ගුරු මාරුව 2023 - 2024 ලග්න පලාපල

 

ගුරු මාරුව 2023 - 2024 ලග්න පලාපල

ක්‍රිස්තු වර්ෂයෙන් 2023 ක් වූ අප්‍රියෙල් මස 22 වන සෙනසුරාදා සිට 2024 ක් වූ මැයි මස 01 වන බදාදා අතර කාල සීමාව තුළ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා මේෂ රාශිය තුළ ග්‍රහ චාරයේ යෙදෙන අතර අතර මෙම ග්‍රහ සංසිද්ධිය වසර 12 කට පසුව සිදුවන්නා වූ විශේෂිත ග්‍රහ සංසිද්ධියක් ලෙස සැළකිය හැකියි.ගුරු මේෂ රාශිය වෙත පිවිසෙන අවස්තාව වන විට රාහු ග්‍රහයා මේෂ රාශිය තුළ 10 වන අංශක සීමාව තුළ ග්‍රහ චාරයේ යෙදෙන අතර මෙම රාහු ගුරු සමඟ 2023 ක් වූ ඔක්තෝම්බර් 30 වනදා දක්වා සීමාවේ මේෂ රාශිය තුළ ගමන් කරනු ලබනව.මෙලෙස බ්‍රහස්පති ග්‍රහයා මේෂ රාශිය තුළ ගමන් කිරීම සමස්ත පෘතුවි ස්වභාවිකත්වය තුළ අසීමිත ප්‍රතිඵල නානාවිධ ලෙසින් ඇතිකරවන අතර තුර , මේෂ , වෘෂභ , මිතුන ආදී ලෙසින් වූ ලග්න දොළොසින් උපන් මනුෂ්‍යය වූ ඔබවෙත ඇතිකරනු ලබන සුභාසුභ බලපෑම පිළිබදව වූ ලග්න පලාපල සවිස්තරය අප ඔබවෙත මෙතැන් සිට ගෙන එනු ලබනව .


මේෂ ලග්නය - 


මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්න ස්තානය වෙත ගුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවන අතර , මෙම ග්‍රහ සංසිද්ධිය ඔබවෙත සුභාසුභ මිශ්‍රඵල තත්වයන් ඇතිකරනු ඇති.මෙතෙක් තමා තුළ පැවතියා වූ බලාපොරොත්තු අරමුණු වෙනසකට ලක්වනු ඇති අතර අනාගතය උදෙසා යහපත් වූ ආරම්භයක් සිදුවනු ඇති.මෙතෙක් පැවති බාධා ගැටලු ආදී තත්වයන්ට සහනය හිමිවන අතර නිසි මගපෙන්වීමක් ලැබීමට අවස්තාවන් හිමිවනවා ඇති අතරම ඉගෙනීම් ආදී කටයුතු තුළ වර්ධනයක් සහ යහපත් වෙනසක් ඇතිවනු ඇති.එමෙන්ම පවුලේ සාමය සමගිය වර්ධනය වන අතර පවුල් ජීවිතයේ ගැටලු අවහිරතා සමනය වනු ඇත.දරුඵල ලාබ ආදියටත් , විවාහ , මංගල යෝජනා ආදියටත් අවස්තාව සහිත වෙයි.රැකියාව තුළ තණතුරු තානාණ්තර ලැබීමටත් ස්තාන මාරු ආදියත් සිදුවිය හැක.මේ අතරම තම තත්වයට ගෞරවයට හානිවන ආකාරයේ රහස් හෙළිවීමක් හෝ , පැවති චෝදනාවක් ඔප්පු වීමක් හෝ නීතිමය ගැටලු ආදිය පැවතියේ නම් එයින් නොසිතූ තීන්දුවක් ලැබීමක් හෝ සිදුවිය හැක.හිතමිත්‍ර සබදතා යහපත් ආකාරයෙන් ඇතිවූවත් , තමාට නොපෙනෙන ගුණ ධර්මයෙන් හීන වූ අයගේ හමුවීමක් සිදුවීමටද මෙම කාලය තුළ අවස්තාව පවතී.2023 ඔක්තෝම්බර් 30 වනදායින් ඉදිරියට එතෙක් පැවතියාට වඩා සුභදායක තත්වයන් වර්ධනය වීම සිදුවනු ඇත.සුභ යැයි සම්මත වූ බොහෝ තත්වයන් 2025 දක්වාම යහපත් ලෙස , සහනදායි ලෙස ක්‍රියාත්මක වනු ඇත.මේ හේතුවෙන් අනාගතය උදෙසා යහපත් දේ ආරම්භ කිරීමට , මේෂ ලග්නයෙන් උපන් ඔබ හට ඉදිරි කාලය සුදුසුම කාලයක් වනු ඇත.


වෘෂභ ලග්නය -


වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දොළොස්වැන්න හරහා ගුරු ග්‍රහයා ග්‍රහ චාරයේ යෙදෙන අතර මෙම ග්‍රහ තත්වය ඔබවෙත අපල අයහපත ඇතිකිරීමක කර්ම ගුරු අවස්තාවක් වනු ඇත.ඉදිරි කාලය සියලු ජීවන තත්වයන් පිළිබදව සැළකිලිමත්ව කටයුතු කළයුතු අතර තම ගෞරවය වටිනාකම සැපය සනීපය දුර්වල වීමක් වෙයි.නින්දාවට අපහාසයට හේතුවන දේ සිදුවෙයි.ලැබීමට ලාබයට බාධා ඇතිවෙයි.ධනයද තමාට වටිනා වූ ලෞඛික භෞතික තත්වයන්ද පරිහානියට , පිරිහීමට අවස්තා ඇතිවේ.ස්වාමියා සහකරුගේ සෞඛ්‍ය තත්වය පහත වැටීමක් හෝ වටිනාකම් බිදවැටීමක් සිදුවිය හැක.දරුවන් සඳහාත් දරුඵල බලාපොරොත්තු වූ මව්වරු සඳහාත් , පිහිටියා වූ දරු ගැබ් සඳහාත් යහපත් තත්වයන් අවම වීමක් සිදුවිය හැක.හිතමිත්‍ර සබඳතා බිදවැටීම් , රහස් හෙළිවීම් හෝ තමාට ද්‍රෝහී වන්නන් හමුවන කාලයකි.ඉගෙනීම් කටයුතු පහත වැටෙයි.තමා අතින්ද වැරදි කිහිපයක් සිදුවිය හැකි අතරම තමාගේ ගුණ ධර්මයන් හීන වීමට ලක්විය හැක.තමා ගෙවනා වයස් සීමාව අනුව ඒ ඒ තත්වයන් යටතේ අයහපත ක්‍රියාත්මක වනු ඇත.තම සෞඛ්‍ය තත්වයද පහත වැටීමක් කිහිප අවස්තාවකදී සිදුවනු ඇති අතර නිසි ප්‍රතිකාර නොලැබී යාමට හෝ නිසි ප්‍රතිකාරය උවත් නිසි ගුණ ඇති නොකිරීමට හේතු ඇතිවේ.ලේ ධාතුවේ දුර්වලතා සමඟ ශරීර ප්‍රතිශක්තිය හීනවෙයි.සතුන් සර්පයන්ගෙන් සහ රාත්‍රී ගමන් බිමන් ආදියෙන් කරදර විපත් ඇතිකරයි.අමනුෂ්‍යය දෝශ , ගුපත දෝශ ආදියට අවස්තාව පවතී.


මිතුන ලග්නය - 


මිතුන ලග්නයෙන් උපන් ඔබගේ සියලු ලැබීම් පෙන්වන එකොළොස්වැන්න හරහා ගුරු ග්‍රහයා ඉහත දින සීමාවන් තුළ ගමන් කරන අතර වසර ගණනාවක් තිස්සේ පැවති ප්‍රධාන බලාපොරොත්තු කිහිපයක් ඉටුකරගැනීමේ අවස්තාව ඇතිකරනු ඇත.විවාහ අපේක්ෂිතයන් හට විවාහයද , දරුඵල ලාබ අපේක්ෂිතයන් හට දරුවන්ද , ඉගෙනීමේ යහපත් ප්‍රතිඵල බලාපොරොත්තු අයහට යහපත් වූ උසස් ප්‍රතිඵලයන්ද , ගුණ යහපත් හිතවතුන්ගේ හමුවීමද , ප්‍රේම ආදර සබඳතාවයක යහපත් වූ නව ආරම්භයද , රැකියා අපේක්ෂිතයන්ගේ එම බලාපොරොත්තුද , දියුණුව ලාභය බලාපොරොත්තුවන්නන් හට එම අවස්තාවන්ද ඉටුකරගැනීමට අවස්තාව මිතුන ලග්න ඔබහට සැලසෙනු ඇත.පවුලේ සාමය සමගිය දියුණුව යහපත උදාවන අතර මගහැරී ගිය කටයුතු නැවත ආරම්බ වීමද මෙම වර්ෂ දින සීමාවන් තුළ ඉටුවනවා ඇත.නිසිමගපෙන්වීම් ජීවිතයට හිමිවන , තම වටිනාකම වර්ධනය වන , ප්‍රසිද්ධිය සමග ජන ප්‍රසාදය හිමිවන වාසනාවන්ත කාලයක  උදාවීම මිතුන ලග්නයෙන් උපන් ඔබ හට අනිවාර්‍යය කෙස සුදුවේ.පැවති ලෙඩදුක් බාදක අවසන් කරගැනීමට අවස්තාව හිමිවේ.මෙතෙක් ගෙවා ආ දුෂ්කර ජීවිතයට නිසැක ලෙස වසන්තය උදාවෙයි.


කටක ලග්නය - 


කටක ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දසවැන්න හරහා ගුරු ග්‍රහයා ඉහත කාල සීමාව තුළ ග්‍රහ චාරයේ යෙදෙන අතර සුබාසුබ මිශ්‍රඵල තත්වයන් ඇතිකරනු ඇත.රැකියාව සම්බන්ධ වූ තත්වයන් තුළ වෙනස් ඇතිකරවන අතර එම වෙනස යහපත් නැත.දුෂ්කරතා බාධාවීම් සමඟ රැකියාවේ තත්වයන් ක්‍රියාත්මකවේ.රැකියා අහිමිවීම , රැකියාව තුළ චෝදනා ආදියට ලක්වීමට අවස්තාව සහිතවෙයි.මුදල් ආර්තික තත්වයට යම් සහනයක් සහිත අතර ලැබීමට පැවති නය මුදල් ආදිය ලැබිය හැක.දේපළ අයිතියේ ගැටලු ඇතිවෙයි.වටිනාකම් පහත වැටීමට ලක්විය හැක.ආගමික කටයුතු , දානමාන පිංකම් ආදියට සම්බන්ධ වීමට අවස්තා සහිතවේ.දුර බැහැර කටයුතු යෙදේ.නිතර ගමන් බිමන් ආදියට අවස්තාව සහිතව වෙයි.ඉගෙනීම් සම්බන්ධව බාධා ඇතිකරවයි.උත්සහය උනන්දුව පහත වැටිය හැකි අතරම උත්සහයේ නියමිත ප්‍රතිඵල නොලැබේ.මානසික සහනයට හානි ඇතිවෙයි.දරුවන් සම්බන්ධව අපල යෙදේ.සතුරු කරදර ඇතිකල හැක.නොසිතූ හදිසි ගැටලු සඳහා මුහුණ දීමට සිදුවනවා ඇත.කටක ලග්න ඔබ ලග්න අශ්ටම ඒරාශ්ටක අපලයක් 2025 මාර්තු දක්වා ගෙවමින් සිටීම මත ඕනෑම ජීවන තත්වයක් අභියෝගයක් වනු ඇත.බුද්ධිමත්ව දුරදිග බලා තීන්දු තීරණ ගතයුතු , ක්‍රියා කළයුතු කාලයක් ඔබ පසුකරමින් සිටී.


සිංහ ලග්නය - 


සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් නමවැන්න හරහා ගුරු ග්‍රහයා ඉහත කාල සීමාව තුළ ග්‍රහ චාරයේ යෙදේ.මෙම ග්‍රහ අවස්තාව ඔබට සහනය යහපත ඇතිකරවයි.මෙතෙක් පැවති බාධා අවහිරතා සමනය වීමක් ඇතිවේ.ගෞරවය වටිනාකමට හේතු ඇතිවේ.පිළිගැනීම සහිත කාලයක්වේ.පහත වැටී පැවති බොහෝ තත්වයන් වෙත යහපත ඇතිවේ.ඇතිවූ චෝදනා ආදියෙන් නිදහස ඇතිවෙයි.තමා තුළ ගුණ ධර්ම වැඩී වර්ධනයවේ.ඉගෙනීම් ආදී කටයුතු සාර්තකවේ.හිතමිත්‍ර සබඳතා සඳහා යහපත් උවත් අතරමග බිදවැටීම් ඇතිකරයි.විවාහකයන් වෙත තරමක අපල තත්වයන් ඇතිකරවයි.රැකියාව ආදායමට යහපත්වේ.දුරබැහැර ගමන් බිමන් යෙදේ.විදෙස්ගතවීමේ බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව උදාවේ.විවාහය බලාපොරොත්තු වේ නම් ඒ සඳහා මූලික තත්වයන් ගොඩනැගෙන නමුත් අතර මැඳ බාධා ඇතිකරවයි.දරුවන් සම්බන්ධව බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව සහිතවේ.මව් පිය උරුමය හිමිකම් ලැබීමටත් , වැඩිහිටි උදව් උපකාරා ආදියටත් අවස්තාව සහිතවේ.කෙසේ උවත් 2023 ඔක්තෝම්බර් 30 වනදායින් ඉදිරියට කාලය තුළ ධනය , පවුල් ජීවිතය ආදී අංශයන්ගේ ගැටලු ක්‍රමයෙන් මතුවී වර්ධනය වීමක් සිදුවනු ඇත.


කන්‍යා ලග්නය - 


කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් අටවැන්න හරහා ගුරු ග්‍රහයා ඉහත කාල සීමාව තුළ ග්‍රහ චාරයේ යෙදෙන අතර මෙම ග්‍රහ සාධකය ඔබ වෙත කර්ම ගුරු අපලය ඇතිකරවයි.මේ අනුව තමා වෙත පැවතියා වූ සියලු ආකාර තත්වයන් වෙත බාධා ගැටලු ඇතිවීමක් සිදුවිය හැක.සැප පහසුව අඩු කාලයක් වනු ඇත.වටිනාකම් පහත වැටීමටත් හදිසි චෝදනා අපවාදාදිය ඇතිවීමටත් , සහයෝගයන් උදව් උපකාරයන් බිදවැටීමටත් අවස්තා සැකසේ.ගුණයෙන් ධර්මයෙන් තොර වූ අයගේ , අවස්තාවාදී මිනිසුන්ගේ ඇසුර ඇතිවෙයි.අයහපත මුල් අවස්තාවේ හදුනාගැනීමට නොහැකිවේ.වෙනදා පැවති බුද්ධිමය වටිනාකම පහත වැටීමට ලක්වනු ඇත.උපායන් උපක්‍රමයන්ට රැවටීමට , මුලාවීමට සිදුවෙයි.දේපළ , තම අයිතීන් සම්බන්ධ කරුණු හරහා ගැටලු ඇතිකරවයි.සතුරන් ඇතිවේ.තමාගේ හිතවතුන් හෝ තමා වැඩියෙන් විස්වාසය තැබූ අයම තමාවෙත ප්‍රධාන අයහපත ඇතිකරවයි.දරුවන්ට අයහපත්වේ.පවුලේ සාමයට සමගියට යහපත් නැත.ඉගෙනීම් කටයුතු තුළ දුර්වලතාවයන් මතුවේ.තම සමස්ත තත්වයන් වෙත හකුළා දැමීමක් ඇතිවන කාලය වන අතර සෞඛ්‍යා දී තත්වයන් පිළිබදව වඩා වැඩි සැළකිලිමත් භාවයකින් කටයුතු කළයුතුවේ.රෝගයකදී ප්‍රතිකාරය ප්‍රමාදවේ.ප්‍රශ්ණයකදී පිළිතුරු තොරවේ.අසරණකම් සහිතව කාලය ගෙවා දැමීමට කන්‍යා ලග්න හිමියන් වෙත ඉදිරි කාලය තුළ සිදුවිය හැකි අතරම තමාගේ හිතුවක්කාර ගති ආදිය හෝ බුද්ධිමත්බවින් තොරවූ කටයුතු ක්‍රියා හේතුවෙන් නොසිතූ ගැටලු හදිසියේ ඇතිවනු ඇත.


තුළා ලග්නය -


තුළා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හත්වැන්න හරහා ගුරු ග්‍රහයා ඉහත කාල සීමාව තුළ ග්‍රහ චාරයේ යෙදීම සනහදායී වනු ඇත.බිරිද ස්වාමියා සහකරු , විවාහය පවුල් ජීවිතය සම්බන්ධ තත්වයන් වෙත සහනය ඇතිකරවයි.විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුවන කාලයක් වේ.රැකියාව සම්බන්ධ තත්වයන් තුළ වර්ධනය දියුණුව ඇතිකරවයි.නව ආදායම් මාර්ග සඳහා යොමුවීමක් සහිතවේ.රැකියාවේ උසස් වීම් සඳහා සුබදායකවේ.පවුලට සාමාජිකයන් එක්වන අතර දරුඵල ලාබාදියට අවස්තා සහිතවේ.නව හිතමිත්‍ර සබඳතා ඇතිවේ.පැවති සබඳතා වෙනසකට ලක්වේ.මගපෙන්වීම් උදව් උපකාර සහිත කාලයකි.අධ්‍යාපාය සම්බන්ධ කරුණු ක්‍රමයෙන් වර්ධනයවේ.නව අධ්‍යාපනික අවස්තා සැලසේ.සහෝදරාදීන් අතර සබඳතා වර්ධනයවේ.2023 ඔක්තෝම්බර් 30 වනදායින් ඉදිරියට එතෙක් පැවතියාට වඩා වැඩි යහපතක් බලාපොරොත්තු විය හැකිය.එහෙත් ක්‍රමයෙන් වියදම් අධික වීමක් සහ නිශ්ඵල වියදම් ආදිය සිදුවීමට අවස්තාව පවතී.ශරීර ශක්තිය වර්ධනය වෙයි,නිරෝගී බව ඇතිවේ.තම ගුණයන් වටිනාකම් වර්ධනය වන අතර සමාජීය පිළිගැනීම සහිත කාලයක් තුළ ලග්නයෙන් ඔබ වෙත උදාවනු ඇත.


වෘශ්චික ලග්නය -


වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් හයවැන්න හරහා ගුරු ග්‍රහයා ඉහත කාල සීමාව තුළ ග්‍රහ චාරයේ යෙදෙනු ඇත.මෙම ග්‍රහ තත්වය එතරම් යහපත් නැත.ආර්තිකමය වශයෙන් යම් පහල යාමක් සිදුවනු ඇති අතර හොදින් හෝ නරකින් වර්ධනය වීමට සිත යොමුවේ.සහයෝගයන් උදව් උපකාර අඩුවේ.යහපත් අයගේ දුරස් වීමත් , අයහපත් අයගේ හමුවීමත් ඇතිවනු ඇත.යහපත හෝ අයහපත නිසි ලෙස අවබෝධ කරගැනීමේ ප්‍රමාදයන් ඇතිවන අතර පසුව පසුතැවීමට කරුණු සැකසෙනු ඇත.නොයෙක් ආකාරයේ පුද්ගල සබඳතා ඇතිකරවයි.එහෙත් එයින් යහපත අවම කරවයි.ඉගෙනීම් කටයුතු සඳහා බාධා ඇතිවන අතර තරග විභාගාදියෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යයි.ස්තානීය වශයෙන් ගැටලු ඇතිවේ.නිවසේ සහනය අඩුවේ.නිවසින් පිට වැඩි කාලයක් ගතවෙයි.රාත්‍රියට නින්ද නොපැමිණේ.කල්පනා කරන්නට දේ ඉතුරු වනු ඇත.තමාගේ වටිනාදේ පිරිහීමට ලක්විය හැක.සොර සතුරු බිය සහ සැක සාංකා සහිතව කාලය ගෙවීයයි.හිතුවක්කාර මුරණ්ඩු ගති ඇතිවෙයි.දරුවන් ප්‍රවේසම් කරගත යුතුවේ.දරුවන් සම්බන්ධව ගැටලු ඇතිවීමටත් ඒ සඳහා මුහුණ දීමටත් ඔබට සිදුවනු ඇත.දරුඵල අපේක්ෂිත ගැබිණි මව්වරු ප්‍රවේසම්ව කටයුතු කළයුතුවෙයි.පවතින රෝග දුර්වලතා ආදිය වර්ධනය වනවා ඇත.යටපත්ව ඇති රෝග මතුවනවා ඇත.අමනුෂ්‍යාදී බිය හටගනී.තම පිළිවෙල සහ අරමුණු බලාපොරොත්තු ප්‍රමාදයට ලක්වන කාලයක් ලෙස ඉදිරි කාලය වෘශ්චික ලග්න හිමියන් වෙත ගෙවීයයි.


ධනු ලග්නය -


ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් පස්වැන්න හරහා ගුරු ග්‍රහයා ග්‍රහ චාරයේ යෙදෙන අතර සුබදායක තත්වයන් වර්ධනය වනු ඇත.තමා වෙත මෙතෙක් පැවති බාධා ගැටලු අවම කරගැනීමට , සමනය කරගැනීමට අවස්තාව හිමිවේ.නිසි මගපෙන්වීම් , උදව් උපකාර සමග සහයෝගය ඇතිවෙයි.අමනාපයෙන් සිටි අය නැවත මිත්‍රවේ.යහපත් සබඳතා ඇතිවන අතර ප්‍රේම සබඳතා ආදියට අවස්තා සැලසේ.විවාහ අපේක්ෂිතයන්ගේ එම බලාපොරොත්තු ඉටුවෙයි.දරුඵල ලාබ ලැබෙයි.දරුවන්ගේ ඉගෙනීම් ආදී කටයුතු තුළ වර්ධනයක් යහපතක් ඇතිවනු ඇත.රැකියාව ආදායම් මාර්ග , මිල මුදල් තත්වය යහපත් කරගැනීමට වර්ධනය කරගැනීමට , පැවති ණය තුරුස් ආදියෙන් නිදහස් වීමට අවස්තාව සහිත අතරම ප්‍රමාද වූ බලාපොරොත්තු කිහිපයක් හෝ සාර්ථකව ඉටුකරගැනීමට ධනු ලග්න හිමි ඔබට අවස්තාව සැළසේ.ප්‍රශ්ණ අඩු කාලයක් වන අතර ගුණයෙන් ධර්මයෙන් වැඩීමට අවස්තාව ලැබේ.ඉගෙනීම් කටයුතු තුළ යහපත සාර්ථකත්වය ඇතිකරයි.පැවති ලෙඩදුක් ආදියෙන් නිරෝගීභාවට පත්වීමට අවස්තාවන් හිමිවෙයි.දුර බැහැර ගමන් , වන්දනා ගමන් හෝ සංචාරක අවස්තා හිමිවේ.විදෙස් ගතවීමේ බලාපොරොත්තු පැවතියේ නම් එම බලාපොරොත්තු 2023 ඔක්තෝම්බර් 30 වනදායින් ඉදිරියට ඉටුවනු ඇත.මෙතෙක් ගෙවා ආ ජීවිත ගමනේ විශේෂිත සුබදායක යහපත් කාලයක් ධනු ලග්න ඔබවෙත උදාවන අතර අනාගතය සඳහා වූ යහපත් ආරම්භයක් මේ සමඟ සිදුවනු ඇත.


මකර ලග්නය -


මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් සිව්වැන්න හරහා ගුරු ග්‍රහයා , ඉහත වර්ෂ දින සීමාව තුළ ග්‍රහ චාරයේ යෙදෙනු ඇත.මකර ලග්න හිමියන් වෙත මුදල් ආර්හිකමය වශයෙන් සහ රැකියාව පිළිබඳව පවතින අයහපත් තත්වයන් යම් පමණකට හෝ සමනය කරගැනීමට අවස්තාව සැලසේ.රැකියාවේ වෙනසකට අවස්තා සහිත අතරම විදෙස්ගතවීම් ආදී බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව සහිතවේ.නිවස දේපළ සම්බන්ධ යම් යම් කටයුතු සිදුවේ.ප්‍රමාද වෙමින් පැවති එවැනි කටයුතු ඉටුකරගැනීමට අවස්තාව උදාවෙයි.නිවසට අමුත්තන්ගේ පැමිණීම සිදුවෙයි.නිවසේ උත්සව අවස්තා යෙදිය හැකි.එමෙන්ම උත්සව අවස්තා ආදියට ආරාධනා ලැබෙනු ඇත.කාලයකට පසු යම් විශේෂිත අයෙකුගේ හමුවීමක් සිදුවනු ඇත.ඉගෙනීම් කටයුතු මෙතෙක් පැවතියාට වඩා වර්ධනයවේ.අනාගත යහපත සුභසිද්ධිය උදෙසා කටයුතු ආරම්බ කිරීමට අවස්තාව හිමිවේ.මංගළ යෝජනා ආදිය ඇතිවේ.යහපත් අයෙකුගේ හමුවීමක් සිදුවනු ඇත.මකර ලග්නයට ගුරු ග්‍රහයා අසුභ ග්‍රහයෙකු වන නමුත් , ගුරු ලග්නයෙන් සිව්වැන්න තුළ ගමන් කිරීම තුළ යම් පමණක සහනයක් ලැබීමට අවස්තාව උදාවේ.2023 ඔක්තෝම්බර් 30 වනදායින් පසුව රැකියාව ආදියේ පැවති අවහිරතා බාධා ඉවත්වී යනු ඇත.


කුම්භ ලග්නය -


කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වැන්න හරහා ගුරු ග්‍රහයා ගමන් කරන අතර මෙම කාල සීමාව ඔබට සුභාසුභ මිශ්‍රඵල ඇතිකරවයි.මංගළ යෝග උදාවේ.විවාහ අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු ඉටුකරගැනීමට අවස්තාව යෙදේ.පවුල විවාහ ජීවිතය තුළ මෙතෙක් පැවතියාට වඩා සහනදායී බවක් ඇතිකරවනු ඇත.සහෝදර සහෝදරියන් අතර විරසකවීම් භේධ වීම් ඇතිකරයි.අසල්වැසියන් අතර සබඳතා හිතවත්කම් වෙනසකට ලක්කරයි.කෙසේ උවත් ලෞඛික ජීවිතය තුළ වේගවත් වර්ධනයක් බලාපොරොත්තු වීම අපහසුවෙයි.දුෂ්කරතා අපහසුතා ප්‍රශ්න විටින් විට ඇතිකරයි.මෙතෙක් තමා කල කී දේ තුළ තිබූ අඩු ලුහුඩුකම් මූලිකව ප්‍රශ්ණ ගැටලු නිර්මාණය වෙයි.උත්සහයේ ‍යහපත් ප්‍රතිඵලයක් උදෙසා වැඩි වෙහෙස මහන්සියකින් යුතුව කටයුතු කිරීමට සිදුවනවා ඇත.සිතන තරමේ ප්‍රතිඵලද නොලැබී යයි.ආර්තික අපහසුතාවයන් ක්‍රමයෙන් වර්ධනයවේ.නිසිලෙස යමක් කළමණාකරනය කරගැනීම අපහසු අතර තමා ගන්නා තීන්දු තීරණ නිවැරදි භාවයෙන් තොර වනවා ඇත.නිතර වෙහෙසකර ගමන් බිමන් ආදිය යෙදෙනු ඇත.තම අභිමතය අනුව කටයුතු කර වැඩ කටයුතු අවුලට පත්විය හැක.තමාවෙත නිසි මගපෙන්වීමක්ද නොලැබීයයි.ඉගෙනීම් අධ්‍යාපණික කටයුතු තුළ තරමක වර්ධනයක් ඇතිකරගැනීමට අවස්තාව පවතී.2023 ඔක්තෝම්බර් 30 වනදායින් ඉදිරියට ශරීර සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍ය පිරිහීමක් ඇතිකරවයි.


මීන ලග්නය - 


මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්න වූ ධනස්තානය හරහා ඉහත වර්ෂ දින සීමාව තුළ ගුරු ග්‍රහයා ග්‍රහ චාරයේ යෙදෙන අතර මෙතෙක් මුදල් සම්බන්ධව පැවති අවිනිශ්චිත තාවයන් සඳහා සහනය ඇතිවේ.ලැබීමට පැවති ණය මුදල් ආදිය නැවත ලැබීම ඇතිවන අතරම ඒ සඳහා උත්සහ කළයුතුවේ.මුදල් යෝදවා කරන කටයුතු තුළ ලාබදායී බවක් ඇතිකරවයි.රහස් ක්‍රම හෝ නීතිවිරෝධී මාර්ග හරහා මුදල් ඉපැයීමට යොමුවිය හැකිවෙයි.එමෙන්ම රැකියාව සහ ඒ ආශ්‍රිත කටයුතු තුළ වෙනසක් සමඟ වර්ධනයක් ඇතිවනවා ඇත.තනතුරු , අමතර වගකීම් සහිතව කටයුතු කිරීමට සිදුවේ.විදෙස්ගතවීමේ බලාපොරොත්තු පවතී නම් ඒවා ඉටුවන කාලයකි.එමෙන්ම අවිවාහකයන් වෙත විවාහය සඳහා අවස්තාවද යහපත් මංගළ යෝජනා ආදියද ඇතිවෙයි.පවුලේ සාමයට සමගියට අවස්තාව සහිතවේ.පැවති යම් පමණක හෝ ගැටලුකාරී තත්වයන් වෙත සහනය යහපත ඇතිවනු ඇත.තමා පිළිබදව වටිනාකම් ඇතිවනු ඇති නමුත් 2023 ඔක්තෝම්බරයෙන් පසු නොසිතූ ගැටලු ඇතිකරයි.ගුණ ධර්ම , ගුණ යහපත්කම් පහත වැටීමකට ලක්විය හැක.තමා ද නොසිතූ ප්‍රශ්ණ ගැටලු සඳහා මුහුණ දීමට සිදුවේ.නොගැළපෙන හිතමිත්‍ර සබදතා ආදිය ඇතිවන අතර අධ්‍යාපණික වයස් සීමාවේ සිටිනා මීන ලග්න හිමියන් හට එම අංශය තුළ පැවති වර්ධනය පහත වැටීමට ලක්වෙයි.සමාජ භාහිර සබඳතා ඉතා දුර දිග දැක්මෙන් යුතුව පවත්වාගැනීම ඇතිකරගැනීම යහපත් වනු ඇත.


ජනක් පී කුමාර

හඳහන ලංකා ජ්‍යෙතිෂය සේවය වෙනුවෙන්

Contact - 0760846977

Post a Comment

0 Comments