වාස්‌තු භූමියට නිවැරදිව බහිරව පූජාව තබන්න

ඈත අතීතයේ සිට ඉසිවර නියමයන්ට අනුව පැවත එන විධිමත් චාරිත්‍රයකි වාස්‌තු බහිරව පූජාව. මේ පූජාවෙන් අප බලාපොරොත්තු වන්නේ වාස්‌තු භූමියට ආශාවෙන් උපන් අට දිසාධිපති බහිරවයන් එම වාස්‌තු භූමිය තුළින් පන්නා දැමීම නොව ඔවුන්ගේ සිත්සතන් සතුටුකොට ආශිර්වාද ප්‍රයෝජන ලබා ගැනීමයි.

අද ඔබ මිලදී ගන්නා ඉඩම් පර්චස්‌ හයේ සිට ඉදිරියට විහිදී යන ඉඩම් වේ. මේවා ඉතා කුඩා වුවත් විශාල වුවත් ඔබ මතකයේ තබා ගත යුතුයි. මේ විශාල ඉඩම් කැබලි කොට ගත් ඒවා බවත්. මේ ඉඩම් කාලාන්තරයක්‌ තිස්‌සේ විශාල රූක්‌ෂ ගස්‌වලින් ගල් පර්වතවලින් ඇළ දොළවලින් සමන්විත හිස්‌ව පාළුවට ගිය ඉඩම් වේ. මේ නිසාම මෙම ඉඩම්වලට අදෘශ්‍යමාන බලවේග ඒකරාශි වෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ. මීට පෙර ලිපියේ ඒ අදෘශ්‍යමාන බලවේග පිළිබඳව සඳහන් කර ඇත.

අපල කරදරවලින් තොරව සාමකාමීව සෞභාග්‍යමත් නිවසක්‌ සකස්‌ කර ගෙන ජීවත්වීමට අප කවුරුත් බලාපොරොත්තු වන නිසා නැණවදන් විසින් මේ ඔවදන් අනුගමනය කර විපුල ප්‍රයෝජන අත්කර ගැනීම ඔබට වැඩදායක වේ.

වාස්‌තු භූමියට තබන බහිරව පූජාව අනිවාර්යයෙන්ම මුල්ගල් තැබීමට පෙර දින තැබිය යුතුය. ඔබේ වත්පොහොසත්කම් අනුව එසේ වාස්‌තු බහිරව පූජාව තැබීමට අපොහොසත් නම් ඔබ කළයුත්තේ සිව් දිසාවේ මල් පැල් සිව්වරම් දෙව්වරුන්ට සාදා මල් පහන් පුදා සිව්වරම් දෙවිවරුන්ගෙන් අවසර ගෙන භූම දේවියට, භූමාරක්‌ෂක දෙවිවරුන්ට සහ ග්‍රාමාරක්‌ෂක දෙවිවරුන්ට පිංදී ඊශ්වර දෙවියන්ට භාර වී නිවස සාදා නිම කිරීමෙන් පසුව වාස්‌තු බහිරව පූජාව තැබීමයි. නමුත් මෙහිදී ඔබ මතකයේ තබාගත යුතු කරුණක්‌ ඇත. පෙර සිට ජනවහරේ එන "දැන කළ යුතු ගුරුකම්" කීවා සේ ඔබ මේ සඳහා දැන උගත් දක්‌ෂ භූත විද්‍යාඥයකු සොයා ගත යුතුයි. එසේ නොවුවහොත් ඔබේ පරිහානියත් එතනයි.

ලංකාවේ එක්‌ එක්‌ පළාත්වලට අනුකූලවත් ගුරු පරම්පරාවලට අනුකූලවත් මේ වාස්‌තු බහිරව පූජා තැබීමේ පුංචි පුංචි වෙනස්‌කම් තිබුණත් පොදුවේ ගත් කල එකම ආකෘතියක්‌ තුළ සිදුවන්නක්‌ බව ඔබට පැහැදිළි වේ. ඒ අනුව ඔබ ප්‍රථමයෙන්ම කළයුත්තේ කොම්පාසුව හෙවත් මාලිමාව ගෙන වාස්‌තභූමියේ අට දිසාව නිවැරදිව සොයාගෙන අට දිසාව පිදීමත් සිව් දිසාවට පුද පූජා තැබීමත්ය. විශේෂයෙන් නිවස සාදා නිමකර වාස්‌තු බහිරව පූජාව තබන්නේ නම් පුර පස බුද දිනක ගේ සෝදා පිරිසිදු කර කිළිකුණු ඉවත්කර තෙරුවන් සඳහා පුද පූජාවන් පවත්වා සිව්වරං දෙවිවරුන් සහ ඊශ්වර දෙවියන්ට පුද පූජා තබා බහිරව පූජාව තැබීමයි. වාස්‌තු බහිරව පූජාව තබන විට පූව_භාගයේ පැවැත්වුවත් අපරභාගයේ පැවැත් වූයේ එදින බහිරව පාදය සොයා නො 9, 10 9. 40 ත් අතර පහන් දැල්වා බහිරව පිදීම කළ යුතුයි. මේ පිළිබඳව පෙර ඉසිවර කියමනක්‌ මෙසේ දක්‌වයි.

බ්‍රහ්ම නාග රජ මෙලෙසට වසනා

දොස දැනගෙන කප් ඉඳුවා කෙමෙනා

ගෙට නැඟු බිම් තුළ සිව් කොණ ඇඳිනා

බලි පුද දෙනු අට කොණ යකු බුදිනා


ගිතෙල්ද කිරිබත් ගෙන උක්‌ සකුරු

ඒ ඉද්ද මල් සහ තෙල් වැටි ඇඹුරු

සඳුන්ද රත්මල් බුලත්ද කපුරු

දෙන පුද සිව් කොන ගේ තුළ ඇදුරු


දිගු අට අධිපති යකුන් ඇඳින ගෙන

නිසි නිසි කී පුද නොවරදවා දෙන

අට දිග තිබූ දොස්‌ පහකරවා ලන

යහපත් වේ ඇදුරේ විමසා ලන

මේ ආකාරයෙන් නිවැරදිව වාස්‌තු බහිරව පූජාව තබා වාස්‌තු භූමියේ දෝස පහකර අට කොන ආරක්‌ෂා කිරීමෙන් පසුවයි අත්තිවාරම් කපා මුල්ගල් තැබිය යුත්තේ. එසේ කිරීමෙන් ගිනිගත් කුළයක්‌ වර්ෂාවෙන් ලද ආශිර්වාදයෙන් දළු ලියලන්නා මෙන් ඔබේ නිවහන සශ්‍රීකවත් වේ. දියුණුවෙන් දියුණුවට පත් වේ.

වාස්‌තු බහිරව පූජාව පිළිබඳව මීට වඩා විධිමත් විග්‍රහයක්‌ කළ යුතු වුවත් මෙබඳු ලිපියකින් එය කළ නොහැකි බව කාරුණිකව දන්වමි.

ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී 
ඇන්. ආර්. ඇම්. ජයවර්ධන

Post a Comment

0 Comments