සන්නි යකුම හෙවත් දහඅට සන්නිය

ලක්‌දිව සිංහල බෞද්ධ ජනයා අතර භාවිතා වන ශාන්තිකර්ම බොහොමයක්‌ බෞද්ධාගමික මුහුණුවරක්‌ ගනී. මෙම ශාන්තිකර්ම ක්‍රම අතීතයේදී බහුලව භාවිතා වූවත් දැනට ටිකෙන් ටික සමාජයෙන් හා භාවිතයෙන් ගිලහී අභාවයට යන බවක්‌ පෙනෙන්නට ඇත.ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල විවිධ සිංහල කුල පරම්පරාවන් තුළින් ඒ ඒ සම්ප්‍රදායන්ට අදාළව නැටුම් ගැයුම්, බලිතොවිල් හා යාතු කර්ම පුරාතනයේ සිට පැවත එයි.

එයිනුත් පහතරට පැවැති ශාන්තිකර්ම විශේෂ තැනක්‌ ගනී. යක්‍ෂ දේව කොට්‌ඨාසයන් අරභයා කරන ලද පුද පූජාවන්ගේ විකාශයක්‌ ලෙස තොවිල් හැඳින්විය හැක.

පහතරට ප්‍රදේශයන්හි යකුන් විෂයෙහි පවත්වන ශාන්තිකර්ම අතර, සන්නියකුම, රිද්දියාගය, මහසෝන් සමයම, සූනියම් ශාන්තිය, කළුකුමාර සමයම, මහා කළු කුමාර සමයම, ගොපලු සමයම කූටක සමයම ප්‍රධාන තැනක්‌ ගනී. මාතර ප්‍රදේශයේ සන්නි යකුම නටනු ලබන්නේ සන්නි යක්‍ෂයා විසින් ඇති කරන්නා වූ සන්නි රෝග වන තුන් දොසම කිපීමෙන් ඇති වන්නා වූ ඉදිමීම, ඇවිලීම, සිහිමුර්ජාවීම, නිතර නිතර උණ ගැනීම යන රෝගයන් සඳහාය. සන්නි සකුන් ප්‍රධාන එම යක්‍ෂ සමාගමට අයත් අන් යකුන් උදෙසා පවත්වන පුද පූජා ඇතුළත් ශාන්තිකර්මය සන්නියකුම, සන්නි සමයම හෙවත් දහඅට සන්නිය නමින් හැඳින් වේ.

මායම් 18, ජවර 18, කෝල 18, වලිප්පු 18, ගුල්ම 18 ආදී වශයෙන් සන්නි රෝග එක්‌ එක්‌ ආකාරයෙන් 18 බැගින් වන බැව් ගුප්ත විද්‍යා නියමයන්ගේ දැක්‌වේ.

ආතුරයා උදෙසා පේ බතක්‌ උයා එහි පෙන්නුම් කරන ආකාරයට සන්නි යකුමක්‌ කළ යුතුය. නොඑසේ නම් 18 පිදේනියන් සූදානම් කරයි. තොවිලයට දින නියම කරගනු ලබන්නේ ආතුරයාට ඇප නූල් බැඳීමෙනි. දින 3 ක්‌ සති 3 ක්‌, මාස 3 කින් තොවිලය පල කිරීම සාම්ප්‍රදායික සිරිත වේ.

භූත විද්‍යා නියමයන්ට අනුව දේවතා, අසුර, යක්‍ෂ, රාක්‍ෂ, පිසාච ආදීන්ට ආවේණික ගති ලක්‍ෂණ, ගති සිsරිත්, ප්‍රියමනාප කෑම, බැල්ම හෙලන වේලාව, දොල ලබාගන්නා කාල සීමාව අධිගෘහිත ස්‌ථාන, කැමති වර්ණ, විවාහ උප්පත්ති ලක්‍ෂණ ඇත්තාසේම ඔවුන් විසින් මිනිසාට ඇති කරනා රෝබිය උවදුරුවලින් අත්මිදීමට ගත යුතු ක්‍රියා මාර්ග භූත විද්‍යාවේ දැක්‌වේ.

සන්නි යකුම සඳහා සකසනු ලබන ප්‍රධාන වීදි මාලාව සන්නි යකුම් වීදිය හෙවත් සංඛපාල වීදිය යනුවෙන් හැඳින්වේ. මාතර පළාතේ යාගය ආරම්භ කිරීමේදී සූනියම් දේවතාවන්ට ආරාධනා කර ආතුරයා හා යකදුරා ආරක්‍ෂා කර දෙන ලෙස අයෑද සිටී. දෙවියන් වෙනුවෙන් විශේෂයෙන් සකස්‌ කරනු ලබන සැරසිල්ල හෙවත් මල්යහනාවට දෙවියන් වැඩමවා දලු මුර පුදනු ලැබේ. මෙහිදී අලංකාර කවි ගායනා කිරීමක්‌ දක්‌නට ලැබේ.

සන්නි යකුන්ගේ උප්පත්තිය හා සම්බන්ධ විවිධාකාර වූ කථා, අදාළ දිෂ්ඨි මන්තර, යාදිනි කවි බොහෝ වේ.

ඕං නමෝ විශාලා මහනුවර රත්ගල් කුමරී උතුරු කුරු දිවයිනේ දවා පුළුස්‌සාලූ සොහොනේ සොහොන් අගුරෙන් උපන් සන්නි යක්‍ෂයා......

කෙසේ නමුත් සන්නි යක්‍ෂයාගේ උපත සිදු වූ ස්‌ථානය වශයෙන් සැලකෙන්නේ ලිච්චවි රජ දරුවන් සිටි විශාලා, මහනුවරයි. සංඛපාල නුවර, වපරක නුවර, මන්දාර නුවර යනුවෙන්ද හැඳින්වේ. ලිච්චවි රජ පරපුරේ සංඛපාල නම් රජකු වූ අතර ඔහුගේ බිරිඳ අසුපාලි නම් විය. අසුපාලි කුමරිය ගැබ්බරව සිටි කාලයේදී ඇයට මී අඹ කෑමේ දොලක්‌ ඇති විය. තම බිරිඳ ගැබ්බර බව නොදත් සංඛපාල රජු අසල් වැසි රටක යුද්ධයක්‌ සඳහා පිටත්ව ගොස්‌ සිටි බැවින් ප්‍රධාන ඇමතිට මේ බව දැන්වීය.

ප්‍රධාන ඇමති මාර්ගයෙන් මී අඹ ගෙන්වා ගත් අසුපාලි බිසව මහත් වූ කෑදරකමකින් අඹ ආහාරයට ගත්හ. තනිවම මී අඹකෑ හෙයින් කාලිනම් සේවිකාව කුමරිය කෙරෙහි තරහවක්‌ ඇති කරගත්තාය. මැය විසින් රජු පැමිණි පසු බිරිඳගේ අනාචාර හැසිරීමක්‌ ගැන ගොතා කීමෙන් බිරිඳ කෙරේ රජුගේ සිත් බිඳීමට ක්‍රියා කළාය.

මෙයින් කෝපයට පත් රජු අසුපාලි කුමරියගේ ගැබ්බර බවද නොසලකා ඇමතියකු ලවා ඇයට දස වධදී පුබ්බේරිය ගසක එල්ලා දෙපලු කරවීය. වෛරී සිතින් මැරුණු බිසව එවලේම කුමරුවකු බිහිකළ බව කියවේ.

මව මියගියද දරුවා මවගේ ලේ මස්‌ නහර අනුභව කරමින් වැඩී රාජ මුළු සන්නි යක්‍ෂයා හෙවත් කෝල සන්නි යක්‍ෂයා නමින් ප්‍රසිද්ධ විය.

තම මව මැරූ පලිය පියාගෙන් ගැනීමට සිතූ මෙම කුමරු විෂ මුසු කොළ වර්ග එකතු කර විෂ ගුලි 18, නිපද වූ බවත් එය දුටු ශක්‍රයා විෂ දිය ඉසීමෙන් යකුන් 18 දෙනකු මැවූ බවත් සඳහන් වේ. දහ අට සන්නිය නමින් ප්‍රසිද්ධ වනුයේ මේ යකුන් 18 දෙනාය.

මෙසේ බිහි වූ යකුන් 18 දෙනා එකතුව වධක මාන කුමරු වටකොට කෑම ඉල්ලන්නට විය. මෙය පියාගෙන් පලි ගැනීමට අවස්‌ථාව කරගත් කුමරු මා ළග කෑම නැත විශාලා මහනුවරට ගොස්‌ සංඛපාල රජුගෙන් කෑම ඉල්ලා ගනුවයි අණ කළෙන් මොවුන් විශාලා මහනුවරට පැමිණ එහි කෙත් වතු භව භෝග විනාශ කරන්නට වීමත් සමග එහි ප්‍රථම දුර්භික්‍ෂය ඇති විය. ආහාර නැති වීම නිසා රෝග පැතිරීම, මළමිනී ගොඩ ගැසීම නිසා එහි දුර්ගන්ධයට අමනුෂ්‍යයන් එක්‌ වීම යන ත්‍රිවිධ භය මෙනුවර ඇති විය. රතනසූත්‍ර දේශනාවෙන් මොවුන් සක්‌වල ගලින් එහාට පන්නා දැමුණි. එහෙත් කෝල සන්නි යක්‍ෂයා අබැටක්‌ (අබ ඇටයක්‌) තරම් වෙසක්‌ මවා ගෙන ගොම රිටක සැඟවී සිටි බව කියවේ.

මහා කෝල යක්‍ෂයා සහ ඔහුගේ පිරිවර සේනාව වන යකුන් 18 දෙනා මිනිසාට ලෙඩ බෝකිරීමට යොදාගත් ආකාරය උප්පත්ති කථාවේ මෙසේ සඳහන් වේ.



මළකඳ ඇතුළෙන් ඉපදුණු කුමරෙකි

උණද සෙලෙස්‌මාවෙන් එක්‌ ගොල්ලකි

වායු පිශාන් එහි හටගත් සෙනගකි

අතුරු නහරයෙන් හටගත් සෙනගකි



ඉසේ ලෙඩට පස්‌ දෙනෙක්‌ සදාගති

කඳේ ලෙඩට පස්‌ දෙනෙක්‌ සදාගති

සන්ධි වලට දහ අටට බෙදා ගති

දවසට දහසක්‌ මිනී මරා ගති



යකුන්ට පුද පූජා නොලැබුණු කල ඔවුන් මිනිසුනට ආවේශ වී ලෙඩ කරන බව පැවසේ. එම ලෙඩ සුව කිරීම සඳහා දහ අට සන්නි ශාන්ති කර්මය පවත්වයි. ශාන්ති කර්මවලදී ලැබෙන පුද පූජාවලින් සන්නියකුන් 18 දෙනා ජීවත් වන බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

එම සන්නි යකුන් යාගය හෙවත් දහඅට සන්නියේ එන සන්නි 18 මෙසේ වෙයි.

1. බූත සන්නිය

2. අබූත සන්නිය

3. අමුක්‌කු සන්නිය

4. වෙඩි සන්නිය

5. වාත සන්නිය

6. ගොළු සන්නිය

7. කණ සන්නිය

8. පිත් සන්නිය

9. බිහිරි සන්නිය

10. මුර්තු සන්නිය

11. දෙමළ සන්නිය

12 නාග සන්නිය

13. කොර සන්නිය

14. ගිනිජල් සන්නිය

15. ගුල්ම සන්නිය

16. සීතල සන්නිය

17. කෝල සන්නිය

18 දේව සන්නිය

මෙම ශාන්ති කර්මය රාත්‍රී 8.00 ට ආරම්භ වී පිදේනි තටුවල විලක්‌කු ගසා තොරණවල පහන් දල්වා ප්‍රධාන යකදුරා විසින් ආතුරයා තොවිල් මඩුවට කැන්දා ගෙන එයි. ත්‍රිවිධ රත්නයට නමස්‌ කාර කොට ආතුරයා පැදුරේ වාඩි කරවනු ලබයි.

යකුන්ට පිදේනි දීමේදී ඒ ඒ යකාට නියමිත වේශ නිරූපණය කරමින් ගුරුන්නාන්සේ සමග සංවාදයේ යෙදෙයි. විහිළු තහළු දෙපැත්ත කැපෙන කියුම්, වචන කනපිට පෙරළා කියන කියුම්, විනෝදාත්මක කවි, හිටි වන කවි කියමින් සභාව කුල්මත් කරයි.

නිතර නිතර ආතුරයා බිය කිරීම හා පෙළපාලියක්‌ අවසානයේදී ආතුරයාට ආවැඩීමක්‌ ද කරයි.

යකුන්ගේ උප්පත්ති කථා, විලාසිතා වර්ණ විස්‌තර ගායනා කරමින් යකදුරා ආතුරයා අතට දෙන පිදේනි තටුව යක්‍ෂ බූත බැල්ම ආදිය අදින් නිවාරණය තීන්දුයි කියා දෙයි. එය බලා ගන්නා යක්‍ෂයා ආතුරයා හිස වටා කරකවා රැගෙන වීදිය තුළට යයි.

අතීතයේදී ඇදුරා වෙස්‌ මුහුණ නොමැතිව මන්ත්‍ර බලයෙන් යක්‍ෂාවේශය ලබා ගෙන මෙම රංගනයේ යෙදී ඇත. ඒ සඳහා බීත සන්නි දිෂ්ටිය ජප කර දුම් අල්ලා ගෙන ඇත. ගෙංජි වරම නම් මන්ත්‍රයෙන් මතුරා දෙපයට දුම් ඇල්ලු විට ඇදුරාගේ දෙපය පොළවට ඉහළින් පිහිටයි.

ඉර පෑයීමට පෙර සබයට මහ කෝල යක්‍ෂයා පැමිණෙන විට කෙලවර මෝල් ගස්‌ දෙකක්‌ හරහට කතිරයක්‌ සේ අල්ලා කඩවත් අහුරා දෙදෙනකු සිටී. බුදුන්ගෙන් සංදේශයක්‌ ගෙනෙන තුරු කඩවත නොඅරින බව යකැදුරන් ප්‍රකාශ කරයි. කෝල යකා මුරකරුවන් බියකරමින් ද නම්බුනාම දී චාටුවෙන්ද බැගෑපත්ව උපායෙන්ද කර ගැනීමට නොහැකිව පසුව බුදුන්ගේ සංදේශයක්‌ රැගෙන පැමිණේ. එය භාරගෙන යකාට කියවන ලෙස යකැදුරෝ නියම කරන අතර බුදුන්ගෙන් වරමක්‌ ලැබී තිබීම නිසා ආඩම්බරයෙන් සංදේශය කියවයි. 

නමුත් යකාට වරමක්‌ දී ඇත්තේ නරබිලි ගැනීම තහනම් බව හා නරයන්ට ලෙඩ රෝග උපද්දවන දොල පිදේනි ගෙන සුවපත් කළ යුතු බවයි. යකා මෙල්ලවේ. දොල පිදේනි රැගෙන ආතුරයා සුවපත් කොට ආවඩා යන ලෙස ගිවිසුමකට පැමිණේ.

මහ කෝල යක්‍ෂයාට වෙන් වූ දොල පිදේනි බත්, කැවිලි, පලතුරු යකාගේ ඉනෙහි යොමුවකට දමා කුකුලා ද ඉනේ එල්ලයි, මේ සියල්ලම එල්ලාගෙන දුම්මල පන්දමක්‌ රැගෙන අවසාන නැටුම නටා සෙත් පතමින් ඉවත්ව යයි.

තොරතුරු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයසේන කොට්‌ටගොඩ සූරීන්ගේ පහතරට ශාන්ති කර්ම ග්‍රන්ථය සහ මාතර තලල්ලේ (පාරම්පරික ගුප්ත විද්‍යා) ෂෙල්ටන් ප්‍රේමරත්න.

බඹරැන්දේ - සරත් කුමාර යූ. වඩුගේ

Post a Comment

0 Comments