වාස්‌තු දෝෂ නිසා මිනිස්‌සු නොමැරෙති

මේ ලෝකේ උපත ලබන සෑම කෙනෙකුම කිසියම් දිනයක මරණයට පත්වෙනවා. මෙය ලෝක ධර්මතාවයකි. සෑම ආගමකම සහ සෑම දර්ශනයකම සත්වයාගේ උපත සහ මරණය පිළිබඳව අදහස්‌ දක්‌වා තිබෙනවා. මේ අතරින් සංසාරික චක්‍රය පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ සFවයාගේ උපතේ සිට මරණය දක්‌වා සිදුවන ක්‍රියාවලිය පිළිබඳව ලෝක සත්වයා හට අවබෝධ කරදීම සඳහා පන්සාළිස්‌ වසක්‌ පුරා ධර්මය දේශනා කළ සේක. මෙහිදී සත්වයාගේ මරණයේ ස්‌වභාවය පිළිබඳ යථා අවබෝධය පෙන්වා දෙන ලදී. කෙනකුගේ ජීවිතයක්‌ අවසන් වී මරණයට පත්වීම වනා හී කර්මාණුරූපව සිදුවන කුසල් අකුසල් වල තරම අනුව තීරණය වන ස්‌වභාවික සංසිද්ධියක්‌ බව කිව යුතුයි. 

ඒ අනුව පුද්ගලයකුගේ ආයුෂ අවසන් වූ විට කිසිම භේදයකින් තොරව මරණය කරා ලංවීම සිදු වෙනවා. එසේ නම් මිනිසාගේ උපතේ සිට මරණය දක්‌වාම ඔහු වෙත බලපානු ලබන වාස්‌තු විද්‍යාව නමැති විෂය තුළින් පුද්ගලයෙකුගේ මරණය කෙරෙහි සිදුකරනු ලබන බලපෑම සහ එය පුද්ගලයෙකුට කොතරම් බලපානවාද යන්න පිළිබඳව මා විසින් සිදුකරනු ලැබූ අධ්‍යයන තුළින් සහ වාස්‌තු මූලධර්මයන් තුළින් ඔබ වෙත කරුණු කියා දීම මෙම ලිපියේ මූලික අරමුණ වේ.

නූතන සමාජයේ බොහෝ පිරිස්‌ අතර මුල් බැසගෙන ඇති අදහසක්‌ තිබෙනවා. එනම් නිවසක වාස්‌තු දෝෂ බලවත් වීම නිසා එම නිවසේ ගෘහ හිමියා හෝ ගෘහ වාසීන් මරණයට පවා පත්විය හැකි බව. විශේෂයෙන් මෙම අදහස ඔබට ද දැනුණු අවස්‌ථා ප්‍රායෝගිකව තිබෙන්නට පුළුවන් සේම එවැනි අත්දැකීමක්‌ ද සමහර විට ඇති. එසේ නම්, වාස්‌තු ශිල්පයේ ගුණ අගුණ සොයමින් ඒවා ප්‍රායෝගිකව භාවිත කරමින් ක්‍ෂේත්‍රයේ පූර්ණකාලීනව සිටින වාස්‌තු ශීල්පීන් වන අපගේ යුතුකමක්‌ විය යුතුයි. මෙවැනි අදහස්‌ පිළිබඳව යථාර්ථය අප සමාජයේ ජීවත්වන මිනිසුන් උදෙසා මෛත්‍රී සහගත සිතින් පැහැදිලි කරදීමයි. එම අරමුණ ඇතිව අද මා ඔබ වෙත පවසන්නේ වාස්‌තු දෝෂ බලවත් වීම නිසා එම ගෘහයේ ගෘහ හිමියා හෝ ගෘහ වාසීන්ගේ ජීවිතවලට හානියක්‌ සිදුවෙනවාද? නැද්ද? යන්න පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ආශ්‍රයෙන් කරුණු හෙළිකිරීමටයි. මා මීට මාස 06 කට පෙර ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය පුද්ගලයෙකුගේ නිවස පරීක්‍ෂා කළා. එම නිවසේ වාස්‌තු සිද්ධාන්ත 75% කට වඩා වැරදි ලෙස පිහිටා තිබුණා. එහි වර්ග ක්‍ෂේත්‍රය විපත් නැකතට බලගැන්වී තිබුණා, නිවසේ ද්වාර සටහන "නන්ද" ලෙස ගෙනෙන ස්‌ත්‍රී විනාශම් දොර සටහනක්‌ පිහිටා තිබුණා. එසේම වහලයේ සොහොන් පරාල ලක්‍ෂණ දෙකක්‌ තිබුණා. නිවස තුළ නිරිත දිශාවේ ජලය පිරුණු විලක්‌ තිබුණා.

බ්‍රහ්ම පාදය නිවස මධ්‍යයේ පිහිටි පඩිපෙල මත පිහිටා තිබුණා. ඔහුගේ ගරාජයෙන් වැඩි ප්‍රතිශතයක්‌ නිරිත දිශාවේ තිබුණා. මේ ආකාරයට මෙම නිවසේ ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත ගණනාවක්‌ වැරදි ලෙස පිහිටා තිබුණා. එසේම විශේෂ වාස්‌තු දෝෂයක්‌ නිවසේ දක්‌නට ලැබුණා. එනම්, පසුකාලීනව සිදුකළ වෙනස්‌ වීමක්‌ නිසා නිවසේ මුල්ගල පෑගෙන ස්‌ථානයකට යොමු වී තිබුණා. මේ ආකාරයට මෙම නිවසේ ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත ගණනාවක්‌ දෝෂ සහගත ලෙස සකස්‌ වී තිබුණා. මා ඔහුගෙන් විමසුවා නිවසේ අකල් මරණ හෝ තමන්ගේ නිවසේ නිවැසියන් හට දැනෙන රෝග පීඩාවන් තිබෙනවා ද කියා. එවැනි කිසිම අයහපත් තත්ත්වයක්‌ මෙම ගෘහ හිමියාට දැනී තිබුණේ නැහැ. මෙම සිදුවීම තුළින් ඔබට සිතෙන්නේ කුමක්‌ ද?

එසේම මීට වර්ෂයකට පමණ පෙර නුවර පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ නිවසක්‌ පරීක්‍ෂා කළා. ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමට හේතු වූයේ ඔහුගේ අභිනව නිවස ඉදිකොට නිවසේ පදිංචි වී මාස 03 ක්‌ ගත වීමට ප්‍රථම ඔහුගේ බිරිඳ මරණයට පත්වීමයි. නිවසේ වාස්‌තු දෝෂ බලවත් නිසා එම මරණය සිදු වූ බව තමන්ගේ හිතවතුන් හා අසල්වාසීන් ප්‍රකාශ කිරීම නිසා ඔහු එම නිවස අතහැර වෙනත් නිවසකට පදිංචියකට ගොස්‌ සිටියා. එසේම එම නිවස සෑදීම සඳහා ඔහු විසින් නියමාකාරයෙන් වාස්‌තු ශිල්පීය ක්‍රමයන් සහ සුභ නැකත් සුභ මූහූර්ති අනුව කටයුතු නොකළ බවද පවසා සිටියා. මා විසින් මෙම නිවස සම්පූර්ණයෙන්ම විධිමත් ලෙස පරීක්‍ෂා කරනු ලැබුවා. එම නිවසේ ගෘහ පිණ්‌ඩය සම්පත් නැකතකට බලගැන් වී තිබුණු අතර ද්වාර සටහන සුමුඛ නමැති ඉතා යහපත් ද්වාර සටහනක්‌ විය. ප්‍රධාන ද්වාරය නැගෙනහිර දිශාවේ තිබූ අතර එළියේ සිට අරින විට පළමු පියන දකූණු දිශාවට විවෘත වන ලෙස පියන් දෙකක්‌ යොදා තිබුණා. බ්‍රහ්ම පාදය කිසිම ආකාරයකට දුර්වල වී නොතිබුණු අතර සාලයේ මුල්ලකට හසු වී තිබුණා. ප්‍රධාන නිදන කාමරය නැගෙනහිර දිශාවේ තිබූ අතර ගරාජය වයඹ දිශාවේ විය. ඒකදාශ පොරොන්දම 80% කට වඩා බලවත්ව පැවති අතර මෙම නිවස නැගෙනහිර දිශාවට මුහුණත්ව තිබූ අතර ප්‍රවේශ ගේට්‌ටුව ගිණිකොණ දිශාවේ තිබූණි. වහලය පල හතරකට තිබූ අතර වහලයේ කිසිම දෝෂයක්‌ තිබුණේ නැත. දොරවල් ජනෙල සංඛ්‍යාව පමණක්‌ නිවැරදි වූයේ නැත. දිශානුගතකරණය සැලකීමේ දී මුළුතැන්ගෙය ඇතුළු අනෙකුත් ගෘහ අංග නිසි දිශාවේ තිබිණි. සමස්‌තයක්‌ ලෙස ගත් කළ මෙම ගෘහයේ වාස්‌තු සිද්ධාන්ත 80% කට වඩා නිවැරදිව පිහිටා තිබුණි. මෙම සිදුවීම හා ඉහත සිදුවීම පිළිබඳව දැන් ඔබට හිතෙන්නේ කුමක්‌ ද?

වාස්‌තු දෝෂ බලවත්ව පැවති පෙර නිවසේ ගෘහ හිමියාට සහ ගෘහ වාසීන්ට කිසිම දැනෙන බලපෑමක්‌ එල්ල වී නොතිබුණු අතර ඔවුන් ඉතාමත් සතුටින් සහ ධන ධාන්‍යයෙන් ආඪ්‍යයව නිරෝගිමත්ව හා ජනප්‍රියව වාසය කිරීමත් වාස්‌තු සිද්ධාන්ත එකඟව පැවති අනෙක්‌ නිවසේ අකල් මරණ සිදුවීමත් යන කරුණු දෙක කෙරහි ඔබ බලන්නේ කෙසේ ද? එය ඔබ දැනෙන්නේ කෙසේ ද?

මෙම පැනයට පිළිතුරු සෙවීම සඳහා සහාය වීමට මා ඔබට උදව් කරන්නම්. මෙවැනි අත්දැකීම් සිය ගණනක්‌ රටේ විවිධ ප්‍රදේශ තුළින් මා දැක තිබෙනවා. සමහර විට ඔබට තිබෙන්නේ ඉතා සීමිත අත්දැකීම් ප්‍රමාණයක්‌ පමණක්‌ විය හැකිය. මේ නිසා මෙවැනි තත්ත්වයක්‌ විග්‍රහ කර ගැනීමේ දී ප්‍රායෝගික අත්දැකීම් හා වාස්‌තු ශිල්පයේ ගැඹුරු තැන් පිළිබඳව විමර්ශනය කළ යුතු වෙනවා.

වාස්‌තු දෝෂ බලවත් වූවත් එහි අයහපත් ප්‍රතිඵල නොදැකීමටත් වාස්‌තු දෝෂ රහිත වූවත් අයහපත් දෑ නිවසේ සිදුවීමටත් බලපානු ලැබවේ එම ගෘහ හිමියාගේ සහ ගෘහ වාසීන්ගේ කුසල් අකුසල් වල තරමයි. මා ඔබට මීට පෙරත් පැහැදිලි කර දී තිබෙනවා වාස්‌තු දෝෂවලට වඩා බලවත් වන්නේ කෙනෙකුගේ කර්ම ශක්‌තිය බවයි. ඒ අනුව නිවසේ වාස්‌තු දෝෂ කොතරම් තිබුණත් ඔහුගේ කුසල් බලවත් නම් ඔහුට දෝෂ වල බලපෑම් දැනෙන්නේ නැහැ. වාස්‌තු එකඟ වුවත් අකුසල් බලවත් නම් ඔහුට අයහපත් දෑ සිදුවීමේ ඉඩකඩ තිබෙනවා. නමුත් අප මෙහිදී මතක තබා ගත යුතු යම් විශේෂ දෙයක්‌ තිබෙනවා. කෙනකුගේ කුසල් අකුසල්වල තරම නැත්නම් කර්ම ශක්‌තිය විග්‍රහ කර ගැනීමට අපට කිසිම හැකියාවක්‌ නැහැ. එය සිදුකළ හැක්‌කේ සම්මා සම්බුදුවරයෙකුට පමණයි. එම නිසා අපට ආරක්‍ෂාව සලසා ගැනීමට වාස්‌තු ශිල්පයේ පිහිට පිළිසරණ ලබා ගත හැකි වෙනවා. නිදසුනක්‌ ලෙස අපගේ අකුසල් බලවත් වූවත් අපට දැනෙන අයහපත් ප්‍රතිඵල වල බලවත් බව අඩු කිරීමට නිවසේ වාස්‌තු එකඟවීම තුළින් සිදු වෙනවා.

අපගේ කර්ම ශක්‌තිය වෙනස්‌ වන කාල හෝරාව අප නොදන්නා නිසා වාස්‌තු ශිල්පයේ ආරක්‍ෂාව සලසා ගැනීම ඉතා වැදගත්ය. එය හරියට මේ වගේ දෙයක්‌. අප යතුරු පැදියක්‌ පැදගෙන යනවිට එයින් බිමට වැටෙන්නේ කර්මාණුරූපවයි. එහිදී අප මරණයට පවා පත්විය හැකියි. අප එහිදී හෙල්මට්‌ එකක්‌ පැළඳගෙන සිටියහොත් අපට වන හානිය අවම කරගත හැකි අතර මරණයෙන් පවා බේරීමේ ඉඩකඩ තිබෙනවා. වාස්‌තු ශිල්පයත් හරියට හෙල්මට්‌ එක වගේ ඔබව ආරක්‍ෂා කිරීමට සෑම විට රැකවරණයට සිටිනවා. දැන් ඔබට වැටහෙනවා නේද වාස්‌තු ශිල්පය සහ කර්ම ශක්‌තිය අතර වෙනස. එසේ නම්, දැන් ඔබට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකියි නිවසක වාස්‌තු දෝෂ බලවත් වූ පමණින් එම නිවසේ ගෘහ හිමියා හෝ ගෘහ වාසීන් මරණයට පත්වනවා ද නැද්ද යන බව. ඇත්තටම කෙතෙක්‌ මරණයට පත් වන්නේ ඔහුගේ ආයුෂ අවසන් වීමෙන් මිස නිවස නිසා නොවේ.

වාස්‌තු දෝෂ බලවත් වීම නිසා අපට යම් යම් අපහසුතා ඇති වීමේ හැකියාව තිබෙනවා ධනය නැතිවීම, ලෙඩ වීම, සතුරන් බහුල වීම, රාජ්‍ය බිය ඇතිවීම, දරුඵල අහිමි වීම, විවාහ කල්යාම අදී වශයෙන් අපගේ ජීවිතයේ යම් යම් පසුබෑම් ඇති වුවද නිවසේ වාස්‌තු දෝෂ නිසා මිනිසුන් මරණයට පත් වන්නේ නැහැ. වාස්‌තු දෝෂ නිසා මෙම නිවසේ ගෘහ හිමියා මරණයට පත් වූවා යෑයි වාස්‌තු ශිල්පයෙකු පවසන්නේ නම් ඔහු වාස්‌තු ශිල්පයට කරන ලොකුම ද්‍රෝහිකමක්‌ කළා විය හැකියි.

ඉතා මහන්සියෙන් දුක්‌ විඳලා හරිහම්බ කරලා නිවසක්‌ සාදාගෙන එම නිවසේ කල්ගෙවන අහිංසක පවුලක තාත්තා හදිස්‌සියේ මිය ගියහොත් අම්මා සහ දරුවන්ට රැකවරණය, ආරක්‍ෂාව දී අව්වෙන්, වැස්‌සෙන, පින්නෙන් බේරාගන්නා එම නිවසට දොස්‌ කීම නොකළ යුතුයි. නිවසේ දෝෂ කියා තමන්ගේ ස්‌වාමියා මැරෙන බව සිතන බිරිඳ හා නිවසේ දෝෂ නිසා තමන්ගේ තාත්තා මැරුණ බව සිතන දරුවන් ජීවිත කාලයම විඳින දුක කොතරම් විය හැකි ද? මේ නිසා ඔබ මෙවැනි දේවල් පිළිබඳව බුද්ධිමත්ව සිතාබලා කටයුතු කළ යුතු වෙනවා. කෙනකුගේ මරණය සිදුවන්නේ ආයුෂ ගෙවීමෙන් මිස නිවසේ වාස්‌තු දෝෂ බලවත් වීමෙන් නොවන බව අවබෝධ කරගත යුතුයි.

නිවසේ වාස්‌තු දෝෂ මිනිසුන්ට සිදුකරනු ලබන බලපෑම පිළිබඳව ඔබ නිතර සිතුවත් ඒ පිළිබඳව කතා කළත් මිනිසුන්ගේ දෝෂ නිවසට බලපාන බව ඔබ මඳකටවත් සිතුවාද? මම ඔබට එක උදාහරණයක්‌ කියන්නම්, මේ සමාජයේ ඉතාමත්ම දරුණු අපරාධ කළ පුද්ගලයෙක්‌ අලුතෙන් නිවසක්‌ මිලදී ගනු ලැබුවා. එම නිවස වාස්‌තු සිද්ධාන්තවලට අනුකූලව ඉදිකළ නිවසක්‌ එසේ වුවත් එම පුද්ගලයා නිවස මිලදී ගෙන ඉතා කෙටි කලකින් එම නිවස ගින්නකට හසුවුණා. එහිදී නිවසට බලපානු ලැබුවේ එම පුද්ගලයාගේ ඇති අකුසල් බලවත් වීම බව කිව යුතුයි. මේ නිසා නිවසේ දෝෂ මිනිසුන්ට බලපාන ලෙසටම මිනිසුන්ගේ දෝෂ ද නිවසට බලපාන බව සිහි තබා ගත යුතුයි. එසේ නම් ඔබගේ නිවසට කිසිදාක දොස්‌ පවරන්න එපා. ඔබට ආරක්‍ෂාව හා සැපය දෙන නිවසට මෛත්‍රීය පතුරවන්න, ආදරය කරන්න, තමන්ගේ පියා, ප්‍රියාදර ස්‌වාමියා, ආදරණණීය සහෝදරයා, නැතිවුණේ නිවසේ දෝෂ නිසා නොවේ. ඔවුන්ගේ ආයුෂ අවසන් වීමෙනි. ඔවුන්ගේ අහිමිවීමත් සමඟ ඔබට සිටින එකම ආරක්‍ෂකයා වන්නේ ඔබගේ නිවස බැවින් නිවස දෙස වපර ඇසින් බලන්න. එයම දෝෂයක්‌ වනවාට සැක නැත. ඒ නිසා වාස්‌තු සිද්ධාන්තවලට අනුව හැකි තරම් නිවස පවත්වා ගැනීමට උත්සහ ගත යුතු අතර නිවසට විශ්ව ශක්‌තිය කැන්දා ගැනීමට උනන්දු වන්න. නිසි පරිදි තමන්ගේ ආගමික ශාස්‌තෘන්ට පුද සත්කාර කොට විධිමත් ලෙස ආගමික වතාවත් ඉටු කරන්න.

වාස්‌තු ශිල්පයේ සඳහන් පරිදි පුද්ගලයෙකුගේ මරණයට ආසන්න හේතු සැළසෙන වාස්‌තු දෝෂ කිහිපයක්‌ පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. ඒවා වාස්‌තු මර්මස්‌ථාන ලෙස ද හඳුන්වනවා. එම දෝෂ සියල්ලම එකට එක්‌ වුවහොත් එම ගෘහ හිමියාගේ මරණයට හේතු සාධක සැලසිය හැකි බව පෙන්වා දුන්න ද එසේ සිදුවන්නේ එම පුද්ගලයා ගේම ඇති අකුසල් බලවත් වීම නිසා බව ද පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් කරුණු කාරණා එකම ගෘහයක එකට එක්‌ වන්නේ ගෘහ හිමියාගේ අකුසල් බලවත් වීම නිසාමයි. ඒවා නම්,

ගෘහ පිණ්‌ඩය විපත්, වධ, ප්‍රත්‍යාධාරී වීම

නිවසේ බ්‍රහ්ම පාදය සහ ඉඩමේ බ්‍රහ්ම පාදය එක මත එක වැටීම සහ එම දෙකට ලම්බකව වහලයේ මූට්‌ටුවක්‌, බාල්කයක්‌, කුරුපාවක්‌ යෙදී තිබීම.

සොහොන් පරාල යෙදී තිබීම

නාශ ද්වාර සටහන තිබීම

නිරිත, ඊශාන දුර්වල වීම හා නිරිත, ගිණිකොණ දිශාවල ජලය රැඳවීම

භූමියේ සක්‍රීය ශෛල තිබීම

ආදී වශයෙන් වන ප්‍රධාන වාස්‌තු දෝෂ එකට එකතු වීම තුළ ගෘහ හිමියාගේ මරණයට හේතු සාධක ළඟාවිය හැකි බව පෙන්වා දී තිබෙනවා. මේ ආකාරයට සිදුවීම ඉතාමත් කලාතුරකින් දැකිය හැකි දෙයක්‌ වේ. මාගේ වෘත්තීය ජීවිතය තුළ එවැනි ස්‌ථානයක්‌ හමු වී නොමැති බව ද කිව යුතුම වේ. මේ නිසා ඔබට කිව යුතු එකම දේ නම්, වාස්‌තු දෝෂ නිසා මිනිසුන් මරණයට පත්වන්නේ නැති බවත් මරණය යනු කර්මාණු Eපව සිදුවන ස්‌වභාවික සංසිද්ධියක්‌ පමණක්‌ බවත්ය. එබැවින් ඔබගේ නිවසට නිකරුණේ දොස්‌ නොකියා වාස්‌තු දෝෂ ඉවත් කර ගැනීමට උනන්දු විය යුතු අතර නිවසේ දෝෂ හැදුවේ නිවස නොව ඔබම බව මතක තබා ගත යුතුයි. ඔබ සැමට සම්පත් ගෘහයක දීර්ඝායුෂ ලැබීමට වාසනාව උදා වේවා. 

පේරාදෙණිය, ඩි.යු. සෙනරත්

Post a Comment

0 Comments