වාස්‌තු විද්‍යාත්මකව භූමි දෝෂ ඉවත් කරගන්න

වාස්‌තු විද්‍යාත්මකව භූමි දෝෂ ක්‍රම කීපයකට විග්‍රහ කළ යුතුයි. ඒ අනුව ඔබ නව නිවසක්‌ තනා ගැනීම සඳහා මිලදී ගත් ඉඩම හෝ ලැබුණ ඉඩම හෝ ඔබ පදිංචි වී සිටින ඉඩම යෑයි සිතන්න. මේ කුමන භූමියක්‌ වූවත් භූමියේ පිහිටීම අනුව දෝෂ ඇතිවේ. මීට පෙර ලිපියේ දී භූමි පිහිටීම පිළිබඳව එකුන් විසි ආකාරයක භූමි විග්‍රහයක්‌ කර ඇත.

ඒ අනුව පෘතුවි පෘෂ්ඨය තුළ භූමියක්‌ සැකසී තිබෙන ආකාරයට අනුව දෝෂ ඇති වෙන බව ඔබට පැහැදිලි වෙයි. මෙවැනි අවස්‌ථාවල එම භූමි දෝෂ ඉවත් කරගන්නේ කෙසේද? කියා අපි බලමු. නිදර්ශනයක්‌ ලෙස ඔබ ගත් ඉඩමේ ජල බැස්‌ම නිරායාසයෙන්ම බටහිරට පිහිටා ඇත්නම් භූමිය සකස්‌ කොට එම ජල බැස්‌ම සුබ දිසාවකට යොමු කිරීමෙන් එම දෝෂය ඉවත් කර ගත හැක.

එසේම ඔබ සිතන්න ඔබ ගත් ඉඩම ත්‍රිකෝණාකාර භූමියක්‌ සහිත ඉඩමක්‌ කියා. එවැනි අවස්‌ථාවක කෝණ මඟ හැරෙන ආකාරයට භූමිය සීමා කර ගෘහ සකස්‌ කිරීමෙන් එම දෝෂය ඉවත් කරගත හැකියි. නමුත් ත්‍රිකෝණාකාර භූමි සෑම පුද්ගලයකුටම අසුබ වන්නේ නැහැ. මේ ආකාරයට භූමිවල පිහිටීම අනුව ඇති වන දෝෂ රාශියක්‌ ඇත. ඒවා වාස්‌තු විද්‍යාත්මකව ක්‍රම ශිල්ප අනුගමනය කිරීමෙන් එම දෝෂ ඉවත්කරගෙන වාසනාවන්ත නිවසක්‌ සකස්‌ කර ගැනීමට හැකිය.

ඊළඟ භූමි දෝෂය තමයි භූමියකට පවත්නා අදෘශ්‍යමාන බලවේග, මේ අදෘශ්‍යමාන භූමි දෝෂ ක්‍රම කීපයක්‌ ඇත. භූමාෂ්ඨක දේවතාවන්ගෙන් ඇතිවෙන දෝෂ, මළගිය ඥතිප්‍රේතාදීන්ගෙන් වන දෝෂ, භූමියට අරක්‌ගත් යක්‍ෂ භූතාදීන්ගෙන් වන දෝෂ, බහිරව යක්‍ෂාදීන්ගෙන් වන දෝෂ සහ විරුද්ධවාදීන් විසින් කරන ලද අණ වින ආදීන්ගෙන් වන දෝෂ. මෙවැනි දෝෂ පවතින ඉඩමක දී වාස්‌තු විද්‍යාඥයාට පමණක්‌ ප්‍රතිකර්ම කළ නොහැකියි.

මෙබඳු දෝෂ පවතින භූමියක වාස්‌තු විද්‍යාඥයාගේ වාස්‌තු සැලැස්‌මට අනුව පමණක්‌ ගෘහ වාසස්‌ථානයක්‌ සඳහා මුල්ගල් තැබුවොත් වසර ගණනාවක්‌ යනතුරු එම අත්තිවාරම් මුල්ගල පැලවී පැලවී තිබේවි. නැති නම් බිත්ති භාගට බැඳවූ නටබුමක්‌ බවට පත්වේවි. එපමණක්‌ නොව ඔවුන්ගේ සියලු ධන සම්පත් විනාශ වී පවුල් ජීවිත ද විනාශ වී යා හැකි බව මගේ අත්දැකීමයි.

මෙහි යථාර්ථය පසක්‌ කිරීම පිණිස මීට වසර කීපයකට පෙර මාගේ අත්දැකීමක්‌ ඔබ හමුවේ තබමි. එක්‌තරා දිනයක මාගේ හිතවත් මහත්මයෙක්‌ නුගේගොඩ හන්දියට එන්න කීවා. මම එතුමත් එක්‌ක තිබෙන මිත්‍රභාවය නිසාම කීව වේලාවට නුගේගොඩට ගියා. ඉන් පසුව එතුමා මාව ටැක්‌සියකින් විශාල මන්දිරයකට එක්‌කගෙන ගිහින් කීවා මේ මගේ හිතවත් මහත්තයෙක්‌. මේ මහත්තයගෙ වැඩ වගයක්‌ තියෙනවා කරලා දෙන්න කියා. ඒ අනුව ඒ මහත්තයා බුලත් අතක්‌ දීලා පළමුවෙන්ම ඇහුවේ. විවාහය ගැනයි. ඒ අනුව මම ඒ මහත්තයට කීවා මේ වෙලාවේ හැටියට විවාහ ජීවිතය අවුල් සහගත තත්ත්වයට පත්වෙලයි තිබෙන්නේ. සමහරවිට විවාහය දෙදරා යන්නටත් පුළුවන් කියා. ඊළඟට එතුමා ඇහුවා මගේ ව්‍යාපාර ස්‌ථානයක්‌ තියෙනවා එතැන කොහොමද? කියා, ඒ වෙලාවේ මම ඒ මහත්තයට කීවා ව්‍යාපාර ස්‌ථානයක්‌ කෙසේ වෙතත් නටබුමක්‌ නම් තියෙනවා අදෘෂ්‍යමාන බලවේගවලින් පිරිච්ච, මට ඒ ස්‌ථානය බලන්න යන්න පුළුවන්ද කියා. ඉතිං ඒ මහත්තයා මා කීව දේ සත්‍ය නිසා එවේලේම මාව බම්බලපිටියේ ගාලු පාරේ තිබුණ ව්‍යාපාර ස්‌ථානයකට සකස්‌ කරගෙන යන භූමියට කැඳවා ගෙන ගියා. මා එතනට ගියාට පස්‌සේ එතුමා කීවා මේ ව්‍යාපාර ස්‌ථානය හදන්න පටන් අරන් අවුරුදු ගණනාවක්‌ වෙනවා. ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවල ඇදුරන් කට්‌ටඬි මහත්වරු, භික්‍ෂුන් වහන්සේලා පවා ඇවිත් වැඩ කරා, දැන් ලක්‍ෂ ගණනාවක්‌ වියදම් ගිහිං තියෙනවා. නමුත් හැමදාම මෙහෙමම තමයි කියා. ඉතිං එතුමා මගෙන් ඇහුවේ ව්‍යාපාර ස්‌ථානයක්‌ ගැන. නමුත් මම කීව දේ එතුමා සිතේ තබාගෙන සිටියා මිස කීවේ නැහැ. නමුත් මම කීවා වගේම ගියාම දකින්ට ලැබුනේ නටබුමක්‌ පමණයි.

මේ නිසා මෙබඳු අදෘෂ්‍යමාන බලවේග ඇති භූමිවල ගොඩනැඟිලි ඉදිකිරීමේදී ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී භූත විද්‍යාඥයකුගේ උපදෙස්‌ මත එම අදෘෂ්‍යමාන බලවේග ඉවත් කොට භූමිය පිරිසිදු කොට පසුව වාස්‌තු විද්‍යානුකූලව ගොඩනැඟිලි ඉදිකළ යුතුයි.

මෙහිදී ගෘහ වාසස්‌ථාන අයිතිකරුවන් වශයෙන් ඔබ අවබෝධයෙන්ම සිටිය යුතුයි. ඒ අනුව ඔබ සොයා ගන්නා වාස්‌තු විද්‍යාඥයා මේ ශාස්‌ත්‍ර සියල්ලම පරිපූර්ණ පුද්ගලයකු විය යුතුයි. එසේ නම් එබඳු පුද්ගලයන්ගේ උපදෙස්‌ පරිදි වැඩකරන පුද්ගලයෙක්‌ද? යන්න සොයා බලා ඔබේ ඉදිකිරීම් කර ගැනීමට ඔබටම භාර කරමි.

බුද්ධිමත් පාඨකයනි, මෙබඳු අදෘෂ්‍යමාන බලවේග ඇති භූමිවල වැඩ කිරීමේදී නිවැරදි ශාස්‌ත්‍රඥයකුගේ මඟපෙන්වීමකින් තොරව වැඩකටයුතු කිරීමට යැමෙන් සිදුවන විනාශය සුළුපටු නොවන බව මතකයේ තබාගත යුතුයි. ඔබේ ධන සම්පත් පමණක්‌ නොව ජීවිත පවා විනාශ වන ආකාරය මාගේ ප්‍රත්‍යක්‍ෂ අත්දැකීමයි. එසේ හෙයින් ඔබගේද අත්දැකීම් අවබෝධයන් අනුව ඔබේ භූමියේ ඇති දෝෂයන් නිවැරදි මඟ පෙන්වන්නකු යටතේ නිවැරදි ආකාරයෙන් ඉවත් කරගෙන වාසනාවන්ත භූමියක්‌ සකස්‌ කර ගන්නා ලෙස ආදරයෙන් මෙසේ ඔවදන් දෙමි.

ප්‍රවීණ ජ්‍යෝතිෂ්‍යවේදී 
ඇන්. ආර්. එම්. ජයවර්ධන

Post a Comment

0 Comments