ව්‍යාජ වෙබ් අඩවි, ෆේස්‌බුක්‌ සහ ඉදිරි ජනාධිපතිවරණය

මැතිවරණ උණුසුම ඉහළ යැමත් සමග ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ද ඉහළ ගොස්‌ තිබේ. මේ ප්‍රචාරක කටයුතුද විවිධාකාරයෙන් සිදු වෙමින් තිබේ. පුවත්පත් ඇතුළු ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතන හරහා මෙන්ම පෝස්‌ටර් බැනර් සහ කටවුට්‌ හරහාද මේ ප්‍රචාරක කටයුතු අධික ලෙස සිදු වෙමින් පවතින අයුරු මේ දිනවල මහමඟ ගමන් කරන ඔබට අරුමයක්‌ නොවේ. ජනාධිපතිවරයාගේ රුව රැගත් කටවුට්‌ එකක්‌ නැති ලයිට්‌ කණුවක්‌ නොමැති තරම්ය. පෝස්‌ටර් කටවුට්‌ ගහන්නේ නැතැයි කිව්වත් විපක්‌ෂයේ පොදු අපේක්‌ෂක මෛත්‍රීපාල සිරිසේනගේ පෝස්‌ටර් ද තාප්පවල දකින්නට තිබේ. පෝස්‌ටර් සහ කටවුට්‌ නම් පසුගිය මැතිවරණ වලදීත් අප දැක තිබේ. එහෙත් පසුගිය මැතිවරණවලට වඩා මෙවර අන්තර්ජාලය හරහා ද ජනාධිපතිවරණය ඉලක්‌ක කරගත් ප්‍රචාරණයන් සිදුවෙමින් තිබේ. ප්‍රචාරණයන් කිව්වත් ඒ තුළ නොයෙකුත් අපහාසයන් සහ කරුණු විකෘති කිරීම්ද නැතුවා නොවේ. මේ ලිපියෙන් අපගේ අවධානය යොමු වන්නේ මෙසේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්‌ක කරගෙන ෆේස්‌බුක්‌ සහ ඇතැම් වෙබ්අඩවි හරහා සිදුවෙමින් තිබෙන තොරතුරු ඉදිරිපත් කිරීම් සහ අන්තර්ජාලය වගකීමෙන් පරිශීලනය කිරීමේ අවශ්‍යතාව ගැනයි.

මේ වන විට අපේ රටේ පරිගණක සාක්‌ෂරතාව ද ඉහළ ගොස්‌ තිබේ. ඒ තුළ අපේ රටේ අන්තර්ජාල පරිහරණය ද ඉහළ ගොස්‌ තිබේ. මේ නිසා බොහෝ දෙනෙක්‌ ෆේස්‌බුක්‌ ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කිරීමද අද සාමාන්‍ය දෙයකි. අද බොහෝ දෙනකුට ෆේස්‌බුක්‌ ගිණුම්ද තිබේ. එය ඇතැමුන්ට කිසියම් ඇබ්බැහියක්‌ බවටද පත්ව තිබේ. මේ නිසා දිනකට බොහෝ වාර ගණනක්‌ තම ෆේස්‌බුක්‌ ගිණුම විවෘත කොට එහි සැරිසැරීමටද බොහෝ දෙනෙක්‌ හුරු වී සිටිති. මේ තුළ මා මුලින් සඳහන් කළ සමාජ ජාල වෙබ් අඩවි හරහා කරන විවිධ තොරතුරු එළිදැක්‌වීම් හා ප්‍රවෘත්ති නිරන්තරයෙන්ම ඔබගේ නෙත ගැටෙන බව රහසක්‌ නොවේ. මෙහි ප්‍රබල බව තව තවත් වැඩි කරන සාධකයක්‌ වන්නේ ඉහළ පරිගණක සාක්‌ෂරතාව සහ වර්ධනය වෙමින් පවතින අන්තර්ජාල පරිහරණයයි.

අප සාකච්ඡා කරන මේ කාරණය ගැන ඉකුත් දෙසැම්බර් 10 වැනිදා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ද පවත්වන ලදී. එහිදී එම නියෝජිතායතනයේ නියෝජිතයන් ප්‍රකාශ කළ පොදු අදහසක්‌ මෙසේය.

"මේ දිනවල අන්තර්ජාලය හා සමාජ ජාල වෙබ් අඩවි මූලාශ්‍රයක්‌ නොමැති ප්‍රවෘත්තිවලට තෝතැන්නක්‌ වෙලා තියෙනවා. විවිධාකාරයෙන් අන්තර්ජාලය අපහරණය කරමින් තිබෙනවා. මේ තුළ කිසිදු පදනමක්‌ නැති, වටිනාකමක්‌ නැති ප්‍රවෘත්තිවලට වටිනාකමක්‌ ලබාදෙන තැනක්‌ බවට අන්තර්ජාලය පත්කරගෙන තිබෙනවා. විවිධ පුද්ගලයන්ට අපහාස කරන්න වගේම විවිධ වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නත් අන්තර්ජාලය ඇතැමුන් භාවිත කරමින් සිටිනවා. මේ තුළ අප ඉල්ලා සිටින්නේ අන්තර්ජාලය අපහරණය කිරීමෙන් වැළකී සිටින්න සහ එය සුරක්‌ෂිත ලෙස භාවිත කරන්න කියන ඉල්ලීමයි."

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණය ලෙස මෙවැනි ඉල්ලීමක්‌ කළත් නොයෙකුත් සමාජ ජාල වෙබ් අඩවි හරහා සිදු වන නොයෙකුත් තොරතුරු මුදාහැරීම් වැළැක්‌විය හැකිද යන්න නම් ප්‍රශ්නයකි.

මෙයට ප්‍රබල සාක්‌ෂියක්‌ වන්නේ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්‌ක කරගෙන නොයෙකුත් ව්‍යාජ වෙබ් අඩවි සහ ෆේස්‌බුක්‌ ගිණුම් රැසක්‌ කෙටි කලක්‌ තුළ විවෘත වී තිබීමයි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය විසින් පැවැත්වූ ඉහත ප්‍රවෘත්ති සාකච්ඡාවේදීම අනාවරණය වූයේ පසුගිය සති තුනක කාලය තුළ එවැනි ව්‍යාජ වෙබ් අඩවි සහ ෆේස්‌බුක්‌ ගිණුම් 5000 ක්‌ පමණ විවෘත වී ඇති බවයි. ඇතැම් විට ජනාධිපතිවරණ ජනමතයට බලපෑමක්‌ කිරීමද මේ බොහොමයක අරමුණ වන්නටද පුළුවන. ඒ නිසා අපගේ ෆේස්‌බුක්‌ ගිණුමට එන නොයෙකුත් ප්‍රවෘත්ති හා තොරතුරු ගැන මෙන්ම අලුතින් බිහිවී ඇති වෙබ් අඩවි හරහා ප්‍රචාරය කරන තොරතුරු ගැනද ඔබ අවදියෙන් සිටීම වැදගත්ය. එයට හේතුව නම් එම බොහෝ තොරතුරුවලට කිසිදු පදනමක්‌ හෝ පිළිගත් ප්‍රවෘත්ති මූලාශ්‍රයක්‌ නොමැති විය හැකි වීමයි. එහෙත් ඒ ගැන නොසලකා එම තොරතුරු පරිශීලනය කරන ඔබ ඇතැම්විට නොමඟ යැමටද පුළුවන. එසේම මුළුමනින්ම අසත්‍ය තොරතුරු සත්‍ය ලෙස පිළිගැනීමටද බැරි නැත. හේතුව නම් ඉහතින් සඳහන් කළ ව්‍යාජ වෙබ් අඩවි සහ ෆේස්‌ බුක්‌ ගිණුම් බොහොමයක්‌ විවෘත කොට තිබෙන්නේ ඉතා සංවිධානාත්මකව මෙන්ම අනන්‍යතාව හඳුනාගත නොහැකි ආකාරයට ද වීමය. ඒ නිසා ආණ්‌ඩුව සම්බන්ධයෙන් මෙන්ම විපක්‌ෂය සම්බන්ධයෙන්ද අපහාසාත්මක බොරු පච ප්‍රචාර මේවා මගින් දැන් හරි හරියට සිදු වෙමින් තිබේ.

මහජනතාව ලෙස මේවා තේරුම් බේරුම් කර ගැනීම ඔවුන්ගේ වගකීමකි. එහිදී මූලාශ්‍රයක්‌ නොමැති, කසිදු පදනමක්‌ නැති (ඇතැම් විට කියූ කෙනෙක්‌ නැති) ප්‍රවෘත්ති හා තොරතුරු ගැන කිසිදු සොයා බැලීමකින් තොරව දුටු පමණින් කැමැත්ත පළ කිරීම (ඛසනැ) කිරීම) හෝ ඒවා Sය්රු කිරීම ඇතැමුන් විසින් කරනු ලබයි. එය එතරම් සිතා බලා කරන දෙයක්‌ නොවිය හැකි නමුත් එය එතරම් යෝග්‍ය පිළිවෙතක්‌ නොවේ.- ඔබ කැමැත්ත පළකරන හෝ ඔබේ මුහුණු පොතේ මිතුරන් අතර බෙදා හදා ගන්නා ඒ පණිවිඩ වෙනත් අයෙකුට කරන අපහාසයක්‌ හෝ කරුණු විකෘති කිරීමක්‌ ද විය හැකි වීම එයට හේතුවයි. ඒ හරහා අන්තර්ජාලය අපහරණය කිරීමේ වෙනත් අයෙකුගේ හෝ පිරිසකගේ අවශ්‍යතාවකට ඔබත් අනියම් අයුරින් දායක වීමක්‌ සිදුවේ. එබැවින් අවදියෙන් ඒ ගැන කටයුතු කිරීම වඩාත් හොඳය. යම් වෙබ් අඩවියකින් හෝ ෆේස්‌ බුක්‌ ගිණුමක්‌ මගින් ඔබට යම් අපහාසයක්‌ සිදුවන්නේ නම් ඒ ගැන පැමිණිලි කිරීම හෝ ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස්‌ ලබා ගැනීම, ඔබට ශ්‍රී ලංකා සර්ට්‌ ආයතනයේ 0112691692 යන දුරකථන අංකය ඇමතීමෙන් සිදු කළ හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Post a Comment

0 Comments