ආහාරයක් ඔෟෂධයක් රුව වඩන ආලේපයක් පේර

“පේර යනු මිහිරි පලතුරකි. ඒත් පේර ගස ඔෟෂධීය ගුණය රැගත් ශාකයක් බව ඔබ දන්නවාද? ඒ විතරක් නෙවෙයි ඔබේ රූපලාවණ්‍ය වර්ධනයවීමට පේර ශාකය ඉවහල් වෙනවා. පේර ගැට, පේර පොතු හා පේර දලු එක සේ ඔබට දීප්තිමත් සහ පැහැපත් සමක් හිමිකර දෙයි.

පේර ශාකයේ සියලුම අංග ඔබේ රූපලාවණ්‍ය වර්ධනයවීමට උපකාරී වන්නේ මෙහෙමයි. තෙල් සහිත සමකට මෙන්ම ශරීරයේ කළු පැහැ ගැන්වී ඇති ස්ථාන පැහැපත් කිරීමටත් ඒවා උපකාරී වෙයි. එමෙන්ම සම කැසීම වැනි ආසාත්මිකතාවලටද මෙය නියම ප්‍රතිකාරයකි. තවත් දේශීය ඔෟෂධයක් මුසු කරමින් පේර ශාකයෙන් ඔබට ලස්සන පෙනුමක් ලබාගත හැකිය.

ළපටි පේර ගැට (ගෙඩි) 20ක් අමුකහ සහ සුදු හඳුන් සමව ගෙන හොඳින් අඹරා ගන්න. පසුව පිනිදියර වතුර අවුන්ස 2ක් පමණ එක් කරන්න. එඬරු තෙල් අවුන්සයක් ගෙන එයට මිශ්‍ර කර නැවැතත් අඹරා ගන්න. මේ මිශ්‍රණය ශරීරය පුරා ආලේප කරන්න. (මුහුණ, දෙඅත්, දෙපා, උදරය, බෙල්ල ඇඟිලි ආදී) පැයක් පමණ තබා පේරමුල්, කුඹුක් මුල්, වෙනිවැල් ගැට සමව ගෙන ඒවා තම්බා ගත් වතුරෙන් සෝදා හරින්න. සම පැහැපත් වෙයි. සම පෝෂණය කරයි.

පේර කොළ හොඳින් වියළා ගන්න. පසුව විළඳ සහල්, කළුදුරු, සූදුරු සමඟ එය කබල් ගා ගන්න. පසුව කෝපි මෙන් කුඩුකර සතියකට දින දෙකක් රාත්‍රියට පානය කරන්න. ඔබේ සම පැහැපත් වෙනවා පමණක් නොව රක්ත පීත්ත, වාත වැනි රෝග ද නිවාරණය කරයි. එමෙන්ම රුධිරය හොඳින් පිරිසුදු කොට සෙම නිවාරණය කරයි.
පේර පොතු, තැඹිලි වතුර සමඟ හොඳින් ගල ගා එයට මී පැණි, දෙළුම් යුෂ මිශ්‍ර කරන්න. පසුව එළඟිතෙල් කලවම් කර මුහුණේ සහ බෙල්ලේ ආලේප කරන්න. මුහුණේ තිබෙන කළු පැහැති පැල්ලම් දුරුකර පැහැදිලි සමක් හිමිකර දෙයි.

පේර දලු මිටක්, සුවඳ කොට්ටම් කුඩු, අමුකහ, රෝස වතුරෙන් අඹරන්න. පසුව පිපිඤ්ඤා යුෂයෙන් නැවැත අඹරන්න. එයට එඬරු තෙල් හැඳි දෙකක් මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය මුහුණේ ආලේප කර පැය එකහමාරක් තබන්න. පසුව සමන් පිච්ච වැලක් තම්බා ගත් වතුරෙන් සෝදා හරින්න. සුමුදු සුපැහැදිලි සමක් හිමිකර දෙයි.


ජේ‍යාතිෂ්‍ය ගුප්ත විද්‍යා ශිරෝමණී
 වෛද්‍ය කේ. එම්. එච්. අයිරාංගනී
ලයනි රසිකා නිරෝෂිණී

Post a Comment

0 Comments