ඔබේ හිස­කෙස් ගැල­වෙ­න­වාද?


බාල වුණත්, මහලු වුණත්, හිසකෙස් ගැලවිලා වැටෙන එක හැමෝටම ප්‍රශ්නයකි. වෛද්‍යවරුන් පවසන ආකාරයට කෙස් ගසක වර්ධන අවදියට පසුව සති දෙකක් පමණ එහි වර්ධනය නතරව පවතින කාලයක් පවතී. සෛල විභජනය නතරවී ගතවන මේ විශේෂිත කාලයට පසුව එළැඹෙන්නේ, තුන් මාසයක් වූ විවේක කාලයකි. ඉන් පසුව තිබුණ කෙස් ගස වැටී අලුතින් කෙස් ගසක් මෝදු වීම ආරම්භ වේ.

දිනකට පුද්ගලයකුගේ හිසෙන් ගැලවී වැටෙන හිසකෙස් ප්‍රමාණය 50-100 අතර සංඛ්‍යාවකි. ඒත්, මෙය කලබලවිය යුතු තත්ත්වයක් නොවන බව වෛද්‍යවරුන්ගේ අදහස ය. අසාමාන්‍ය අයුරින් හිසකෙස් ගැලවී වැටීම සහ ඝනකම අඩුවී යාම, අවධානය යොමු කළ යුතු තත්ත්වයක් බව වෛද්‍යවරුන් පවසයි.

යකඩ ඌණතාව වැනි ගැටලු හේතුවෙන් හිසකෙස් ගැලවී යා හැකි ය. මීට අමතරව හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු කිහිපයකි.

* තයිරොක්සින් අඩුකම හා හෝමෝන ආශ්‍රිත රෝග

* ඩිම්බ කෝෂ ආශ්‍රිත රෝග තත්ත්ව

* පිළිකා සඳහා දෙන ඖෂධ, උපත් පාලන පෙති ආදී සමහර ඖෂධවල බලපෑම

* ඩෙංගු වැනි රෝගයක් වැළඳී මාස තුනකට පසුව සැත්කමක් කර හෝ දරු ප්‍රසූතියකට මාස තුනකට පසුව

* ජානමය බලපෑමෙන්

මේ ආකාරයට අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යන්නට විවිධ වූ හේතු බලපෑ හැකි නිසා, ඊට බලපාන නිශ්චිත හේතුව හඳුනාගෙන ප්‍රතිකාර කිරීම අවශ්‍ය වේ.

හිසකෙස් හැලී යෑමට බලපාන හේතුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා, කළ යුතු ප්‍රතිකාරද වෙනස් වේ. එම නිසා, හිතුමතේ විවිධ තෙල් අලේපන හා කෘත්‍රිම ප්‍රතිකර්ම හිසේ ගැල්වීමෙන්, ඔබ ප්‍රවේශම් විය යුතු ය.එය ඉතාමත් උග්‍ර තත්වයකට හැරී ඇත්නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු විය යුතු බව වෛද්‍යවරු පෙන්වා දෙති.

යශෝදා ඉන්දී­වරී