පුදුම අම්මලා සහ පුදුම දරුවෝ

අම්මලා කියන්නේ මහා පුදුම කොට්‌ඨාශයක්‌. මේ කියන්න යන්නේ උපන් ගමන් දරු පැටියා වැසිකිළි වළකට විසි කරන, නැත්නම් දරුවන් පාලමෙන් පහළට ඇද දමන, එසේත් නැත්නම් දරුවන් ගෙදර තබා හොර සැමියා සමඟ පලා යන වර්ගයේ අශීලාචාර අම්මලා ගැන නෙවි. එවැනි අම්මලාත් සියයට දශම ගණනක්‌ ඉන්නවා ඇති. ඒත් මම මේ කියන්නට අදහස්‌ කරන පුදුම කොට්‌ඨාශයේ අම්මලා තමයි ලෝකයේ වැඩි. එවැනි අම්මලා සියයට අනූ නවයයි... දශම නවයයි... නවයයි... තරමටත් වැඩි ඇති.

ඉතින් මට මේ කතාව කියන්නට හිතුණේ ඇයි කියා ඔබ දැන් කල්පනා කරන්නට පුළුවන්. මේ තීරුවේ නමත් zහිතුණාට ලිව්වාZ නේ.

මම මේ ළඟදී ඉංග්‍රීසි පත්තරේක දැක්‌කා එක්‌තරා ලස්‌සන කතාවක්‌.

ඒ කතාවේ කතා නායිකාව වන උතුම් මව සිටියේ රෝහලක. රෝහලක කිව්වත්, දරුණුම වර්ගයේ රෝහලක්‌ වන පිළිකා රෝහලක. මේ අම්මාගේ නම ජෙනට්‌. ජෙනට්‌ගේ රූමත් තරුණ දුවගේ නම කැත්රින්.

මේ කතාව පළ වී තිබුණේ 2014 නොවැම්බර් මාසේ 25 වැනිදා ලන්ඩන් නුවර මුද්‍රණය කරනු ලබන zඩේලි මේල්Z පත්‍රයේ

මේ අතර තමයි කැත්රින්ගේ විවාහ මංගල්‍යයත් යෙදී තිබුණේ. දැන් ඉතින් තමන්ගේ ආදරණීය මව පිළිකා රෝහලක ජීවිතයත් මරණයත් අතර සටන් කරද්දී "මට මොන මඟුලක්‌දැයි" කැත්රින් තීරණය කළා. ඉන් පසු ඇය ඒ බව රෝහලේ ඇඳ මත මරණාසන්නව සිටින තම ආදරණීය මෑණියන්ට දැන්වූවා.

එහෙත් ජෙනට්‌ නම් වන මෙම මව තම දුවගේ එම තීරණයට තරයේම විරුද්ධ වුණා. ඇය කීවේ තම දුව විවාහ වීමට නියමිත දිනයේම විවාහ විය යුතු බවයි. මේ සඳහා කදිම අදහසක්‌ ද මේ රෝගී වයසක මවට පහළ වුණා.

එනම් ඇය සොයා බැලුවා තම දුවගේ විවාහ මංගල්‍යය තමන්ටත් දැකිය හැකි පරිදි මේ රෝහල් භූමියේම පවත්වන්නට රෝහලෙන් අවසර ගත හැකි ද කියලා. ඇගේ අහිංසක අදහස සරුපල ගැන්වුණා. රෝහල් බලධාරීන් ජෙනට්‌ගේ අවිහිංසක යෝජනාව ඒකමතිකව ස්‌ථිර කළා.

ඉන් පසුව රෝහල් භූමියේ ඉදිරිපස කොටසක්‌ මංගල උත්සවයට සුදුසු ලෙස සකස්‌ කෙරුණේ කැත්රින්ගේ මිතුරු මිතුරියන් අතින්. කැත්රින්ගේ අත ගැනීමට නියමිත මනාලයා වූයේ කොනර් වුඩ්.

මෙහෙම ගිහින් කැත්රින්ගේ මංගල දිනය උදා වුණා. කැත්රින් සුදු පාට ලස්‌සන දිග ගවුමකින් සැරසී ඊටම සරිලන වේල් පටක්‌ ද දමාගෙන තම පෙම්බරයාගේ අතින් අල්ලාගෙන රෝහල් භූමියට එද්දීම කැත්රින්ගේ මව වන ජෙනට්‌ රෝද පුටුවක වාඩි වී උත්සව භූමියට පැමිණ සිටියා.

දැන් කාටත් හරි සතුටුයි. සියල්ලම සිතූ පරිදි ඉෂ්ට වුණා. ඒත් ඒ සතුට වැඩි කල් රැඳුණේ නැත්තේ කැත්රින්ගේ විවාහයෙන් හරියටම සති දෙකකට පස්‌සේ ජෙනට්‌ සදහටම දෙනෙත් පියා ගත් නිසයි.

අනිත් කතාව මෙහෙමයි. එංගලන්තයේ විගාස්‌ හි වෙසෙන 77 හැවිරිදි ශීලා මාෂ් තම දරුවන්ට මෙන්ම සතුන්ටත් හරිම ආදරෙයි. ශීලා රස්‌සාව වශයෙන් කළේ අශ්ව ගොවිපළක අශ්වයන් බලා ගැනීමයි. පසුගියදා ඇය රස්‌සාවෙන් විශ්‍රාම යද්දී ඇයටම හිමි වූ අශ්වයන් හයදෙනෙක්‌ ඇගේ ගෙදර සිටියා.

මේ අතර ශීලා මාෂ් බරපතළ ලෙස රෝගී වුණා. කෙතරම් බරපතළ ලෙස රෝගී වුණාද කිව්වොත් ඇයට රෝහල්ගත වීමටත් සිදුවුණා. මෙහෙම රෝහලේ සිටියදී ඇයගේ රෝගය බෙහෙවින් උත්සන්න වී ඇය මරණාසන්න වුණා කීවොත් නිවැරැදියි.

මේ අතර අර අශ්වයන් හයදෙනාගෙන් ශීලා වැඩියෙන්ම ආදරය කරන අශ්වයා බලන්නට ඕනෑ යෑයි ශීලා කීවේ ඇයගේ දියණිය වන ටීනා ට. ටීනාට හිතුණා තමන්ගේ අම්මාගේ ඉල්ලීම කෙසේ හෝ ඉෂ්ට කරන්නට ඕනෑ කියලා.

ඉන්පසු ටීනා ගියේ තම මව ප්‍රතිකාර ලැබීමට නැවතී සිටින රෝහලේ බලධාරීන්a හමුවීමට. ටීනා ඔවුන්ට කිව්වා ගෙදර සිටින අශ්වයා රෝහලට ගෙනැවිත් තම අම්මාට පෙන්විය යුතුයි කියලා. ටීනා ඔවුන්ට කළ මේ අහිංසක ඉල්ලීමත් අහක දමන්නට රෝහල් බලධාරීන්ට හැකි වුණේ නැහැ.

පසුව රෝහල් බලධාරීන් ටීනාට අවසර දුන්නා, තම අම්මා වැඩියෙන්ම ආදරය කරන අශ්වයා රෝහලේ වාට්‌ටුව ඇතුළට ගෙනැත් අම්මාට පෙන්වීමට. ඊට පසුව අශ්වයා වාට්‌ටුවට ගෙනාවා. ඒ වෙලාවේ අශ්වයාත්, අම්මාත් ටීනාත් පමණක්‌ නොව එම වාට්‌ටුවේ සිටි සියලුම සේවක පිරිස්‌ ද කඳුළු සැලූ බවයි පත්තරේ තිබුණේ. හරියටම ඊට සතියකට පස්‌සේ ඒ අම්මාත් මෙලොව හැර ගියා.

දුවට පණ මෙන් ආදරය කළ අම්මා කෙනකු ගැනත්, අම්මාට පණ මෙන් ආදරය කළ දුවක ගැනත් මේ කතා දෙකෙන් කියෑවෙනවා.

ඉතින් මේ කතා දෙක මට අද ලියන්නට හිතුණේ අදට හරියටම අපේ අම්මා අප අතහැර ගොස්‌ වසර හතරක්‌ (4) පිරෙන දවස නිසා. අපි අම්මාටත්, අම්මා අපිටත් ආදරය කළේ හරියටම කැත්රින් සහ ටීනා වගෙයි කියලයි මට හිතෙන්නේ.

මෙරිල් පෙරේරා

0777-70-100-9
(ප්‍රධාන කර්තෘ දිනපතා දිවයින)

Post a Comment

0 Comments