ගම්මාලු ශාකයෙන් හැදූ කෝප්පයකින් වතුර බොන්න දියවැඩියාවට කදිම බෙහෙතක්

ගම්මාලු ශාකය වඩාත් ප්‍රසිද්ධ වන්නේ අලංකාර ගෘහ නිර්මාණයන් සඳහාය. පොත්පත්වල දැක්වෙන පරිදි ඇම්බැක්කේ ශිව දේවාලයේ උළුවහු සඳහා යොදාගෙන ඇත්තේ ගම්මාලු දැවය. එමෙන්ම පූජනීය ස්ථාන රැසකම ගම්මාලු ශාකයෙන් කළ නිර්මාණ දැකගත හැකිය. මෙවැනි දැවමය ප්‍රයෝජනයක් ඇති ගම්මාලු ඔෟෂධමය වටිනාකමකින්ද යුක්තය.

දියවැඩියාවට

ගම්මාලු අරටුවකින් කෝප්පයක් සාදාගත යුතුයි. මේවා වෙළෙඳසල්වලදී මිලදී ගැනීමට තිබේ. මේ ගම්මාලු කෝප්පයට රාත්‍රියේදී වතුර ස්වල්පයක් දමා උදේට පානය කරන්න. ශරීරයේ සීනි පාලනය වෙයි. එමෙන්ම තේ, කෝපි හෝ කසායද මෙවැනි කෝප්පයකට දමා පානය කිරීම සුදුසුය.

ගම්මාලු ශාකයේ පොතු හොඳින් කුඩුකර ගන්න. පසුව අරළු, බුළු, නිදිකුම්බා නැටි වේළා කුඩුකර පෙරා ගම්මාලු පොතු එම කුඩුවලට එක්කර ගන්න. පසුව මී පැණියෙන් අනා චූර්ණයක් සේ සකස් කර ගෙන ආහාරයට ගන්න. මේ ඔෟෂධයන් දියවැඩියා රෝගයට හොඳ ප්‍රතිකාරයකි. ගම්මාලු පොතු රටඉඳි, සූදුරු, කොත්තමල්ලි දමා හොඳින් කසාය කර පානය කරන්න.

දත් කැක්කුමට,කුහර සහිත දත්වලට

ගම්මාලු ශාකයේ ලාටු වැනි කොටසක් තිබේ. එය දත්වල කුහරයට තබා තද කිරීමෙන් වේදනාව අඩුවී යයි.

තැළීම් නිසා ඇතිවන වේදනාවට

ගම්මාලු අරටුව දෙහි යුෂෙන් අඹරා එම තැල්ම සහිත ස්ථානයේ ගල්වන්න. වේදනාව අඩු වී යයි.

ලේ ගෙඩි සඳහා

ගම්මාලු පොතු කැබැල්ලක් ගෙන හොඳින් කුඩුකර උණුවතුරෙන් අනාගන්න. එයට මීපැණි ස්වල්පයක් හා මීතෙල් ස්වල්පයක් දමා මිශ්‍රණයක් සේ සකස් කර ගෙඩි තිබෙන ස්ථානවල තවරන්න. ගෙඩි පුපුරා සැරව ඉවත් වී සුවපත්භාවයක් හිමිකර දෙයි. ලේ නරක්වීමටත් ඒ නිසා හටගන්නා ගෙඩි නිවාරණයටත් කිහිලිවල හටගන්නා ගෙඩි සඳහාත් මේ ඔෟෂධය යොදාගනී.

අකලට හිසකෙස් වැටීමට

ගම්මාලු පොතු, මුල්, අරළු, සුවඳකොට්ටං, සැවැන්දරා, කලාඳුරු කලං 12 බැගින් ගෙන කොටා මඳපවනේ උතුරුවා ගන්න. මෙයට තලතෙල් බෝතල් 2ක් එක්කරගන්න. උතුරුවා ගත් පසු උකුපොල් කිරි 1/2ක් එයට දමා නැවත මඳගින්නේ රත්කර ගන්න. මෙලෙස පැය 1 1/2ක් පමණ රත්කර ගැනීමෙන් පසු පෙරා නිවා හිස ගල්වන්න. මෙය ඔෟෂධීය තෙලකි. තට්ටය පෑදීම වළක්වයි.

ගර්භාෂය හා ඩිම්බකෝෂවල ගෙඩි හෝ එවැනි රෝග සඳහා

ගම්මාලු පොතු, සුදුලූනු, උළුහාල්, අරළු දමා කසාය කර පත 8ට සිඳවා සතියකට දින 3ක් පානය කරන්න.

දරු සම්පත් නොමැති වීම,ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

ගම්මාලු කිරි බින්දු (රතු පැහැතිය) ස්වල්පයක් එළකිරි වීදුරුවකට දමා පානය කරන්න.

ජේ‍යාතිෂ ගුප්ත විද්‍යා ශිරෝමනී
වෛද්‍ය කේ.ඒ.එම්. අයිරාංගනී
ලයනි රසිකා නිරෝෂිණී
මව්බිම පුවත්පත

Post a Comment

0 Comments