සමකාලීන ආගමික හා දාර්ශනික මතවාද වලින් වියුක්තව බුදුන් වහන්සේ ඉදිරිපත් කළ දාර්ශනික අදහස් සොබා දහම හා අතිශය සුසංයෝගවීම, උන් වහන්සේගේ ධර්මයෙහි දැකගත හැකි මහත් වූ සුවිශේෂතාවයකි. හේතුඵලවාදීව කරුණු විග්‍රහ කළ බුදුන් වහන්සේගේ දර්ශනය, අතක්කාවචර විය.
අංග අටකින් යුතු මධ්‍යම ප්‍රතිපදාව තුළින් සියලු කෙළෙසුන් සිඳ සසර පැවැත්ම නවතා, යථාර්ථය තම තමා විසින්ම විධිමත් කිරීම, ස්වාධීනව තම නුවණ මෙහෙයවා අවබෝධ කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වාදීමත්, සියලු නිර්මාණවාදී ඉගැන්වීම් ප්‍රතික්ෂේප වන අයුරින් චතුරාර්ය සත්‍ය ධර්ම කිසිවකුට අසත්‍ය කළ නොහැකි වන සේ දේශනා කිරීමත් විශේෂ වේ.
මේ අනුව බුදුන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවර සකස් වූයේ මිනිසාගේ ජීවත්වීම (පැවැත්ම) හා සසර ගමන නැවැත්වීම (නැවැත්ම) යන විෂය කේන්ද්‍ර කරගෙනය. පැවැත්ම තුළින් මානව ධර්මතා වර්ධනයට අවශ්‍ය කුසලතා ඇති කර ගැනීමත්, නැවැත්ම තුළිස් සසර රඳා පවතින අදක්‍ෂතා දුරුකර ලීමත් සාකච්ඡා කරන ලදී. මේ නිසා ඉල් පුර පසළොස්වක දා ඇරඹි ධර්මදූත මෙහෙවර මෙම විෂය ද්විත්වය කේන්ද්‍රකරගෙන ආරම්භ කරන ලද සුවිශේෂ ශාසනික ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දිය හැකි ය.
මෙම සුවිශේෂ ශාසනික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් වහන්සේ මෙහෙය වූ ආකාරය සමකාලීන අනෙකුත් ආගමික නායකයන් තුළින් කිසිසේත් දැකගත නොහැකි විය. එහිදී උන්වහන්සේ තුළ, කණ්ඩායමක් මෙහෙයවන, විශිෂ්ට කණ්ඩායම් නායකයකුගේ විශිෂ්ට නායකත්ව ලක්‍ෂණ රාශියක් දැකගත හැකි විය.
“මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස, චාරිකාවේ හැසිරෙන්න. එක් මඟකින් දෙදෙනෙක් නොයන්න. මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත වූ, යහපත්කම ගෙන දෙන බ්‍රහ්ම චර්යාව ප්‍රකාශ කරන්න. මහණෙනි මම ද උරුවෙල් දනව්වේ සේනානි නියම් ගමට දහම් දෙසනු පිණිස යමි”......(මහාවග්ග පාලි 1.42 පිට බු.ජ.මු)
ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය සඳහා මෙහෙයවීම පිණිස බුදුන් වහන්සේ ප්‍රකාශ කළ උක්ත ප්‍රකාශනය තුළ ව්‍යාපෘති ක්‍රියාවලියක නිරතවීමේ දී අනුගමනය කළ යුතු මූලික පියවර ගණනාවක් දැකගත හැකි වේ.එනම්,
01. අරමුණ හඳුනා ගැනීම.
02. ඉලක්ක කණ්ඩායම් හඳුනා ගැනීම.
03. ප්‍රජාවට හිතකර ලෙස ක්‍රියාත්මක කිරීම.
04. බිම් මට්ටමින් ආරම්භ කිරීම.
05.ක්‍රමානුකූලව ව්‍යාප්ත කරලීම.
06. සීමිත මානව සම්පත් ඵලදායී ලෙස භාවිත කිරීම.
07. සරලව, පියවරෙන් පියවර කාර්යය ඉදිරියට ගෙන යාම.
08. ව්‍යාපෘති කළමනාකාරීත්වය සක්‍රීයව ක්‍රියාවලිය සඳහා දායක වීම. යනාදිය එම ප්‍රකාශනය තුළින් පැහැදිලිව අර්ථවත් වෙයි.
මූලිකවම ධර්ම දූත මෙහෙවරෙහි යෙදිය යුතු වන්නේ කුමක් සඳහා ද යන්න ඉතා පැහැදිලිව බුදුන් වහන්සේ පෙන්වා දෙන සේක. බොහෝ ජනයාට හිත සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, අර්ථය පිණිස, හිත පිණිස (බහුජන හිතාය, බහුජන සුඛාය, ලොකානු කම්පාය අත්ථාය හිතාය) මේ කාර්යයෙහි යෙදිය යුතු බව, උන්වහන්සේ පෙන්වා දෙන සේක.
ඒ අනුව ධර්ම ප්‍රචාරයෙහි මූලික අභිලාෂය වන්නේ ජනයා සසර දුකින් මුදා ගැනීම යි. ඒ අභිප්‍රාය ඉටු කර ගැනීම උදෙසායි, බුදුන් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේ ක්‍රියා කරනු ලබන්නේ. එසේ නොමැතිව සංඛ්‍යාත්මකව පුද්ගල සංඛ්‍යාව වැඩිකරගෙන තමන්ගේ දහමම ජනපි‍්‍රය දහම කර ගැනීමේ පරමාර්ථය බුදුන් වහන්සේ තුළ හෝ භික්‍ෂූන් වහන්සේ තුළ හෝ නොවීය. ඒ අනුව නිස්සරණාධ්‍යාශයෙන් ක්‍රියා කරන්නේ, ලෝකයා සුවපත් කිරීමේ උතුම් අරමුණ තම සිත් සතන්වල ගැඹුරින් තැන්පත් කරගෙන ය. එය තමාගේත්, අන්‍යයන්ගේත් හිතසුව පිණිස හේතු වන බව මනාව ප්‍රත්‍යක්‍ෂ කරගෙන ය. ඒ නිසා මෙම අරමුණ සමකාලීන ආගමික ප්‍රචාරණ හා සැසඳීමේ දී සුවිශේෂී බවක් ගනියි.
සදහම් දෙසීම කා වෙනුවෙන් කළ යුතු වන්නේ ද යන්න පිළිබඳ ද ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට බුදුන් වහන්සේ අවබෝධයක් ලබා දෙන සේක. එහිදී දේව හා මානව ප්‍රජාව (දේව මනුස්සානං) ප්‍රධානම ඉලක්කගත කණ්ඩායම් ලෙස දක්වයි. මෙම කණ්ඩායම් දෙක කේන්ද්‍රීය කණ්ඩායම් බවට පත්කර ගැනීම තුළින් ධර්ම දූත මෙහෙවර ඉතා පෘථුල අරමුණකින් යුතු ක්‍රියාදාමයක් බව තහවුරු වේ.
ඒ තුළින් සමකාලීන ආගමික නායකයන්ගේ අභිප්‍රාය අභියෝගයට ලක් කිරීමක් ද දැකිය හැකි ය. එසේ වන්නේ ඔවුන්ගේ ධර්ම ප්‍රචාරය තුළ මෙවැනි පරමාර්ථයක් දැකගත නොහැකි හෙයින් ය. ඒ නිසා ධර්ම ප්‍රචාරය කිරීමේ දී යොදාගත් ඉලක්ක කණ්ඩායමද ඉතා සුවිශේෂ බව වටහා ගත යුතු ය.
එසේම ධර්මය ප්‍රචාරය කිරීමේ මූලික අරමුණ වූයේ, ලෝකයාට හිත පිණිස ධර්මය ප්‍රචාරය කිරීම යි. මේ නිසා දේව මනුෂ්‍ය ප්‍රජාවට හිතැතිව ඔවුන් සිරවී සිටි අවිද්‍යා අන්ධකාරයෙන් මුදාගෙන යථාර්ථය හෙළි කිරීම සිදු කළ යුතු විය.
ඒ සඳහා ග්‍රාමීය මට්ටමේ (බිම් මට්ටමේ) ජනතාවගේ සිට නාගරික ජනතාව දක්වා ක්‍රමානුකූලව ධර්මය ප්‍රචාරය කරලීමට මඟ පෙන්වන ලදී. විශේෂයෙන්ම බ්‍රාහ්මණ ආධිපත්‍යයට හසුව, දැඩි කුලවාදයෙන් පීඩනයට ලක් වූ ජනතාවකට සමාජමය වශයෙන් නිදහස ලබා දීමට අවශ්‍ය මඟ පෙන්වා දීම ද සිදු විය. සාමාන්‍ය ජනතාවගේ සමාජ අභිලාෂය වෙනුවෙන් ධර්මය ප්‍රචාරය කිරීම පිණිස බුදුන්වහන්සේ තෝරාගත් ධර්මදූත කණ්ඩායමට නාගරික ඉහළ සමාජ ජීවිත ගත කළ කුලයෙන් උසස් මට්ටමක සහ තරුණ අවධියේ සිටි මහ රහතන් වහන්සේ ඇතුළත්ව සිටීම, ඉතා වැදගත් කරුණක් ලෙස පෙන්වා දිය හැකි ය. ඒ තුළින් සාම්ප්‍රදායිකව පැවැති සමාජ මතවාද ඉතා පහසුවෙන් ඛණ්ඩනය කිරීමේ හැකියාව ද ලැබිණි.
බුදු දහම ඉතා කෙටි කාලයක් තුළ ගම් නියම් ගම් හා නගර කරා ව්‍යාප්ත කරලීම සඳහා මානව සම්පත ඵලදායී ලෙස භාවිතයට ගැනීමට බුදුන් වහන්සේ ක්‍රියා කළ ආකාරය ද අතිශය වැදගත් විය. හැට නමකට සීමා වූ මුල් ධර්ම දූත කණ්ඩායමට දෙදෙනෙක් එක මඟක නොයන ලෙස (මා එකෙන ද්වේ අගමිත්ථ) බුදුන්වහන්සේ අනුශාසනා කරන්නේ, පුළුල් පෙදෙසක් බුදු දහම ප්‍රචාරය කර බොහෝ ජනතාවකට හිත සුව සැලසීමේ කාර්යය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම පිණිස ය.
ප්‍රජාව සඳහා ධර්මය ප්‍රචාරය කිරීමේ දී එම කාර්යයද ඉතා ක්‍රමානුකූලව, මුල, මැද, අග යන අවස්ථා තුනෙහිම යහපත් ලෙස (දෙසේථ භික්ඛවේ, ආදී කළ්‍යාණං, මඡඡෙ කළ්‍යාණං, පරියොසාන කළ්‍යාණං) ක්‍රියා කරන ලෙසත්, සරලව එහෙත් යථාර්ථය ප්‍රත්‍යක්‍ෂ වන අයුරින් දහම් දෙසිය යුතු බවත් බුදුන් වහන්සේ පෙන්වා දෙන සේක.
බුදුන්වහන්සේගේ මෙම මඟ පෙන්වා දීම ධර්ම දූත මෙහෙවරෙහි යෙදුණු මහ රහතන් වහන්සේ හොඳින් අනුගමනය කළ බව, අස්සජි මහ රහතන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජකයා සම්බන්ධව ක්‍රියා කළ ආකාරයෙන් සනාථ වෙයි. බුදු දහමේ සමස්ත අදහසම සරලව එහෙත් කරුණු සහිතව එක් ගාථාවකින් දේශනා කර යථාර්ථය අවබෝධ කරවීමට උන්වහන්සේ සමත් වූහ. පියවරෙන් පියවර මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑම, ධර්ම ප්‍රචාරය කිරීමේ මූලික අපේක්‍ෂා සාධනයට අතිශය ප්‍රයෝජනවත් විය.
තම ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අදාළ මඟ පෙන්වීම ලබා දීම පමණකින් නතර නොවන බුදුන් වහන්සේ, මෙම උතුම් කාර්යයෙහි තමන් වහන්සේ ද නියැළෙන බවත්, ඒ සඳහා උරුවේලාවේහි සේනානි නියම් ගමට වඩින බවත් (අහම්පි භික්ඛවේ යෙන උරුවෙලා සෙනානි නිගමො තෙනුපසංකමිස්සාමි ධම්ම දේසනායාති) සඳහන් කරන සේක. මෙමඟින් උන්වහන්සේ තම කණ්ඩායම ධර්ම ප්‍රචාරය සඳහා පෙළඹවීමත්, ප්‍රබෝධයත් ඒකීය හැඟීමත් ගොඩනැංවීමට ක්‍රියා කිරීමත් තුළින් නායකයෙකු සතු ආදර්ශවත් බව මැනවින් නිරූපණය කළ සේක. ධර්මය ඉතා ඉක්මනින් ප්‍රචාරය වීමට මෙම ක්‍රියා පිළිවෙත ද අතිශය උපකාරී විය.
මේ අයුරින් බුදුන් වහන්සේ තම ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට ලබාදුන් මඟපෙන්වීම තුළින් ප්‍රකට වන්නේ උන්වහන්සේ තුළ තිබූ විශිෂ්ට මඟ පෙන්වීමේ කුසලතාවයි. සමකාලීන වෙනත් ආගමික නායකත්වවලට වඩා උන්වහන්සේ වෙනස් ආගමික චින්තකයෙකු බව හෙළි වන්නේ, ඒ තුළිනි. බුදුන් වහන්සේ තුළ තම ශ්‍රාවක පිරිස පිරිවරමින්, ඔවුන්ගෙන් පුද සත්කාර ලබමින්, එක් ස්ථානයක රැඳී සිටිමින් සුවදායී දිවියක් ගත කිරීමේ අවශ්‍යතාව නොවිණි.
උන්වහන්සේට අවශ්‍ය වූයේ, තරුණ ආගමික ශාස්තෘවරයකු ලෙස චාරිකාවේ යෙදෙමින්, බොහෝ ජනයාගේ මෙලොව, පරලොව උභයාර්ථය සැලසීම යි. උන්වහන්සේගේ එම උතුම් අභිලාෂය සක්‍රීය කර ගැනීම සඳහා ප්‍රථම ධර්ම දූත කණ්ඩායමේ සහයෝගීත්වය ඉතා ඵලදායී ලෙස ලබාගත් ආකාරය, සසුන ඉතා ඉක්මනින් ව්‍යාප්ත වීම තුළින්ම සනාථ කර ගත හැකි ය.
අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ
අමාත්‍යාංශයේ ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ
ශාස්ත්‍රපති - උඩුබද්දාවේ අස්සජි හිමි
0 Comments