නියපොතු හෙළිකරන ජීවිත රහස්‌

යම් කෙනකුගේ දේහ ලක්‍ෂණ අනුව ඔහුගේ හෝ ඇයගේ චරිතය පිළිබඳව හෙළිකිරීමට පැරැණි සෘෂිවරුන් සමත් වූ බැව් පොතපතෙහි සඳහන් වෙයි. මේ අනුව කෙනකුගේ ශරීරාංගයන් අතර පිහිටි නියපොතුවල පිහිටීම හා වර්ණය අනුවද ඔවුනොවුන්ගේ චරිතය පිළිබඳව ප්‍රකාශ කළහ. නියපොතු විවිධාකාරය. එකිනෙකාට වෙනස්‌ ආකාරයේ නියපොතු අප ශරීරයේ පිහිටයි. 

අප රටේ නියපොතු වැවීම නවීන විලාසිතාවක්‌ හැටියට සැලකුවත් චීන ජාතික කාන්තාවන් නියපොතු වැවීම කරන්නේ උගත්කමේ සංකේතයක්‌ පිළිබිඹු කිරීම සඳහාය. නියපොතු පිළිබඳව වැඩිපුරම සැලකිල්ලක්‌ දක්‌වනුයේ කාන්තා පක්‍ෂයයි. අපිට උරුම වූ ස්‌වභාවික නියපොතුවලට කෙතරම් හැඩ දැමුවත් එහි ස්‌වරූපය වෙනස්‌ කළ නොහැක. රෝග ලක්‌ෂණ හඳුනාගත හැකි ශරීරයේ අවයවයන් අතර නියපොතුවලටද ලැබෙන්නේ ප්‍රමුඛ ස්‌ථානයකි. කෙනකුගේ චරිත ලක්‍ෂණ ගැනද සෑහෙන අවබෝධයක්‌ නියපොතු පිහිටා ඇති ආකාරයෙන් හා නියපොතුවල වර්ණයෙන්ද දැනගත හැක. චීනයේ නියපොතු වවන්නන් අතර වෙද මහත්වරුද වෙති. ඔවුන් නියපොතු දිගට වවන්නේ වෙදකමේ ප්‍රයෝජනයක්‌ සඳහා නොව පාරම්පරිකව පැවත එන එක්‌තරා චාරිත්‍රයක්‌ ආරක්‌ෂා කිරීම සඳහාය. නියපොතු දිගට වැවීම නායකත්වයේ සංකේතයක්‌ වශයෙන් ඔවුන් සලකන අතර අප රටේ දිගට නියපොතු වවන්නේ එය එක්‌තරා විලාසිතාවක්‌ ලෙස සලකා ගෙනය. 

නියපොතු නිර්මාණය වී ඇත්තේ අපේ පියවි ඇසට නොපෙනෙන අනුදක්‌නයකින් පමණක්‌ දැකිය හැකි කුඩා කෙඳි විශේෂයකිනි. මෙම කෙඳි අපේ මොළයෙන් නිකුත් වෙන විද්යුත් චිත්ත තරංග ඇතුළත් රුධිරය ගෙන යන ස්‌නායුවලට සම්බන්ධව පවතියි. නියපොතුවල වර්ණය හා එහි පිහිටීම අනුව කෙනකුගේ සෞඛ්‍ය තත්ත්වය තේරුම් ගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ඇත. සෙංගමාලය වැනි අසනීපවලදී නියපොතුවල වර්ණය අනුව රෝගය හඳුනාගෙන අදාළ ප්‍රතිකාරය කිරීමට වෛද්‍යවරු සමත් වේ. යමෙකුගේ ඇඟිලිවල නියපොතු පිහිටි ආකාරය අනව ඔහුගේ හෝ ඇයගේ චරිත ස්‌වභාවයේ පැවසිය හැකි බව පැරැණි සෘෂිවරුන් සඳහන් කර ඇත. අපේ නියපොතු පිහිටා ඇත්තේ එකිනෙකට වෙනස්‌ ආකාරයෙනි. සතරැස්‌ ආකාරයෙන්ද සිහින්වී ගිය ආකාරයෙන්ද, පළල් වී ගිය ආකාරයෙන්ද, පැතලි ස්‌වභාවයෙන්ද, තුන්හුලස්‌ ආකාරයෙන්ද, තඹ පැහැතිවද, රෝස, රතු පැහැති කෙටි නියද යනාදී වශයෙනි. මෙසේ හතරැස්‌ ආකාරයෙන් නියපොතු පිහිටීම දූරදර්ශී බුද්ධි බලයකට හිමිකම් කියන පැරැණි අදහස්‌වලට එතරම් ගරු නොකරන අයටය. බොහෝ විට වෛද්‍යවරුන් සුප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් අතර මෙවැනි ආකාරයේ නියපොතු පිහිටා ඇති බව පර්යේෂණවලින් ඔප්පු වී ඇත.

නියපොතු පළල් වූ කාන්තාවන් බොහෝ විට ඉගෙනීමට දක්‍ෂතාවක්‌ දක්‌වති. ඔවුන්හට නිපුණ බුද්ධියක්‌ ඇති බැවින් ලේඛන කලාව පිළිබඳවද, සෑහෙන දක්‍ෂතාවක්‌ පෙන්නුම් කරයි. ඥතීන් හා අසල්වැසියන් සමග ස්‌වකීය බලය තහවුරු කර ගැනීමට කැමැති අය වෙති. නියපොතු දික්‌ව වටකුරුව පිහිටියේ නම් එවැනි කාන්තාවන් සැඩ පරුෂ ගති ලක්‌ෂණ වලින් යුක්‌ත අය වෙති. අක්‍රමවත්ව පිහිටි කුඩා නිය පිහිටි අය වංචා සහගත නිතර තමන්ගේ වාසිය උදෙසා මුසා බස්‌ දොඩන අය වේ. නියපොතු කුඩාවී කාල වර්ණයෙන් යුක්‌තව පිහිටා ඇති නම් ඔවුන් අන්‍යයන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන්නෝය. පළල් වූ නිය කාල වර්ණයෙන් යුක්‌ත නම් ඔවන් ලඡ්ජා බිය නැති වංචා සහගත සිත් ඇති අය වෙති. දික්‌වූ සුදුද පාටට හුරුව නියපොතු ඇතිවු විට අවංකවූ යහපත් ගතිගුණ ඇති වෙයි. මොලොක්‌වූ සියුම් නිය ඇති කාන්තාවන් නිරතුරුවම උවදුරුවලින් පෙළෙන වංචනික ක්‍රියා ඇති දුබල වූ අයයි. සියුම් වටවූ නිය ඇති අය නෘත්‍ය, ගීතාදී ක්‍රීඩා ආදියට වඩා ලැදිවීමටද කොටවූ රතුපාටට හුරු නිය කෙනකුට පිහිටියේ නම් ඔහු හෝ ඇය වහා කිපෙන සුළු රාගාධික ගති ඇතවීමටද හේතුවනු ඇත. කොටවු වටකුරු නිය පිහිටියේ නම් නිතර අන් අයගේ ඕපාදූප සෙවීමෙහි නිරත වෙන සමාජයෙන් ගැරහුqම් ලබන අය වන්නෝය. ඉතා ලොකු නිය ඇත්තේ නම් යහපත් ගුණයෙන් යුක්‌ත අය වන්නේය. වටකුරු කොට නිය සුදු පැහැගැන්වී නම් දුෂ්ට සිත් ඇති අන් අය අප්‍රිය කරන අය වෙති. එසේම ඉදිබුවකුගේ පිටක්‌ මෙන් මැදින් උස්‌වී මෘදු ගතියෙන් යුතු නම් එවැනි අය නිරන්තරයෙන්ම වාසනාවන්ත වූ ගිහි ජීවිතය සතුටින් ගත කරන වාසනාවන්ත දිවියක්‌ ගතකරන අය බව ප්‍රකාශ කෙරේ.

තුන් හුලස්‌ හෝ ත්‍රිකෝණාකාර ලෙස නියපොතු පිහිටා ඇති නම් ඔවුන් කාර්යශූර යම් දෙයක්‌ වහා අවබෝධ කරගැනීමේ හැකියාවක්‌ ඇති දැඩි ආගමික භක්‌තියකින් යුත් පුද්ගලයෝය. එමෙන්ම අවසාන ඇඟිලි පුරුකේ මැද සිට දික්‌ව ඇති නිය පිහිටා අති අය උත්තමගනයේ පුද්ගලයන් ලෙස සැලකේ. කවාකාර හැඩයෙන් යුක්‌ත නිය පිහිටි අය යුක්‌තිය ශක්‌තිය ලෙස සලකා කටයුතු කරන අයයි. රක්‌ත වර්ණ පැහැයෙන් යුක්‌ත කෙටිවූ නිය පිහිටා ඇත්නම් එවන් අයද ක්‍ෂණිකව කෝපයට පත්වෙන කාමාධික සිත් ඇත්තෝ වෙති. තඹවන් කුඩා නිය ඇති අයද රති සැපයට ලොල්ව කටයුතු කරන අය ලෙස සැලකේ.

රතු පාටවූ ගිණි සිළුවකට සමාන උස්‌වුණ නිය දැකුම්කලු වූයේ නම් කාන්තාවකට සුභපල ළඟා කරවයි. ගිලුන දුර්වර්ණ වූ මුතුබෙලි වැනි නිය ඇති අය දිළිඳු භාවය උරුම කර ගත්තෝ වෙති. යම් ස්‌ත්‍රියකගේ නියමත සුදු බිංදු ඇතිවී නම් එවැනි අය පෙම් සබඳතාවන් කීපයක්‌ ඇති කර ගන්නා අතර ඔවුන් විවාහයට පත්වූවත් එක්‌ සැමියෙකුගෙන් පමණක්‌ සෑහීමකට පත්වන්නේද නැත. නිය රෝස පැහැති නම් ඔවුන් අවංක ත්‍යාගශීලී ගුණයෙන් යුතු කාරුණික අය වෙති.

සිරිතක්‌ වශයෙන් පුරුද්දක්‌ වශයෙන් නියපොතු සපා කන්නේ නම් හෝ දතින් කඩන්නේ නම් එවැනි අය දුෂ්ට ගතිගුණ ඇති අය ලෙස හඳුනාගන්න. ඔවුන් නිතර කැළඹුණ චංචල සිත් ඇති තමන්ගේ බලවත්කම් ඇසුරු කරන අයට කියාපාමින් පණ්‌ඩිත ස්‌වරූපයකින් කතා කරන නිතර අන් අයගේ අඩුපාඩු සොයන ආත්ම වර්ණනාවේ යෙදෙන අය වෙති. දිගට වඩා පළලින් වැඩි නිය පිහිටි අය තුළ චතුර කථිකත්වය හා බුද්ධිමත් භාවයක්‌ ඇත. විශේෂයෙන් කථාවෙන් අන්‍යයන් වසඟ කර ගැනීමේ ශක්‌තියක්‌ හා ලේඛන කලාවට ලැදිකමක්‌ ඔවුන් තුළින් පිළිබිඹු වේ.

නියපොතුවලින් කෙනකුගේ චරිත ස්‌වභාවයන් පැවසීමේ හැකියාව වගේම නියපොතුවලින් මන්ත්‍ර ඇතුව හෝ නැතිව කළ හැකි විස්‌කම් බොහෝය. ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව මන්ත්‍ර බලයෙන් තොරව වුවද නියපොතු පෑගීමෙන් ඕනෑම කෝටිපතියෙකු වුවද තුන්මස්‌ තුන් පෝයකදී අන්තිම දිළිඳු තත්ත්වයකට ඇද දැමිය හැකි බව පොතපතෙහි සඳහන් වේ. තමා සමග නඩු කියන හෝ වාද කරන කෙනකුගේ හෝ අමනාපව ගිය සැමියා හෝ බිරිඳගේ නියපොතු කෑල්ලක්‌ ගෙන සිකුරාදා දිනෙක එය උණ බට කෑල්ලක දමා මඩ පුරවා දෙපැත්ත මී ඉටියෙන් වසා නැවත මඩේ වැළලීමෙන් ඔහු හෝ ඇය හොරි දද කුෂ්ඨ කඩුවේගන් වැනි අසනීප සෑදී විනාශයට පත්වෙන බව කියෑවේ. වැඩිමහල් වූ අයෙකුගේ නියපොතු කෑල්ලක්‌ ගෙදර කොතැනක හෝ දැමීමෙන් එය නිතර නිතර පෑගීමෙන් ඇයටත් පෑගුණ අයටත් අණවින, කොඩි විනවලට වඩා දොස්‌ වදිනු ඇත. කැපූ නියපොතු තබා කෙස්‌ රැවුලවත් නිතර නිතර පෑගීමට දැමීම දුප්පත්කමට ඇද දැමීමට හේතුවක්‌ ලෙස සැලකේ. වත්මන් වෛද්‍ය විද්‍යාව අනුව නියපොතු තූළ විෂබීජ ඇති බව කීම නම් යුක්‌ති යුක්‌තය. එහෙත් කපා දැමූ පමණින් වෛද්‍ය විද්‍යාවේ විෂබීජ ඉවත් වුවත් ගුප්ත විද්‍යාව අනුව ආපෝ, තේaජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයන්ට අයත් විෂබීජ ඉන් ඉවත් නොවේ. ස්‌ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ කපා දැමූ නිය පෑගෙන ස්‌ථානවල දැමීම සුබ නොවේ. සතර මහා භූතයන්ව ආකර්ෂණය කිරීමට හැකි බලයක්‌ නියපොතුවලට ඇත. කපන ලද නියපොතු රැගෙන මතුරා නැවත එය පෑගීමට දැමීමෙන් මිනිසාට නොයෙකුත් විපත් සිදුකළ හැකිය.

හිඹුටානේ පියතිලක ද අල්විස්‌

Post a Comment

0 Comments