ඔබ ධනවතෙක්දැයි කේන්දරයෙන් දැන ගන්න


විවිධ පුද්ගලයන් දෙස බැලීමේදී අපට පෙනෙන කරුණක් තමයි, එක් එක් පුද්ගලයා සතු හැකියාවන් වත්කම් යස ඉසුරු කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් බව. බුදු දහමට අනුව මෙහෙම වෙන්න කෙනෙක් අතීත ආත්ම භවයන්හිදී කරගන්නා ලද කුසල අකුසල කර්මත්, පසුගිය ආත්ම භවයේ අවසාන මොහොතේදී ඇතිවූ සිතත් බලපාන බවයි සඳහන් වන්නේ. කෙනෙකු උපන් වේලාව පදනම් කරගෙන නිර්මාණය කරන ලද ජන්ම පත‍්‍රයේ ග‍්‍රහයන්ගේ පිහිටීම අනුව ජන්මියාට මේ ආත්ම භාවයේදී අත්වන ඉරණම කියැවීමට හැකි ඉතා වටිනා ශාස්ත‍්‍රයක් ලෙස ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය හඳුන්වන්න පුළුවන්.

 කේන්දරයක ලග්න භාවයෙන් තමයි කෙනෙකුගේ පුද්ගලික තත්ත්වය බාහිර පෙනුම ගතිගුණ දක්‍ෂකම් වාසනාව සහ ශරීර ස්වභාවය ගැන කියැවෙන්නේ. ලග්න භාවයේ සුබ ග‍්‍රහයන් තැන්පත් වීම සුබ ග‍්‍රහයන්ගේ දෘෂ්ටියට ලක්වීම නිසා ලග්න භාවය සමෘද්ධිමත් වෙනවා. ඒ විතරක්, නෙමෙයි ලග්නාධිපති තැන්පත් රාශිය ගැනත් බලන්න ඕනෙ. ලග්නාධිපතිට ලග්නය පෙනීමද කේන්දර හිමියා බලවතකු බවට පත්කරන සාධකයක් ලග්නාධිපති, ස්වක්‍ෂේත‍්‍ර, උච්ච, මූල ති‍්‍රකෝණ වැනි බලයකින් යුක්තව භාවය තුළ තැන්පත් වීමෙන්ද කේන්දර හිමියාට සුබ ඵල ගෙන දෙනවා.

 ලග්නාධිපති ග‍්‍රහයා සහ ලග්න රාශියේ තැන්පත් ග‍්‍රහයන්, නවාංශක කේන්දරයේ තැන්පත්ව සිටින්නේ සුබ භාව වල සහ සුබ ග‍්‍රහයන් සමග වීමද පුද්ගලයාගේ දියුණුවට හේතුවන තවත් කරුණක්.

 ඕනෑම කෙනෙකුට මේ ආත්ම භවයේදී කරදර දුක් පීඩා වලට අවම වශයෙන් මුහුණදීමට නම්, පෙර ආත්ම භවයන්හිදී රැුස්කර ගන්නා ලද කුසල් වැඩිපුර තිබිය යුතු වෙනවා. පෙර ආත්ම භවයන්හිදී රැුස්කර ගන්නා ලද කුසල් ගැන කියැවෙන්නේ කේන්දරයේ නව වන ස්ථානය වන පූර්ව පුණ්‍ය ස්ථානයෙන්. ලග්නාධිපති ග‍්‍රහයා නව වැන්න අධිපති ග‍්‍රහයා සමග යෝගව සිටීම, නව වැන්නේ සුබ ග‍්‍රහයෙක් බලවත්ව තැන්පත් වීම, සුබ ග‍්‍රහයන්ගේ දෘෂ්ටියට නව වැන්න සහ නම වැන්න අධිපතින් ලක්වීම නවාංශක කේන්දරයේදී නව වැන්න අධිපති ග‍්‍රහයා යහපත් ලෙස පිහිටීම මගින්ද කේන්දර හිමියා බොහෝ පෙර පින් ඇති කෙනෙකු බවද ඒ හේතුවෙන් මේ භවයේදී සාර්ථක ජීවිතයක් ගත කිරීමට වාසනාවන්ත වන බවක්ද කියැවෙනවා.

 කේන්දරයක දෙවැනි භාවය තමයි ධන භාවය ලෙස සැලකෙන්නේ. දෙවැන්නෙන් කේන්දර හිමියා පරිහරණය කරන මිල මුදල්, ධන ලාභ, ලෞකික බුක්ති විඳීම් ගැන කියැවෙනවා. දෙවැනි භාවයේ සුබ ග‍්‍රහයෙක් තැන්පත් වීමෙන්, දෙවැන්න අධිපති කේන්දරයේ හොඳ තැනක සුබ දෘෂ්ටි ලබා බලවත් වීමෙන්, දෙවැනිභාවය සමෘද්ධිමත් වූ විට පුද්ගලයා සැලකිය යුතු මුදලක් පරිහරණය කරමින් ධනවත්ව ජීවත් වීමට වාසනාවන්ත වෙනවා.

  na5 1පුද්ගලයාගේ ආදායම ගැන කියැවෙන එකොළොස්වැන්න අධිපතියා දෙවැන්න අධිපතියා සමග සංයෝග වීමද 11 වැන්න අධිපතියා බලවත් වීමද 11 වැනි භාවය සුබ ග‍්‍රහයන්ට පෙනීමද 11 වැන්න අධිපති දෙවැන්න අධිපති සමග පරිවර්තන යෝගයක යෙදී සිටීමද කේන්දර හිමියාට සමෘද්ධිමත්ව ජීවත් වීමට වාසනාව උදාකර දෙනවා.

 කේන්දරයක 5 සහ 9 වැනි භාව බලවත්වීම මගින්, කේන්දර හිමියාට සමෘද්ධිමත් බවක් ළඟාකර දෙනවා. මේ ලිපිය කියවීමේදී ඔබ, ඒ ඒ භාවයේ අධිපතීන් කවුරුන්ද යන්න දන්නේ නැත්නම් තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනගන්න ඕනෙ.

 මේෂ වෘශ්චික රාශි දෙකට කුජද

 වෘෂභ තුලා රාශි දෙකට සිකුරුද,

 මිථුන කන්‍යා රාශි දෙකට බුධද,

 කටක රාශියට සඳු ද,

 සිංහ රාශියට රවිද,

 ධනු මීන රාශි දෙකට ගුරුද, අධිපතීන් වන බව.

 ඒ ඒ රාශීන්ට අධිපතින් වන්නේ කවුද කියන එක මතක තබා ගන්න පුළුවන් නම්, ජ්‍යොතිෂය පිළිබඳ ඉගෙන ගැනීමේදී ඔබට වැදගත් වේවි. ග‍්‍රහයෙක් බලවත් වෙනවා කියලා කියන්නේ උච්ච, මූල ති‍්‍රකෝණ, ස්වක්‍ෂේත‍්‍ර වැනි තත්ත්වයක් එම ග‍්‍රහයා ගමන් ගන්නා රාශිය තුළදී ලබා ගැනීමයි.

 සැලකිය යුතු මුදලක් සාධාරණව උපයා ගනිමින් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම්ද හරි හැටි ඉටුකරමින් නිදහසේ සැපසේ ජීවත්වන පුද්ගලයන් අපට මේ සමාජය තුළ හමුවන්නේ ඉතාමත් අඩුවෙන්. අන්න ඒ වගේ අයගේ කේන්දර පරීක්‍ෂා කිරීමේදී එම කේන්දර තුළ ඉහතින් සඳහන් කළ ග‍්‍රහ පිහිටීම් දැකගත හැකි වෙනවා.

 ජ්‍යොතිෂ ශිරෝමනී - චන්දන වීරක්කොඩි
උපුටා ගැනීම - දිවයින