වැදුම්ගෙයි දොස් නසන බෙහෙත් වට්ටෝරුව සැඟවූ බාලගිරි දෝෂය අද නොවේ හෙට

හේතුවක් ඇතිව හෝ නැතිව දරුවෙක් අඬද්දී පවුලේ හැමෝම දරුවා නළවගන්න හරි හරියට උත්සාහ ගන්වා. එදා පැරැණි සමාජයේ පුංචි දරුවෝ අඬද්දී එක එක මතිමතාන්තර තිබුණා පුංචි දරුවෝ හිටි හැටියේම අඬන්නේ ඇයි කියන කාරණය ගැන.

කුකුළා පොළේ කිරි අම්මේ

නුවර කලාවියේ එහෙමත් නැත්නම් නුවර වැව, කලා වැව, පදවිය වැව අශි්‍රතව පෝෂණය වන ප්‍රදේශවල වැඩිහිටියෝ හිතුවෙ තමන්ගේ කිරි කැටි බිලිදා හඬන්නේ "කුකුළාපොළ කිරි අම්මා" නැති වෙච්ච දුකට කියලා. එහෙමත් නැත්නම් කිරි අම්මා, ඒ කියන්නේ කිරි දෙන අම්මා නැති වෙච්ච දුකට කියලයි. කුවේණි යක්‍ෂ ගෝත්‍රික කාන්තාවක්. ඇය අපට හමුවන්නේ අනුරාධපුර මුල් කාලයේදි. එහෙමත් නැතිනම් පූර්ව මහින්ද යුගයේදි. මේ ලිපිය කියවද්දි ඔබ හිතනවා ඇති පුංචි දරුවෝ අඬන්න හේතු වෙන කාරණා සමඟ කුවේණිය සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා.

අපේ ජනප්‍රවාදවලට අනුව කපු කටිමින් සිටි කුවේණියට විජය කුමාරයා මුණ ගැහෙනවා. තමන්ගේම නෑ සනුහරේ පාවලා දීලා කුවේණිය, විජය කුමාරයාව ලක්දිව රජු ලෙසට කිරුළු පලන්දනවා. ඇයට විජයට දාව දරුවෝ දෙන්නෙක් ලැබෙනවා. පස්සෙ කාලෙකදි විජය, කුවේණියව තමන්ගේ දරුවෝ දෙන්නත් එක්කම මාලිගයෙන් පිටුවහල් කරනවා. කුවේණි දරුවෝ දෙන්නත් එක්ක තමන්ගේ නෑ පරපුර හොයාගෙන යනවා. තමන්ගේ සනුහරේම පාවලා දීලා විජය රජකමට පත් කළාට ඔවුන් කුවේණියත් එක්ක වෛරයෙන් පසුවෙන්නේ. ඒ නිසාම තමන්ගේ නෑදෑයෝ අතින්ම කුවේණියගේ ජීවිතය නැති වෙනවා.

"කුවේණිය" යනු වෙළුමක් සහිත දිග කොණ්ඩයක් ඇති නරක තැනැත්තිය වශයෙන් ජනප්‍රවාදවල කියැවෙනවා. කොහොම නමුත් කුවේණිය කුකුළාපොළ සනුහරෙන් පැවැත එන නිසා පස්සෙ කාලෙකදී "කුකුළාපොළ කිරි අම්මේ" කියන නාමයෙනුත් කුවේණිය හැඳින් වුණා. නුවර කලාවියේ වැඩිහිටියෝ නම් කිව්වේ කුකුළාපොළ කිරි අම්මා නැති වුණු දුකට අලුත උපන් පුංචි දරුවෝ අඬනවා කියලා.

දෙවියො හඬනවා

සත් කෝරලය පැත්තේ වැඩිහිටියෝ කියන විදියට දෙවියෝ පුංචි දරුවොත් එක්ක සෙල්ලම් කරන්න විහිලු කරන නිසාලු දරුවෝ අඬන්නේ. දෙවියෝ අලුත ඉපදිච්ච පුංචි දරුවන්ගේ කන ළඟට ඇවිත් රහසින් කියනවලු "උඹේ අම්මා මළා" කියලා. එහෙමත් නැත්නම් "උඹේ තාත්තා මළා" කියලා. එතකොට පුංචි දරුවෝ හයියෙන් අඬනවලු. පුංචි දරුවෝ නොනවත්වා අඬද්දී ආයෙත් කන ළඟට ඇවිත් "නැහැ නැහැ" ඒක බොරුවක් කියලා කියනවලු. එතකොට පුංචි දරුවෝ හිනාවෙනවලු.

බාලගිරි දෝෂය

තවත් සමහර පළාත්වල වැඩිහිටියෝ නම් කියන්නේ පුංචි දරුවෝ අඬන්නේ බාලගිරි දෝෂය නිසාලු. ඒ නිසා ගෙට ඇතුළු වෙන ‍ෙදාරේ ලොකු අකුරින් බාලගිරි අද නොවේ හෙට කියලා ලියනවා. පුංචි දරුවෝ වහල දිහා හරි උළුවහු දිහා හරි බල, බල නොනවත්වාම අඬන්නේ බාලගිරි කියන යක්ෂයා පුංචි දරුවන්ගේ බෙල්ල මිරිකන නිසාලු.

අලුත උපන් පුංචි දරුවෙක් ඉන්න නිවෙසක ඉදිරිපස ‍ෙදාරේ "බාලගිරි දෝෂය අද නොවේ හෙට" කියලා ලියලා තියෙනවා දැකලා ඇති. නිවෙසක බෝවෙන රෝගී අයෙක් ඉන්නවා නම් ප්‍රධාන ‍ෙදාරේ කොහොඹ අත්තක් එල්ලනවා. වැවක මාළු අල්ලන්න තහනම් නම් ගෙවිච්ච බෝලත්තක් හිටවනවා. ඒ වගේ තමයි "බාලගිරි අද නොවේ හෙට" කියලා ‍ෙදාරේ ලියන්නේ සමාජයේ විශේෂ සන්නිවේදන උපක්‍රමයක් විදියට. මේ ගෙදර අලුත ඉපදිච්ච පුංචි දරුවෙක් ඉන්නවා කියලා ව්‍යංගයෙන් අනිත් අයට දැනුම් දෙනවා. "බාලගිරි අද නොවේ හෙට" කියන කියමන පුරාණ වෛද්‍යවරු තමන්ගේ වෙද රහස් හංගලා තිබ්බ කියමනක් බවට පස්සෙ කාලෙදි භාවිත වුණා.

බාල - ඉරිවේරිය
ගිරි - කටරොළු මුල
දෝෂ - ගිනි බුරුත මුල
අද - අමු ඉඟුරු
නොවේ - ගෙළ නික
හෙට -කරාබු

මේ බෙහෙත් වර්ග කොටලා කුඩු කරලා තැම්බුම් පානයක් විදියට සකස් කරලා අලුත දරුවෙක් බිහි කළ අම්මලා ශරීරයේ සීතල ගතිය නැති කරලා උෟෂ්ණත්වය රැකගන්න, කැපුම් තුවාල වේළන්න, අධික වේදනවා නිසා ඇති වෙන උන්මාද ගතිය නැති කරන්න, විෂබීජ විනාශ කරන්න භාවිත කළා.

ඉස්සර දරුවෝ එක දිගට නොනවත්වා අඬද්දී අපේ අම්මලා නොපෙනෙන බලවේගවලින් දරුවෝ ආරක්‍ෂා කරන්න පත්තිනි මෑණියන්ට භාර දෙනවා. දරුවා ඉපදිලා තුන් මාසයක් ගියාම කිරි අම්මා දානයක් දෙනවා. දරුවා මුලින්ම අරගෙන යන්නේ දළදා මාලිගාවට, ජය ශ්‍රී මහා බෝධියට, කැලණි පන්සලට එහෙමත් නැත්නම් පත්තිනි දේවාලෙට. පුංචි දරුවට පිරිත් කියවලා පිරිත් නූලක් බැන්දහම අමනුෂ්‍ය දෝෂ මඟ හැරී යනවා කියලා අම්මලා විශ්වාස කළා.

අලුත ඉපදිච්ච පුංචි දරුවෝ තව තව හේතු නිසා අඬන්න පුළුවන්. පුංචි දරුවන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නේ මවු කිරි. අලුතින් ඉපදුණු සමහර දරුවන්ට අම්මාගෙන් කිරි උරලා බොන්න තේරෙන්නේ නැති නිසා කිරිත් එක්ක හුළං පෙවෙන්න පුළුවන්. එතකොට කිරි දිරව ගන්න අමාරු වෙලා පුංචි දරුවෝ අඬනවා. සමහර වෙලාවට අම්මගේ වැරැදි ආහාර භාවිතය නිසාත් පුංචි දරුවෝ අඬනවා. තෙල්, මිරිස්, පොල් කිරි අධික ආහාර, උෂ්ණාධික ආහාර ගත්තහම ප්‍රමාණවත් විදියට ආහාර ගත්තේ නැති වුණාම ඒ දේ දරුවට බලපානවා.

මෙච්චර කාලයක් අම්මගේ ඇඟේ කොටසක් වෙලා ඉඳලා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ වායුගෝලීය පීඩනයත් එක්ක අලුත් බබාට ගැටෙන්න ටිකක් අමාරුයි. පුංචි සද්දෙකටත් හයියෙන් අඬනවා. පුංචි දරුවා ඉපදෙද්දිම සිද්ධ වෙන පුංචි තැළීම් පොඩිවීම් කාලයක් යනකම් දරුවා දරා ගන්නේ වේදනාවෙන්. ඒ නිසාත් දරුවෝ අඬනවා.
මවු කුසේ පිළිසිඳ ගත්ත දවසේ ඉඳලා අම්මාගෙ පපුවෙ ශබ්දෙ නොනවත්වාම හරි අපූරුවට දරුවට ඇහුණා. දරුවා බිහි වුණාට පස්සෙ ඒ සද්දෙ ඇහෙන්නේ නැති වුණාමත් දරුවා අඬනවා. දරුවා අඬද්දී දරුවා පපුවට තුරුලු කරගන්න. අම්මගෙන් කිරි බොනවටත් වඩා පුංචි පැටියට ඔනේ අම්මගේ හෘදස්පන්දන ශබ්දය අහන්න. පුංචි පැටියව පපුවට තුරුලු කරගෙන නැළවිලි ගීයක් ගයන්න. කොච්චර ඇඬුවත් ඔබේ හද ගැහෙන රිද්දමයත් එක්ක ඔබ ගයන නැළවිලි ගීයට පුංචි පැටියා නැළ වේවි.

"මගේ පුතුට බුදු සරණයි
මගේ පුතුට දම් සරණයි
මගේ පුතුට සඟ සරණයි
මේ තුණු රුවනේ සරණයි"

හේෂාණි රත්නායක

ආයුර්වේද වෛද්‍ය
දේශබන්දු රාජගුරු
මව්බිම පුවත්පත

Post a Comment

0 Comments