වාස්‌තු ශිල්පයට අනුව නිවස ආරක්‍ෂා කරගන්න

ඔබට යම් කරදරයක්‌ ඇති වූ විට ඔබ කාගේ හෝ පිහිට පැතීම ස්‌වභාවිකයි. ඔබ පිහිට පතන අයගෙන්ම ඔබට පෙරළා කරදර ඇතිවන අවස්‌ථාද නැතිව නොවේ. මේ නිසා පිහිටත් ආරක්‍ෂාවත් ලබා ගැනීමේ දී ඔබ දෙපාරක්‌ සිතා විමසිලිමත්ව ඒ දේ නිසියාකාරයෙන් ලබා ගැනීමට බුද්ධිමත් විය යුතුයි. ඔබගේ නිවසේ කරදර වැඩිවන විටද ඔබ යම් යම් නොපෙනෙන බලවේග වල පිහිට ආරක්‍ෂාව ලබාගන්නවා. ඒවායෙන් පිළිසරණක්‌ නොලැබෙනවා නොවෙයි. එසේ ප්‍රතිඵලයක්‌ නොමැතිනම් මෙවැනි ක්‍රම මේ හා දීර්ඝ කාලයක්‌ මිනිසා හා බැඳී පවතින්නේ නැහැ. ඒවායේ යම් විශ්වීය ශක්‌තින් ගැබ් වී තිබෙනවා. ඉපැරණි යන්ත්‍ර. මන්ත්‍ර ඉතා සක්‍රීය ලෙස බලවත්ව ක්‍රියාත්මක වන බවට ඔබට ඕනෑතරම් උදාහරණ අපගේ ඉතිහාසයේ පවතිනවා. ගෘහය හා සම්බන්ධයෙන් මෙවැනි යන්ත්‍ර මන්ත්‍ර හා ජීවන් කළ ආරක්‍ෂක ක්‍රම ශිල්පයන් යොදා ගැනීමේ දී ඒවා නිසිලෙස යොදා ගන්නා ආකාරය සහ ඒවායේ ජීව කාලය පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙ ලිපියේ මූලික අරමුණ වේ.

හැම ගෘහයක්‌ම ආරක්‍ෂා කිරීම අතීතයේ සිට නූතනය දක්‌වා සිදු වෙනවා. ආරක්‍ෂා නොකළ නිවසක්‌ සොයා ගැනීම පවා අපහසු බව පෙන්වා දිය හැකියි. මෙසේ නිවසක්‌ ආරක්‍ෂා කරනු ලබන ප්‍රධාන අවස්‌ථා කිහිපයක්‌ පෙන්වා දිය හැකියි.

* නව නිවසක්‌ සෑදීමේ දී

* නව නිවසේ පදිංචියට යැමේ දී

* පදිංචි නිවසේ කරදර බහුල වන විටදී

* නිවසේ අලුත්වැඩියාවකින් පසුව

ඉහත අවස්‌ථා වලදී නිවසක්‌ ආරක්‍ෂා කිරීම් අවස්‌ථාවන් බහුලව මතුවන බව පෙන්වා දිය හැකියි. මෙම ආරක්‍ෂා කිරීම් කරන ක්‍රම වේදයන් ගණනාවක්‌ තිබෙනවා. ඒවා පහත පරිදි හඳුනාගත හැක.

* ආරක්‍ෂිත මුට්‌ටි වහලයේ යට ලීයේ එල්ලීම

* ආරක්‍ෂිත මුට්‌ටි හෝ බෝතල් වැලලීම

* ආරක්‍ෂිත යන්ත්‍ර බිත්තියට යට කිරීම

* ආරක්‍ෂිත මංජුසා අත්තිවාරමට යට කිරීම

* ආරක්‍ෂිත යන්ත්‍ර මංගල ද්වාරයේ රැඳවීම

* ආරක්‍ෂිත යන්ත්‍ර මංගල උළුවස්‌ස අබියස භූමියේ යට කිරීම

* ආරක්‍ෂිත යන්ත්‍ර සහ මුට්‌ටි ඉඩමේ මැද හා ඉඩමේ හතර කොණ සහ අට කොණ වැලලීම

* ආරක්‍ෂිත මංජුසා නිවසේ මැද වැලලීම

මේ ආකාරයට නිවස සහ ඉඩම ආරක්‍ෂා කිරීම සඳහා ස්‌ථානයක්‌ තෝරා ගැනීම සිදුකරනු ලබන අතර ඒ සඳහා යොදාගන්නා මාධ්‍යයන් වන්නේ, මැටි මුට්‌ටි, වීදුරු බෝතල්, තඹ කොපු, අලි හක්‌ක, මෙන්ම විවිධ ලෝහ වලින් නිම කළ මංජුසා ආදියයි. මේ කුමන දේ යොදාගෙන කුමන ස්‌ථානයක කුමන ආකාරයට ආරක්‍ෂාව කළද ඒවා පිළිබඳව වාස්‌තු ශිල්පයට අනුව විමසා බැලීම කළ යුතු වෙනවා. මක්‌ නිසාද යත් ගෘහයක්‌ සම්බන්ධයෙන් සිදුකරනු ලබන සෑම දෙයක්‌ සම්බන්ධයෙන්ම වාස්‌තු ශිල්පය තුළ නිවැරදි ක්‍රියා පිළිවෙත් ලබා දී තිබෙන බැවිනි. එම නිසා ඔබගේ ගෘහය ආරක්‍ෂා කිරීමේ දීද වාස්‌තු ශිල්පයට අනුකූලව ඒවා ඉටුකිරීම තුළින් ඔබට නියම ආරක්‍ෂාව සහ සැනසීම ලබාගත හැකි වෙනවා. එසේ නැත්නම් සිදු වන්නේ ඔබ ආරක්‍ෂාව පිණිස පිහිට පැතූ අයගෙන්ම පෙරළා ඔබට කරදර සිදුවීමයි.

වාස්‌තු ශිල්පයේ මූලධර්මයන් ට අනුව නිවසක්‌ ආරක්‍ෂා කිරීමේ මූලික ක්‍රම ශිල්ප කිහිපයක්‌ පවතිනවා.

* ගෘහය තමන්ගේ ආගමික ශාස්‌තෘන්ට කැප කිරීම

* ගම්භාර දෙවියන්ට සහ තමන්ගේ ඉටු දෙවියන්ට කැප කිරීම

* තමන්ට හිතවත් භූමි ඥතීන්ට කැප කිරීම

* වාස්‌තු භූමියට අධිපති දෙවියන්ට කැප කිරීම

මේ ආකාරයට ගෘහය වඩාත් බලවත් කොටස කැප කොට නිවස සීහුම් කොට බලගැන්වීම තුළින් නිවසේ අමනුෂ්‍ය සහ ප්‍රේත කොටස්‌ බලවත් නොවන බව වාස්‌තුවේ සඳහන් වෙනවා. එසේම මුල සිටම වාස්‌තු පිළිවෙත් කොට, භූමි පිළිවෙත් කොට වාස්‌තු සිද්ධාන්ත වලට අනුකූලව ඉදිකරනු ලබන නිවාස වල කිසිම විටක අමනුෂ්‍ය දෝෂ බලවත් වන්නේ නැහැ. එම නිසා අමතර ආරක්‍ෂක විවිධ විධාන යෙදීමට ද අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ වුවද ඔබ විසින් කුමන ආරක්‍ෂක ක්‍රමයක්‌ අනුගමනය කළ ද් එය වාස්‌තු ශිල්පයටම එකඟව ඉටු කිරීමට වගබලා ගත යුතුයි.

ගෘහයක ආරක්‍ෂාව සඳහා ජීවම් කර දෙනු ලබන මුට්‌ටි සහ බෝතල් වල බලය පවතින්නේ යම්කිසි නිශ්චිත කාලයක්‌ බව මතක තබා ගත යුතුයි. එම කාලය අවසන් වූ විට ඒවා නිකම්ම නිකන් හිස්‌ අවකාශ ලෙස පවතී. මෙම ජීවම් කිරීම් වල බලය දින හතයි. සති හතයි, මාස හතයි. අවුරුදු හතක්‌ ලෙස බලගැන්විය හැකි අතර නූතනයේ වර්ෂ 07 කට බලගැන්විය හැකි ශිල්පයේ අග තැන්පත් අය සිටිනවාද කියා සැක සහිතයි. එම නිසා ඔබ විසින් කළ යුත්තේ උපරිම වර්ෂයක කාලයකට යෙටත්ව එම ආරක්‍ෂිත මුට්‌ටි හෝ බෝතල් වල උපකාරය ලබා ගැනීම පමණයි. එසේ නැතිව නිවසට ගෙවදීමේ දී වහලයේ එල්ලන ලද ආරක්‍ෂක මුට්‌ටි වර්ෂ 10 ක්‌ හෝ 15 ක්‌ තැබීම කිසිසේත්ම සිදුසු නොවේ. ජීවම් කාලය ඉවර වූ විට එම හිස්‌ මුට්‌ටි සහ බෝතල් සීයුම් ශරීර සහිත කොටස්‌වල වාසස්‌ථාන බවට පත්වෙනවා. එසේ නම් ඔබ ආරක්‍ෂාවට යොදාගත් දේම ඔබට අයහපත ලෙස නැවත බලගැන්වෙනු බව මතක තබා ගන්න. මා විසින් සිදු කරනු ලබන නිවාස පරීක්‍ෂාවේ දී මෙවැනි දැ විශාල වශයෙන් දැක ඇති අතර එවැනි පරිශ්‍රයන් විධිමත් ලෙස කඩිනමින් ඉවත් කළ යුතු වේ.

ගෘහයක්‌ ආරක්‍ෂා කළවිට ජීවම් මුට්‌ටි හෝ බෝතල් මුදුන් ලීයේ හෝ මංගල ද්වාරයේ එල්ලන්න එපා

ඔබගේ ගෘහය ආරක්‍ෂා කිරීමට ලබාදෙන කිසිම දෙයක්‌ ගෘහයේ යට ලීයේ හෝ මංගල ද්වාරයේ එල්ලීම නොකිරීමට වගබලා ගත යුතුයි. එසේ කිරීමෙන් ඔබ ආරක්‍ෂා කරනු ලබන ආරක්‍ෂාව ඔබවෙත නොලැබෙන අතර එය ඔබගේ ගෘහයේ වාස්‌තු දෝෂ ඇති කරවීමට ඇති ඉඩකඩ බලවත් වේ. මෙවැනි ආරක්‍ෂිත මුට්‌ටි ගෘහයේ හතර කොණ්‌ බිත්ති මත තැබීම උචිත ක්‍රමය බව පෙන්වා දෙමි. එසේ නොමැතිව මංගල ද්වාරය හෝ මුදුන් ලීයේ රැඳවීම නොකළ යුතු බව පෙන්වා දෙමි.

මීට අමතරව ඔබගේ ගෘහයට ආරක්‍ෂාව පතා ආරක්‍ෂක මුට්‌ටි හෝ බෝතල් නොතැබිය යුතු තැන් පහත පරිදි හඳුනා ගන්න.

* වහලයේ මුදුන් ලීයේ තැබීම නොකළ යුතුයි.

* මංගල ද්වාරයේ එල්ලීම නොකළ යුතුයි.

* ගෘහයේ බ්‍රහ්ම පාදයේ යොදා ගැනීම නොකළ යුතුයි.

* මංගල ද්වාරය අසල භූමියේ වැළලීම නොකළ යුතුයි.

ඉහතින් පෙන්වා දුන් ස්‌ථාන වල ආරක්‍ෂිත මුට්‌ටි හෝ බෝතල් සහ අලි හක්‌ක වැළලීම නොකළ යුතු බව පෙන්වා දෙමි. එම ස්‌ථාන වල සිදුකරනු ලබන එවැනි ක්‍රියා නිසා සිදු වන්නේ ගෘහයේ විශ්ව ශක්‌තිය දුර්වල වී ගෘහය අමනුෂ්‍ය දෝෂ සහ සියුම් ශරීර සහිත දුර්වල ජීවි කොටස්‌වල බලයට නතු වීම බව කිව යුතුයි.

කල් ඉකුත් වූ ආරක්‍ෂිත මුට්‌ටි නිසි ලෙස ඉවත් කරන ආකාරය වර්ෂයකට වැඩි කාලයක්‌ ඔබගේ ගෘහයේ ඇති ආරක්‍ෂිත මුට්‌ටි සහ බෝතල් මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර සියල්ල ඉවත් කිරීම කළ යුතුව ඇත. අවාසනාවකට මෙම ආරක්‍ෂිත මුට්‌ටි ලබාදෙන අය ඒවා ඉවත් කරනු කාලය හෝ ක්‍රමය කියා දෙන්නේ නැහැ. එම නිසා ගෘහයන්ගේ එල්ලන මුට්‌ටි හෝ බෝතල් වල හිස්‌ පරිශ්‍ර අයහපත් සත්ව කොටස්‌වල පරාදීස බවට පත් වී ඇති අතර එය නිවැසියන්ගේ යම් යම් කටයුතු කෙරෙහි ඉතා අහිතිකර ලෙස බලපාන බව කිව යුතුයි. එම නිසා ඔබගේ ගෘහයේ ඇති එවන් මුට්‌ටි සහ බෝතල් කඩිනමින් ඉවත් කරන්න. කෙම්මුර දිනයකට පෙර දිනයේ සවස්‌ වරුවේ අඟහරුවාදා හෝ සිකුරාදා මෙම බෝතල් හෝ මුට්‌ටි ඉතා පරස්‌සමින් ගෘහ වාසී නොවන කෙනෙකු ලවා ගලවා ගන්න. ඉන්පසුව ගෘහ හිමියා විසින් රතු රෙදිකඩකට එම සියල්ල රැගෙන ළිපේ අළු සමඟ මිශ්‍ර කොට ගෘහයේ බ්‍රහ්ම පාදය මතට පැමිණ ගැට 03 ක්‌ ගසා ගෘහයේ පිටුපස දොරෙන් එලියට ගොස්‌ ඉඩමේ හතර මායිමෙන් පිට තැබිය යුතුයි. පසු දිනට එන කෙම්මුර දිනයේ පාන්දර යාමයේ පෙ.ව. 06 ට පෙර ජලයේ පා කර හැරීම ගෘහ හිමියා විසින් සිදුකළ යුතුයි. එවිට නිවසේ සියලු අමුනුෂ්‍ය දෝෂ ඉවත් වී ඔබගේ ආරක්‍ෂාව තහවුරු වන බව කිව යුතුයි.

ගෘහයක ආරක්‍ෂක කටයුතු සිදු කිරීමේ දී ඔබ විසින් මතක තබා ගත යුතු මූලික දෙයක්‌ තිබේ. එනම් නොදන්නා යන්ත්‍ර මන්ත්‍ර සහ ගුරුකම් කිරීම ඉතාමත් භයානක වන අතර ඔබගේ ගෘහයේ කරදර බහුල වන්නේ නම් ඔබ කළ යුතු වන්නේ නිවසේ ඇති වාස්‌තු සිද්ධාන්ත නිසියාකාරයෙන් පරීක්‍ෂා කොට ඒවාට පිළියම් යෙදීම වේ. එසේ නොමැතිව නූතනයේ සිදුකරනු ලබන ආරක්‍ෂිත ක්‍රම වේදයන් ඵල රහිත දේවල් බව මතක තබා ගන්න. රෝගයක්‌ වැලඳුනු විට රෝග නිධානයට බෙහෙත් කිරීම මිස රෝග ලක්‍ෂණ වලට බෙහෙත් කිරීමෙන් නිශ්චිත සුවයක්‌ ලබාගත නොහැකි බව සිතිය යුතුයි. මේ ආකාරයටම ඔබගේ ගෘහයේ ඇතිවන රෝග පීඩා සඳහා වාස්‌තු ප්‍රතිකර්ම යෙදීම කළ යුතු වෙනවා. ගෘහයක තිබෙන නිශ්චිත දෝෂයන් නිවැරදිව හඳුනා නොගෙන කිසිම ප්‍රතිකර්මයක්‌ කිරීම ඵල රහිත බවද පෙන්වා දෙමි. එබැවින් ඉතා වැදගත් වන්නේ, ඔබගේ ගෘහයේ ඇති දෝෂයන් නිසි ලෙස හඳුනා ගැනීමයි. වාස්‌තු ශිල්පීය දැනුම් සම්භාර තුලින් දැනටමත් ඔබට ගෘහයේ දෝෂයන් නිසිලෙස හඳුනා ගැනීමේ හැකියාව ලැබී තිබෙන බව මාගේ හැඟීමයි.

වාස්‌තුවිද්‍යා විශාරද ඩී. යූ. සෙනරත්

Post a Comment

0 Comments