දේශප්‍රේමීයෝ හා දේශෙද්‍රෝහියෝ දකින්න මැද සාලේ ප්‍රේක්‍ෂකාගාරයට එන්න...

ඊළාම් යුද්ධයේ අවසාන මාස කීපය ගෙවී ගිය අයුරු මට හොඳට මතකය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 52, 55, 57, 58, 59 බළකායන් ඇතුළු ආරක්‍ෂක හමුදාවෝ සතර අතින් වට කර වන්නි මෙහෙයුම සාර්ථක කර ගනිමින් සිටියදී මේ රටේ බහුතර ජනතාව පසු වූයේ පක්‍ෂ භේදයකින් තොරව පුදුමාකාර ආශ්වාදයකිනි. ප්‍රසන්න සිල්වලා, ශවේන්ද්‍ර සිල්වලා, ජගත් ඩයස්‌ලා, කමල් ගුණරත්නලා ඇතුළු රණවිරුවන් දිනෙන් දින කොටි කඳවුරු අත්පත් කර ගනිමින් කොටි සිතියම හකුලමින් සිටියදී අපේ ජනතාව රූපවාහිනි යන්ත්‍රය ඉදිරිපිට එක්‌රොක්‌ව බලාසිටියේ "අද කුමක්‌ වීද" යන ආශ්වාදය කැටි වූ කුතුහලයකින් යුතුවය.

යුද්ධ කරන්නන්ට හා යුද්ධයට බඳුන්වන්නට "යුද්ධය" යන අකුරු හතර කොතරම් බියකරු අප්‍රිය අමනාප එකක්‌ වූවත් අප ද ඇතුළුව බලාසිටි ප්‍රේක්‌ෂක බහුතර ජන සමූහයාට නම් ඒ යුද්ධය මවිතය, කුතුහලය හා ආශ්වාදය දනවන කරුණක්‌ම පමණක්‌ වූ හැටි මට හොඳට මතකය.

2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන්ගේ අවසානයත් සමග එකී ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකාගාරයේ කූටප්‍රාප්තිය සනිටුහන් විය. ඉන් පසුව ප්‍රේක්‍ෂකාගාරය විසිර ගියේය. සියල්ලෝම තම තමන්ගේ වැඩක්‌ බලාගෙන විසිරගොස්‌ සිටි අතර ආයෙත් රූපවාහිනය වටා එක්‌රොක්‌ වූවානම් වූයේ මෙගා ටෙලිනාට්‍ය බලන්නට ය. එසේත් නැතිනම් හැම නාලිකාවක්‌ම එකම තරගයකට වැද ඉදිරිපත් කරන "රියෑලිටි" ෂෝවල සුපිරි තරු තාරකා වල කියුම් කෙරුම් බලන්නට නැත්නම් විනිශ්චය මණ්‌ඩලවල සිටින සමහර විනිසුරු සාමාජිකයන් ලවක්‌ දෙවක්‌ නැතිව දෙසන විහිළු කතා අසා ආශ්වාදයක්‌ ලබන්නටය.

ඉඳහිට සලාක ක්‍රමයට ආ පළාත් සභා ඡන්ද වලදී මෙන්ම මැතිවරණ වලදීත් මර්වින් සිල්වලා, නිශාන්ත මුතුහෙට්‌ටිගමලා, පබාලා, අනර්කලීලා, ගීතාලා, හරීන්ලා, දයාසිරිලා, විමල්ලා, රෝහිතලා සමන්ත ලා ඩිලාන්ලා හා මහින්දානන්දලා පොඩි පොඩි ආතල් සිල්ලරට ගෙන දුන්නත් රූපවාහිනි ප්‍රේක්‍ෂකාගාරය ප්‍රීතියෙන් ප්‍රමුදිත කරන්නට තරම් සෑහෙන ආතල් තොගපිටින් ලැබුණේම නැත.

කාලය ඔය අයුරින් අලසව ගෙවී ගියේය. පල්ලමක්‌ බැස්‌සොත් යළි කන්දක්‌ ඇති බව අප ප්‍රේක්‍ෂකයෝ ද දැන සිටි බැවින් ඔවුහු නොඉවසිල්ලෙන් සිටියේ විනෝදවන්නට යළි අවස්‌ථාවක්‌ ලැබෙන තෙක්‌ය.

ප්‍රේක්‍ෂකයාගේ බලාපොරොත්තු ඉටු කරමින් ජනාධිපතිවරණය පැමිණියේය. ජනාධිපති මහින්ද එක්‌පසෙක තරගකරුවාය. ඔහු සමග කලක්‌ සිට ඔහුගේම කැමැත්ත අනුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් සිට දුරගමනක්‌ ආ ගමන් සගයා එළියට බැස්‌සේය. ඒ නිකන් ගමනක්‌ යන්නට නොව, මහින්ද රාජපක්‍ෂට අභියෝගයක්‌ව ජනාධිපතිවරණ සටනේ අනෙක්‌ පාර්ශවයේ පොදු අපේක්‍ෂකත්වය නියෝජනය කරන්නට ය.

ඒ අනුව දැන් උදාවී ඇත්තේ කරට කර තරග කරුවන් දෙදෙනෙකුගේ දෙපාර්ශවයක තරගයක්‌ බව පැහැදිලිය. ඒ කරට කර තරගයත් සමගම අපේ ප්‍රේක්‍ෂකයා යළිත් මැද සාලයට පැමිණ රූපවාහිනි තිරය වටා එදා වන්නි සටන නරඹන්නට මෙන් පෙළ ගැසෙන්නට පටන් ගත්හ.

ඒ පැරැණි ජයග්‍රහණ නරඹන්නට නොව ,ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් පනින උඩු පිනුම් යටි පිනුම් බඩ පිනුම් කරණම් කස්‌තිරම් අඩව්කාරයන්ගේ කෙළිසෙල්ලම් දැක බලා ගන්නටය.

දවසින් දවස දවසින් දවස අලුත් වන මේ කෙළි සෙල්ලම් තුළ රසකතා කාරයන්ගේ කෙළි කවට චාටුකතා බස්‌ද හරි අපූරුය. ඕනෑම පැනිල්ලකට, ඒ පනින ඕනෑම කෙනෙකුට හේතුවක්‌ ඇත. රස කතාවක්‌ද ඇත. පනින කෙනාට වඩා ඒ කතා රස කර කියන්නේ දෙපැත්තේ සිටින අනෙක්‌ පාර්ශව කරුවෝය. මේ කතා අසන්නට දකින්නට රස විඳින්නට මේ දිනවල අපේ ප්‍රේක්‍ෂකයෝ කෑමකට බීමකට සිත යොමු නොකර රූපවාහිනි තිරය වෙත ඇබ්බැහි වී සිටින අයුරුත් හරි අපූරුය.

පනින්න පෙර සිතා බලනු... කියා ඉස්‌සර අප පුරාණ ආප්aතෝපදේශයක්‌ ඉගෙන ගත්තේ පාසල් සමයේදී ය. නූතනත්වය තුළ ඊට අලුත් අර්ථ කතනයක්‌ ලැබී තිබේ. අලුත් මුහුණු වරක්‌ ද ලැබී තිබේ. අද ඒ අනුව කියන්නේ... "පනින්න පෙර විමසා බලනු" කියා ය. පනින්න පෙර සිතා බැලීම පරණ කතාවකි. පනින්න පෙර විමසා බැලීම අලුත් කතාවකි.

සිතන්නට දෙයක්‌ නැත. ඉන්න තැනින් උඩට යන්නට නම් පැනිය යුතුමය. ඒත් ඒ පිම්මේ වටිනාකම කොපමණද? මිල කීයද? ලන්සුව කුමක්‌ද? එය ජීවිත කාලයටම පරම්පරාවටම සෑහෙන තක්‌සේරුවක්‌ද නැත්නම් අඩු තක්‌සේරුවක්‌ද විමසා බැලිය යුතුය. එසෙ a නැත්නම් පිම්මෙන් පලක්‌ නැත. විමසා නොබලන අයට මතක්‌ කළ යුත්තේ "උඩ පැන්නොත් ඔය තරම් බිම වැටේවි යෝධයෝ" කියාය.

මේ අතර සමහර අය කරන්නේ පනින රිලවුන්ට ඉනිමං බැඳීමය. අද අපේ රටේ රූපවාහිනි ප්‍රේක්‍ෂකයෝ මේ පනින රිලවුන්ට ඉනිමං බඳින අයද හොඳහැටි අඳුනති. නිරතුරුව දකිති. කියන දේ අසති. විහිළුද අසති. සිනා වෙති. විනෝද වෙති. ඒ හැර ප්‍රේක්‍ෂකයෝ වෙන කුමක්‌ කරන්නද.

ඒ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් යළි අනිත් පැත්තටත් පනින අය ඉක්‌මනින් පොහොසතුන් වන බවද සමහරු කියති. අපේ රටේ සාධාරණ බුද්ධිමත් ප්‍රේක්‍ෂකයෝ නම් ඔය ඉරිසියාවට කියන කතා විශ්වාස නොකරති. පනින්නේ රට ගොඩගන්නට මිස, ජනතාවට සේවය කරන්නට මිස ලැබෙන දේවල් සිතාමතා නොවන බව බුද්ධිමත් ප්‍රේක්‍ෂකයෝ දනිති. එහෙයින් ඒ අය මේ පිනුම් කාරයන් ගැන සිහිනෙකින්වත් අහිතක්‌ නොසිතති.

එනමුත් මේ පනින අය නිසැකව ලබන දෙයක්‌ ගැන නම් අපේ ප්‍රේක්‍ෂකයෝ නිසැකවම දනිති. එය නම් හරි අපූරු සන්සිද්ධියකි.

මේ තරගයේ පැහැදිලි පාර්ශව දෙකකි. එක්‌ක ආණ්‌ඩු පක්‍ෂයයි. අනික විපක්‍ෂයයි. මේ දෙක සමාන්තරව පැහැදිලිවම දෙකට බෙදන රේඛාවක්‌ද තිබේ. ආණ්‌ඩුව පැත්තේ සිට ඒ රේඛාව පසුකර අනෙක්‌ පැත්තට යන්නා නිසැකවම ආණ්‌ඩු පාර්ශවයෙන් ලබා ගන්නා නම්බු නාමය "දේශෙද්‍රෝහියා" යන්නය. ආණ්‌ඩු පක්‍ෂයේ ඉන්න යම් කිසි කෙනෙකුට දේශෙද්‍රෝහියෙකු වීමට සිහිනෙන් හෝ අවශ්‍ය නම් අර ඉර පසුකර එහා පැත්තට යා යුතුයි. විපක්‍ෂයේ සිටින කෙනෙකුට ක්‌ෂණයකින් "දේශප්‍රේමියෙකු" වීමට අවශ්‍ය නම් ඉර පසුකර මෙහා පැත්තට ආ යුතුය. මේ වෙලාවේ දෙමළ ජාතික සන්ධානයේ සම්පන්දන්ලාට, සිවාජිලිංගම් ලාට වුව දේශප්‍රේමියෙකු වීමට අවශ්‍ය නම් මේ න්‍යාය අදාළ බව ප්‍රේක්‍ෂකයෝ දනිනි.

ඒ අතර ආණ්‌ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට එන්නේ "දක්‍ෂයෝ" බව විපක්‍ෂයේ අය පිළිගනිනි. විපක්‍ෂයෙන් ආණ්‌ඩු පක්‍ෂයට යන්නේ අදක්‍ෂයෝය. පරාජිතයෝය. ඊට අනුව මෛත්‍රිපාල ඡන්ද 29 ක්‌ ජයග්‍රහණය කළ දක්‍ෂයෙකි. ඔහු විපක්‍ෂයට පැමිණ දක්‍ෂතාවය විපක්‍ෂයට ලබා දී තිබේ. ඡන්ද 29 ක්‌ පාරජය වූ එජාපයේ මහලේකම් තිස්‌ස අත්තනායක අදක්‍ෂයෙකි. ඔහු ආණ්‌ඩුවට ගියේ අදක්‍ෂකමද රැගෙනය.

අදක්‍ෂකම රැගෙන ආවත් ආණ්‌ඩු පක්‍ෂයට නම් ඔහු දේශප්‍රේමියෙකි. මෙපමණ කල් මොනවා කීවත් මොනවා කළත් ඒ කිසිවක්‌ වලංගු නැත. පසුගිය 8 වැනිදා කළ වික්‍රමයත් සමඟම දෙශප්‍රේමයේ ඔටුන්න නිතැතින්ම ඔහු හිස මත පතිත වී හමාරය.

සමහරු මේ අය ගැන රටේ සමාජ වෙබ් අඩවි වල පළවන පුවත්ද ප්‍රේක්‍ෂකයාගේ කුකුස වඩවති. කට කතා වලටද සමාජයේ ලොකු ඉඩක්‌ විවෘතව ඇත. සමහරු කියන්නේ "ගින්නක්‌ නැතිව දුමක්‌ නගින්නේ නැහැ" කියාය. පිම්මක්‌ ගැන සිතමින් සිටින අය ගැන මිස පිම්මක්‌ ගැන වගක්‌වත් නැති අය ගැන කටකතා නොහැදෙතැයි ඔවුන් අදහති. ඒ අය ගැන ප්‍රේක්‍ෂකයා සිතන්නේ "ආසයි බයයි" කියාය.

"ආසයි බයයි" යනු මාතර නිල්වලා ගඟේ සෙනඟ ප්‍රවාහනය කළ බෝට්‌ටුවක නමකි. බෝට්‌ටු සවාරියක්‌ යන්නට සමහරු ආසය. ඒත් බයය. කෙසේ වෙතත් බෝට්‌ටුවට ඒ නම දමා තිබිණි. බය කෙසේ වෙතත් ආශාව ගැන පමණක්‌ සිතූ එක්‌තරා පිරිසක්‌ එක්‌ වෙසක්‌ පෝය දිනක රාත්‍රියේ වෙසක්‌ සඳ පායා තිබියදී එම බෝට්‌ටුවේ නැග ආශාව ඔස්‌සේ ගිය ගමනකදී ආපසු පැමිණියේම නැත.

ඒ නිසා බොහෝ දෙනෙක්‌ ඉන් පසු "ආසයි බයයි " නමට පවා බයය. ඒ අයුරින් මේ පැනිල්ලට සමහරු ආසය. මහින්දට බයය. විපක්‍ෂයේ අයත් දේශප්‍රේමීන් වෙන්නට පනින් ආසය. නමුත් රනිල්ට බයය. තවත් සමහරු මේ බය පසෙක තබා ඕනෙ එකක්‌ වෙත්දෙන් කියා පනින්නේ ඇස්‌ දෙකද පියාගෙන ය.

අතීතයේත් අපේ අය පැනිලි නම් ඕනෑ තරම් පැන ඇත. එහෙත් පැන්නොත් පැන්නාමය. යළි ගොඩඒම අසීරුය. ඒ......... එකල පැනීම නීතිගත කර නොතිබූ නිසාය. මන්ත්‍රීවරයෙක්‌ පැන්නොත්, කරණමක්‌ ගැහුවොත් ඔහුට යළි මැති සබේ ඉඩක්‌ නැත. නමුත් මේ පැනිල්ලට නීතිමය වටිනාකමක්‌ ලබාදී ගෞරවයක්‌ ලබා දුන්නේ අපේ හිටපු අගවිනිසුරුවරයෙකි. එතුමා දුන් අවසරය නිසා අද මේ අඩව් කස්‌තිරම්කරායෝ සමහරු දක්‍ෂයෝ වෙති. සහමරු දේශප්‍රේමීහු වෙති. සමහරු අදක්‍ෂයෝ වන බවද ඇත්තකි. ඒත් ඒ සැවොම නිසැකවම ක්‌ෂණයකින් කෝටිපතීන් වන බව පමණක්‌ නම් සමහරු කියති. කව්රු එසේ කීවත් ඒ ඉර්සියාවට කියන කතා අපේ බුද්ධිමත් ප්‍රේක්‍ෂකයෝ නම් විශ්වාස නොකරති. කොහොම වෙතත් එම පැනිල්ලට නිසි වටිනාකමක්‌ ලබා දුන් ඒ කීර්තිමත් "නීති උත්තමයාගේ" පිළිරුවක්‌ පාර්ලිමේන්තුවට යන ජයන්තිපුර වටරවුමේ මැද හෝ ඊට යාබද රණවිරු ස්‌මාරකය ළඟ තනා ඊට ජනතා උපහාර පැවැත්වීමට ඉඩ කඩ සලසා දිය යුතු යෑයි ප්‍රේක්‍ෂකයෝ කියති.

දවසින් දවස උණුසුම් වන මහින්ද මෛත්‍රී සටන තුළ ප්‍රේක්‍ෂකයෝ පුල පුලා බලාසිටින්නේ ජවනිකාවෙන් ජවනිකාව උණුසුම් කරවන සටන් එන තුරුය. දේශපාලඥයින්ගේ සටන් පෙරමුණ පැමිණ දෙපැත්තෙන් දැන් පැල් කවි කියන්නට පටන් ගෙන සිටිති. සමහරු සිංදු කෑලි කියති. තවත් සමහරු උපහැරණ කතා කියති. තවත් අය බණ කියති.

දයාසිරි ජයසේකර කවදත් සිංදු කියන්නට දක්‍ෂය. .ඔහු පැනිලි දන්නේම නැති කෙනෙකු සේ පනින රිලවුන්ට වැට බඳිමින්, බාධක ඇති කරමින් "සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා- හිතේ ඇති දේ කවුද දන්නේ කියන්ට විමසා" යනුවෙන් සිංදු කියන විට ප්‍රේක්‍ෂකයාට තව තවත් ජොලිය.

රාජිතලා මෛත්‍රිලා කියන කතාවලට ප්‍රේක්‍ෂකයා සිතන්නේ මේ අය මෙච්චර කල් සිටියේ කොහිද කියාය. තිස්‌ස අත්තනායකගේ කතා අනුව එක්‌කෝ ඔහු මෙපමණකල් නිදා සිට හදිසියේ අවදි වූ අයෙකි නැත්නම් සිහිනෙන් බයවූ අයෙකි කියා සිතන්නේ මා නම් නොව, ප්‍රේක්‍ෂකයෝය.

මේ සියල්ලට වඩා ප්‍රේක්‍ෂකයෝ සිනාවෙන්නේ මේ රටේ "ජෝතියෝ" කියන කතාවලටය. ප්‍රේක්‍ෂකයන්ගේ භාෂාවෙන් ජෝතියෝ යනු ජ්‍යොතිශාස්‌ත්‍රඥයෝය. ඔවුන් මේ රටේ නමගිය අනාගත වාක්‍ය කරුවන් බව සමහර ප්‍රේක්‍ෂකයෝ පිළිගනිති. සමහරු කියන්නේ තමන්ගේ වාසියට හොඳට පරිසරය බලා කතා කරන "ලෝකබොරුකාරයෝ" කියාය. මා නම් එය එසේම නොකියමි. මා දන්නේ ඔවුහු කනට කර පුද්ගලිකව එකක්‌ කියා ප්‍රසිද්ධියේ රූපවාහිනි තිරයේ තව එකක්‌ කියන අය බව පමණකි.

මේ වෙලාවේ මේ රටේ සංවේදීම පිරිසක්‌ යෑයි කියන කලාකරුවන් කුමක්‌ කරන්නෙ ද කියා බලා ගන්නට අප මැද සාලේ ප්‍රේක්‍ෂකයෝ කැමැතිය. එහෙත් කලාකාරයෝ සොයා ගන්නට නැත. පසුගිය දිනක දෙන්නෙක්‌ පමණක්‌ එක්‌තරා නාලිකාවක සංවාදපිටියකට පැමිණියහ. එහෙත් දෙන්නාම එක පැත්තේය. කතා කළේ ජනාධිපති මහින්දට එරෙහිවය. ඔහුගේ වැඩවලට එරෙහිවය .පවුලට එරෙහිවය. ඒ වෙලාවේ එක්‌ අයෙක්‌ කතා කළේ "මම එදා ඉඳලම මහින්දට කැමති නෑ" කියා පුද්ගලික මතයක්‌ ගැනය. මේ මොහොතේ සමහර ප්‍රේක්‍ෂකයෝ කලබල වූයේ අවුරුදු 10 ක්‌ම ජනාධිපති මහින්දගේ රජයෙන් කමින් බොමින් කලා කොන්ත්‍රාත්තු කරමින් යෙහෙන් වැජඹෙමින් කලාවම විකුණාගෙන කමින් ජීවත්වූ එක්‌ කලා කරුවෙක්‌වත් මේ සංවාදවලට නැද්ද කියාය.

සමහර ප්‍රේක්‍ෂකයෝ මේ වෙලාවේ හරි අපුරු කතා කීහ. "හා......හා.......ඒ අයට බනින්න එපා. ඒ අය මේ වෙලාවේ රියසෙල් කරනවා ඇති. ජනාධිපතතුමාගේ පදවි ප්‍රාප්තිය වෙලාවේ නෙලුම් පොකුණේ පෙන්නලා ජනාධිපතිව පිළිගන්න... ජාතික අභිමානය ඔප්නැංවෙන නාට්‍යමය පිළිගැනීමේ නාට්‍යයක්‌ හදනවා ඇති.

මොනවා.... ඒ මොන ජනාධිපතිව පිළිගන්නද? තවත් සමහරු ඇසූහ.

කවුරු වුණාම මොකද... පිළිගන්නේ ඊළඟ ජනාධිපතිවනේ. සංවේදී කලාකරුවෝ වුණාම වැඩ කරන්න ඕනෑ එහෙමනේ... ප්‍රේක්‍ෂකයෝ කියති.

මේවා ප්‍රේක්‍ෂකයෝ කියන කතාය. මට හිතෙන ඒවා නම් නොවේය. මා ගැන සැකයක්‌ වී නම් ප්‍රේක්‍ෂකයාගෙන්ම ඔබට එය අසා දැන ගත හැක්‌කේ ඔබද ප්‍රේක්‍ෂකයෙක්‌ වන නිසාය.

බුලිත ප්‍රදීප් කුමාර

Post a Comment

0 Comments