දානයෙහි පරමාර්ථය කුමක් විය යුතු ද?

දානය යනු බැඳීමෙන්, දැවීමෙන් හා මුළාවෙන් මිදෙන පහසු මඟයි. එහෙත් බොහෝ දෙනා මෙය වරදවා තේරුම් ගෙන දානය ලෞකික සැප ලබන මඟක් ලෙස භාවිතා කරනවා. ලෞකික සැප ප්‍රාර්ථනා කරමින් දන් දෙන, බොහෝ අය තමා නොදැනුවත්වම අකුසල මූලයන් හා බැඳෙන බව තේරුම් ගත යුතුයි.පින් ලබා ගත යුත්තේ ප්‍රතිග්‍රාහකයාගෙන් නොවේ. දන් දීමත් සමග ඔහුට පින් ලැබී ඇත. දානය පිළියෙල කිරීම, පිළිගැන්වීම පසුව එය මෙනෙහි කිරීම යන අවස්ථා තුනේදීම දායකයාගේ මනස පිනින් පෝෂණය වෙයි. එය ප්‍රතිග්‍රාහක පාර්ශ්වයෙන් ඉල්ලාගත යුතු හෝ ලබාගත යුතු දෙයක් නොවේ.

දානය යනු විවිධ ක්‍ෂේත්‍ර යටතේ විවිධ අර්ථකථනවලට ලක් කළ හැකි පොදු මාතෘකාවකි. කෙටියෙන් අර්ථ දැක්වුවහොත් දානය නම් දීමයි. තමන් සතු යමක් තවත් අයෙකුට පිරිනැමීම දානයයි. බුදුබව ප්‍රාර්ථනා කරන බෝසත්වරු දානය පාරමිතාවක් ලෙස පූරණය කරති. දැහැමි රජවරු දානය රාජධර්ම අතර පළමුවැන්න ලෙස ක්‍රියාත්මක කරති. බුදුදහමේ දාන වර්ග තුනක් හඳුන්වා දෙයි. එනම් ආමිස දානය, අභය දානය, ධර්ම දානය යනුවෙනි. මෙයින් ප්‍රධාන වන්නේ ධර්ම දානයයි.

අද සමාජය තුළ දානය යන්නෙන් අදහස් කරන්නේ භික්ෂූන් වහන්සේ විෂයෙහි පිරිනමන ආහාරපාන ආදියයි. සංඝරත්නයට දානය පිරිනමන ආකාර දෙකක් බුද්ධ කාලයේ සිටම පැවතුණි. එනම් පිණ්ඩපාතයේ වඩින භික්ෂූන් වහන්සේට දානය පූජා කිරීම හා උන්වහන්සේ නිවසට වැඩම කරවා දානය පිළිගැන්වීමයි. මෙයද අතීත අනාගත වර්තමාන යන කාලත්‍රයවර්තී මහා සංඝ රත්නයට සංඝගත දක්ෂිණාවක් ලෙසින් පූජා කළ හැකිය. එයින් මහත්ඵල මහානිසංස ලබාගැනීමට හැකියැයි බෞද්ධයෝ විශ්වාස කරති. දන් දීමෙන් පින් ලැබීමට හේතු සාධක වන්නේ ලෝභය, ද්වේශය, මෝහය යන අකුසල මූලයන් යටපත් කිරීමට හැකිවීමයි.

යම් ධනයක් පුද්ගලයා සතුව පවතින විට එහි ප්‍රමාණයේ හැටියට මෙම අකුසල මූලධර්ම හිත තුළ උපදිනවා. ලෝභය මගින් ධනය හා වස්තුව වෙත සිත බැඳ තබන අතර ද්වේශය මගින් එහි අයිතිය පිළිබඳ පැන නගින අභියෝග සමග ගැටීමක් ඇතිවෙනවා. තරහව, කෝපය, වැනි දූෂිත තත්ත්වයක් හිත තුළ පැවතීමෙන් තමා සතු වස්තූ®න් අන්සතු වීම පාලනය කරගත හැකි වෙනවා.

එසේම ධනය ලැබෙන තරමට හිතට උරුමවන මූලධර්මයක් වන්නේ මෝහයයි. මෝහයේ ස්වභාවය වන්නේ මනස මුළාවට පත් කිරීමයි. යථාර්ථය වසන්කොට සත්‍ය දර්ශනයක් ඇති නොවන පරිදි මිත්‍යාව දෙසට සිත යොමු කරන්නේ මෝහයයි. මෙම ත්‍රිවිධ අකුසල මූලයන් ධනවතුන්ගේ සිත් මුලාවට පත් කිරීම ස්වභාවයයි. නමුත් නැණවත් ධනවතුන් යථාර්ථය හඳුනාගෙන මෙම පාප මූලයන්ට ගැති නොවීමට වග බලාගන්නවා. දානය නමැති උතුම් ප්‍රතිපදාවෙන් මෙම අකුසල තත්ත්වයන් මර්දනය කොට සසරින් මිදීමේ කුසලතාව වර්ධනය කරගත හැකි බවයි දහමෙන් උගන්වන්නේ ය.

එසේ නම් දානය යනු බැඳීමෙන්, දැවීමෙන් හා මුළාවෙන් මිදෙන පහසු මඟයි. එහෙත් බොහෝ දෙනා මෙය වරදවා තේරුම් ගෙන දානය ලෞකික සැප ලබන මඟක් ලෙස භාවිතා කරනවා. ලෞකික සැප ප්‍රාර්ථනා කරමින් දන් දෙන, බොහෝ අය තමා නොදැනුවත්වම අකුසල මූලයන් හා බැඳෙන බව තේරුම් ගත යුතුයි.

සමහර ස්වාමීන් වහන්සේ දන්දෙන පින්වතුන් සතුටු කරනු පිණිස මනස්කාන්ත ලෙස පින් වාක්‍ය සකස් කරගෙන දේසනා කරති. මේ පින් වාක්‍යයේ ආකර්ශනයෙන් අමන්දානන්දයට පත්වෙන වත්මන් බෞද්ධයන්ගෙන් ඇතැමෙක් දන් දීමෙන් අනතුරුව පින් ලබාගැනීම අනිවාර්ය කොට සලකති.

පින් ලබා ගත යුත්තේ ප්‍රතිග්‍රාහකයාගෙන් නොවේ. දන් දීමත් සමග ඔහුට පින් ලැබී ඇත. දානය පිළියෙල කිරීම, පිළිගැන්වීම පසුව එය මෙනෙහි කිරීම යන අවස්ථා තුනේදීම දායකයාගේ මනස පිනින් පෝෂණය වෙයි. එය ප්‍රතිග්‍රාහක පාර්ශ්වයෙන් ඉල්ලාගත යුතු හෝ ලබාගත යුතු දෙයක් නොවේ.

ඇතැමුන් වැඩියෙන් පින් ලබා ගැනීමට සිතා දන් දීමට සිල්වතුන්ම සොයති.

යෝ සීලවා දුස්සීලේසු දදාති දානං
ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ
අභිසද්දහං කම්මඵලං උළාරං
සා දක්ඛිණා දායකතො විසුජ්ඣති

යම් සිල්වතෙක් මහත් වූ කර්මඵලය විශ්වාස කරමින් දැහැමින් ලැබූ වස්තුව පහන් සිතින් දුශ්ශීලයන්ට දේ නම් ඒ දායකයාගේ ගුණය නිසා මහත්ඵල වේය’ යනු එම ගාථා පාඨයේ අදහසයි. එසේම මෙම කරුණ මෙසේද සඳහන් වෙයි.

යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දානං
අධම්මේන ලද්ධං අප්පසන්න චිත්තෝ
අනභිසද්දහං කම්මඵලං උලාරං
සා දක්ඛිණා පටිග්ගාහකතෝ විසුජ්ක්‍ධති

යම් දුශ්ශීලයෙක් මහත් වූ කර්මඵලය ගැන විශ්වාසයක් නොතබමින් අප්‍රසන්න සිතින් අධර්මයෙන් ලැබූ දෙය සීලවන්තයාට දේ නම් ඒ දානය ප්‍රතිග්‍රාහකයන්ගේ ගුණය නිසා මහත්ඵල වේ.

මෙයින් පෙනීයන වැදගත් කරුණක් නම් දන්දීම සඳහා සිල්වතුන්ම අවශ්‍යවන්නේ දුශ්ශීල දායකයාට බවයි. දායකයා දුශ්ශීල වූවත් දානය ලබන ප්‍රතිග්‍රාහකයන් වහන්සේ සිල්වත් බැවින් මහත්ඵල ලබාගත හැකි බවයි.

දානමය පින්කමක් සඳහා සූදානම්වන දායකයා පළමුව කළයුත්තේ යම් සීලයක පිහිටා සිල්වතෙකු වීමයි. එවිට එම දානය පූජා කරනතුරුම සෑම ක්‍රියාකාරකමක්ම ඔහුට පින් පිණිස හේතු වෙයි.

මහබෝසතාණන් වහන්සේ අඹුදරුවන් දන් දුන්නේය. යශෝදරා වැනි පින්බර අඹුවන් ලැබීමට හෝ රාහුල වැනි සුපින්බර දරුවන් ලැබීමට හෝ පතාගෙන නොවේ. එකම පැතුම වූයේ අඹුදරු සෙනෙහස බුදුබව ලැබීමට බාධකයක් නොවේවා යන්නය. ඇස්, ඉස්, මස්, ලේ දුන්නේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණ සහිත රූප ශෝභාව පතාගෙනද නොවේ. ධනය දන් දුන්නේද සතර මහා නිධාන පතා නොවේ. එහෙත් එකී සම්පත් තමන් වහන්සේ වෙත ලැබුණේ පින්ඵල ලෙසටයි.

එසේම එම සම්පත් කෙරෙහි ලෝභයෙන් වෙළෙන්නට හෝ ද්වේෂයෙන් දැවෙන්නට හෝ මෝහයෙන් අන්ධවීමට හෝ සිදු නොවන තරමට කුසල ශක්තියක් ගොඩනගාගෙන තිබුණි. ඒ පාරමිතා බලයයි. අපිදු දානයකින් ප්‍රාර්ථනා කළයුතු වන්නේ ලෞකික සැප නොව සසරට බැඳ තබන තණ්හා රැහැන් පට බිඳිය හැකි කුසලතාවයකි.

කුරුණෑගල විසුද්ධායන මහ පිරිවෙනේ ආචාර්ය
ශාස්ත්‍රපති - වික්‍රමසිංහ අතපත්තු

Post a Comment

0 Comments