දෙවිපිහිට පතා පඬුරු බැඳීම මෙලෙසයි

මිනිසා තමන් වෙත යොමුවන බාධක පීඩාවන්ගෙන් මිදීමේ මඟක්‌ ලෙස දෙවියන්හට පඬුරු බැඳ බාරහාර වීම කරනු ලබයි.නොපෙනන ලෝකයේ සිදුවන විපත්, බාධක තුළින් මිදීමේ මඟක්‌ නොමැති කළ නොපෙනන බලවේගයක හෝ පිහිටක්‌ පැතීමට මිනිසා පසුබට නොවෙයි. වර්තමානයේ පඬුරු බැඳීම පිළිබඳව මිනිසාගේ ඇති දැනුම අල්පය. බොහෝ දෙනා මෙය සිදුකරනු ලබන්නේ නිසි අවබෝධයෙන් තොරවය. අනවබෝධය සහ සම්ප්‍රදායක්‌ ලෙස කිරීම විනා නිවැරදි පිළිවෙත් පිළිබඳව දැනුවත්වීමන් වර්තමාන සමාජය තුළ නැත.

විශේෂිත ගමන් බිමන්, වන්දනා සහ සුභකටයුතු සඳහා පඬුරු බැඳීම බොහෝ දෙනාගේ සිරිතය. අධික වර්ෂාව, නියඟය නැවැත්වීමටද බෝවන රෝග වසංගත ආදියේ සුවය පතාද පඬුරු බැඳීම්, පඬුරු දැමීම් සිදුවෙයි.

ගමනක්‌ ආරම්භයේ සිට අවසානය දක්‌වා නිරුපද්‍රිතව පැමිණීම මෙවන් ස්‌ථානයක පඬුරු දමන බොහෝ දෙනාගේ පරමාර්ථයයි.

අතිතයේ භාරත දේශයේ ශිල්ප ශාස්‌ත්‍ර හැදෑරීමේදී ගුරු පඬුරුදීම පිළිබඳව අසන්නට ලැබෙයි. ලක්‌දිව පැරණියන් රෝග නිවාරණයට පිහිටවූ වෙදැදුරුට අතීතයේදී තුඩුපඬුරු පුද කළහ. ශිල්ප හැදෑරීමේදී දෙවියන් උදෙසා පඬුරු බැඳීම ද චාරිත්‍රයකි.

ඊශ්වර - දැඩිමුණ්‌ඩ - කතරගම - විෂ්ණු - විභීSෂණ දෙවිවරුනට සහ පත්තිනි මෑණියන්ටද පඬුරු බැඳ බාරහාරවීම වර්තමානයේද සිදුවෙයි. භාරතීය - හින්දු, ද්‍රවිඩ පිරිස්‌ද දෙවියන් සහ යකුන් වෙත පඬුරු දීම කරති. මෙම ආභාෂය අතීත රාජ්‍ය පාලනය තුල ලාංකිකයන් හටද උරුම විය. නොපෙනන බලවේගයන් වෙනුවෙන් බැතිබරව කරන විශ්වාසනීය පොරොන්දු සහතිකය පඬුරු බැඳීමයි.

කහ දියරෙන් සෝදා පිරිසිදු කල කාසියක්‌ සුදු රෙදි කැබැල්ලක ඔතා ගැට ගැසීම පඬුරු බැඳීම වෙයි. වැඩිහිටි කාන්තාවක්‌ ගැබිනියකගේ ප්‍රසූතිය පහසු කිරීම පිණිස පඬුරු බැඳ බාර හාරවීම්, කන්නලව් කිරීම් සිදුකරන්නේ පත්තිනි මෑණියන්ටය.

කුඩා දරුවන් රෝගාතුරවීමේදී දෙවියන් උදෙසා පඬුරු බැඳීම ලංකාවේ සුලභව සිදුවෙයි. බොහෝ විට පඬුරු ගැටගැසීම සිදුවන්නේ පූජනීය ස්‌ථාන තුළදීය.

හදිසි අවස්‌ථාවකදී කවර ස්‌ථානයකදී වුවද පඬුරු බැඳීම සිදුවෙයි. අතීතයේ රෝගියා වෙනුවෙන් වෙන්කළ පඬුරු රෝගියා වැතිර සිටින ඇඳේ විට්‌ටමේ ගැටගැසීම පඬුරු ගැටගැසීමේ කෙම් ශාස්‌ත්‍රීය ක්‍රමවේදයකි.

ශ්‍රීපාද වන්දනා සමයේදී පඬුරු ගැටගැසීම සිදුවන්නේ කෝඩුකාරයන් වෙනුවෙන්ය. එම පඬුරු බැඳීමේ වගකීම භාරගත්තේ නඩයේ ගුරාය.

පඬුරු පිදීමෙන් පුදන්නාගේ පැහැදීම සංකේතවත් වෙයි. පූජනීය ස්‌ථානයකට පඬුරු පිදීමෙන් එම ස්‌ථානයේ පැවැත්ම තිරවෙයි. බොහෝ පූජනීය ස්‌ථානයත් නඩත්තු වන්නේ බැතිමතුන්ගේ පඬුරු දැමීමේ කාර්යභාරය තුලය. එහෙයින් පඬුරු පිදීමෙන් නොපෙනෙන බලවේගයන් බලවත්වන ස්‌ථානයන්ද සංරක්‌ෂණය වෙයි. වැඩිදියුණු වෙයි. පූජනීය ස්‌ථානයන්හි බලවත්වීම මත පඬුරු දැමීම ද වර්ධනය වෙයි.

යමෙකු ග්‍රහ අපල වෙනුවෙන් සහනය පතා පඬුරු බැඳීම පමණක්‌ ප්‍රමාණවත් නොවෙයි. එම ග්‍රහ දේවතාවා වෙනුවෙන් බැතිබරව පුද පූජා තබා බැතිමතා බලාපොරොත්තු වන්නේ කඩිනම් සහනයයි.

ග්‍රහ දේවතාවා යනු රවි, චන්ද්‍ර, කුජ, බුධ ආදී ග්‍රහ සංකේතයක්‌ නොවේ. ග්‍රහයන් තුළින් බලවත් වන නොපෙනන බලවේගයෝය. ජ්‍යෝතිෂ්‍ය යනු ලෞකික දිවිය යහපත් කරගන්නා ආකාරය නිවැරදිව පැවසෙන ශාස්‌ත්‍රයකි. එම ශිල්පය පැරණි ඉසිවරුන් ප්‍රගුණ කරනු ලැබුයේ මිනිසාට පෙර කුසල්, අකුසල් ශක්‌තීන් හඳුනා මෙලොව දිවිය සාර්ථක කර ගැනීමටය.

ග්‍රහතරු වන්දනාව සිදුකරනු ලැබුවේ ආදි භාරතීය බ්‍රාහ්මණයන්ය. හිරු, සඳු දෙවියන් ලෙස විශ්වාස කල ඔවුන් යාගහෝම තුළින් හිරු දෙවියන් සහ චන්ද්‍රd දෙවඟන පිදූහ.

සඳ තරණය කල මිනිසා වර්තමානයේ වෙනත් ග්‍රහ තාරකාවන්ද ජය ගැනීමට සූදානම් වෙයි. කේන්ද්‍ර සටහනක රවි- සඳු ආදී ග්‍රහයන් තුළින් පැවසෙන්නේ එම ග්‍රහයන්හට ආවේණිකවූ ග්‍රහ ස්‌වභාවයයි. ග්‍රහයන් අනුව කාලයද තීරණය වෙයි. එම ග්‍රහයන් සතු සුභ අසුභයන්ද වෙනස්‌වෙයි. ග්‍රහයන් තුළින් සංකේතවත්ව බලවත් වන්නේ නොපෙනන බලවේගයන්ය. රවි ග්‍රහයා වෙනුවෙන් ශිව දෙවියන්ද සඳු වෙනුවෙන් පත්තිනි මෑණියන්ද කුජ වෙනුවෙන් කතරගම දෙවියන්ද ආදී වශයෙන් එම බලවේගයන් සුභ හෝ අසුභව බලවත්වෙයි. අප පඬුරු බැඳ බාරහාර වන්නේ බැතිබර වන්නේ ග්‍රහයන්හට අදාළ වූ එම බලවේගයන්ටය.

පඬුරු බැඳීමේ පොරොන්දු සහතිකය තුල එය නිසැකව ඉටුවීමේ විශ්වාසය බැතිමතා තුල බලවත් වෙයි. විශ්වාසයෙන් තොරවීම හෝ වෙනත් අයෙකු කරන හෙයින් පමණක්‌ පඬුරු බැඳීම නිශ්ඵල ක්‍රියාවකි.

සියලු දුෂ්චරිත කර දෙවියන් ඉදිරියේ බාර හාරවීම නිසරු දෙයකි. අන්සතු වස්‌තුවක්‌ වංචාකොට හෝ එම මුදලින් පුද පූජා තබා තමන් මුදවා ගන්නා ලෙස දෙවියන්ට බාරහාරවීම දෙවි පිහිට ලැබීමක්‌ නොව දේව උදහසට ලක්‌වීමකි. නීතියේ රැහැනෙන් බේරීමට දෙවි පිහිට කිසිදා හිමිවන්නේ නැත. පඬුරු ගැටගසන්නේ බාරවීමටය. බාරය ඉටුකරනු ලබන්නේ යහපත උදාවූ පසුවය. බැතිමතා පොරොන්දු ඉටුකිරීම දෙවියන්ගේ ආශිර්වාදයට හේතුවකි. අවිනිශ්චිත හැඟීමෙන් හෝ ඉටුකිරීමට අපහසු බාරහාර පොරොන්දු වීමෙන් දේව උදහස හිමිවෙයි.

පඬුරු ගැටගසන්නේ බාරවීමටය. බාරය ඉටුකරන්නේ දේව නියමයකට ගරු කිරිමටය. සියල්ල යහපත් වන්නේ බැතිමතා හදවතට එකඟව කටයුතු කිරීම මතය. තම හදවත මෙන්ම දෙවියන් වෙතද සියල්ල සැඟවිය නොහැකිය. දේව ආශිර්වාදය යහපත්ය. යහපත්වූ හදවතෙහි ආශිර්වාදාත්මකව දෙවියන් වැඩසිටියි.

මතුගම ජයනෙත්ති

Post a Comment

0 Comments