සර්ප අනතුරු වළකාලන්න බුද්ධ මන්ත්‍රයක්‌

අද බහුල වශයෙන් මිනිසුන් සර්ප අනතුරුවලට ලක්‌වන බවක්‌ දක්‌නට ලැබේ. බොහෝ පිරිස්‌ සර්පයන් මැරීමට උත්සාහවත් වනවා මිස සර්පයන්ගෙන් වන අනතුරු වළක්‌වා ගැනීමට අවශ්‍ය මඟ පිළිබඳ අවධානය යොමු නොකරති. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දණ්‌ඩ වග්ගයෙන් දේශනා කර ඇත්තේ

සබ්බෙ තසන්ති දණ්‌ඩස්‌ස

සබ්බේ භායන්ති මච්චුනො

අත්තානං උපමං කත්වා

න හනෙය න ඝාතයෙ යනුවෙනි

එනම් තමා උපමා කොට අන් සතුනට තැලීම් - පෙළීම් ගැසීම් නොකොට වැළකිය යුතු බවයි. එසේ වුවද අද සමහර දෙනාගේ මතය වී ඇත්තේ සර්පයන් විනාශ කිරීමටම ඉන්නා සත්ත්ව කොට්‌ඨාසයක්‌ බවයි. බුදු දහමේ සියලු සත්ත් වයෝම කී කල එම සතුන් ද ජීවත් වීමට ඇතුළත් වන සත්න් කොට්‌ඨාසයකි. ඔවුන් ද අන් සතුන්ට මෙන්ම කරුණාව මෛත්‍රිය ලැබිය යුතුව ඇත. අද සමහර දෙනා සර්පයන් මරන්නේ " විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා " යන පාඨය ද තම වාසියට හරවාගෙන විෂඝෝර සර්පයන් දැක දැක යන්ඩ හැරීම මෝඩයකුගේ ලක්‍ෂණයක්‌ සේ සිතාය.

නමුදු එම පාඨය මුළුමනින්ම තේරුම් ගන්නේ නම් ජීවිතය හා ලෝකය පිළිබඳවත් යථාර්ථවාදීව දැකීමට උත්සුක වනවාට කිසිදු සැකයක්‌ නැත.

දෙරණ මත තුඹසයා 

තුඹස තුළ නාගයා

විස ඝෝර සර්පයා

දැක නහරු මෝඩයා

දෙරණ හෙවත් පොළොව තුඹසකි. තුඹස යනු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන කොටස්‌වලින් යුත් මේ පංචස්‌කන්ධයයි. ඒ තුඹස තුළ නාගයකු සිටී. නාගයා තෘෂ්ණාවයි. විෂඝෝර සර්පයෙකු බදු තෘෂ්ණාව අත් නොහරින්නා මෝඩයෙකි.

මේ ආදී වශයෙන් සර්පයන් මැරීමට අවශ්‍ය උපදෙස්‌ ද මිනිසා විසින්ම නිර්මාණය කොටගෙන එය සිදු කරනු ඇත. වෛද්‍ය ප්‍රතිකාර කිරීමට රෝහලකට යැමේදී වුවද නිශ්චිතවම බෙහෙත් කිරීමට මේ අදාළ සතා ගෙන යැමට ද අවශ්‍යය. ඒ අනුව සර්පයන් මැරීම අනිවාර්ය කොටගෙන ඇත. පැරණි කාලයේ සිංහල වෛද්‍ය ක්‍රමය නිසි ලෙස නිවැරදිව කළ බැවින් ඕනෑම සර්පයකු දෂ්ට කළ විට ප්‍රතිකාරද සියුම්ව සිදු කරන ලදී. නමුදු අද බොහෝ විට සිදු වන්නේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය බැවින් හරියටම සතා හඳුනා නොගත්තොත් බේත් කිරීමේදී එය බලපානු ඇත. මේ ආදී කරුණු පවතින බැවින් අප අපේ ආරක්‍ෂාව මනස තුළින් නිකුත් වන පිරිසිදු හා උතුම් චිත්ත ධාරාවන් ඔස්‌සේ සකසා ගැනීමට උත්සාහ කළ යුතුය. ඒ සඳහා බුදු දහම ඕනෑම කෙනෙකුට ඉවහල් කර ගත හැකිය.

බුදුන් දවස දස දහස්‌ ගණනින් භික්‍ෂූන් වහන්සේලා බණ භාවනා කිරීම සඳහා කැලයට වැඩියහ. නමුදු ඔවුනට සතා සිව්පාවුන්ගෙන් කිසිම මොහොතක අනතුරක්‌ කරදරයක්‌ ද සිදු නොවූහ. එයට හේතුව බුදු හිමි සර්පයන් සඳහාම දේශනා කළ ඛන්ධ පිරිත ස-Cධායනා කිරීමය. මෙම පිරිතෙහි ශබ්ද ශක්‌තිය හා අර්ථ ශක්‌තිය තුළින් සර්පයන්ට එහි ඉදීමට බැරි තත්ත්වයක්‌ උදාවනු ඇති අතරම ළංවීමේ ශක්‌තිය ද දුර්වල වී යනු ඇත. ශබ්ද ශක්‌තිය මහා බලගතු එකක්‌ බැවින් වායුගෝලයත් සමග වචනවලින් පිටවන ශක්‌තිය සර්පයන්ගේ ශරීරවලට වැදී ඪසඉර්එe (තිගැස්‌සීම) වැනි ස්‌වභාවයකට පත් කිරීමත් කළ හැකිය. එබැවින් සර්පයන් මරනවා වෙනුවට එම සූත්‍රයේ ඇති ශක්‌තිය බලය හඳුනා ගැනීමත් එම සූත්‍ර ධර්ම ප්‍රයෝජනයට ගෙන සර්පයන්ගෙන් ආරක්‍ෂා වීමටත් සිතට ගත යුතුය.

ස. නි. ඛන්ධ වග්ග සංයුක්‌තයට අයත් වන ඛන්ධ පිරිත බුදුරදුන් දේශනා කළේ සැවැත් නුවර එක්‌තරා භික්‍ෂුවකට සර්පයෙක්‌ දෂ්ට කර කලුරිය කිරීමත් සමගය. අනෙක්‌ භික්‍ෂූන් බුදු හිමිට මේ කාරණය දැන් වූවාට පසු බුදු හිමි ඔවුනට මතක්‌ කරන ලද්දේ එම කලුරිය කළ භික්‍ෂුව සිවු නා රද කුලයන් වෙත මෙත් සිත නොපැතිර වීම උන්වහන්සේට සර්පයකු දෂ්ට කිරීමට හේතු වූ බවයි. එසේ කළේ නම් උන්වහන්සේ එවැනි විපතකට හසු නොවන බව දේශනා කළහ. භික්‍ෂූන් වහන්සේලාගේ දැන ගැනීම පිණිස බුදු හිමි එම නා රද කුල ඉදිරිපත් කළහ.

1 විරූපාක්‌ෂ නම් නා රද කුලය

2 ඒරාපථ නම් නා රද කුලය

3 ජඛ්‍යාපුත්ත නම් නා රද කුලය

4 කණ්‌හා ගෝතමක නම් නා රද කුලය

ආදී වශයෙන් සියලු නා රද කුලයන් කෙරෙහි මෛත්‍රී සිත පැතිර වීම එහි මූලික පරමාර්ථයයි. සියලුම සතුන් හා අමනුෂ්‍ය කොටස්‌ ද එහිදී හසුවන ආකාරය පැහැදිලි වේ. ඒ අනුව මෛත්‍රිය පැතිර වීම පිළිබඳ සිතීමේ දී

අපාදකේහි මේ මෙත්තං - මෙත්තං දිපාදකේහි මේ

චතුප්පදෙහි මේ මෙත්තං - මෙත්තං බහු පදෙහි මේ

(මාගේ මෛත්‍රිය පා නැති, දෙපා, සිවුපා, බොහෝ පා ඇති යන සියලු සතුන් සමග වේවා)

මා මං අපාදකෝ හිංසි - මා මං හිංසි දිපාදකෝ

මා මං චතුප්පදො හිංසි - මාමං හිංසි බහුප්පදෝ

(පා නැති සතෙක්‌, දෙපා සතෙක්‌ සිවුපා සතෙක්‌, බොහෝ පා ඇති සතෙක්‌ මට හිංසා නොකෙරේවා)

සබ්බේ සත්තා සබ්බේ පාණා - සබ්බේ භූතා ච කේවලා

සබ්බේ භද්‍රනි පස්‌සන්තු - මා කඤ්චි පාපමාගමා

( හැම සත්හු ද හැම ප්‍රාණීහු ද, හැම භූතයො ද යන සියල්ලෝම යහපත දකිත්වා, කිසිම සතෙක්‌ වෙත දුකක්‌ නොපැමිණෙත්වා)

සතාපදී යනුවෙන් සඳහන් වන්නේ පත්තෑයා, කන්වෑයා ආදී සියක්‌ පා ඇති සතුන්ය. උණ්‌ණානාභි යනු මකුළුවා ද, සරබු යනු හූනාද, මූසිකා යනු මීයා ද, ආදී වශයෙන් සතුන් වර්ගකොට බෙදාගෙන මෛත්‍රිය පැතිර වීම සිදු විය යුතුය. සිරිංසපා යන්න බඩගාන සතා යනුවෙන් අර්ථ ගන්වා ඇත. අභිවිච්ජිකා යන්නෙන් සර්පයන් පිළිබඳ ශාස්‌ත්‍රය නොහොත් විෂ වෙදකම යන්න කිය වේ.

ඛන්ධ සූත්‍රයේ සඳහන් කරන ආකාරයට අන්තිමට සියල්ල කැටිකොට තුනුරුවන්ගේ ගුණ අනන්ත බවත් එම උතුම් ගුණ බෙලෙන් සියලු සර්පයන්ගෙන් අනතුරක්‌ නොවේවා, භූතයෝ ඉවත්ව යෙත්වා, මම බුදුන් වහන්සේට වදිමි. සත් බුදුවරයන් වහන්සේලාට වඳිමි. මේ ආදී වශයෙන් කරුණු කාරණා විග්‍රහ කර තිබීම ඉතා වැදගත් වේ.

එම කරුණු හිතට ගෙන ගිහි පැවිදි අප කවුරුත් සර්පයන්ගෙන් වන අනතුරු වළක්‌වා ගැනීමට නිරන්තරයෙන් මෙම සූත්‍රය භාවිත කළ යුතුය. එතුළින් අපගේ ජීවිතත් එම අහිංසක සතුන්ගේ ජීවිතත් ආරක්‍ෂා වනු ඇත. මෛත්‍රි පූර්වකව අවංකව එම සිතුවිලි ධාරාව පතුරන්නේ නම් සාන්දෘෂ්ටිකවම එහි විපාකද ලැබිය හැකිය. සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යන මෙත් වැඩීම තුළින් තම ජීවිතයට මහත් පිටිවහලක්‌ වන බව සියලු දෙනාම සිතට ගත යුතුය.

මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී 
ගලගෙදර රතන වංශ හිමි

Post a Comment

0 Comments