කෙබඳු නැණ පහනක්‌ ද නිවී ගියේ!

මහාචාර්ය තිස්‌ස කාරියවසම් සූරීහු සිය අසාමාන්‍ය වූ භාෂා, සාහිත්‍ය, නාට්‍ය, සෞන්දර්ය කලා හා සංස්‌කෘතික යුග මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන ගොස්‌ සිටිති. එතුමන්ගේ අභාවයත් සමග ස්‌වකීය අනූපම පාණ්‌ඩිත්‍යයෙන් ශාස්‌ත්‍ර කලා සෞන්දර්ය ක්‍ෂේත්‍රයන් උඡ්වලිත කළ ප්‍රඥ ප්‍රදීප ස්‌ථම්භයක්‌ නිවී ගිය සෙයකි. මෙබඳු විරල ප්‍රාඥයෝ කොදිව්වක වුවද අතිශය සුදුර්ලභවම පහළ වන්නෝය. ඒ නිසාම එය එකී ක්‍ෂේත්‍රයන්ට මෙන්ම මේ ශ්‍රී ලංකා දීපයටම පුරවා ලිය නොහැකි හිඩැසකි.

මහාචාර්ය කාරියවසම් සූරීහු පේරාදෙණි සරසවියෙහි කුසුම් සමයෙහි එකල මෙලක බැබල වූ විස්‌මිත සංස්‌කෘතික කලා ප්‍රාඥයන්ගේ ඇසුරද සේවනය ද ලද්දාහුය. ශාස්‌ත්‍රාභිලාෂයෙන් ඔද වැඩුණු ඔවුන්ට නිර්ලෝභීව ඥන ගවේෂණයට ද මාර්ග පෑදිණි. විශේෂයෙන් මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය ගණනාථ ඔබේසේකර වැනි දේශීය බුද්ධිමතුන්ගේ ද රොජර් මැනුවෙල්, මහාචාර්ය ලුඩොවයික්‌ වැනි විදේශීය විද්වතුන්ගේද මාර්ගෝපදේශකත්වය ලද ඔවුන් තුළ සම්භාව්‍ය හා නූතන සාහිත්‍යයෙන් පරිබාහිර වූ මානව විද්‍යාව හා ගැමි අභිචාර විධි, ශාන්තිකර්ම වැනි චූල සම්ප්‍රදායන් පිළිබඳව ද කුහුලක්‌ හා ඇල්මක්‌ වැඩුණි.

මානව ශිෂ්ටාචාරය හා බැඳුණු සෞන්දර්ය ලකුණු ඔස්‌සේ පියමන් කළ කාරියවසම් සූරීහු, යක්‌ තොවිල් හා සිංහල සමාජය නම් වූ ශාස්‌ත්‍රීය නිබන්ධය සංග්‍රහ කරමින් සිය විශාරදත්වය ද විද්වත්භාවය ද පළ කරති. එතැන් පටන් ඇරඹෙන ශාස්‌ත්‍රීය මෙහෙවර අගනා ශාස්‌ත්‍රීය ග්‍රන්ථ මාලාවක්‌ දක්‌වා වැඩෙයි. එහි පලයක්‌ ලෙස ඔවුහු ශ්‍රී ලංකාවේ ගැමි ඇදහිලි ශාන්තිකර්ම දෙවිවරුන්, යකුන් මෙන්ම ඒ හා බැඳුණු සංස්‌කෘතික ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රාමාණිකයකු බවට ද පත්වෙති. ඔවුන්ගේ ඒ විරල සම්ප්‍රදානයන් ඒ ක්‍ෂේත්‍රයන් පිළිබඳ අධ්‍යයනයන් කරන සියලු ආධුනිකයන්ගේද සුධීන්ගේ ද බුද්ධි මණ්‌ඩලයන්හි නිම්වළලු ප්‍රසාරණයට හේතු විය. සිංහල ගැමි සංස්‌කෘතික අංගයන්හි සම්භවය, විකාසනය මෙන්ම ඒවායේ ආඪ්‍ය සෞන්දර්ය ලකුණු ද අපගේ ජාතික දායාදයන් බවට පත් කළ විද්වතකු ලෙස ඔවුහු බුහුමනට ද ගෞරවයටද පාත්‍ර වූහ. මේ සියල්ල අනාගත පරම්පරාවන් විසින් කෘතඥතා පූර්වකව හා භක්‌තිමත්ව සිහි කරනු නිසැකය.

කාරියවසම් සූරීන්ගේ නිර්ව්‍යාජ ශාස්‌ත්‍ර මාමකත්වය ඔවුන්ගේ සමකාලීනයෝ මෙන්ම ඔවුන් සෙවණෙහි උගත් සිසු මානවක මානවිකාවෝ ද ඉඳුරා දනිති. ආධුනික සහාය කථිකාචාර්යවරයකු ලෙස ඇරඹෙන ඔවුන්ගේ වෘත්තීය ශාස්‌ත්‍රීය ජීවිතය එහි සියලු කඩඉම් ගෙවා විශ්වවිද්‍යාලයේ (ජZපුර) ශාස්‌ත්‍ර පීඨාධිපති දක්‌වා ම ව්‍යාප්ත විය. එමතු නොව විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරයෙහි කටයුතු ආවරණයට ද ඔවුන් තෝරා ගනු ලැබ ඇත.

කොළඹ හා ජයවර්ධනපුර සරසවිවල සිසුන් දහස්‌ ගණනකගේ ආදර ගෞරවය ලද ඔවුහු එපරිද්දෙන්ම ශාස්‌ත්‍ර ලෝකයේ නොයෙක්‌ විද්වතුන්ගේ බුහුමනට ද ප්‍රශංසාවට ද පත් වූහ. විශ්වවිද්‍යාල වෙනත් සාහිත්‍ය හා සංස්‌කෘතික ආයතන රැසක්‌ම ඔවුන්ගේ සේවාව අගයමින් නොයෙක්‌ ගෞරව සම්මාන පිරිනැමූහ.

සැබැවින්ම ඒ ප්‍රදානයන්ට ඔවුන් නිසා පෙර නොවූ විරූ අගයක්‌ද ගාම්භීරත්වය ද ලැබිණි. ගෞරව සම්මාන යනු ශාස්‌ත්‍රඥයන්ට සාමාන්‍ය දේවල් ය. ඔවුහු ඒ කිසිවකින් උදම් නොවූහ. ඒ හැම තැන්හිම පළ කළේ සිය අව්‍යාජ නිහතමානීත්වයයි. උපේක්‍ෂා ගුණයයි.

මහාචාර්ය කාරියවසම් සූරීන්ගේ ජාතික මෙහෙවර ශාස්‌ත්‍ර ලෝකයෙන් බැහැරට ද ව්‍යාප්ත විය. විශ්වවිද්‍යාලයට පරිබාහිරව බොහෝ තනතුරු හොබවමින් සිය විශාරදත්වය පාමින් ඒවා බැබල වූ බව පමණක්‌ මෙහිලා සඳහන් කරමි. එහෙත් මට මගහැර යා නොහැකි එක්‌ සේවයක්‌ ඇත. ඒ අද තිබෙන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඒ ශාස්‌ත්‍ර අභිමානය ලබාදීම උදෙසා ඔවුන්ගෙන් හිමිවූ දායකත්වයයි. මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් වරක්‌ මා සමග කීවේ "සර් නොවන්ට අපට හෙටක්‌ නොමැති බවය ඔවුන් විසින් ඉටු කරන ලද ඒ මහාර්ඝ සේවාව නිසා සෞන්දර්ය ආයතනය ශාස්‌ත්‍රීය හා බුද්ධිමය කේන්ද්‍රස්‌ථානයක්‌ බවට ද පත් විය.

මෙලෙස මහාචාර්ය කාරියවසම් සූරීන් සිය ජීවිත කාලය තුළ සාක්‍ෂාත් කරගන්නා ලද අර්ථ සිද්ධීන් බොහෝ විය. සිය ජීවිත සැඳෑවේ ගිලන්ව සිටියදී පවා ඔවුන්ගේ චිත්ත ශක්‌තිය ප්‍රබල විය. භගවත් ගීතාවේ දැක්‌වෙන පරිදිම ඔවුහු නොසැලී නොකැළඹී වීර්යයෙන් හා ධෛර්යයෙන් යුතුව ආපසු නොබලමින්ද කිසිවක්‌ ගැන නොතැවෙමින්ද ශාස්‌ත්‍රීය කටයුතුවලම නියෑළී සිටියහ. මනා සිහි නුවණින් ම පසු වූහ.

ශාස්‌ත්‍ර කාව්‍ය හා නාටක විනෝදයෙන් කල් ගෙවන ප්‍රාඥයන්ට කිසිදු තැවීමක්‌ නැතැයි යන සුභාෂිතය ඔවුන් කෙරෙන්a කෙතරම් සැබෑවක්‌දැයි මම දැසින්ම දිටිමි. ශාරීරික පීඩාව නොතකමින් සිය ගිලන් කය හික්‌මවමින් ඒ කාලයෙන් සෑහෙන කොටසක්‌ ද සිය ශාස්‌ත්‍ර අභිලාෂයන් ඉටු කර ගැනීම උදෙසා යොදාගත් ඔවුන්ගේ විලාසය දුටුවන් මවිත කරවන සුළු විය. ඔවුන්ගේ ශාස්‌ත්‍ර ධ්‍යානය කිසිසේත්ම නොබිඳිණි.

මහාචාර්ය කාරියවසම් සූරීන් අප වසනා මේ දේශයට දෙවියන් විසින් පිරිනමන ලද පඬුරක්‌ බඳු යෑයි මෙයට පෙර ඔවුන් පිළිබඳ ලියූ ප්‍රශංසනයක මම සඳහන් කළෙමි. සැබැවින්ම ශාස්‌ත්‍ර ලෝකය විචිත්‍ර කළ අපූර්ව සෞන්දර්ය නිම්නයන් වෙත අප රැගෙන ගිය මෙවන් විද්වත්හු අතිශය දුර්ලභම වෙති. ඒ නිසාම ඔවුන්ගේ අභාවය සුවිශිෂ්ට පඬි පරපුරක ප්‍රබල පුරුකක්‌ ගිලිහී යාමක්‌ සේ මම දකිමි. ශාස්‌ත්‍ර ලෝකය එකෙළි කළ නැණ පහනක්‌ නිවී ගියේය.

මේ සටහන සමාප්ත කරලීමට දැන් මම මගේ පෞද්ගලික ධාරණාවන් කීපයක්‌ද එක්‌ කරමි. ඇතැම් සැඳෑ කාලයන්හි මම ද ඔවුන්ගේ වෙනත් මිතුරන්, සමාකාලීනයන් හා සිසු සිසුවියන් මෙන් ඔවුන්ගේ ප්‍රිය සමාගමට එක්‌වීමි. ඒ ධාරණාවන් මා තුළ නැගී මගේ හද මහත් සංවේගයෙන් ප්‍රකම්පිත කරවයි. ලියන්ට අතට ගත් පෑනද හැර දමා මම වරින්වර සැලෙමින් සිsටියෙමි. ඔහු මට දැක්‌වූ දයාව ආදරය හා කරුණාව මගේ දෑස්‌ තුළ කඳුළක්‌ වී මා පෙළයි.

ඉරණම විසින් ඔවුන්ට පවරන ලද ජීවිත අවසරය ඉකුත් වෙමින් තිබෙන බව ඔවුහු කීපවරක්‌ම කීහ. "මං මේ නාට්‍ය ඉතිහාසය ගැන ලියා ගෙන යනවා. ඉවරයක්‌ දකින්න පුළුවන් වෙයිද මන්දා" යනාදී වාසගම් මෙවේලේ මා දෙසවන අසල රැව් දෙයි. සැබෑවකි ඔවුන්ට සමුගෙන යන්ට කාලය එළඹෙමින් තිබුණි. සිය දුබල කය මනසින් ප්‍රබලව ඔසවා දුක මැඬගෙන තමන් විසින් ජීවිත කාලය මුළුල්ලේ ප්‍රගුණ කරන ලද ඥන ගවේෂණ මාර්ගයෙහිම ඔවුහු ගමන් කළහ. ඔවුන්ට විඩාවක්‌ නොදැනුණි. හාත්පස දිසාවන්හි ඝෝෂාවන් ද කැළැඹීම් ද ඔවුන්ට නොඇසුණි. ශ්‍රාස්‌ත්‍රවන්තයකුගේ විලාසය කෙතරම් රමණීය ද? ගාම්භීරද?

දැන් මා මේ සටහන අවසන් කළ යුතුය. මගේ මනස තුළ පෙළ ගැසෙන මතක රළ නගමින් මා හඬවයි.

මගේ කාලයේ මා ප්‍රිය කළ මගේ ආධ්‍යාත්මය හා බැඳුණු ප්‍රියයකුගේ සමුගැනීම මොනතරම් දුක්‌බරද? අපි කෙබඳු උණුසුම් සංවාදවල නිරතවීමුද? මරණය යනු ඉරණම විනා අන් දෙයක්‌ නොවන බව සැබෑවකි. එහෙත් මරුට තව සුළු කලක්‌වත් මේ සොඳුරු විද්වත් සහෘදයාට ලබා දිය හැකි වී නම්,.... යන සිතිවිල්ල මා තුළ නැඟෙයි... මහාචාර්ය තිස්‌ස කාරියවසම් නාමය සදා මෙලක්‌ බිම සුධී ජන සබා මැද නිබඳ රැව්දේවා!

- ගාමිණී සුමනසේකර 

Post a Comment

0 Comments