අපේ ආයුෂ පිරිහිණු හැටි..


අපගේ සමාජය එන්න එන්නම පරිහානි තත්ත්වයට යන ආකාරය දැන් ඇස්‌ පනාපිටම දකින්න ලැබෙනවා. මේ පිළිබඳව බොහෝ දෙනෙක්‌ විවිධ මත පළ කරනවා. සමහරු කියන්නෙ මේ අබුද්දස්‌ස කාලය කියල. නමුත් මේ සෑම දෙයක්‌ පිළිබඳවම නිශ්චිත පිළිතුරක්‌ තියෙන්න ඕන. එතැනදී අපිට ඉතාමත් වැදගත් වෙන්නෙ අප සරණ ගිය අපගේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනාව.

අපගේ බුදුරජාණන් වහන්සේට තිබුණෙ අසමසම ප්‍රඥවක්‌. පුදුමාකාර විශ්මිත අවබෝධයක්‌. ඒ අවබෝධයට සමාන කරන්න පුළුවන් වෙනත් දෙයක්‌ මේ තුන් ලෝකයේම නැහැ. ඉතිං අපි බලන්න ඕන මේ පිරිහීම පිළිබඳව අපේ බුදුරජාණන් වහන්සේගෙ දේශනාව මොකක්‌ද කියල. මේ ගැන ඉතාම විචිත්‍රවත් විදියට, නියමාකාර විදියට කළ දේශනාවක්‌ අපිට දීඝ නිකායේ තුන්වන කොටසේදී දකින්න ලැබෙනවා. ඒ තමයි චක්‌කවත්ති සීහනාද සූත්‍රය. මේ සූත්‍රයේදී අපේ භාග්‍යවතුන් වහන්සේ ඉතාමත් විස්‌තරාත්මක ලෙස දේශනා කරනව මිනිසාගේ ගුණධර්ම පිරිහීම නිසා ආයුෂ අඩුවුන ආකාරය. 

මේ දේශනාවේ මුලින්ම උන්වහන්සේ ඉස්‌මතු කරන කාරණාව ඉතාමත් වැදගත්. අප බුදුරජාණන් වහන්සේ දේශනා කරනව තමාව දූපතක්‌ කරගෙන වාසයකරන්න කියල. (අත්තදීපා භික්‌ඛවේ විහරති). තමාව සරණ කරගන්න කියනව (අත්ත සරණා). අන් කෙනකු සරණට ගන්න එපා කියනව (අනඤ්ඤසරණා). ධර්මය දූපතක්‌ කරගෙන වාසය කරන්න කියනව (ධම්මදීපා විහරථ), ධර්මය සරණ කරගෙන වාසය කරන්න කියනව (ධම්ම සරණා), වෙන දෙයක්‌ සරණ ගන්න එපා කියනව (අනඤ්ඤසරණා).

එතකොට කෙනෙක්‌ මේ විදිහට කටයුතු කරන්න නම් සතර සතිපට්‌ඨානයට අනුව වාසය කරන්න කියල අප භාග්‍යවතුන් වහන්සේ දේශනාකරනවා. තම පියාගෙන් උරුම වූ තැන වන සතර සතිපට්‌ඨානය තුළ හැසිරෙන්න කියල දේශනා කරනව. ඊට පස්‌සෙ උන්වහන්සේ දේශනා කරනව ඒ කාලෙ වුණු සිදුවීමක්‌. ඒ තමයි දළ්හනේමි කියන සක්‌විති රජතුමාගේ කථාව. (මේ ලිපිය තුළින් ඒ දීර්ඝවූ කථා ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමක්‌ සිදුවන්නේ නෑ.) විශේෂයෙන්ම ක්‍රම ක්‍රමයෙක්‌ පුද්ගලයා වැරැදි පැත්තට යොමුවුණු ආකාරය හා සමාජය පිරිහීමට පත්වුණු ආකාරය තමයි විස්‌තර කෙරෙන්නෙ.

ඒ කාලෙ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසූ දහසක්‌ තිබුණා. සාමාන්‍යයෙන් සක්‌විති රජකුගේ යුතුකම තමයි ධනය නැති අයට ධනය ලබාදීම. ඒක ආර්යය සක්‌විති වතෙන් එකක්‌. මුලින් සිටි සක්‌විති රජවරු මේ කටයුත්ත හරියාකාරව ඉටුකළත් පසුව පහළවුණු රජ කෙනකු මෙය හරියට ඉටු කළේ නෑ. ඒ කියන්නෙ ධනය නැති රටවැසියන්ට ධනය ලබාදුන්නෙ නෑ. ඒ හින්ද දිළිඳුකම බෙහෙවින් වැඩිවෙලා ගියා. දිළිඳුකම වැඩි වී ගියාට පසුව එක්‌ පුද්ගලයෙක්‌ අනුන්ට අයිති දෙයක්‌, එහෙම නැත්නම් තමාට නුදුන් දෙයක්‌ සොරසිතින් ගත්ත. මිනිස්‌සු ඔහුව අල්ලගෙන ඒ ඔටුනු පළඳවාගත් ක්‌ෂත්‍රීය රජතුමා ළඟට ගෙන ගියා. ඊට පසුව රජතුමා කාරණාව විමසා නැති බැරිකම නිසා කිව්වම ධනය ලබාදුන්න. මේක ආරංචි වුණු තවත් පුද්ගලයකුත් හොරකමක්‌ කළා. ඔහුටත් ධනය දුන්න. ඊට පස්‌සෙ තව පුද්ගලයෙක්‌ හොරකමක්‌ කළා. හැබැයි ඊට පස්‌සෙ අර රජතුමා කල්පනා කළා මේ විදියට හොරකම් කරන්න කරන්න ධනය දෙනකොට සොරකම වැඩිවෙනවා. ඒ නිසා මේ පුද්ගලයාට නැවත සොරකම් කරන්න බැරි වෙන්න හිස සිඳවන්න ඕන කියල හිතුණා. ඊට පස්‌සෙ ඒ පුද්ගලයාගේ හිස සිඳවා දැම්මා. මේක රටවැසියන්ට ආරංචි වුණා. සොරකම් කරන අයගෙ හිස ගසා මරා දමනව කියල. ඊට පස්‌සෙ ඔවුන් තියුණු ආයුධ තනාගෙන මිනිසුන්ගේ බඩු බාහිරාදිය පැහැරගෙන ඔවුන්ව ඝාතනය කිරීමට පටන් ගත්තා.

මෙන්න මේ විදියට ධනය නැති අයට ධනය නොලැබෙන කොට දිළිඳුකම බොහෝ පැතිරී ගියා.
දිළිඳුකම බොහෝ පැතිරී ගියාම අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියා. ඊට පස්‌සෙ අවි ආයුධ භාවිත කිරීම බොහෝ පැතිරුණා. මනුෂ්‍ය ඝාතන බොහෝ පැතිරී ගියා. එවිට ඒ සත්වයන්ගෙ ආයුෂයි, වර්ණයයි පිරිහුණා. අසූදහස ආයුෂ තියෙන දරුවන්ගෙ ආයුෂ අවුරුදු හතළිස්‌ දහසකට අඩුවුණා.

අවුරුදු හතලිස්‌ දහස කාලෙ එක පුද්ගලයෙක්‌ අනුන් සතු දෙයක්‌ හොරකම් කළාම මිනිස්‌සු ඔහුව රජතුමාට අල්ලා දුන්නා. රඡ්ජුරුවො ඒ පුද්ගලයාගෙන් හොරකම් කළාද කියල ඇහුවම ඔහු බොරු කිව්වා. එවිට බොරු කීම බොහෝ පැතිරිලා ගියා. ඊට පස්‌සෙ ඒ මිනිසුන්ගෙ ආයුෂයි වර්ණයි අඩුවුණා. අවුරුදු හතළිස්‌ දහස විසිදහස දක්‌වා අඩුවුණා. ඒ කාලයේදීත් එක පුද්ගලයෙක්‌ හොරකමක්‌ කළා. මේ ගැන තව පුද්ගලයෙක්‌ රජතුමාට කේලම් කිව්ව. මේ විදියට කේලම්කීම වැඩිවෙලා ගියා. ඒ නිසා ඔවුන්ගේ ආයුෂයි, වර්ණයයි පිරිහී ගියා. අවුරුදු දස දහස දක්‌වා ආයුෂ අඩුවෙලා ගියා.

මේ කාලයේදී සමහර සත්වයෝ හුඟක්‌ පැහැපත්. සමහර සත්වයෝ කිලිටි පැහැ ඇත්තෝ වුණා. අර හොඳට පැහැපත් නැති කිළිටි පැහැ ඇති අය, හොඳට පැහැපත් අය දෙස සරාගී සිතින් බලමින් අන් අඹුවන් සමග වැරැදි කාම සේවනයට පැමිණුනා. එවිට ඒ මනුෂ්‍යයන්ගේ ආයුෂයි වර්ණයයි පිරිහුණා. අවුරුදු දහදාහක්‌ තිබුණු ආයුෂ අවුරුදු පන්දහස දක්‌වා අඩුවුණා.

ඊට පස්‌සෙ ඒ මිනිසුන් තුළ තවත් අකුසල කර්මයන් වැඩිල ගියා. නිසරු වචන කීමත් හිස්‌ වචන කීමත් නිසා පන්දහසේ ආයුෂ ඇති පුද්ගලයො ආයුෂයෙන් පිරිහුණා. වර්ණයෙන් පිරිහුණා. ඔවුන්ගේ ආයුෂ අවුරුදු දෙදහස්‌ පන්සියය, දෙදාහ දක්‌වා අඩුවෙලා ගියා.

ඒ පුද්ගලයන් තුළ දැඩි ලෝභයත්, තරහවත් වැඩිල ගියා. එවිට ඒ පුද්ගලයන්ගෙ ආයුෂත් පිරිහුණා. වර්ණයත් පිරිහුණා. අවුරුදු දහස දක්‌වා ආයුෂය අඩුවුණා. ඒ පුද්ගලයන් තුළ මිත්‍යා දෘෂ්ටිය පැතිරිලා ගියා. එවිට අවුරුදු පන්සීය දක්‌වා ආයුෂ අඩුවෙලා ගියා. ඒ පුද්ගලයන් තුළ අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය පැතිරී ගියා. එවිට ඒ පුද්ගලන්ගේ ආයුෂ දෙසිය පනහ දක්‌වා, දෙසීය දක්‌වා අඩුවෙලා ගියා. ඒ පුද්ගලයන් තුළ මවට නොසැලකීම, පියාට නොසැලකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරු ආදී කුලයේ වැඩිහිටි අයට ගරු නොකිරීම පැතිරී ගියා. ඒ නිසා ආයුෂ අවුරුදු සියය දක්‌වා අඩුවුණා. මේ විදිහට ඒ ඒ පුද්ගලයන්ගේ දරුවන්ගේ ආයුෂ ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා සියයටම අඩුවුණා.

අපි දැන් අත් විඳින්නෙ ඒ කාලයෙන් පසු යුගය. දැන් ආයුෂ 60-70 දක්‌වා වගේ අඩුවෙලා. එන්න එන්නම ගුණධර්ම අඩුවෙලා. බුදුරජාණන් වහන්සෙ දේශනා කරනවා අනාගතයේදී මෙම ආයුෂ ප්‍රමාණය අවුරුදු දහය දක්‌වා අඩු වෙනව කියල. එවිට ජීවත්වන අයගෙ කිසිදු ගුණධර්මයක්‌ දකින්න නෑ. දැනට අපිට සිතෙන්න පුළුවන් ඒ වගේ යුගයක්‌ නම් උදාවෙන එකක්‌ නෑ කියල. නමුත් අපි ක්‍රම ක්‍රමයෙන් ඇදිල යන්නෙ ඒ යුගයට. මේ සමාජය ඉතාමත් දරුණු තත්ත්වය. පත්වෙලා තියෙන්නෙ. චක්‌කවත්තී සීහනාද සූත්‍රයේදී දේශනා කරනවා අවුරුදු දහයකට අඩුවුණ කාලෙදි තියෙන දරුණු තත්ත්වයට මෙහිදී ඒ පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ කෙරෙන්නෙ නෑ. මෙහිදී අපි ඉගෙන ගත යුතු පාඩම තමයි අපි ඒ ඒ අකුසල් කරද්දි ආයුෂ අඩුවෙන ආකාරය. ඒ වගේම සමාජය පිරිහෙන ආකාරය. ඒ නිසා අපි අකුසල ධර්මවලින් හැකිතාක්‌ දුරට මිදිලා කටයුතු කරන්න අධිෂ්ඨාන කර ගනිමු. සුළු ආකාරයකින් හරි මේ සමාජ පරිහානිය වළක්‌වා ගැනීමට උත්සාහ කරමු. 

තෙරුවන් සරණයි !

උපුටා ගැනීම - facebook - සසර තරණ