බුදු වදන හෙළි කළ සසර තතු

දුක, සැමදා, සැම තැනටම පොදු වූ ධර්මතාවයක් මිස, එක් කාලයකට, එක් රටකට, එක් ජන කොට්ඨාශයකට හෝ එක් වයස් සීමාවකට සීමා වූවක් නොවෙයි. ලොව සැප ඇති නමුත්, ඒවා වෙනස්වන සුළු බවත්, වැඩිපුරම ඇත්තේ දුක බවත් පෙන්වා වදාළහ. එය, ලොව යථාර්ථය පෙන්වාදීමකි. එසේ නොමැතිව එය, මිනිසා බියට පත්කරවන තත්ත්වයක් මවාපෑමක් නොවේ. මේ තත්ත්වය, මැනවින් අවබෝධ කර ගෙන, ක්‍රියාත්මක වීමෙන්, සැනසිලිදායක ලෞකික ජීවිතයක් ගත කිරීමටත් පරලොව සුගතිය ලබා ගැනීමටත් හැකිවනු ඇත.

භාග්‍යවතුන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලේ සසර සැරිසරමින් අවබෝධ කර ගත් සසර දුක නිවීමට හේතුවන අවබෝධය වන චතුරාර්ය සත්‍ය අතරින් පළමුවැන්න දුක්ඛ සත්‍යයයි. සසර පුරා පවතින මේ දුක කුමක්ද යන්න, විග්‍රහ කරමින්, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා, ව්‍යාධි පි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං කලහති තම්පි දුක්ඛං, සංඛිත්තෙන, පංචුපාදනක්ඛන්ධා දුක්ඛා’

ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩ දුක් වැළඳීම, මරණය අපි‍්‍රයයන් හා එක්වීම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, තමන් කැමැති දේ නොලැබීම, කෙටියෙන් සළකනවිට උපාදානක්ඛන්ධ පහම දුක ය.

දුක යන්න මේ අන්දමට අංග අටකින් විග්‍රහ කරනු ලැබ ඇති අතර, පංචුපාදානස්කන්ධය අටවැනි කරුණ ලෙස දැක්වෙයි. මෙහිදී භාග්‍යවතුන් වහන්සේ අන්‍ය කිසිම කරුණක් නැතත්, දුක්ඛ සත්‍යය යනු පංච උපාදානස්කන්ධය යැයි දේශනා කළේ නම් එයද ප්‍රමාණවත් බව උගත්තු දක්වති. ඒ අන්‍ය සියලු කරුණු ද එහි ඇතුළත්ව ඇති බැවිනි. පංච උපාදානස්කන්ධයෙන් තොරව අන්‍ය දුක් හට නොගනියි. උපාදාන නම් අල්ලා ගැනීම ය. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යනුවෙන් වූ ස්කන්ධ පහකි. මෙකී ස්කන්ධ පහ තෘෂ්ණාවෙන් හා වැරැදි දැකීමෙන් ග්‍රහණය කර ගැනීම උපාදානස්කන්ධ වේ. තම රූපය කෙරෙහි ආශා කරමින් මගේ මේ රූපය මට අයිති, සැමදාම පවතින කිසිදා වෙනස් නොවන දෙයක් ලෙස වැරැදි දෘෂ්ටියෙන් අල්ලා ගැනීම, රූප උපාදානස්කන්ධය යි. මේ අන්දමට වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ ද තෘෂ්ණාවෙන් හා වැරැදි දැකීමෙන් ග්‍රහණය කර ගත් විට උපාදානස්කන්ධ වෙති. සියලු දුක් දොම්නස්වලට මූලික වන්නේ මෙසේ වූ පංච උපාදානස්කන්ධ බව වදාළහ. මෙහිදී විශේෂයෙන් අවබෝධ කර ගත යුතු වන්නේ දුකක් වන්නේ උපාදානස්කන්ධ විනා ස්කන්ධ පහ නොවන බව ය. රහතන් වහන්සේට ස්කන්ධ පහ ඇතත් පංච උපාදානස්කන්ධ හට නොගනී. ඒ රූපාදී ස්කන්ධ පහ පිළිබඳ ආශාවක්, තෘෂ්ණාවක්, වැරැදි දැකීමක් උන්වහන්සේ තුළ නැති බැවිනි.

මෙතෙක් සාකච්ඡා කළ පංච උපාදානස්කන්ධ දුකක් බව පැහැදිලි කර දෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී විස්තරයෙනි. ‘ජාති’ නම් නැවත නැවත ඉපදීම ය. එනම් මනුෂ්‍ය ලෝකයේ හෝ තිරිසන් සතකු ලෙස හෝ ආදී වශයෙන් ඉපදීම යි. එසේ ලබන සෑම උත්පත්තියක්ම නොයෙක් නොයෙක් දුක් උරුම කර දෙයි. මෙලොව උත්පත්තියට පෙර මව්කුස පිළිසිඳ ගත් දිනයේ සිට මහා දුක් කන්දරාවකි. උත්පත්තියෙන් පසු රෝගී වීම, විවිධ බාධක එල්ලවීම, ජරාවට පත්වීම, මරණය ආදියට මුහුණ දීමට සිදු වන අතර ඉන් ජනිත වන්නේ විශාල දුක් කන්දරාවකි. මේ සෑම දුකකටම මූලික වන්නේ ඉපදීම ය. ඒ අනුව ඉපදීම දුකක් බව පැහැදිලි ය. එසේ උපත ලබන මිනිසා දිනෙන් දින මෝරා වැඩී වයසට පත්වෙයි. මහලුවෙයි. කළුකෙස් සුදු වෙයි. හම රැළි වැටී අතපය වාරු නැති වෙයි. විවිධ රෝගාබාධ ආදියට ලක්වෙයි. මෙය, ජරා යනුවෙන් හැඳින්වෙයි. මෙසේ මහලුව ජරාවට පත්ව අකර්මණ්‍ය තත්ත්වයට පත්වීම දුකක් බව පැහැදිලි කර වදාළහ. විවිධ රෝගාබාධ වැළඳීම, ගිලන්වීම, ව්‍යාධියයි. විවිධ ලෙඩ රෝග වැළඳීම නිසා ඇතිවන කායික, මානසික පීඩා දුකකි. කොතරම් බලවත්, ධනවත් අයෙක් වුවත් රෝගී වූ විට, දුබලව අසරණ වෙයි. ගිලන් වූ එම පුද්ගලයාට මිල මුදල් ඉපයීම, සමාජ කටයුතු ඉටු කිරීම, අධ්‍යාපනය ලැබීම ආදියට හැකියාවක් නැති වෙයි. මරණය මෙලොව උපත ලැබූවකුට ලැබෙන දුකකි. ආයුෂය, උණුසුම, විඤ්ඤාණය ඉවත් වූ ශරීරය කිසිම ඵල ප්‍රයෝජනයක් නැති දර ලීයක තත්ත්වයට පත් වෙයි. පුද්ගලයකු මරණාසන්න මොහොතේ පණ අදින විලාසය තුළින්, මරණය දුකක් වන අන්දම අවබෝධ කර ගත හැකි ය.

තමා අකැමැති, අපි‍්‍රය පුද්ගලයන් හා වස්තූන් සමඟ එක්වීම, මානසික පීඩා ගෙන දෙමින් දුක උපදවයි. ඊට සමගාමීව අකැමැති, අපි‍්‍රය ශබ්ද දේශනා ආදිය ශ්‍රවණය කිරීමට සිදුවීම ද දුක උපදවයි. මෙය, අපි‍්‍රය සම්ප්‍රයෝග දුක ලෙස බුදු දහම පෙන්වා දෙයි. තමා පි‍්‍රය කරන, ආශා කරන පුද්ගලයන්ගෙන්, පරිසර වලින් හා වස්තූන්ගෙන් ඉවත්වීමට සිදුවුවහොත් ඉන් ඇතිවන්නේ පි‍්‍රය විප්‍රයෝග දුක ය. සෑම කෙනෙක්ම තමා කැමැති පුද්ගල ඇසුර ලබමින්, තමා කැමැති පරිසරයක ජීවත්වීමටත් තමා කැමති වස්තූන් පරිහරණයටත් කැමැති වෙයි. එවැනි තත්ත්වයක් තුළින් ඉවත්වීමට සිදුවුවහොත් ඇතිවන්නේ දුකකි. අනිකක් තබා, තමා ඇලුම් කරන පුද්ගලයකුගෙන් සුළු කලකට හෝ වෙන්ව යෑමට සිදුවීම, ඉතා ආදරයෙන් රැක ගත් දෙයක් නැතිවීම, සොරුන් විසින් පැහැර ගැනීම ආදී අවස්ථාවලදී ගෙන දෙන වේදනා දුක්, මොනතරම් බරපතල ද? මේ අනුව, පි‍්‍රය විප්‍රයෝගය දුකක් බව වටහා ගත හැකි ය.

පෘථග්ජන මිනිසා කාම වස්තූන්ගෙන් ලැබෙන ආශ්වාදයට වසඟවීම නිසා ඒවා හැකිතරම් තමා සතු කර ගැනීමට උත්සාහ කරයි. එම උත්සාහ ආශා හා බලාපොරොත්තු ඉටු නොවුණු කළ, දුක් ඇතිවෙයි. මේ ‘යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං’ හෙවත් තමන් කැමැති දේ නොලැබීමේ දුකයි. එසේම, එක් එක් පුද්ගලයාට අදාළ පෞද්ගලික ප්‍රාර්ථනා මෙන්ම සමාජයට පොදු ප්‍රාර්ථනා ද ඇත. මා ජරාවට, රෝගා පීඩාවන්ට පත් නොවේවා, මරණයට පත් නොවී බොහෝ කල් ජීවත්වීමට ලැබේවා ආදී වශයෙන් ඒවා දැක්විය හැකි ය. කෙතරම් ප්‍රාර්ථනා ඇතත් ලෙඩ දුක් වැළඳීම, ජරාවට පත්වීම, මරණයට පත්වීම සිදුවනු ඇත. එසේ ප්‍රාර්ථනා හා බලාපොරොත්තු කඩවී යෑමෙන් ඇතිවන්නේ දුකකි.

දුක, සැමදා, සැම තැනටම පොදු වූ ධර්මතාවයක් මිස, එක් කාලයකට, එක් රටකට, එක් ජන කොට්ඨාශයකට හෝ එක් වයස් සීමාවකට සීමා වූවක් නොවෙයි. එය, ජාති, ආගම්, උස් පහත් ආදී කිසි භේදයකින් තොරව සසර ගමන ජය ගන්නා තුරු ඇති වන්නකි. එසේ නොමැතිව අමුතු තත්ත්වයක් මවාපෑමක් නොවෙයි. සමහරු, බුදුදහම දුක පමණක් කියා දෙන, සැමවිටම අමිහිරි දේ ගැන පමණක් ලොවට හඳුන්වා දෙන, අසුබවාදී දහමක් ලෙස පෙන්වාදීමට උත්සාහ දරති. එය සම්පූර්ණයෙන්ම වැරැදි අදහසකි. වැරැදි අවබෝධයකි. මිථ්‍යා දෘෂ්ටික ප්‍රචාරයකි. ලොව කිසි සැපතක් නැතැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකළහ. ලොව සැප ඇති නමුත්, ඒවා වෙනස්වන සුළු බවත්, වැඩිපුරම ඇත්තේ දුක බවත් පෙන්වා වදාළහ. එය, ලොව යථාර්ථය පෙන්වාදීමකි. එසේ නොමැතිව එය, මිනිසා බියට පත්කරවන තත්ත්වයක් මවාපෑමක් නොවේ. මේ තත්ත්වය, මැනවින් අවබෝධ කර ගෙන, ක්‍රියාත්මක වීමෙන්, සැනසිලිදායක ලෞකික ජීවිතයක් ගත කිරීමටත් පරලොව සුගතිය ලබා ගැනීමටත් හැකිවනු ඇත.

දුක, මිනිසා තුළ ඉබේට ඇතිවන්නක් හෝ කිසියම් අදෘෂ්‍යමාන බලවේගයක් මගින් ඇතිකරවන්නක් හෝ නොවෙයි. ඊට හේතු සමුදායක් බලපායි. ඒ හේතු අතරින් ප්‍රධානම ස්ථානය ගන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව නිසා මිනිසා නැවත නැවත ඉපදෙමින් සංසාරය පුරා, දුකට භාජනය වන එය අතර දුක ඉපදීමේ සැබෑ හේතුව ලෙස එය පෙන්වා ඇත. මේ අනුව දුක ඉපදීමේ ප්‍රධාන හේතුව වන තෘෂ්ණාව මැනවින් අවබෝධ කරගෙන එය දුරුකරලීම අත්‍යවශ්‍ය ය. එවිට මෙලොව සැනසිල්ල මෙන්ම පරලොව සුගතිය ද ළඟා කර ගත හැකි වෙයි.

යථාපි මූලේ අනුපද්දවෙ දල්හෙ
ජින්තොපි රුක්ඛො පුනරෙව රූහති
එවම්පි තණ්හංසයෙ අනුහතෙ
නිබ්බන්නති දුක්ඛමිදං පුනප්පුනං

මුල හොඳට ඇති කල කැපූ ගස ලියලන්නා සේ දුරු නොකළ කළ තණ්හාව ද නැවත නැවත දුක ඇති කරයි.

එස්.ඩබ්ලිව්. ගුණරත්න

Post a Comment

0 Comments