" ශෝභණ " නම් වූ සූර්‍යය සංවත්සරය සහ ලග්න පලාපල 2023

 
" ශෝභණ " නම් වූ සූර්‍යය සංවත්සරය සහ ලග්න පලාපල

රවි මේෂ පළමු භාග වූ බක් මස අව නවවක නම් වූ තිතිය ලත් කිවි දින මධ්‍ය උදයාදී පැය 22 යි මිනිත්තු 01 ට හෙවත් ව්‍යවහාරික ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 14 වන සිකුරාදා අපරභාග 02 යි විනාඩි 59 ට 


රවි හිමි සිංහ ලග්නය - රවි හිමි සිංහ හෝරාව 

රවි හිමි සිංහ දෙර්කාණය - බුධ හිමි මිතුන නවාංශකය.

ගුරු හිමි ගරිජ කර්ණය - සිකුරු හිමි සාධ්‍ය යෝගය

සඳු හිමි සුවන නැකතේ දෙවන පාදය


තත්කාල විශ්ව නක්ෂත්‍ර සඤ්ඤාව ලෙස යෙදී පැවතියදී 


ශ්‍රීමත් ශාළිවාහන ශක රාජ නූප වර්ෂ ප්‍රමාණයෙන් 1945 වැන්නේ විශ්ණු විංශතියට අයත් , විශ්ව දේව යුග පංචාභිධයෙහි , දෙවන පරිවත්සර , භේධ නාමධාරී , අර්ඛ දේවාධිපති , " ශෝභණ " නම් වූ සූර්‍යය සංවත්සරය රවි මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් සිදුවන්නේය.


මෙලෙස උදාවන " ශෝභණ " නම් වූ සූර්‍යය වර්ෂය තුළ භූමිය , මහ පොළොව සස්ශ්‍රීක වන බවත් , ගස් වැල් මල් ඵල බරවන බවත් කෙත්වතු සරුසාර වන බවත් , ස්වාභාවිකත්වය ශෝභමාණ වන බවත් , රජුත් , රජයත් රට වැසියාත් මිත්‍රභාවයට පත්වන බවත් ජ්‍යෙතිෂය වේද ශ්‍රාස්ත්‍රීය සූර්‍යය සංවත්සර ඵලාපල විස්තරය තුළ සඳහන් කරනු ලබනව. 



" ශෝභණ " නම් වූ සූර්‍යය සංවත්සර චාරිත්‍ර -


ගෙවීයන සූර්‍යය වර්ෂය සඳහා ස්නානය 


ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 12 වන බදාදා දින කොහොඹ පත් මිශ්‍ර නානු ගා ස්නානය කොට තම ඉශ්ට දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි,


පුණ්‍යය කාලය 


ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 14 වන සිකුරාදා දින පූර්ව භාග 8 යි විනාඩි 35 ට පුණ්‍යය කාලය උදාවෙයි.පුණ්‍ය කාලයට ප්‍රතම ආහාර පාන ගෙන , සියලු වැඩ අත්හැර , තම ආගමික වතාවත් වල යෙදීම මැනවි.


නව අවුරුදු උදාව


ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 14 වන සිකුරාදා දින අපරභාග 02 යි විනාඩි 59 ට රවි මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් " ශෝභණ " නම් වූ සූර්‍ය සංවත්සරය උදාවෙයි.


ආහාර පිසීම


ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 14 වන සිකුරාදා දින අපරභාග 03 යි විනාඩි 29 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී , දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළොවා , දීකිරි මිශ්‍ර කිරි බතක් ද තල සහ විළඳ මිශ්‍ර කැවිළි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.


වැඩ ඇල්ලීම - ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය


ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 14 වන සිකුරාදා දින අපරභාග 05 යි විනාඩි 05 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී , දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා , ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.


හිසතෙල් ගෑම


ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 16 වන ඉරිදා දින පූර්ව භාග 09 යි විනාඩි 41 ට රතු සහ කහ මිශ්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී , දකුණු දිශාව බලා , හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම මැනවි.


රැකී රක්ෂා සඳහා පිටත්ව යාම


ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 17 වැනි සඳුදා දින පූර්ව භාග 06 යි 28 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී , දීකිරි මිශ්‍ර කිරි බතක් හා කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා පිටත්ව යාම මැනවි.


මේෂ ලග්නය -


මෙලෙස උදාව " ශෝභණ " නම් වූ සූර්‍යය වර්ෂය මේෂ ලග්නයෙන් උපන් අය සඳහා සුභසෙත යහපත උදාවන අතර මෙතෙක් ගතකල ජීවිතයේ රටාවන් ආකාරයන් වෙනසකට ලක්වනු ඇත.අනාගතය උදෙසා ප්‍රයෝජනවත් වන කටයුතු කිහිපයක් ආරම්භ කිරීමටත් , මෙතෙක් කල කී කටයුතු තුළ සාර්තකත්වයත් ඇතිකරයි.පවුලට නව සාමාජිකයන් එක්වන අතර අවිවාහකයන් වෙත විවාහය සුදුවීමත් , විවාහකයන් හට දරුඵල ලාබ ලැබීමත් , තම දූ දරුවන්ගේ ගුණය යහපත වර්ධනයවීමත් ඇතිවෙයි.ධනය ආර්තිකය තුළ මෙතෙක් පැවතියාට වඩා වූ දියුණුවක් ඇතිකරයි.ස්තාන මාරු තනතුරු තානාන්තර ආදියට අවස්තාව සහිත අතර තම රහස් හෙළිවීමක් හෝ යම් ආකාරයක නින්දා අපහාසයකට ලක්වීමක් සිදුවිය හැක.


වෘෂභ ලග්නය -


වෘෂභ ලග්නයෙන් ජම්ම ලාබය ලැබූ ඔබහට සුභාසුභ තත්වයන් යටතේ " ශෝභණ " නම් වූ  සූර්‍යය වර්ෂය ගෙවීයනු ඇත.රැකී රක්ෂා කටයුතු තුළ යම් භාධා කාරී තත්වයක් ඇතිකරයි.තම තත්වය ගෞරවය වටිනාකමට හානිවන දේ සිදුවෙයි.තම ගුණ ධර්ම යම් පමණකින් හෝ පහත වැටීමකට ලක්විය හැක.සමාජ තත්වයන්ට හානි ඇතිකරයි.සතුරන් ඇති වීමට අවස්තාව සහිතවේ.වියදම් අධිකවිය හැක.විශ්වාස වන්තයන්ගේ මගපෙන්වන්නන්ගේ දුරස්වීමක් ඇතිකරයි.නොගැළපෙන සබඳතා හිතවත්කම් සඳහා අවස්තාව සහිත අතර නොසිතූ ගැටලු සඳහා මුහුණ දීමට සිදුවෙයි.සෞඛ්‍ය තත්වෞඅන් පිළිබඳව සැළකිළිමත්ව කටයුතු කළයුතු වෙයි.


මිතුන ලග්නය -


මිතුන ලග්නයෙන් උපන් ඔබ සඳහා " ශෝභණ " නම් වූ සූර්‍ය වර්ෂය සකළ සෙත යහපත ඇතිකරනු ඇත.තම මෙතෙක් පැවති හෝ ප්‍රමාදයට පත්ව පැවති බලාපොරොත්තු කිහිපයක් උටුකරගැනීමට අවස්තාව මෙම වර්ෂය තුළ ඇතිවෙයි.ජීවිතයේ වටිනා දේ ලබනු ඇත.කළ කී දේ තුළ යහපත , වටිනාකම , සුභසිද්ධිය ඇතිවෙයි.පවුලට , සාමාජිකයන්ට යහපත්වේ.අවිවාහකයන් හට මංඟළ යෝග උදාවේ.දියුණුව සඳහා ධන යෝග උදාවේ.සමාජීය පිළිගැනීම උසස් වෙයි.යහපත් වූ හිතමිත්‍ර සබඳතා සඳහා අවස්තාව සහිත අතර රෝග දුක් තුරන්කර නිරෝගී භාවයට පත්වීමට මෙම සූර්‍යය වර්ෂය තුළ මිතුන ලග්න හිමියන් හට අවස්තාව උදාවනවා ඇත.


කටක ලග්නය - 


කටක ලග්නයෙන් උපන් ඔබ සඳහා මෙම සූර්‍යය වර්ෂය එතරම් ගුණ වටිනාකම් ඇති නොකරනු ඇති අතර බාධක අවහිරතා සහිත කාලයක් වෙයි.උත්සහයේ ප්‍රතිඵලය සාර්තක කරගැනීම අමතර  උත්සහයක් වෙහෙස මහන්සියක් දැරීමට සිදුවෙයි,නිවස , ගෙදර දෝර සහනය සැනසීම අවම අතර තමාගේ වටිනාකම් සහ භෞතිකමය වටිනා දේ පිරිහීමට පරිහානියට හේතු සහිත වෙයි,සියලු දේ ආරක්ෂා කරගතයුතු වෙයි.සොර සතුරු බිය , නීතිමය බිය , ප්‍රධානීන් පිළිබඳව වූ බිය ඇති කරයි.රැකී රක්ෂා කටයුතු බාධක වනු ඇත." ශෝභණ " නම් වූ සූර්‍යය වර්ෂය අභියෝග සකසා දෙනු ඇති අතර කායික මානසික සෞඛ්‍ය යහපැවැත්මද නිසි ලෙස පවත්වා ගනිමින් , අභියෝගයට සාර්තකව මුහුණ දීමට ඔබට හැකිවේවායි ! ජීවිතය තුළින් අපද , මෙලෙස සුභ ප්‍රාර්තනා කරන්නෙමු.


සිංහ ලග්නය - 


සිංහ ලග්නයෙන් උපන් ඔබ ගෙවීගිය වර්ෂයට වඩා , යහපත් වූ පතිඵල ලබන සූර්‍යය වර්ෂය ලෙස  " ශෝභන " නම් වූ සූර්‍යය වර්ෂය උදාවෙයි.තමා වෙත පැවති අවහිරතා භාධා සමනයවීම සිදුවනු ඇති අතර , තමා තුළින් දුර්වල වූ වා වූ ගුණ ධර්ම වටිනාකම් නැවත වර්ධනය වනවා ඇත.මුදල් ආර්තික තත්වය වසරේ මුල් භාගය තුළ යහපත් වනු ඇති නමුත් වසරේ මැද භාගය අවසන් වීමෙන් පසුව මුදල් ආර්තික තත්වයේ හදිසි පිරිහීමක් ඇතිකරයි.රැකියා තත්වයේ දුෂ්කරතාවයන් ඇතිවන නමුත් බාදා සහිත සාර්තකත්වයන් හිමිවනු ඇත.විවාහය පවුල් ජීවිතය , බිරිද හෝ ස්වාමියා සහකරු සම්බන්ධ තත්වයන් වෙත ගැටලු මතුකරයි.සබඳතා හිතවත්කම් බිදී යාමට අවස්තාව සහිත වෙයි.දුර බැහැර ගමන් යෙදෙනු ඇති අතර සංචාරක අවස්තා , විදෙස්ගතවීම් ආදිය සඳහා අවස්තාව උදාවෙයි,


කන්‍යා ලග්නය - 


උදාවන " ශෝභණ " නම් වූ සූර්‍ය වර්ෂය කන්‍යා ලග්න හිමියන් සඳහා එතරම් යහපත් නොවනු ඇති අතර , තම තත්වයන් ගෞරවයන් වටිනාකම් හකුළා දමන , තම දුර්වලතාවයන් කැපී මතුවී පෙනෙන කාලයකි.විස්වාසවන්තයන් දුරස්වෙයි.නොසිතූ අය සතුරු වෙයි.ගෞරවය සම්බන්ධව ගැටලු මතුවේ.චෝදනා අපවාදයන්ට ලක්වීමට අවස්තාව සහිත වර්ෂයක් වෙයි.මුලාවීම් රැවටීම් ආදියට හසුවිය හැකි අතර මගපෙන්වීම් , උදව් උපකාර ආදී වූ ආශිර්වාදයන් තමා වෙතින් දුරස් වනවා ඇත.යටපත්ව පැවති ගැටලු ප්‍රශ්ණ නැවත මතුවීමටත් , ශරීරගතව යටපත්ව පැවති රෝග දුර්වතා මතුවීමටත් අවස්තාව සහිත අතර නිසි මගපෙන්වීමද , නිසි ප්‍රතිකාරයද , උපදේශනයද තමා වෙතින් දුරස් වීමට ලක්වනු ඇත.ආරම්භ වන්නා වූ " ශෝභණ " නම් වූ සූර්‍යය වර්ෂය කන්‍යා ලග්න හිමි ඔබ ඉතා බුද්ධිමත් භාවයෙන් යුතුව කටයුතු කළයුතු වෙයි.


තුලා ලග්නය -


තුලා ලග්නයෙන් උපන් ඔබ වෙත , උදාවන්නා වූ " ශෝභණ " නම් වූ සූර්‍යය වර්ෂය සුභාශුභ මිශ්‍රඵල සහිතව ගෙවීයනු ඇත.තම ගුණ ගති වටිනාකම් වර්ධනය වන අතර මෙතෙක් පැවති ප්‍රශ්ණ ගැටලු සඳහා විසදුම් ලැබෙනු ඇත.ප්‍රමාදයට ලක්වූ කටයුතු නැවත ආරම්භ කිරීමටත් , ඒ තුළින් ලාබ ප්‍රයෝජන ලැබීමත් සහිතවෙයි.ඉගෙනීම් කටයුතු බාධා සහිතව සාර්ථකවේ.හිතමිත්‍ර සබඳතා වෙනසකට ලක්වනු ඇති අතර අවස්තාවාදී මිනිසුන් හමුවෙයි.ප්‍රේම සබඳතා තුළ විරහව වේදනාව සහිතවෙයි.විවාහයේ බිරිද සහකරු සම්බන්ධ සාධකය අපලයට ලක්වනු ඇති අතර දරුවන්ගේ කායික මානසික සෞඛ්‍ය යහපැවැත්මද , ගුණයන් වටිනාකම් ද පහත වැටීමට ලක්වේ.සමාජීය කටයුතු තුළින් දුරස්වී සිටීම යහපත් වනු ඇත.2023 ක් වූ ඔක්තෝම්බර් 30 වනදායින් ඉදිරියට වූ කාලසීමාව තුළ වඩා වැඩි යහපතක් බලාපොරොත්තු විය හැක.


වෘශ්චික ලග්නය -


වෘශ්චික ලග්නය , ජම්ම ලග්නය කරගනිමින් උපන් ඔබ හට මෙම සූර්‍යය වර්ෂය එතරම් ගුණ වටිනාකම් ඇති නොකරයි.මානසික අසහනකාරී තත්වයන් සමඟ කටයුතු කිරීමට සිදුවෙයි.ඕනෑම යමක් ප්‍රතමයෙන් සිත වෙත බලපෑම් ඇතිකරයි.කල්පනා කරන්නට දේ ඉතිරි වෙයි.නිවෙස , වෙසෙන පරිසරය අසහනකාරී වනු ඇත.කරදරයට පත්වූවන් , ප්‍රශ්ණ ගැටලු සහිතවූවන් හමුවේ.රැකියාව සම්බන්ධව බාධා ඇතිකරයි.දුෂ්කරතා සහිත , වෙහෙස මහන්සිය සහිත කාලයක් වෙයි.වියදම් ප්‍රමාණයෙන් වැඩිවෙයි.වෙනදා පැවති සැපයද , සනීපයද , වටිනාකම් ද පහත වැටීමට නියමිත කාලයකි.සතුරු සොර බිය ආදියට අවස්තාව සහිතවේ.තමා සතු දේ කැඩීමට , බිදීමට , අස්තානගතවීමට , අමතකවීමට , විකුණා දැමීමට සිදුවිය හැක.ඔක්තෝම්බරයෙන් පසු ඉදිරි කාලය තුළ නොගැළපෙන මිනිසුන්ගේ හමුවීම සිදුවනු ඇත.දරුවන් සම්බන්ධවත් , ඉගෙනීම් අධ්‍යාපනික වර්ධනය සම්බන්ධවත් අයහපත ඇතිකරයි.


ධනු ලග්නය - 


ධනු ලග්නයෙන් උපන් ඔබ වෙත " ශෝභණ " නම් වූ සූර්‍ය්ය වර්ෂය ශෝභාව , සැපය , සම්පත සමඟ සෞභාග්‍යය උදාකරනු ඇත.මෙතෙක් කරගෙන ආ කටයුතු ක්‍රියා යහපත් ප්‍රතිපල ලබාදෙන අතර දියුණුව යහපත සඳහා කටයුතු ආරම්බ වනු ඇත.ආර්තික සහනය , රැකියාවේ දියුණුව ඇතිවේ.විවාහය සහකරු යන සාධක යහපතට ලක්වෙයි.ප්‍රමාද වූ විවාහයන් යහපත් ලෙස ඉටුවනවා ඇත.ප්‍රේම සබඳතා ඇතිවීමටත් , ගුණ වටිනාකමින් තොර වූවන්ගෙන් දැන හදුනා දුරස් වීමටත් , ගුණ වටිනාකම් සහිත වූ අය හදුනා ගැනීමටත් , සබඳතා හිතවත්කම් ඇතිවීමටත් අවස්තාව ලැබෙනවා ඇත.අධ්‍යාපනික කටයුතු සාර්තක වන අතර නිසි ගුරුවරුන් සහ නිසි මගපෙන්වීම හිමිවේ.මෙතෙක් අවබෝධ කරගැනීමට නොහැකි වූ විෂයන් අවබෝධ කරගැනීමටත් , අධ්‍යාපනික මග තුළ යහපත් වෙනසක් ඇතිකරගැනීමටත් අවස්තාව සැලසේ.මෙතෙක් පැවති රෝග සෞඛ්‍ය ගැටලු දුර්වලතා සඳහා නිසි ප්‍රතිකාරයන් සමඟ සුඳුසු වෛද්‍යවරු හමුවනු ඇත.


මකර ලග්නය -


මකර ලග්නයෙන් උපන් ඔබ සඳහා මෙම සූර්‍ය වර්ෂය සුභාශුභ තත්වයන් ඇතිකරනු ඇත.ආර්තිකමය වශයන් පහත යාමක් මුල් කාලය තුළ ඇතිවන අතර වියදම් ඉහල යාමක් ඇතිවේ.රැකියාවේ අස්තාවරතාවයන් , අසහනකාරී තත්වයන් ඇතිකරයි.කාර්‍යබහුල තත්වයන් ඇතිවේ.වෙහෙසකර ගමන් බිමන් යෙදෙනු ඇත.රෝහල් ගතවීම් හෝ නීති බන්ධන ආදී තත්වයන් කර්ම සාධකය තුළ යෙදී පවතීනම් එම කර්ම ක්‍රියාත්මක වීමට පරිසරය සකස්වේ.සහනය සැනසීම දුර්වල වන අතර බලාපොරොත්තු ප්‍රමාදයට හේතු ඇතිවෙයි.විවාහය පවුල් ජීවිතයේද අසහනකාරී තත්වයන් මතුවනවා ඇත.තත්වයන් ගෞරවයන් පිළිබඳව සැලකිලිමත් වියයුතු අතර යටගියා වූ අයහපත් දේ මතුවීමට , හදිසි චෝදනා ආදියට ලක්වීමට , ගෞරවයන් වටිනාකම් බිදවැටීමට අවස්තාව සහිතා වෙයි.පවුලේ වැඩිහිටියන් වෙත අයහපත් අතරම තම කායික මානසික සෞඛ්‍ය යහපැවැත්ම පිරිහීමකට ලක්වනු ඇත.ලේ දෝශ හටගනී.අමනුෂ්‍යය දෝශ බලපෑම් මතුවිය හැක.


කුම්භ ලග්නය -


කුම්භ ලග්නය මූලිකව උපන් ඔබ සඳහා ඉදිරි වසර අභියෝගාත්මක වසරක් වනු ඇත.දුෂ්කරතා සහිත , වෙහෙස මහන්සිය සහිත , සැපයෙන් දුර්වල වූ කාලයක්වේ.ඕනෑම යමක සාර්තකත්වය උදෙසා වැඩි කැපකිරීමක් දැරීමට සිදුවෙයි.තම පිළිවෙලද , වෙනදා පැවති ගුණ ගති ද දුර්වල වනවා ඇත.මංගළ යෝග යෙදෙන අතර අවිවාහකයන් හට විවාහයට අවස්තාව උදාවෙයි.එහෙත් එම කටයුතු ද අතර මැද බාධාවට ලක්විය හැක.යමක් නිශ්චිතව සිදුවන තුරු ඉවසා සිටීමට සිදුවේ.අද අවශ්‍යය දේ අද නොලැබේ.එහෙත් ප්‍රමාද වීම් සහිතව උවද බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව සහිතවෙයි.අසල්වැසියන් සම්බන්ධවත් සහෝදර සහෝදරියන් සම්බන්ධවත් ගැටලු ඇතිවිය හැක.රෝග දුර්වලතා පැවතියේ නම් ඒවා විටින් විට වර්ධනය වනු ඇත.වර්ෂය මැද භාගයෙන් පසුව වියදම් අධිකවනු ඇත.අනවශ්‍ය හෝ පාඩු සහිත වියදම් ඇතිවනු ඇත.මුදල් සම්බන්ධව වඩා වැඩි වගකීමකින් යුතුව කටයුතු කළයුතුවේ.


මීන ලග්නය - 


මීන ලග්නයෙන් ජම්ම ලාභය ලැබූ ඔබ සඳහා උදාවන සූර්‍යය වර්ෂය ශුභාශුභ මිශ්‍රඵල සහිත තත්වයන් උදාකරනු ඇත.රැකියා බලාපොරොත්තුවෙන් සිටි අයගේ එම බලාපොරොත්තු ඉටුකරගැනීමට හැකි වනු ඇත.මුදල් ආර්තික තත්වය සමබන්ධව පැවති ගැටලු තරමක් දුරට හෝ සමනය කරගැනීමට අවස්තාව උදාවෙයි.විවාහය සම්බන්ධ බලාපොරොත්තු ඉටුවේ.මංඟළ යෝග උදාවෙයි.දරුඵල ලාභයන් ලැබෙනු ඇත.එහෙත් කිසියම් වගකීමකට හෝ කිසියම් නොගැළපෙන සබඳතාවයකට බැදී , බන්ධනය වී කටයුතු කිරීමට සිදුවේ.තමන්ගේ නොවන ප්‍රශ්ණ ගැටලු සඳහා මැදිහත් වීමට සිදුවනවා ඇත.ඉගෙනීම අධ්‍යාපනය සම්බන්ධ තත්වයනට යම් යහපතක් සහිත නමුත් වසරේ මැද භාගය පසුවීමෙන් පසුව තම සමස්ත අරමුණු බලාපොරොත්තු වෙනසකට ලක්වේ.ගුණ වටිනාකම් පහත වැටීමක් සිදුවනු ඇත.කායික මානසික බල , දුබලතාවයට ලක්වනු ඇත.යහපත් යැයි හැගෙනා දේ තුළ කිසියම් අයහපතක් සැගව පැවතිය හැක.බුද්ධිමත් භාවයෙන් යුතුව කටයුතු කිරීම මීන ලග්න හිමියන් සඳහා ඉතා යහපත් වනු ඇත.


ජනක් පී කුමාර

0760846977

හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්

Post a Comment

0 Comments