සුෂුම්නා අනතුරු ගැන ඔබ දන්නාදේ සත්‍යයද ?


කෙළින් ඇවිදීමට මිනිස් වර්ගයාට හැකිවී තිබෙන්නේ කොඳු ඇට පෙළ නිසා බව ඔබ දනී. මේ නිසා අප විවිධ අවස්ථාවලදී කෙළින් වැඩ නොකරන අයෙකුට කොන්දක් නැතැයි කියන්නටද හුරු පුරුදුව සිටිමු. නමුත් අද අප මේ කතාකරන්නේ කොන්දක් තිබේද නැද්ද යන්න පිළිබඳව නොව සුෂුම්නාවට සිදුවන අනතුරු නිසා සදාකාලිකව ආබාධිතබවට පත්වන මිනිසුන් පිළිබඳවය. බොහෝදෙනෙකු සිතාසිටින්නේ මෙසේ ගත අප්‍රාණිකව වැතිර සිටින්නට සිදුවන්නේ වයසක මිනිසුන්ට පමණක්ය යන්නය. නැත බොහෝවිට සුෂුම්නා අනතුරු නිසා මෙකළ බහුල ලෙස ආබාධිත බවට පත්ව ඇත්තේ තරැණ වයස්වල පසුවෙන අය නිසා  මේ කරුණ සාකච්ඡාවට බඳුන් කිරීම  බොහෝ කාලෝචිතය.

කිසියම් කෙනෙකුගේ කොන්ඳේ බිඳීමක් ඇතිවීම එම පුද්ගලයා එක්තැන්වීමක්   ලෙස සිතන්නට බොහෝ දෙනා හුරු පුරුදු වූයේ අද ඊයේ සිට නොවේ. මෙවැනි සිදුවීම් පිළිබඳ එකළ බොහෝ දෙනා කතාබහ කරන්නට පටන්ගත්තේ ගස්වලින් ඇදවැටීම, එමෙන්ම වහලයක් මත සිටියදී ඇදවැටීම වැනි  සිදුවීම් සමගය. නමුත් අද තතත්වය එසේ නොවේ. එමෙන්ම අද බොහෝවිට අනතුරට පත්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නෝද වයස අනුව පවා යම් වෙනසක් තිබේ.

කොන්ද බිඳීම එසේත් නැතිනම් කොන්ද කැඩීම ලෙස ගම්බදව හඳුන්වන තත්ත්වය අප අද සුෂුම්නා අනතුරු ලෙස හඳුන්වන්නට හුරුපුරුදුව සිටියත් මේ කතාකරන්නේ ඒ කියන කොන්ද බිඳීයාම ලෙස ඔබ දන්නා හඳුනන තත්ත්වයටම නෑකම් කියන තත්ත්වයක් බව කිවයුතුව තිබේ. අද අප මහමග අනතුරු සම්බන්ධයෙන් වෙනදාට වඩා වැඩියෙන් කතාබහ කරමු. ඒ සැබවින්ම මාර්ග අනතුරු සම්බන්ධයෙන් ගැටලුවක් අපට පවතින බැවිණි.

මහමග සිදුවන අනතුරුවලදී අප බොහෝවිට රෝගියාට සුෂුම්නා අනතුරක් සිදුව ඇතිබව දැනගන්නේ රෝගියා රෝහලට ගෙනවිත් නිසි පරීක්ෂාවක් සිදුකිරීමෙන් අනතුරුවය. එතෙක් අප රෝගියාගේ තත්ත්වය පිළිබඳව කිසිවක් නොදනිමු. එමෙන්ම රෝගියාගේ අනතුර අනුව ඇතැම්විට ඔහු හෝ ඇය සිහිසුන්ව සිටිය හැකිය. මේ නිසා එවන් දරුණු අනතුරකට මුහුණ පා මහ මග  සිටින රෝගියෙකු රෝහලට ගෙන යාම පවා පරෙස්සමෙන් කළ යුතුය. කොඳු ඇට පෙළ මෙහිදී ඉතාම වැදගත්වෙයි මොළයේ සිට පැමිණෙන ස්නායු තත්තු සියල්ලම පාහේ එක් තැනකදී එක් මිටියකට හසුවී කොඳු ඇට පෙළ අතරින් දිවෙයි අප සුෂුම්නාව යයි පවසන්නේ එම ස්ථානයටයි.

මේ ස්නායු කොටස් කොඳු ඇටවලට හානි වූ විට කැපී කැඩීයාමට ලක්විය හැකිය. එවිට එම ස්නායු වලින් පාලනය කළ ශරීරකොටස් අඩපණවීමකට බඳුන් වෙයි. යම් අයුරකින් කොඳු ඇට පෙළේ මුල් කොටසේ  එනම් ගෙල පිටුපස මෙවන් ආකාරයේ ස්නායු තුවාලවීමක් සිදුවී අක්‍රිය වුවහොත් එම තැනැත්තාගේ මුළු ශරීරයම අඩපණවී යා හැකිය. නමුත් මෙම ස්නායු බිඳීයාම තුළින් සුෂුම්නාවට හානිවූයේ ගෙලට පහළ කොටසේ කොඳුඇට පෙළින් නම් ගෙල හා හිස පෙදෙස හැරුණු විට ශරීරය මුළුමනින්ම අක්‍රියවීමක් සිදුවිය හැකිය. ඇතමුන්ගේ මේ හානිය සිදුවෙන්නේ උරහිස්වලට පහළින් පපු පෙදෙසට පිටුපසින් නම් රෝගියාගේ අක්‍රිය බව පපුවෙන් පහළ කොටසට බලපෑ හැකි නමුත්  දෑත් සෙලවීම එහාමෙහා කිරීම කළ හැකිය.

එහෙත් කොඳුඇට පෙළේ බිඳුම ඇතිවූයේ ඉණ ප්‍රදේශය ආශ්‍රිත කොඳුඇට පෙළේ නම් රෝගියාගේ අප්‍රාණික කොටස බලපානු ඇත්තේ උකුලෙන් පහළ ප්‍රදේශයටය. මේ අනුව සුෂුම්නා අනතුර සිදුවූ තැන අනුව රෝගියාගෙන් රෝගියාට ඇතිවිය හැකි ලක්ෂණවලද යම් වෙනසක් පවතී. බොහෝ දෙනෙකු මෙවන් අවස්ථාවලදී සිදුකරන වැරදි අතර ඉතාම සුලභ එකක් වෙන්නේ කිසියම් තෙල් වර්ගයක් හෝ යම් ආලේපයක් රෝගියාගේ වේදනාව දැනෙන ප්‍රදේශයේ තවරා පිරිමදිමින් ඔහු රෝහලට ගෙනයෑමට මදක් ප්‍රමාදකිරීමයි. සැබවින්ම මෙම අවස්ථාවේදී ඇතැම්විට හදිසියේ සිදුකළ යුතු ප්‍රතිකාරයන් මගහැරීම මෙන්ම රෝගියාගේ තත්ත්වය බරපලතවීමට බලපාන බොහෝ හේතු මතුවීමට ඉඩ ඇත්තේ අනතුරින් පසුව දෙවන අනතුරකටද රෝගියා නතුකරමිනි.

රෝගියාට මෙසේ වීමට ඉඩ ඇත්තේ මාර්ගයේ සිදුවන අනතුරුවලින් යැයි සිතුවහොත් ඔබ වැරදිය . ඇතැම් පුද්ගලයන්ට මේ තත්ත්වයට මුහුණදීමට සිදුව ඇත්තේ ක්‍රීඩා අනතුරක් සිදුවීමෙන් විය හැකිය. එසේත් නැතිනම් ඇතමෙකුට මෙම තත්ත්වය තමන්ගේ ගෙවත්තේ කිසියම් ගසකට නැගීම නිසා හෝ වහලයක් මත නැගී  එය පිළිසකර කිරීමට යෑම නිසා විය හැකිය. මේ හැරෙන්නට කුමන හේතුවක් මත නමුත් යම් අකාරයකින් බිමට ඇදවැටුණහොත් එහිදී මෙවන් අනතුරක්වීමට ඉඩ තිබේ.  බොහෝවිට අතීතයේදී අප මෙවන් අවස්ථා වැඩිපුර දුටුවේ පොල්ගස් යන පුද්ගලයන් මෙන්ම අතුරේ යන පුද්ගලයන් බිමට ඇදවැටීම හේතුවෙන් නමුත්  අදද මේ පිරිසට අමතරව විවිධාකාරවූ අනතුරු නිසා රෝගීන් සදාකාලික ලෙස මේ ආකාරයෙන් ආබාධිත බවට පත්වෙයි.

නමුත් පඩිපෙළකින් ඇදවැටීම ආදී  හේතු නිසාවෙන් වුවත් මෙවන් අනතුරු සිදුවීමට ඉඩක් නැතැයි පැවසිය නොහැක. බොහෝවිට කිසියම් අනතුරක් සිදුවූ විට එකළ සිරිතක්ව පැවතියේ  කැඩුම්බිඳුම් සම්බන්ධයෙන් වෙදකම් කරන්නෙකු වෙත රෝගියා ගෙන යෑමය. එහිදී ඇතැම්විට රෝගියාගේ තත්ත්වය හඳුනාගෙන අවශ්‍යවන අන්දමේ ප්‍රතිකාර කඩිනමින් ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන්ද සදාකාලිකවම ආබාධිත තත්ත්වයන්ට මුහුණ දුන් පුද්ගලයෝ අප අතර වෙති. මේ නිසා උසකින් ඇදවැටුණු එමෙන්ම හදිසි අනතුරකට මුහුණ දුන් අයෙකු රෝහල වෙත රුඟෙන යාම ප්‍රමාදකිරීමට කිසිවිටක උත්සහ නොකරන්න.

උසකින් ඇදවැටුණු රෝගියා දෙකට නවා එසැවීම සැබවින්ම බිඳීගිය අස්ථිවලින් ස්නායු කැපී වෙන්වීමට උපකාරීවන ක්‍රියාවකි. එහෙයින් එවන් රෝගියෙකු එසැවීමේදී පුද්ගලයන් දෙදෙනෛකු හිස පෙදෙසින්ද තවත් පුද්ගලයන් දෙදෙනෙකු උරහිස හා පිට පෙදෙසින්ද කොන්ද හා උකුළ ප්‍රදේශය තවත් දෙදෙනෙක් විසින්ද දෙපා තවත් පුද්ගලයන් දෙදෙනෙකු විසින්ද ඔසවාගෙන යෑමෙන් රෝගියා වැතිර සිටින ඉරියව්වෙන්ම අනතුරකින් තොරව ඔසවාගෙන යෑමට අවස්ථාව ලැබේ. කෙසේ නමුත් ළඟම ඇති රෝහලට මෙවන් රෝගියෙකු වහාම ගෙන යෑම එවන් අවස්ථාවක සිදුකළ හැකි ඥානවන්තම ක්‍රියාවයි.

බොහෝවිට ඇතැම් අවස්ථාවල වැටුනු රෝගියෙකු ඇවිදීමට ඇති අපහසුව මගහරවා ගන්නට ඒ අවස්ථාවේ කිසියම් අයෙකුගෙන් සපයා ගත හැකි කිහිලි කරු දෙකක් වැනි ආධාරකයක් වහා ප්‍රයෝජනයට ගැනීමට ඉඩ තිබේ. නමුත් මෙවැනි උපකරණද ඔබ හිතුමතයේ භාවිතය නිසා වෙනත් ශාරීරිකමය  වශයෙන් බලපාන ආබාධ තත්ත්වයන් මතුවිය හැකිය. මෙයද සැබවින්ම යම් අනතුරුදායක බවක් කැඳවන තත්ත්වයකි. සැබවින්ම කිසියම් ආබාධිතබවක් නිසා එයට යම් උපකරණයක සහය බලාපොරොත්තුවෙන්නේ නම් එය එම ආබාධය වෙනුවෙන් ඔබ ප්‍රතිකාර ලබනා වෛද්‍යවරයාගෙන් විමසීමෙන් ඔහුගේ උපදෙස්වල සහය ලබා තෝරා ගැනීමට උනනන්දු වෙන්න.

බොහෝ අනතුරු සිදුවන්නේ හදිසිය නිසා හෝ අඩමානයට වැඩකිරීමට යාමෙන් බැවින් එවන් අවස්ථා සැලකිල්ලෙන් මගහරවා ගන්න. එවිට මෙවන් අවාසනාවන්ත ඉරණමක් අත්විඳීමට සිදුවීම අවම වී යනු ඇත. වසරකට අප රටේ 1500 ත් 2000 ත් අතර පිරිසක් පූර්ණාකාලීන ලෙස ආබාධිතබවට පත්වීම මග හරවා ගන්නට එයින් යම් සහයක් ලැබෙනු ඇති අතර එය ඔබේ ජීවිතයේ සක්‍රීය අවදිය සතුටින් ගතකිරීමටද පිටුවහලක් වෙනු ඇති.

උපුටා ගැනීම - www.ada.lk