හෙළදිව යන්ත්‍ර මන්ත්‍ර සහ බලි තොවිල්

මිනිස්‌ ඇසට නොපෙනෙන එහෙත් ලොව පැවැත්මට මෙන්ම විනාශයට හේතු වී ක්‍රියාකරන අදෘශ්‍යමාන බලවේගයන් අප වටා පවතින බව සත්‍ය වූ කරුණකි. මේ තත්ත්වය මිනිසා විසින් අවබෝධකොට ගෙන ඇත්තේ මීට ශතවර්ෂ දහස්‌ ගණනකට පෙරය. මෙබඳු අදෘශ්‍යමාන බලවේගයන් ඔස්‌සේ සිතීමට පටන්ගත් මිනිසා මනුෂ්‍ය වර්ගයාට ඇතිවන සියලු පීඩාකාරී ව්‍යසනයන්ගෙන් මිදීමට විවිධ උපක්‍රම සොයා යන්නට විය. එහිදී යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ආදී ගුප්තමය ක්‍රියාවන්ගෙන් මිනිසාට අදෘශ්‍යමානව ඇතිවන්නාවූ අපල උපද්‍රව කරදරවලින් මිදීමට හේතු විය.

යන්ත්‍ර මන්ත්‍ර බලි තොවිල් ආදී විවිධ ගුප්තමය ශාස්‌ත්‍ර ඔස්‌සේ ඉදිරියට ගිය ආදිකාලීන මිනිසා එවැනි ශාස්‌ත්‍ර උපයෝගි කර ගැනීමෙන් මෙලොව වශයෙන් වන්නා වූ නොයෙකුත් අන්දමේ අපල උපද්‍රව ග්‍රහ විපත් වලින් මිදීමට හා මුදවා ගැනීමට මෙම ගුණමය යන්ත්‍ර උපයෝගි කරගෙන ඇත. එය සත්‍යයක්‌ බව මනාව ඉතිහාසය සාක්‌ෂි දරයි.

නමුත් මෙම උසස්‌ ශාස්‌ත්‍රය දැනට අප අතරින් තුනීවීමට පටන් ගෙන ඇත. එය හෙළදිව වැසියන් වන අපට කනගාටුවට කරුණකි. නමුත් එවැනි ගුප්තමය රහස්‌ ශාස්‌ත්‍ර දැන සිටින හෙළදිව වසන අතලොස්‌සක්‌ පමණ ගුණ ශාස්‌ත්‍රාචාරිනීන් සිටීම අපේ භාග්‍යක්‌ වේ. මේ අතලොස්‌සක්‌ දෙනාගෙන් හෝ මේ උතුම් ශාස්‌ත්‍රය ආරක්‌ෂා කර ගැනීම ඔබ අප සැමගේ වගකීමයි.

හෙළදිව බලිතොවිල් ශාන්ති ක්‍රම

බලි ශාන්ති ක්‍රම තුළින් ග්‍රහ අපල සහ ඇස්‌වහ කටවහ ආදී දෝෂයන්ගෙන් මිනිසාට ඇතිවන්නා වූ විපත්තිවලින් ඔවුන් මුදවා ගැනීමට හැකිවන අතර වෙනත් කිසිම ඖෂධයකින් හෝ මොනයම් චිකිත්සා ක්‍රමයකින් වත් පිහිට ලබා ගැනීමට නොහැකි බව අෂ්ටාංග ආයුර්වේදයේ සඳහන් වීමෙන් පැහැදිලි වේ.

පැරණි අපේ ඉසිවරු වේද ඉතිහාසයේ සිට වල්බිලිදීම නියම කර ඇති අතර බුදු දහමට අනුවද රුවන් සූත්‍ර දේශනයේදී බලිදීම කළයුතු චාරිත්‍රයක්‌ බව බුදුන් වහන්සේ අනුමත කර ඇත. සිංහල ආයුර්වේද ශාස්‌ත්‍රයට අනුව ශල්‍ය, ශාලාඛ්‍යය, කායචිකිත්ස්‍ය, කෞමාරධෲත්‍ය, භූතවිද්‍යා, ආගත තන්ත්‍ර, රසායනා තන්ත්‍රය, වජීකරණය තන්ත්‍රය ආදී භූත චිකිත්සා ක්‍රම රාශියක්‌ ඇති බව සිංහල ආයුර්වේද වෛද්‍යවරු දනිති. මෙයින් ඉන්දියාවේ හිංදු කෝවිල්වල හිංදු භක්‌තියන් නවග්‍රහ රූප ගලින් නෙළා මේ රූපවලට නියමිත පුද වර්ග තබා ඒ ඒ ග්‍රහයන්ට අදාළ මන්ත්‍ර, කවච, ස්‌තෝත්‍ර කියමින් දිනගණන් සති ගණන් පූජා පැවැත්වීමද වේද ගීතිකා ගායන කිරීමද අද දක්‌වාම පවතී, මෙයද එක්‌තරා ශාන්ති ක්‍රම විධියකි.

නමුත් හෙළ දිව මෙන් බලි මඩු සැකසීම, රූප ඇඹීම, නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙන් අලංකාරවත් බලි ශාන්ති ක්‍රමයක්‌ ඉන්දියාවේ දක්‌නට නැත. ලාංකික බලි ශාන්තිය නියම වන්නේ යම් ජන්මියකුගේ ජන්ම පත පරීක්‍ෂා කර බැලීමෙන් අනතුරුව එම ජන්මියාට හිමි අපලකාරී ග්‍රහයන්ගේ මහ දසා, අන්තර් දසා, කාලචක්‍ර දසා, දේවද්දසා, ප්‍රාණ දසා, මූල දසා, පිළිසුං දසා, සුක්‍ෂම දසා, දින දසා ආදී දසාවකින් හෝ එම ජන්මියාගේ කේන්ද්‍රස්‌ථානගත පාප ග්‍රහයින්ගේ දෘෂ්ටිඵල, ඒරාෂ්ඨක පළ, මාරක, බාධක, වක්‍ර, අනුවක්‍ර ආදී අපල කරදර එළඹීම නිසා එයින් මිදීමට බලි ශාන්ති කරවා ගැනීම ඉසිවර නියමයයි.

ජන්මියාගේ ග්‍රහ දුර්වලභාවයන් නිසා ඇති වන්නා වූ ලෙඩ රෝගාදියත් චින්ත විපර්යාසය නිසා ඇතිවන සාමාජීය හා ආගමික ආර්ථික සහ පවුල් ගැටලු යන අනේකවිධ ප්‍රශ්න ඇති කාලයට ඒවායින් මිදීමට බලි ශාන්තිකර්ම කරවා ගැනීම අපේ පැරණ්‌නන්ගේ සිරිතයි. එපමණක්‌ නොව යක්‍ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්බාණ්‌ඩ ආදීන්ගෙන් වන්නාවූ විපත්ති කරදර, ලෙඩරෝග අවස්‌ථාවලදී රාජ උදහස්‌ නිසා ඇතිවන්නා වූ රැකියා අහිමිවීම් සේවයෙන් පහකිරීම්, නිලයන්ගෙන් පහත වැටීම ආදී අවස්‌ථාවලදී ද යන සියලු විපත්ති කරදර අවස්‌ථාවලදී එයින් මිදීමට සිංහල රජවරු පවා මේ බිලි ශාන්ති විධි කරවා ගත් බව ඉතිහාසයෙන් පෙනී යයි.

මෙපමණක්‌ නොව මිනිස්‌වාසය සඳහා ඉදිකරනු ලබන ගෘහ වාසස්‌ථාන ඉදිකිරීමේදී ඇතිවන වාස්‌තු දෝෂද, ගෘහ වාසස්‌ථානවල පදිංචි වීමේදී ඇතිවන නක්‍ෂාස්‌ත්‍ර දෝෂද, ගෘහ වාසස්‌ථානවලට පැමිණෙන සත්ත්ව ආදීන්ගෙන් වන්නා වූ දෝෂද, සතුරු මිනිසුන් විසින් කරන ලද අණ වින, කොඩිවින, හදිහූනියම් නිසා ඇතිවන විපත්තිද, ඇස්‌වහ, කටවහ, හෝවහ ආදීන්ගෙන් වන්නාවූ විපත්තිද, වාපිත්, සෙම් යන තිදොස්‌ කෝපෙන් වන්නා වූ ලෙඩ රෝග ආදී මිනිසාට වන්නාවූ අනේක විධ විපත්ති කරදරවලින් මිදීම පිණිස පෙර ඉසිවරු බලිශාන්ති කර්මය නියමකර ඇති බව "යාග ශාන්ති සංග්‍රහයේ සඳහන් වේ."

හෙළදිව සිංහල බලිශාන්ති ක්‍රමය රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ සිට පිදුරු සෙවිලි දුප්පත් මිනිසා දක්‌වාම ඔවුනොවුන්ට ඇතිවන්නා වූ විපත්ති කරදරවලට අනුකූලව ඔවුනොවුන්ට හැකි ආකාරයෙන් ඒ ඒ විපස්‌තීන්ගෙන් මිදීම සඳහා බලි ශාන්ති ක්‍රම අතීතයේ සිට අද දක්‌වාම කරගන්නා බව සමාජය දෙස බලන විට පෙනී යයි.

එන්. ආර්. එම්. ජයවර්ධන

Post a Comment

0 Comments