නිරෝධායන මධ්‍යස්ථාන තුළ සිංහල බෙහෙත් ප‍්‍රවර්ධනය කරමු


මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 ලෝක වසංගතයක් ලෙස නම් කොට තිබේ. අපේ රට තුළ කොරෝනා අවදානම ක‍්‍රමයෙන් ඉහළ යමින් තිබෙන අතර ඒ තත්ත්වය පාලනය කිරීමේ ලා සෞඛ්‍ය අංශ ඉතා වගකීමෙන් හා කැපවීමෙන් ක‍්‍රියා කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙබඳු අවස්ථාවකදී යම් වසංගත තත්ත්වයක් පාලනය කිරීමට හෝ එමගින් මහජන සෞඛ්‍යය කෙරෙහි ඇතිවන හානිය අවම කිරීමට සෞඛ්‍ය අංශ මගින් ගනු ලබන ක‍්‍රියා මාර්ග කිහිපයක් තිබේ. එම කටයුතු වලදී මහජනතාව ඒ සඳහා වගකීම් සහිතව සහාය දීමත් එම උපදෙස් අනුව ක‍්‍රියාකිරීමත් ඉතාම වැදගත් වේ. එසේම සාමාන්‍ය ජනතාව තමන්ගේ පාරම්පරික දේශීය දැනුම් අනුව මෙබඳු අවස්ථාවක අනුගමනය කරන බොහෝ ආහාරපාන භාවිතයන් ද නොසලකා හැරිය නොහැකිය. ඒවා යම් විධිමත් අධීක්ෂණයක් හා මගපෙන්වීමක් යටතේ ආයුර්වේද ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් හරහා ප‍්‍රචලිත කිරීමෙන් වෛරසයට ඔරොත්තු දීමේ ස්වභාවික ප‍්‍රතිශක්තිය වර්ධනය කළ හැකිය.

ඒවායින් ඉතා වැදගත් පියවරක් වන්නේ නිරෝධායනය (quarantine) නමින් හැඳින්වෙන ක‍්‍රියාවලිය වේ. මෙය ලෝකයේ පිළිගත් මාර්ගෝපදේශ අනුව රෝගකාරක වෛරසයට නිරාවරණය වූ හෝ අවදානම් කලාපයක සිට පැමිණෙන යම් පිරිසක් හෝ පුද්ගලයෙකු එම වෛරසය ශරීරගත වී ඇතැයි යන අනුමානය ඇතිව නිශ්චිත කාලයක් වෙන් කොට තැබීම මෙමගින් සිදු කරයි. නිරෝධායන කාලය තුළ ඔවුන් සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු වල නියැළෙන අතර පරිබාහිර සමාජය හා නොගැටෙන පරිදි භෞතික බාධකයන් හා වෙනත් ජීවානුහරිත ආරක්ෂක සීමා පවත්වා ගෙන යනු ලැබේ. අමතරව එම පරිශ‍්‍රයන් රසායනික ජීවානුහරණයට ලක් කරනු ලබන අතර වෛද්‍ය කාර්ය මණ්ඩල පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සුපරීක්ෂාකාරීව සිටියි. එම නියමිත කාලය තුළ රෝග ලක්ෂණ ඇති නොවුණහොත් ඔවුන් රෝග වාහකයන් නොවන බවට තහවුරු කොට මුදා හැරීම සිදුවේ. මෙම නව කොරෝනා වෛරස ආසාදනය මාරාත්මක නොවන නමුත් එහි ව්‍යාප්ත වීමේ වේගය අසාමාන්‍ය නිසා කෙටි කාලයක් තුළ බොහෝ පිරිසක් ගොදුරු වීමෙන් එයින් ඇතිවන සංකූලතා වලට මුහුණ දීමේ දුෂ්කරතාව සෞඛ්‍ය අංශ ඉදිරියේ ඇති අභියෝගය වේ.

නිරෝධායන ක‍්‍රියාවලියේ දී අපේ දේශීය ඖෂධ හා ආයුර්වේදීය ස්වස්ථ ආරක්ෂණ ක‍්‍රම මගින් එම පුද්ගලයන්ගේ පුද්ගලික සෞඛ්‍ය තත්ත්වය ප‍්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලැබිය හැකි බව අවධාරණය කළ යුතුවේ. එසේම අපේ දෙශීය ඖෂධ මගින් සිරුරේ තරලමය ජෛව රසායනය වෙනස් කරන බැවින් වෛරසය බැඳීම හා ගුණනය වැනි ක‍්‍රියාවන් අඩාල වීම හෝ වෛරසයේ ජානමය දත්ත වෙනස් කිරීමෙන් එහි බලපෑම් දුර්වල කිරීමට හැකි දැයි සොයා බැලීම පර්යේෂකයන් ගේ කාර්යය විය යුතුය. විශේෂයෙන්ම ශ්ලේෂ්මජ රෝග ලක්ෂණ වලදී භාවිතා කරන ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි වැනි ද්‍රව්‍යයන්හි ස්ථානීය ක‍්‍රියාවන් සම්බන්ධයෙන් ද ඒවා ශ්ලේෂමධරා කලා මත ඇති කරන ආරක්ෂණ යාන්ත‍්‍රණය ගැන යම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ද කළ හැකිය. මෙම කඳවුරු තුළ දැනට සිටින සෑම පුද්ගලයෙකුම අවදානම් කලාපයක සිට ලංකාවට පැමිණි අය නිසා ඔවුන්ගේ සිරුරු තුළ වෛරසය තිබීමේ ඉඩකඩ ගැන සලකා මෙවැනි දේශීය ප‍්‍රතිෂේධක ඖෂධ භාවිතය වඩා ආරක්ෂා කාරී බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොත්තමල්ලි, ඉඟුරු, සුදුලූනු, වැල්මී, රසකිඳ වැනි ද්‍රව්‍ය යොදා සකස් කළ ඔසුපැන් තේ වෙනුවට දිනකට කිහිප වතාවක් ලබා දීමත් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය සහිතව යම් දිනචර්යා ක‍්‍රමයක් සැකසීම ප‍්‍රතිඵලදායි වනු ඇත.

යම් පුද්ගලයෙකු රෝග ලක්ෂණ පෙන්වන්නේ නම් ඊළඟ පියවර වන්නේ ඒකලනය (isolation) වේ. එහිදී රෝග ලක්ෂණ පෙන්වනු ලබන පුද්ගලයා රෝගය තහවුරු කරන තෙක් මෙන්ම රෝගියෙකු බවට තහවුරු වීමෙන් පසුව සුවය ලබා පිටව යන තෙක් තනි කොට තැබීමයි. එහිදී රෝගියාට අවශ්‍ය සියලූ වෛද්‍ය ප‍්‍රතිකාර හා රැකබලා ගැනීම් සිදු කරන අතර රෝගය උත්සන්න වීමේ හෝ එයින් ඇතිවන උපද්‍රව පිළිබඳ සායනික කළමනාකරණය සම්බන්ධයෙන් වෛද්‍ය කාර්යමණ්ඩල නිසි අවධානයෙන් පසුවනු ඇත. මෙසේ සොයා ගනු ලබන රෝගියෙකුගේ සංචරණ ඉතිහාසය හා ඔහු සමඟ ගැවසුණු පුද්ගලයන් ආවේක්ෂණය කිරීම (surveillance) හා ඔවුන් පරීක්ෂා කිරීම මෙන්ම නිරෝධායනයට ලක් කිරීමටද සෞඛ්‍ය අංශ වලට බලය තිබේ. එහිදී සිදුවන්නේ ඔහු ආගිය තැන් හා ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳව මාර්ග සිතියමේ ආපස්සට ගමන් කිරීමයි. ඒ අනුව රෝගය ව්‍යාප්ත විය හැකි අවදානම ඇගයීමක් (risk assessment) කරනු ලැබේ. එබඳු අවස්ථාවක යම් කෙනෙකු එම ක‍්‍රියාවලියට විරෝධය පෑමක් හෝ අනුගත නොවීමක් සිදුවන විට ඔවුන් බලෙන් ඉවත් කිරීමට (detention) ද නීතිමය ප‍්‍රතිපාදන තිබේ.

දැනට ක‍්‍රියාත්මක වන 1897 අංක 3 දරන නිරෝධායන හා රෝග නිවාරණ ආඥා පනත යටතේ නියෝග නිකුත් කිරීම සිදු කරනු ලබයි. මෙම පනතට අනුව;

(අ) ශ‍්‍රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ස්ථානයකට පැමිණෙන ගුවන් යානා, යාත‍්‍රා සහ බෝට්ටු නිරෝධායනය සඳහා ස්ථානගත කිරීම, එය විෂබීජ හරණය කරන ආකාරය සහ රජය විසින් අය කරනු ලබන ඕනෑම ගාස්තුවක් අයකර ගැනීමේ ක‍්‍රමවේදය සැකසීම සහ නියම කිරීම සඳහා. එවැනි මෙහෙයුම් සිදු කිරීමේදී;

(ආ) එවැනි ගුවන් යානා, යාත‍්‍රා හෝ බෝට්ටු නිරෝධායනය සඳහා ගෙන ඒම, එම භාණ්ඩ විෂබීජහරණය කිරීම හෝ ධූමකරණය කිරීම, එවැනි මෙහෙයුම් සිදු කිරීම සඳහා ගාස්තු පැනවීම සහ ඒවා අයකර ගැනීමේ ක‍්‍රමවේද සැකසීම;

(ඇ) ගුවන් යානා, යාත‍්‍රා හෝ බෝට්ටුවලින් පුද්ගලයන් හෝ භාණ්ඩ ගොඩබෑම තහනම් කිරීම හෝ නියාමනය කිරීම සඳහා නියත වශයෙන්ම හෝ කොන්දේසි සහිතව;

(ඈ) නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම හා නඩත්තු කිරීම සහ ඒවා කළමනාකරණය කිරීම, නියාමනය කිරීම සහ එම ස්ථානවල භාවිතය සහ සේවය සඳහා ගාස්තු අය කිරීම, පැනවීම සහ එම පුද්ගලයන්ගේ නඩත්තු වියදම් අය කර ගැනීම;

(ඉ) ශ‍්‍රී ලංකාවේ ඕනෑම වරායකට හෝ ස්ථානයකට පිටත්ව යන හෝ පැමිණෙන ගුවන් යානා, යාත‍්‍රා සහ බෝට්ටු පරීක්ෂා කිරීම සහ ඒවා රඳවා තබා ගැනීම හෝ අවශ්‍ය පරිදි යාත‍්‍රා කිරීමට අදහස් කරන ඕනෑම පුද්ගලයෙකු;

(ඊ) දුම්රිය මාර්ගයෙන් හෝ වෙනත් ආකාරයකින් ගමන් කරන පුද්ගලයන් පරීක්ෂා කිරීම සහ රෝහල්වල වෙන් කිරීම හෝ වෙනත් ආකාරයකින් රෝගී වූ පුද්ගලයන් පරීක්ෂා කිරීම සඳහා; මෙ මගින් බලය ලැබී ඇත.

යම් රෝගයක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවීමේ ඉඩකඩ අවම කිරීම සඳහා අනුගමනය කරන තවත් ක‍්‍රියාමාර්ගයක් වන්නේ සමාජමය දුරස්ථභාවය (social distancing) තබා ගැනීම වේ. එමගින් ජනතාව වැඩියෙන් ගැවසෙන ප‍්‍රසිද්ධ ස්ථාන,

රැස්වීම් හෝ ප‍්‍රවාහන සේවා වලින් ඈත්ව සිටීම මෙන්ම පුද්ගලයන් එකිනෙකා ස්පර්ශ වන අවස්ථා අවම වළක්වා ගැනීම ද සිදුවේ. අතට අත දීම, සිප ගැනීම, වැළඳ ගැනීම වැනි ආචාර ක‍්‍රම වලින් ඉවත් වීම ද මෙහිලා වැදගත් වේ. මේ සඳහා යම් ශික්ෂණයක් ඇතිකිරීමට සෞඛ්‍ය අධ්‍යාපන හා සන්නිවේදන ක‍්‍රම භාවිත කිරීමේදී සමාජ මාධ්‍ය වගකීම් සහිතව හැසිරීම අවශ්‍ය වේ. යම් ආගමික විශ්වාස පදනම් කොට වෛරසයෙන් ආරක්ෂා වනු පිණිස නොයෙකුත් වැරදි මත හා උපදෙස් ප‍්‍රචාරය කරන කූට ජාවාරම්කරුවන් මේ අවස්ථාවේ පිටු දැකීම කළ යුතුය. එසේම යම් රෝගියෙකු හා ගැටුණු බවට සැක සහිත අය ස්වයං නිරෝධානයට ලක් වීමත් ඔවුන් සිය ප‍්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමේ ක‍්‍රම අනුගමනය කිරීමත් අවශ්‍ය වේ.

එසේම පුද්ගල ස්වස්ථතාව අරමුණු කොට ගත් හුරු පුරුදු අනුගමනය කිරීම ද ඉතාම අවශ්‍ය වේ. ඒ සෑම ක‍්‍රියාවකින්ම සිදු කරන්නේ අප වෛරසය හා ගැටීම වළක්වා ගැනීම මෙන්ම යම් හෙයකින් වෛරසය හා ගැටීමක් සිදු වුවහොත් එය ශරීරගත වීම වැළැක්වීමයි. අප භාවිතා කරන භාණ්ඩ හා ගැටෙන පෘෂ්ඨයන් ව්‍යාසාධනය (disinfection) කිරීම ද මෙහිලා වැදගත් වේ. එසේම රෝගකාරක වෛරස වලට හිතකර අපවිත‍්‍ර පාරිසරික තත්වයන් වෙනස් කොට පවිත‍්‍ර කිරීම (decontamination) ද මේ සෞඛ්‍ය ක‍්‍රියාවලියේම කොටසකි. මෙකී ක‍්‍රියාවලීන් ගෙදර දොර මෙන්ම ප‍්‍රසිද්ධ ස්ථාන, පොදු ප‍්‍රවාහන සේවා, පාසල්, රෝහල් හා කඳවුරු ආදී සියලූ ස්ථාන වල ක‍්‍රියාත්මක කළ යුතුය. ආගමික, දේශපාලනික හෝ වින්දනාත්මක උත්සව වලට සහභාගි වීම අවම කළ යුතු අතර රජය ඒවා සීමා කිරීමට පියවර ගත යුතුය.

මේ සෑම අවස්ථාවකම රෝගීන් සමඟ හෝ සැකසහිත අවදානම් කලාප වල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා වෙනත් සහායක සේවකයන් පුද්ගල ආරක්ෂණ මෙවලම් හෙවත් Personal protective equipment (PPE) වලින් සම්පූර්ණ ලෙසම සිය රැකවරණය සලසා ගත යුතුය. එසේම නියමිත නිල උපදෙස් (protocol) අනුව ක‍්‍රියා කළ යුතුය. මෙම ක‍්‍රියාමාර්ග එක වෛද්‍ය ක‍්‍රමයකට සීමා වූ සම්මතයන් නොවන අතර විශ්ව සම්මත නියමයන් ලෙස අනුගමනය කළ යුතු පියවරයන් වේ. එබැවින් මේ අවස්ථාවේ මෙම වසංගතය ශ‍්‍රී ලංකාවේ පැතිරීම වළක්වා ගැනීම සෑම පුරවැසියෙකුම සතු වගකීමකි. එසේම චීනය තුළ ද මේ තත්ත්වය පාලනය කිරීමේදී චීන සම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමයෙන් ලබා ගත් පිටිවහල අපේ දේශීය වෛද්‍ය ක‍්‍රමයෙන් ද මේ රට තුළ දීත් වඩා ප‍්‍රායෝගිකව ලබා ගැනීමේ වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. ඒ සඳහා 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 7 වැනි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අරමුණු අනුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ හා බටහිර වෛද්‍යවරුන් ඒකාබද්ධව ක‍්‍රියා කළ හැකිය.

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
www.divaina.com