හොරිවිල පරපුරේ දස්‌කම්

දේශීය වෙදකම ප්‍රගුණ කළෝ කොතෙක්‌ ඇතත් ඒ බොහෝ දෙනකුගේ දක්‍ෂතාව මතුවන්නේ ඉතාමත් කලාතුරකිනි. පරපුරෙන් පරපුරට දේශීය ඖෂධ හා ඒවා සංයෝග කිරීම මෙන්ම ප්‍රතිකාර ක්‍රම ද එකිනෙකට වෙනස්‌ මුහුණුවරක්‌ ගන්නා හෙයින් මේ තත්ත්වය උදාවී ඇති බවක්‌ පෙනෙන්නට ඇත. තවත් සමහරෙක්‌ ආයුර්වේද විද්‍යාලවලින් උපාධියක්‌ ලබා වෙදැදුරුවරයකු වශයෙන් පිට වී ගියත් ප්‍රතිකාර ගන්නට එන රෝගියකු නැත. එහෙත් හොරිවිල වෙද පරම්පරාවේ වෙදැදුරු වරයකුගෙන් ප්‍රතිකාර ලැබූවකු තවත් තැනෙකින් ප්‍රතිකාරයක්‌ ගැනීමට නොගියේය.

වෙද මහත්තයකුගේ ප්‍රතිකාරවල ගුණා,ගුණ දවසකට එන රෝගීන්ගේ ප්‍රමාණයෙන් පේනවා යෑයි දිනක්‌ ප්‍රවීණ වෙදැදුරුවරයකු මා හා ප්‍රකාශ කරමින් අඩු තරමේ රෝගීන් දහ පහළොස්‌දෙනෙකුවත් නො එනවා නම් ඒ වෙදැදුරුවරයා ප්‍රතිකාර කරනවාට වඩා වෙනත් වෘත්තියක යෙදීම ඉතා අගනේ යෑයි පැවසීය.

හෙළ වෙදැදුරුවරයකුට පෙර පුරුද්ද, දැක පුරුද්ද, කළ පුරුද්ද හා පළපුරුද්ද තිබිය යුතුය. සාංසාරිකව බද්ධ වී වෙදැදුරුවරයකු වීමේ වරම් ලැබූ දේශීය වෙදැදුරුවරයා මෙරට ගසේ, වැලේ, මුලේ, මලේ, පොත්තේ සාරය ගෙන කරන ප්‍ර්‍රතිකාරය කිසිසේත්ම වැරදීමට නොහැක.

විඡේසිංහ වෙදැදුරු මේ ක්‍රමය අනුගමනය කරමින් තවත් ඔබ්බට ගොස්‌ කාර්ය බහුල සමාජයකට ඔබින අයුරින් ඖෂධ නිපදවීම සුවිශේෂී බවක්‌ ගන්නා බව මට පෙනුණි. මේ හේතුව නිසාම ඔහුගෙන් ප්‍රශ්නයක්‌ අසමින් ඔබේ ඖෂධ බටහිර ඖෂධවල ස්‌වභාවයක්‌ ගන්නා බවක්‌ පෙනෙනවා යෑයි මම ඇසීමි.

අද තියෙන්නේ කාර්ය බහුල සමාජයක්‌. ගැහැනු මිනිස්‌සු හරියට යන්ත්‍ර වගේ. කාලයක්‌ වෙලාවක්‌ තමන්ගේ රෝගය සුවකර ගැනීමටත් නැති තරම්. මේ හේතුව නිසාම බොහෝ අය සිංහල ප්‍රතිකාරවල කොතෙක්‌ විශ්වාසයක්‌ තිබුණත් ඉන් බැහැර වෙලා බටහිර ප්‍රතිකාරවලට යන්නේ ඒ කාල වේලාව නැති නිසා.

අවිවාදයෙන් ම එකක්‌ කිව යුතුයි. දේශීය ප්‍රතිකාර ක්‍රමයේදී රෝග සුව වන්න ටිකක්‌ කල් යනවා තමයි. ඒ වගේම ඖෂධ භාවිතයේදී අර තරම් පහසු නැහැ. බෙහෙත් වර්ග හොයන්න ඕන. ඒව තම්බල කසාය හදන්න ඕන. පත්තු හදන්න ඕන. ඉතිං මේ කාර්ය බහුල සමාජයට ඒවා හරි වදයක්‌ නොවෙනවයි කියල මං කියන්නෙ නැහැ. නමුත් මේ දේ මම හොඳින් තේරුම් අරගෙන මේ කාර්ය බහුල සමාජයේ රෝගී වන අයට එහෙම මහන්සියකින් තොරව තම රෝග සුවකර ගැනීමට හැකිවන අන්දමින් ඖෂධ නිපදවල තියෙනවා."

මේ ගැන වඩාත් පැහැදිලි කළොත්.

"අපි හිතමු ඔබට සන්ධි වාත හෙවත් ආතරයිටිස්‌ රෝගය වැළඳුනා කියලා. මෙතෙන්දී අපට කසායක්‌ බොන්න ඕන වෙනවා. එහෙම ඕන වුණාම ඒ වට්‌ටෝරුවට හදාගන්න කොල, පොතු, මල් වර්ග ටික තම්බගෙන පත අට එකට හින්දගෙන බොන්න ගියපුවාම සෑහෙන කාලයක්‌ සහ වෙහෙසක්‌ දරන්න වෙනවා.

මෙන්න මෙතෙන්දී මේ වෙහෙස ගැන සලකලා බලල මම ඒ කසාය යන්ත්‍රානුසාරයෙන් සකස්‌ කරල පැකට්‌ කරල තියෙනවා. ඕන කෙනකුට ඒ කසාය පැකට්‌ එක අරගෙන ගිහිල්ල බොන්න විතරයි තියෙන්නේ. අනික තමයි බෙහෙත් වර්ග සියයට සියයක්‌ම දේශීය ඖෂධවලින් හදාගන්න පෙති වර්ග, කරල් වර්ග, ගුලි වර්ග තමයි තියෙන්නේ. ඉතිං වර්තමානයට ගැලපෙන විදියට මේව මම නියම කරන්නේ සෑම අතින්ම පහසු නිසා.

මේ ක්‍රමය ඔබේ පරපුරේ අභිමානයට තර්ජනයක්‌ වෙන්නෙ නැද්ද? මම අතුරු ප්‍රශ්නයක්‌ අසමින් වෙදැදුරුගේ මුහුණ බැලීමි.

"නෑ කොහෙත්ම එහෙම වෙන්න විදියක්‌ නෑ. මම මුලින් කිව්වනේ වර්තමානයේ මේ කාර්ය බහුල සමාජයට ඔබින විදියට අපි ඖෂධ නිපදවා ගත යුතුමයි කියලා. එහෙම නොවුණොත් මේ දේශීය වෙදකම ඉදිරියට ගෙන යනවා කියන එක පහසු කටයුත්තක්‌ නොවෙයි.

ඇත්තම කියනවා නම් මගේ අප්පච්චිත් ඇතැම් වෙලාවල්වලදී ඔය දරුණු තුවාල හෙම ඉක්‌මන් සුවයක්‌ ලබන්න ඇම්පිසිලින් වගේ බෙහෙත් වර්ග දොස්‌තරවරුන්ගෙන් ගන්න නියම කළා. මගේ අප්පච්චි මොනම වෙලාවකවත් ඒව පරපුරේ වෙදකමට අවමානයක්‌ කියල හිතල වෙනිවැල්ගැටම බීපල්ලා කියල කිව්වේ නැහැ.

එයා හැම තිස්‌සෙම කිවවේ දේශීය වෙදකමෙන් හැම දෙයක්‌ම කරන්න බැරි වගේම බටහිර වෙදකම තුළිනුත් හැම දෙයක්‌ම කරන්න බැහැ කියලයි.

මගේ අප්පච්චිට අපි හතරදෙනා ගැන විශාල බලාපොරොත්තුවක්‌ තිබුණා. එයාට ඕනකම තිබුණේ වෙද පරපුර නොනැසී ඉදිරියට ගෙනියන්න. අපි ඒක දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා. ඇතැම් වෙලාවට මම රෝගීන්ට ප්‍රතිකාර කරන කොට මුලින්ම තුණුරුවන් සිහි කර ගත්තට පස්‌සේ මගේ අප්පච්චි සිහි කර ගන්නවා. ඉතිං ප්‍රතිකාර කිසිසේත්ම වරදින්නෙ නැහැ.

මේ දේශීය වෙදකමේදී පැරැණි දේම හිත හිතා හද හදා රෝගීන්ට දෙනවට වඩා නව ක්‍රමෝපායන් සොයා ගැනීම මේ වෙදකම නොනැසී පැවැත්මට යෝධ ශක්‌තියක්‌ කියලයි මගේ අදහස. මේ තත්ත්වය අද ඇතැම් දේශීය වෙදැදුරුවරුන් වගේම වෙදැදුරුවරියන් තම සොයා ගැනීම්වලින් ඔප්පු කර තියෙනවා. ඒක කිසි කෙනකුට අභියෝගයකට ලක්‌කළ හැක්‌කක්‌ නොවේ. ඒ වගේම කරන්නත් බැහැ.

අද සමාජයේ බෝවන රෝගවලට වඩා බෝ නොවන රෝගවල ශීඝ්‍ර වර්ධනයක්‌ පෙන්නුම් කරනවා. මෙතෙන්දී බොහෝ පිරිසක්‌ ඊට නිසි ප්‍රතිකාරයක්‌ සපයා ගැනීමට නොහැකිව අල්ලක්‌ පුරා බෙහෙත් පෙති දිනකට පාවිච්චි කරලා මහා ව්‍යසනයකට ලක්‌ වෙලා අන්තිමේදී අපේ ළඟට එනවා. මේ දැනුත් ඇවිත් ගියේ ඒ වගේ රෝගියෙක්‌."

මෙතෙන්දී මම පැහැදිලිව එකක්‌ කිව යුතුයි. අපේ අප්පච්චි අපිට මේ වෙදකම රහසකින් තොරව සියල්ල කියලා දුන්නා. ඒ වගේම තමන්ගේ වෙදකම ඉදිරියට පවත්වා ගෙන යන්න කියලා ලිත සටහනකුත් දුන්නා. මේක අපට අමතක කරල වෙනත් දෙයක්‌ කරන්න හිත ඉඩ දෙන්නේ නැහැ. අනික තමයි අපේ පරපුරේ ඖෂධ මුල් තැනින් තබාගෙන තමයි අපි අනිත් ඒවට හිත යොමු කරන්නේ. හැම තිස්‌සේම රෝගියකුට ප්‍රතිකාර කරන කොට අප්පච්චි මගේ ළඟින් ඉඳගෙන උපදෙස්‌ දෙනව වගේ මට දැනෙනවා.

විඡේසිංහ වෙදැදුරු මේ සියල්ල නිරහංකාරව පවසද්දී ඔහුගේ පවුල් පසුබිම කෙරෙහි ද අවධානය යොමු කළ මා යුග දිවියට පිවිසියේ කෙසේ දැයි විමසීය.

යුග දිවිය ගැන කතා කරන කොටත් බොහොම මිහිරියි. මොකද අපේ විවාහය සිදුවුණේ ප්‍රේම සම්බන්ධතාවයකින් නිසා. යක්‌කල ආයුර්වේද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ ඒකෙම අධ්‍යාපනය ලැබූ තරුණියක්‌ තමයි මම විවාහ කර ගත්තේ. අපේ අදහස්‌ උදහස්‌ සියල්ල තිතට ගැලපුනා. අනාගත අපේක්‍ෂාවන් මල්ඵල ගැන්වීම මෙතැනින් ආරම්භ වේ යෑයි අපට සක්‌සුදක්‌ සේ පැහැදිලි වුණ නිසා යුගදිවියට පත්වුණා.

ඇය අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ස්‌වේතා ලාලනී ද සිල්වා නම් වූවාය. ධර්මාශෝක මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා යක්‌කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයෙන් ඩී. එස්‌. ඒ. එම්. එස්‌. ගෞරව උපාධිය ද දිනාගත්තාය. ඉන් නොනැවතුන ඇය හොරිවිල පරම්පරාවේ කැඩුම් බිඳුම් පිළිබඳ විශේෂ පුහුණුවක්‌ ද ලබා ගනිමින් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ද ලබා ගත්තාය.

1989 දී යුගදිවියට පත් මේ වෙදැදුරු දෙපළට දරුවෝ දෙදෙනෙක්‌ වූහ. ඉන් ජ්‍යෙෂ්ඨයා වූයේ එස්‌. එම්. හේරත්හාමි සඳුන් ලක්‍ෂිත සේනානායක පුතාය. දියණිය සේනානායක මුදියන්සේලාගේ හේරත්හාමි දනිකා සමෘද්ධි සේනානායකය.

මේ දෙදෙනාම මවුපිය අඩි පාරේ යමින් දේශීය වෛද්‍ය වෘත්තියට නම්‍යශීලී බවක්‌ දක්‌වමින් හොරිවිල පරම්පරාව බැබලවීමට මහත් කැපවීමකින් ක්‍රියා කරන්නේය.

විමලසිරි අගලකඩ

Post a Comment

0 Comments