලෙස චන්ද්‍ර මංඩලය හැඳින්විය හැක.

සඳු හෙවත් චන්ද්‍රයා සෞම්‍ය ගුණයෙන් යුතු ග්‍රහයෙක්‌ වෙයි. එම සෞම්‍ය ගුණය චන්ද්‍ර මංඩලයේ පිහිටීම අනුවද පුද්ගලයා තුළින්ද විද්‍යමානවෙයි. ප්‍රබල චන්ද්‍ර මංඩලයක්‌ පිහිටා ඇති අය බොහෝවිට දයාව, කරුණාව ආදී යහපත් ගති ලක්‍ෂණවලින් යුතු අයවෙති. අන් අයට හැමවිටම උදව් උපකාර කිරීමට උනන්දුවක්‌ දක්‌වන්නෝය. මෙම මංඩලය පිරුණු බවින් යුතුව ප්‍රබල වූ තරමටම එහි ඵලදායි බවත්, වාසනාවත් පෙන්නුම් කරයි. ප්‍රබල නොවීනම් පහත්වූ ආකාරනම් ප්‍රතිඵලද හීනවේ. මෙම මංඩලයට ලම්භාකාර හෙවත් ඉහළට ගිය රේඛාවක්‌ වැටී ඇත්නම් චන්ද්‍ර මංඩලයේ වැදගත්කම වැඩියෙන් කැපී පෙනෙයි. එවිට ඔවුන්ගේ පරිකල්පන දියුණුව පෙන්වන අතර වාසනාවන්ත ජීවිතයක්‌ ගත කිරීමට හැකියාවද ලැබෙයි. අධ්‍යාපනයට හා විවිධ න්‍යාය ශාස්‌ත්‍රයනට ඇලුම් කරන ඔවුන් ඥන කෝෂයක්‌ හා සමානවෙයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි භක්‌තියක්‌ හා ලැදියාවක්‌ දක්‌වන ඔවුන් සාමකාමි පුද්ගලයෝ වෙති. ඔවුන් නිර්මාණාත්මක ශක්‌තියෙන් ඉතා දියුණුය. මනඃකල්පිත ලෝකයක ජීවත්වෙන ඔවුන් ගුප්ත ශාස්‌ත්‍රයට වඩා ලැදියාවක්‌ දක්‌වති. දක්‍ෂ ලේඛකයින්, කාව්‍ය රචකයන්. ග්‍රන්ථ කතුවරුන් වැනි නිර්මාණ කරුවන්ගේ අත්වල මෙම චන්ද්‍ර මංඩලය මනාව වැඩී ඇති බව දැකිය හැක. සතුන්ට, අසරණ අයට මෙන්ම දෙමාපියන්ටද වැඩි ආදරයක්‌ කරුණාවක්‌ දක්‌වන අතර ඔවුන්හට සරණ වීමට හැමවිටම ඉදිරිපත් වෙයි. කුමන ප්‍රශ්නයක්‌, කරදරයක්‌ ඇතිවූවත් ඒ හැම දෙයකටම සිනහමුසුව ඉදිරිපත්වීම ඔවුන්ගේ සිරිතය. ඉතා සුළු දෙයකදී පවා කලබලකාරි ගතියක්‌ දක්‌වන ඔවුන් තමන්ගේ හැකියාවන් පිළිබඳ පවා සැක ඇති කර ගනී. මෙය ඔවුන්ගේ දියුණුවටද බාධකයක්‌ වෙයි. චන්ද්‍ර මංඩලය උස්‌ව මැණික්‌ කටුව දිශාවට විහිදී කෝණයක ලක්‍ෂණයකින් යුක්‌තවේ නම් හේ ඉතා බුද්ධිමත් හේතු සම්පන්න කෙනෙක්‌ වෙයි.

චන්ද්‍ර මංඩලය කුඩාව, පහත්වුන ආකාරට පිහිටියේ නම් සඳු ග්‍රහයාගෙන් ලැබෙන ගුණාගුණ හීනවේ. ජීවිතයේ සතුට, ආදරය, ප්‍රේමය වැනි දේ ගැන හැඟීම් නැති අන් අයගේ ආදරයට, සැලකිල්ලට යොමු නොවන අයෙකු ලෙස පෙන්නුම් කෙරේ. දුබල වූ චන්ද්‍ර මංඩලයක්‌ ඇත්තේනම් බොහෝවිට නිකරුනේ කාලය ගෙවන අයෙක්‌ වෙයි. අලසබව ඔවුන් තුළින් කැපී පෙනෙයි. බොහෝ දේවල් ගැන සිහින මවන නමුත් එම සිහින සැබෑ කර ගැනීමට උත්සාහ නොගැනීම ඔවුන්ගේ දුර්වලකමක්‌ වෙයි.

ක්‍ෂණික කෝපය හැම විටම ප්‍රදර්ශනය කරයි. යම් දෙයක්‌ පිළිබඳව නිශ්චිත තීරණයක්‌ ගැනීමට අපොහොසත් වෙයි. ගුප්ත දේවල් මිත්‍යා විශ්වාස කෙරෙහි වැඩි විශ්වාසයක්‌ තබයි. මේනිසා ඔවුන් බොහෝවිට කපටි පුද්ගලයන්ගේ රැවටිලිවලට අසුවේ. ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකීමේදී උදරය ආශ්‍රිත රෝග සෑදීමට හේතුවිය හැක. ස්‌ත්‍රීන්ගේ ගර්භාෂයේ හෝ මුත්‍රාශය ආශ්‍රිත ගැටළු මතුවිය හැක. සඳු හෙවත් චන්ද්‍රයා මොළය හා සම්බන්ධ හෙයින් මොළයේ ආබාධ හෝ වලිප්පුව වැනි තත්ත්වයන් ද දැකිය හැක. මෙසේ වුවත් නිගමනයකට එළඹීමට පළමු අත්ලේ රේඛා පිළිබඳවද පරීක්‍ෂා කළ යුතුය.

ප්‍රබල චන්ද්‍ර මංඩලයක්‌ සහිත පුද්ගලයෝ වැඩිපුර සංචාරය කරති. චන්ද්‍ර මංඩලයේ පැහැදිළි ලෙස සිරස්‌ව හෝ තිරස්‌ව රේඛා පිහිටා ඇත්තේ නම් අනිවාර්යයෙන්ම විදේශ ගතවීමට හිමිකම ලැබෙයි. මෙහි ඉහත සඳහන් ආකාර රේඛා කීපයක්‌ වෙයිනම් ඒවා තැනින් තැන කැඩී කැබලි ආකාරවේනම් හේ ඉතා අවාසනාවන්ත ජීවිතයක්‌ ගත කරන්නෙක්‌ වේ.

යමෙකුගේ ජීවන රේඛාවේ පහල දිශාවෙන් රේඛාවක්‌ පටන්ගෙන එය චන්ද්‍ර මංඩලය පසුකරගෙන අතේ පැත්තේදී අවසන් වේනම් ඒ හේතුවෙන් හෙතෙම යාත්‍රා කාරයෙක්‌ වෙයි. එමෙන්ම චන්ද්‍ර මංඩලයේ කවයක සටහනක්‌ පෙන්නුම් කරයි නම් හෙතෙම දියේ ගිලී මරණයට පත්වන්නෙක්‌ වේ.

හිඹුටානේ - පියතිලක ද අල්විස්‌
හිඹුටාන, මුල්ලේරියාව නව නගරය.

Post a Comment

0 Comments