රජ ගෙදරටත් වෙදකම් කළ මීගහවත්තේ බාරොන් වෙද ගෙදර

මිනිස්‌ සිරුරේ අස්‌ථි පංජරයට ඇතිවන කැඩීම්, බිඳීම්, අවසන්ධි වීම්, තැලීම්, කෙටීම් හා සුෂුම්නාවේ ආබාධ යථා තත්ත්වයට ගෙන ඒමට බාරොන් සිංඤෝ වෙදැදුරු විශේෂ බවක්‌ දැක්‌වීය. මේ වෙදැදුරු පත්තු, මැල්ලුම්, පැණි පත්තු හා තෙල් බෙහෙත්වලින් කරන ප්‍රතිකාරය කිසි දිනෙක වැරදුනේ නැත.

ඔහු නිහතමානීය. කිසි විටෙක කලබල වූයේ නැත. තමාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන ඕනෑම රෝගියකුට දැඩි ලෙන්ගතුකමක්‌ දැක්‌වීය. වේලාව, අවේලාව ප්‍රතිකාරයන්හිදී එතරම් සැලකිල්ලට නොගත්තේය. සෑම තත්පරයක්‌ම රෝගීන්ගේ හිත සුව පිණිස යෙදවීම ඔහුගේ පරම පවිත්‍ර ෙච්තනාවම විය.

අවසන් කාලයේදී මීගහවත්ත සියඹලාපේ දික්‌වෙල හන්දියේ ස්‌ථිරව පදිංචි වෙමින් පූර්ණකාලීනව වෙදකමෙහි නිරත වූ ඔහු මීට වසර කිහිපයකට පෙර මියගියත් සිය වෘත්තීය නොනැසී පවත්වාගෙන යැමට සුදුසු අයෙකු බිහිකර තිබීම හෙළ වෙදකමට කළ මහත් පිටිවහලක්‌ සේ සැලකිය හැකිය.

පසුගිය දිනෙක අපි මේ බාරොන් වෙදැදුරුගේ එකම පුත් ධනුෂ්ක සම්පත් වෙද මහතා හමුවීමට ගියේ සිය පියාගෙන් ලැබූ පන්නරය හෙළ වෙදකමට මුසුකර ඇත්තේ කෙසේදැයි දැන ගැනීමටය.

මා මුලින්ම ඔහු හා පිළිසඳරකට එක්‌වෙමින් ඔබේ පියා රජ ගෙදරටත් වෙදකම් කර තිබෙනවා නොවේදැයි අතීත මතක සටහන් මෙනෙහි කරවමින් ඇසීය.

ඇත්තෙන්ම ඒ ගැන කතා කරන්නත් සතුටුයි. මොකද මගේ අප්පච්චිගෙ වෙදකම සාමාන්‍ය ජනතාව අතර නොව මැති ඇමැතිවරුන් අතරත් ප්‍රචලිත වෙලා තිබුණා. රජ ගෙදරට වෙදකම් කළා කියන්නේ එවකට හිටපු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහත්තයත් බොහෝ වෙලාවලදී මගේ අප්පච්චිගෙන් වෙදකම් අරගෙන තියෙනවා. මේ ලෝකේ මොන තරම් බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුයි කියල කිව්වත් එතුමා සිංහල බෙහෙත්වල ඇති සැබෑ තත්ත්වය තේරුම් ගෙන තිබුණ නිසා තමයි එහෙම වෙදකම් ගත්තේ.

"ඔබේ පියා කොහොමද ඒ ජනාධිපතිවරයාට වෙදකම් කළේ."

"මෙහෙමයි කවදාවත් එතුමා අපේ ගෙදරට ආවේ නැහැ. නමුත් අප්පච්චි ගැන හොඳටම දැනගෙන තිබුණ නිසා යම් යම් අස්‌ථි අමාරුකම් ඇති වෙලාවට වාහනයක්‌ එවනවා එක්‌ක යන්න. ඉතින් අප්පච්චි රෝගයට ඕන කරන තෙල් බෙහෙත් අරගෙන රජ ගෙදරට ගිහිල්ලා ඒ සියලු ප්‍රතිකාර කරල එනව."

"ඔබ කොහොමද අප්පච්චිගෙ වෙදකම ඉගෙන ගත්තෙ"

"ඇත්තෙන්ම අප්පච්චිගෙන් මම වෙදකම ඉගෙන ගත්තය කියල කියනවට වඩා අම්මගෙන් ඉගෙන ගත්තය කියල කියන එක වඩා නිවැරැදියි.

ඒ කියන්නේ අම්මත් වෙදැදුරුවරියක්‌."

ඔව් මගේ අම්ම තාත්තගෙ ගෝලයෙක්‌. ඒ කියන්නෙ එයා වෙදකම ඉගෙන ගෙන තියෙන්නේ තාත්තගෙන්. බොහෝ රෝගීන්ට අවශ්‍ය මූලික තෙල් බෙහෙත් බාරොන් වෙද ගෙදරින් නිපදවෙද්දී සිය බිරිඳ වූ නන්දාවතීගෙන් ඉටු කෙරුණු මෙහෙය අප්‍රමාණය. එනිසාම බාරොන් වෙදැදුරුගේ කාර්යයන් බෙදී යද්දී පැමිණි රෝගීන්ගේ ප්‍රමාණය ද ඉහළ යන්ට විය. මේ නිසාම සිය වෛද්‍ය වෘත්තිය බිරිඳට ද ඉගැන්වීමට ඔහු කිසි විටෙක පසුබට වූයේ නැත.

බාරොන් වෙදැදුරුගේ සහ නන්දාවතී වෙදැදුරුවරියගේ එකම දරුවා පහළගම ආරච්චිගේ ධනුෂ්ක සම්පත් ය. සපුගස්‌කන්ද මහ විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ගැනීමෙන් පසු ගණේමුල්ල නාගර්ජුන පිරිවෙනට ඇතුළත් වී සාමාන්‍ය පෙළ විභාගය ජය ගත්තේය. ඉන් අනතුරුව යක්‌කල සිද්ධායුර්වේද වෛද්‍ය නිකේතනයෙන් පාරම්පරික වෙදකම වැඩිදුරටත් හදාරා සිය මවට සෙවනැල්ලක්‌ වෙමින් තම පරපුර ඉදිරියට ගෙන යැමට කැප වෙමින් සිටී.

අපේ අප්පච්චිගේ වෘත්තියෙ වටිනාකම මට තේරුණේ මම පොඩි කාලේ ඉඳලා. ඒක නිසා ඔය විශ්වවිද්‍යාලවල ගිහිල්ලා ලොකු උපාධියක්‌ අරගෙන ආණ්‌ඩුවේ කන්තෝරුවක රස්‌සාවක්‌ කරන්න කවදාවත් මම සිහින මැව්වේ නැහැ. මගේ ලෝකේ හැමදාම රජ වෙලා හිටියෙ මගේ අප්පච්චියි අම්මයි. ඔවුන් කරන සේවය තවත් කාර්යයකින් ලබන්න බැහැයි කියල මට හිතුණෙ මගෙ අප්පච්චි නැති වුණාට පස්‌සේ.

අප්පච්චි හැම වෙලාවෙම මට කිව්වේ වෙදෙක්‌ කියන්නේ රජෙක්‌ කියලා. මේ වෘත්තිය මෙලොව පරලොව දෙකටම හොඳයි. අමුතුවෙන් පින්දහම් කරනවාට වඩා රෝගියෙක්‌ සුවපත් කරපුවාම ලැබෙන සතුට පරලොව ගමනට උපකාර වෙන එක අහන්න දෙයක්‌ නෑ.

තම මවුපියන් මෙන්ම වෙදකම ගැන ද ධනුෂ්ක වෙදැදුරු කතා කරන්නෙ දැඩි තෘප්තියකිනි. එමෙන්ම ළමා කාලයේ සිට නිවසේ කෙරෙන වෙදකම් සියෑසින් දැක ඒ කෙරෙහි මනා වැටහීමකින් හා අවබෝධයකින් වෙදකමට පිවිසි ඔහු, බාරොන් වෙදැදුරු මෙන්ම සැබෑ දක්‍ෂයකු බව මට පෙනුනේ රෝගීන්ට කරන ප්‍රතිකාර සහ දෙන උපදෙස්‌ තුළිනි.

මගේ අප්පච්චිට වෙද පරම්පරා කිහිපයකම දැනුම තිබුණා. අන්තිමට ඉගෙන ගත්ත නොච්චියාගම රංහාමි වෙද ආතගෙ වෙදකම හොඳටම හිතට අල්ලපු නිසා හැම තිස්‌සෙම ඒ බෙහෙත් වට්‌ටෝරු සහ ප්‍රතිකාර ක්‍රම කරගෙන ගියා. අම්මත් එහෙමයි. මමත් හැම තිස්‌සෙම අනුගමනය කරන්නෙ ඒ ප්‍රතිකාර ක්‍රමයයි.

දේශීය වශයෙන් නොව විදේශිකයන්ට ද බාරොන් වෙද ගෙදරින් ප්‍රතිකාර කෙරෙන බවක්‌ අපට දැනගන්නට ලැබිණි. ඒ 1992 වසරේ ක්‍රිකට්‌ තරගාවලියක්‌ සඳහා ශ්‍රී ලංකාවට පැමිණි නවසීලන්ත කණ්‌ඩායමේ නායක මාර්ටින් ක්‍රෝගේ එක්‌ පාදයක ඇති වූ වේදනාවකට ප්‍රතිකාර කිරීමෙනි.

දකුණු පාදයේ මස්‌පිඬු පෙරළී යැමක්‌ සේ දක්‌නට ලැබෙන මෙම ආබාධය හේතුවෙන් ඔහුට තරග කිහිපයකදීම සිය කණ්‌ඩායම මෙහෙයවීමට නොහැකිව ශ්‍රී ලංකාවට පහසු ජයක්‌ වාර්තා කිරීමට හැකි විය.

එවකට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායක අර්ජුන රණතුංග මේ හිතවත් ක්‍රිකට්‌ ක්‍රීඩකයා බාරොන් වෙද ගෙදරට යොමු කරවා මාර්ටින් ක්‍රෝගේ ආබාධය සුවපත් කරවීමට කැප විය.

වේදනා නාශක පෙති කිහිපයක්‌ ගිල දමා ලබන තාවකාලික සුවයට වඩා තෙල් බෙහෙත් ප්‍රතිකාරය කෙතරම් වටින්නේ දැයි මාර්ටින් ක්‍රෝට වැටහුනේ හෝරාවක්‌ ගත වන්නටත් පෙරය. දින කිහිපයක්‌ තිස්‌සේ දැනුන දැඩි වේදනාවෙන් පීඩා වින්ද ඔහු ඉන් සුවපත් වී දිවයින පත්තර කන්තෝරුවට ද පැමිණ මේ ගැන වාර්තාවක්‌ පළ කරන ලෙස ද ඉල්ලීමක්‌ කළේ හෙළ වෙදකමේ මහානුභාවය ලෝකයට කියා පාන්නට ය.

තරුණ වයසේ පසුවන බොහෝ අයගේ අදහස්‌ උදහස්‌ විවිධය. විෂමය. එමෙන් ම තම ජීවන ගමන සකසා ගැනීමට තෝරා ගන්නා ක්‍රමවේදය වෙනස්‌ ය. එහෙත් ධනුෂ්ක සිය පියාගේ වෘත්තිය තෝරා ගනිමින් කැපවන්නේ සිය යහපත උදෙසා නොව අනුන්ගේ යහපත නිසා නොවේදැයි මට සිතිනි.

භග්න චිකිත්සාව හෙවත් කැඩුම් බිඳුම් වෙදකම ඈත අතීතයේ සිට පැවත එන දේශීය ප්‍රතිකාර ක්‍රමයකි. මේ හා අනුගත වූ බොහෝ වෙදැදුරුවරු අප රටේ බහුලව දක්‌නට නැතිවා නොවේ. එහෙත් ඊට දස්‌කම් පාන වෙද පරම්පරාවල් නමක්‌ දිනා ඇත්තේ සිය වෘත්තීය පළපුරුද්ද මුල් කර ගෙනමය.

බාරොන් වෙද ගෙදර ඊට දස්‌කම් පාන පරපුරක්‌ ලෙස නමක්‌ දිනා ගැනීම අද දවසෙත් දක්‌නට ලැබෙන විශේෂයකි. එමෙන්ම තරුණ වයසේ පසුවන ධනුෂ්ක සම්පත් මේ පිළිබඳව මනා වැටහීමකින් හා අවබෝධයකින් ක්‍රියා කරන බව වෙදගෙදර වටපිටාව දෙස විමසිල්ලෙන් බලන ඕනෑම අයෙකුට අවබෝධ කර ගැනීමට එතරම් අපහසුවක්‌ නැත.

අපගේ සාකච්ඡාව අතරතුර ඔහුගේ මව වන නන්දාවතී වෙද හාමිනේද සිය පුතාගේ හපන්කම් ගැන පවසන්නට අමතක කළේ නැත.

මහත්තයගෙ වෙදකම පුතාට උගන්නන්න හොඳට ඕනකම තිබුණා. ඒත් ඒක හරියට කරගන්න තරම් වෙලාවක්‌ තිබුණේ නැහැ. එයා නැතිවෙනකොට පුතාට ඒ තරම් වයසක්‌ තිබුණේ නැහැ. එත් පුතා එයාගෙ අප්පච්චිගෙ පස්‌සෙන්ම හිටිය නිසා තරමක අවබෝධයක්‌ ගත්ත. ඉන් පස්‌සෙ මම වෙදකම කරගෙන යනකොට පුතාත් ඒව සියල්ල ග්‍රහණය කර ගත්තා. දැන් අපි දෙන්නම වෙදකම කරගෙන යනවා.

අපේ මහත්තයගෙ ආසාව තිබුණේ නොච්චියාගම වෙද පරපුර ඉදිරියට ගෙන යන්න. ඉතින් මමත් ඒ වගකීම බාරගත්තෙ පුතාගෙ අනාගතය ගැන සිහින මවාගෙන. අද ඒ සිහිනය සාර්ථක වෙලා. තාත්ත වගේම පුතාත් වෙදකමට දක්‍ෂයෙක්‌ වෙලා. අම්ම කෙනෙක්‌ හැටියට මගෙ වගකීම වගේම මගේ මහත්තයගෙ අපේක්‍ෂාවත් ඉෂ්ඨ කළා.

අපේ මහත්තයා තෙල් බෙහෙත් හැදුව වගේම අපිත් තෙල් බෙහෙත් හදනවා. සාමාන්‍යයෙන් රෝගියෙකුට කරන්න තියෙන්නෙ පොඩි පොඩි කසායක්‌ තම්බගන්න එක විතරයි. අනෙක්‌ ප්‍රතිකාර අපිම කරල දෙනවා. 

මේ සියල්ල ග්‍රහණය කරගනිද්දී ධනුෂ්ක සම්පත් තරුණ වෙදැදුරුවරයාගේ ප්‍රතිකාරයන් පිළිබඳව ද මම විමසීමක්‌ කළෙමි.

මගේය කියල විශේෂ ප්‍රතිකාර ක්‍රමවේදයක්‌ නැහැ. මම හැම විටම අනුගමනය කරන්නෙ මගේ අප්පච්චිගෙ ක්‍රමවේදයන් තමයි. කොහොම වුණත් රෝගියෙකුට අවශ්‍ය මූලික ප්‍රතිකාරයන් අපේ වෙද ගෙදරදී කෙරෙනවා. එහෙම නොකෙරෙනවා නම් වෙද මහත්තයකුගෙන් කෙරෙන මෙහෙය සම්පූර්ණ වෙන්නේ නැහැ.

මේ වෘත්තීය කරන්න පෙර පුරුද්ද තියෙන්න ඕනෑ. අපි තුන්දෙනාම ගිය ආත්මවල වෙද්දු වෙන්න ඇති. ඒක නිසා මේ ආත්මෙදිත්a වෙද්දු වෙලා රෝගීන්ට පිහිට වෙනවා. අනික තමයි මගේ අප්පච්චිගෙ තිබුණු විශේෂ දෙයක්‌ තමයි ඇතැම් රෝගීන් ළඟට ගිහිල්ල ප්‍රතිකාර කරන එක. ඇත්තෙන්ම අද දවසෙ එහෙම වෙදැදුරුවරු අඩුයි. ඒත් මගේ අප්පච්චි එහෙම කළේ රෝගීන්ගේම යහපත සඳහායි.

අපි මෙහෙම හිතමු. යම් රෝගියකුගේ කොන්දට ලොකු ආබාධයක්‌ ඇති වුණා. ඒ වගේ රෝගියෙක්‌ වෙද ගෙදර එක්‌ක එනකොට ආබාධය තවත් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අප්පච්චි කිව්වේ ඒ වගේ රෝගීන් ළඟට ගිහිල්ල ප්‍රතිකාර කරන එක රෝගියාගේ ජීවිත අවදානම අවම කර ගැනීමට පුළුවන් කියල.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments