කේන්ද්‍රයක හැම රාශියක්‌ම වැදගත්ය


කේන්ද්‍රයක හැම රාශියක්‌ම වැදගත්ය. පලාපල කීමේදී ඒ හැම රාශියක්‌ කෙරෙහිත් රාශිය අධිපතියා කෙරෙහිත් එම රාශිය හා ග්‍රහයා අතර ඇති නෑකම කෙරෙහිත් එසේම එම ග්‍රහයාගේ කාරක අයිතිය කෙරෙහිත්, එම ග්‍රහයා නියෝජනය කරන නැකත කෙරෙහිත්, තව දුරටත් එම ග්‍රහයා ලබන දෘෂ්ටිය සංයෝගය කෙරෙහිත් එම ග්‍රහයා සිටින රාශියේ දෙපස රාශියේ තත්ත්වය කෙරෙහිත් විශේෂ අවධානය යොමු කළ යුතුවේ.

කේන්ද්‍රයක පලාපල කීමේදී හැම රාශියක්‌ම වැදගත් වන බවක්‌ සඳහන් කෙළෙමි. එසේම හැම ග්‍රහයෙක්‌ම වැදගත් වෙයි. එහෙත් කෙනකුගේ ජීවිතය මෙහෙයවූ අවස්‌ථා කීපයක්‌ ඇත. ඒ පුද්ගලයාගේ පෞරුෂය නිරෝගී බව අධ්‍යාපනය, රැකියාව ආර්ථිකය විවාහය, දරු මුනුබුරු ආදීන්ය.

පෞරුෂය යන යෙදීමෙන් කරුණු කීපයක්‌ හා සම්බන්ධ වෙයි. පුද්ගලයාගේ සිත් ගන්නා සුළු ස්‌වභාවය උස, මහත, පැහැය කතා විලාශය, සමාජ පිළිගැනීම, උගත්කම පදවිය යන මේ සියල්ලේ එකතුව පෞරුෂයයි. පෞරුෂය යන්නෙහි අරුත ඒ සා පළල් වන්නා සේම රැකියාව විවාහය ආදී අනෙක්‌ හැම එකකම අරුත ඒ අයුරින්ම සංකීර්ණය. එසේ බලන විට එක්‌ පුද්ගලයකුගේ ජන්ම කේන්ද්‍රය පමණක්‌ විවරණය කරමින් පිටු සිය ගණනක පොතක්‌ ලියන්නට බැරිකමක්‌ නැත.

එහෙයින් යුගයට සරිලන පරිදි කෙනකුගේ ජීවිතය දරාගෙන සිටින ශක්‌තීන් අතරින් ප්‍රධානතම ශක්‌තීන් කෙරෙහි දැඩි අවධානයක්‌ යොමු කළ යුතු වේ.

පුද්ගලයකු ගැන සිතමු. ඔහුට නමක්‌ වේ. මව්පිය ආදී බොහෝ පිරිසක්‌ වෙති. රැකියාවක්‌ වෙයි. ගෙයක්‌ දොරක්‌ වාහන පහසුකමක්‌, වෘත්තියක්‌ එම වෘත්තියේ බලයක්‌, ඔහුට අධ්‍යාපනයක්‌, ආර්ථික ශක්‌තියක්‌ විවාහයක්‌, සමාජ සබඳතාවක්‌, පුළුවන්කමක්‌ හෙවත් දක්‍ෂතාවක්‌ ආයු බලයක්‌ බිරිඳක්‌ දරුවෙක්‌ මේ සියල්ලම එකතු කළ විට ජීවිතයක්‌ යන අරුත ලැබෙයි. පලාපල කීමේදී මේ සියලු කරුණු අනාවරණය විය යුතුය.

මුළු ජීවිතය ග්‍රහයන් නවදෙනකු නමැති කණු නවයකින් උසුලාගෙන සිටින ගෘහයක්‌ වැන්න. ඒ අනුව එම ගෘහයේ ස්‌වභාවය වෙනස්‌ වන්නා සේම ජීවිතය ද විවිධ වෙයි.

ග්‍රහයන් නවදෙනාගෙන් එක්‌ ග්‍රහයකු පමණක්‌ අරමුණු කරගෙන කතා කළොත් එමගින් විවරණය වන කරුණු රැසකි. එය ගසක්‌ මෙනි. එක්‌ එක්‌ ගස එක්‌ එක්‌ උසය. ඒ ගසේ කොළ මල් ගෙඩි අරටු ආදී බොහෝ දේ වෙයි. එහි ඵලය සමහර විට රසය නැතොත් විෂය. ජීවිතයක්‌ද එසේය.

අපි නිදසුනක්‌ වශයෙන් එක්‌ ග්‍රහයකු ගැන පමණක්‌ කතා කරමු. අප අවධානය යොමු කරන්නේ සිකුරු ග්‍රහයා ගැන නම් එම සිකුරු වටා ඇති සියලු සබඳතා විමසා බැලිය යුතු වෙයි. එම සිකුරට කාරක අයිතියක්‌ වෙයි. හිමි රාශියක්‌ හෝ දෙකක්‌ වෙයි. නැකතක්‌ වෙයි. දෘෂ්ටියක්‌ ද විය හැකිය. සංයෝගයක්‌ විය හැකිය. සතුරු මිතුරු ග්‍රහයෝද වෙති. ස්‌වක්‍ෂේත්‍ර, උච්ච, නීච වැනි තත්ත්වයක්‌ද වෙයි. සිකුරු ගැන කතා කරන විට යටත් සියල්ලම ඇතුළත් විය යුතුය. එහෙයින් එය සංකීර්ණය.

පළමු කොට අපි එම සිකුරු සිටින රාශිය ගැන බලමු. සිකුරු පතිතව ඇත්තේ මේෂ රාශියේ නම්(

එම සිකුරු පළමු කොට කුජගේ ගුණය හෙවත් ගනී. ස්‌වභාවය ආරෝපනය කර ශනි ගිනි ග්‍රහයකු වූ කුජගේ රාශිය තුළ දී සිකුරු අවදි වූ සිතුවිලි සහිතයි. වේගවත් ක්‍රියාශීලී බවක්‌ පෙන්වයි. අධි රසකාමිත්වයක්‌ ඇති වෙයි. 

එම සිකුරුම වෘෂභ රාශියේදී පළ කරන ගති ස්‌වභාවය ඊට වෙනස්‌. එය තමාගේම නිවස වන හෙයින් වැඩි ප්‍රියමනාප බවක්‌ සිත් ඇදගන්නාසුළු බවක්‌ පෙන්වයි.

මිථුනය බුදගේ රාශියයි. බුද ළමා ගතිගුණ දෙන ග්‍රහයෙකි. එහෙයින් සිකුරු ද එතැනදී ළමයකු මෙන් ක්‍රියාශීලී වෙයි. වගකීම් පැහැර හරී. එකවර දෙතුන් දෙනෙකු සමග හිතවත්කම් ඇතිකර ගනී. එහෙත් කලාවට, යමක්‌ ඉගෙනීමට ලැදිවෙයි.

සඳුගේ රාශිය වන කටකයේදීත් මෙම සිකුරු අධි රාගකාමියෙකි. ආදරයට ලිංගිකත්වයට කෑදර වෙයි. එහෙත් සීමාව ඉක්‌මවා නොයයි. සඳු චිත්තකාරකයා නිසා සිකුරු එතැනදී යමක්‌ ගැන ගැඹුරට සිතයි. ඒ නිසා ඕනෑම අසීරු ශාස්‌ත්‍රීය විෂයයක්‌ ඉගෙනගත හැකිය.

එම සිකුරුම රවිට අයත් සිංහ රාශියේද එයට වඩා වෙනස්‌ ගතිගුණ ඵල කරයි. රවි එක්‌ අතකින් ප්‍රියකාරකයාය. උදාර ග්‍රහයාය. සිකුරු එතැනදී තරමක්‌ පීඩාවෙයි. ආඩම්බර රවි ඉදිරියේදී සිකුරු හිතුවක්‌කාර වෙයි. අසාධාරණ වෙයි. ඉඳහිට හෝ මත්පැන්වල ඇසුර ලබයි. විවාහය ඉදිරියේදී ආදරවන්තයාට නීති රීති පනවයි. එහෙම වන්නේ රවිගේ බලය ආරෝපනය කරගත් නිසාය.

බුදගේ උච්ච රාශිය වන කන්‍යාවේදී සිකුරු පරිනත කාන්තාවක මෙනි. කාන්තාව බුදගේ උච්ච රාශිය නිසා අනුන්ට උපදෙස්‌ දෙයි. උගත්කමට ප්‍රමුඛ තැන දෙයි.

තුලාව සිකුරුගේම රාශියයි. එතැනදී ඇය සුන්දරත්වය අගය කරයි. සංවිධානයෙහි දක්‍ෂ වෙයි ගනුදෙනුවලදී තම ලාභය ගැන වැඩි තැකීමක්‌ කරයි. තෝරාගත් අය සමග පමණක්‌ ඇසුරෙහි යෙදේ. දියුණුවට ළැදි නිසා විවාහය ද හොඳයි.

වෘශ්චික රාශිගත සිකුරු චරිත දෙකක්‌ නිරූපනය කරයි. විශ්ව කේන්ද්‍රයේදී හත අධිපති වැන්නේය. එහෙයින් ඉක්‌මන් බව නිසා හෝ කලබලකාරී ගතිය නිසා ඉක්‌මන් රැවටිලි සහගත විවාහයකට පැටලෙයි. විවාහයට එසේ වුවත් බලයට නරක නැත. 

ධනුව ගුරුගේ රාශියයි. ගුරු ගැඹුරට සිතන ග්‍රහයා නිසා උගත්කමට ප්‍රමුඛ වී ඉවසිලිමත් විවාහයක්‌ කර ගනී. තම ගෞරවය ආරක්‍ෂා කර ගැනීමට උනන්දු වේ.

මකර රාශියේදී සිකුරුගේ බලය අඩුය. වයස මුහුකුරා ගිය අයකු සමග විවාහයට නැඹුරුය. විවාහය තමාට නොගැලපේයයි යටි සිතින් සිතයි. ඒ නිසා විවාහකයා සමග ගැටුම් ඇතිකර ගනී. එහෙත් සෙනසුරුගේම අනෙක්‌ රාශිය වූ කුම්භය සිකුරුට නරක නැත. විශ්ව කේන්ද්‍රයේදී කුම්භය 11 වැන්නට අයත් නිසා දියුණුවට හොඳයි. මාපියන්ගේ දේපළවල උරුමකම් ලබයි.

ගුරු හිමි මීනය සිකුරුගේ උච්ච රාශියයි. එහෙයින් සිකුරු එතැනට බලවත්ය. ගෞරවය ලබයි. කැපී පෙනෙයි.

ඒ සිකුරු සිටි රාශිය අනුවයි. තවත් පැත්තක්‌ බැලිය යුතුය. එනම් එම සිකුරුම ලග්නයට, දෙවැන්නට ආදී වශයෙන් මතු කරන තත්ත්වය ගැනය.

සිකුරු ලග්නයට මැනවි. දැකුම්කළුය. ඉක්‌මණින් වයසට නොයයි. දෙවැන්නටත් එසේය. ආර්ථිකය යහපත් කරයි. තුන්වැන්නටත් නරක නැත. සහෝදරයන්ගේ ප්‍රසාදය ලබයි. හතරවැන්නටත් හොඳයි. ගේ දොර වාහන සපුරා ගනී. එම සිකුරුම පස්‌වැන්නේ නම් දරුවෝ කීකරු වෙති. පුතුන්ට වඩා වැඩි ගණනක්‌ දූවරු වෙති. ඒ අය පැහැපත්ය. හැඩය ලස්‌සනය. රෝග ස්‌ථානය නිසා සිකුරු හයවැන්නට හොඳ මදි. හත්වැන්නට නරක නැත. විවාහය ඉක්‌මන් වේ. ප්‍රසන්න වේ. සිකුරු 8 වැන්නට යහපත් වන්නේ දුක නොදෙන මරණයක්‌ දෙන බැවිනි. මෙම සිකුරු 9 වැන්නට දහවැන්නට, එකොළොස්‌ වැන්නට පමණක්‌ නොව 12 වැන්නටත් හොඳයි.

තවත් පැත්තක්‌ වේ. ඒ සිකුරු ග්‍රහයා අනෙක්‌ ග්‍රහයන් සමග සංයෝග වූ විට ඇතිවන ප්‍රතිඵලය ගැනයි. එසේම සිකුරු ග්‍රහයා අනෙක්‌ රාශිවලදී දක්‌වන ප්‍රියමනාපකම ගැනයි.

විශ්ව කේන්ද්‍රයේදී 6 වැන්න කන්‍යාවයි "කන්‍යා" යනු ස්‌ත්‍රියයි. ස්‌ත්‍රිත්වය පළකරන රාශියයි. සිකුරුත් ස්‌ත්‍රී ග්‍රහයෙකි. සිකුරු තවත් ස්‌ත්‍රියකට ප්‍රියමනාප නැත. ඇසුර ප්‍රාර්ථනා ඉටුනොකරන බැවිනි. ඇගේ යටි සිත ප්‍රාර්ථනා කරන්නේ පුරුෂ ඇසුරකි. එහෙයින් කන්‍යාව සිකුරුට ප්‍රිය තැනක්‌ නොවේ. එය සිකුරුගේ නීච රාශිය බව කියන්නේ ඒ නිසාය. මේෂය පුරුෂ රාශියක්‌ නිසා සිකුරු එතැනට කැමැතිය. කුජ චන්ඩිකම ආරෝපණය කරගත් ග්‍රහයාය. ස්‌ත්‍රිය චන්ඩිකමට කැමැතිය. තම සැමියා කාටවත් බිය නැත. හැඟීමට ඇය කැමැතිය දබරය ප්‍රතික්‍ෂේප කළත් වීරත්වය අගයයි. ඒ නිසා සිකුරු කුජ සමග සංයෝග වී සිටියේ නම් අධි රාසකාමී බවක්‌ පළ කරයි. වෘෂභය සිකුරුගේම නිවස බැවින් සිකුරු එතැනදී අභිමානවත්ය.

සිකුරුට අවුරුදු 20 ක්‌ ම හිමිය. එහෙයින් සිකුරුගෙන් අත්වන ප්‍රතිඵල ඒ සා කාලයකට අයත්ය. සිකුරු ගැන කතා කිරීමේදී තවත් බොහෝ දේ ගැන සළකා බැලිය යුතුය. ඒ එම සිකුරු සිටි නැකත, ලබන දෘෂ්ටිය, සංයෝගය ආදියයි. තව දුරටත් එම සිකුරු ලග්න අවස්‌ථා දොළොසින් කුමකට අයත්ද ජන්ම, සම්පත් ආදී වශයෙන් කෙසේද චන්ද්‍රගෙන් කීවැන්නේද. අශුභ දෙර්කාණ අයිතියක්‌ වේද මාරක ග්‍රහයා වී සිටීද මේ ආදී තවත් බොහෝ දේ කෙරෙහි අවධානය යොමු කළ යුතුය. 

අප මෙතෙක්‌ කතා කළේ සිකුරු ගැන පමණි. සිකුරුගෙන් හෙළිදරව් වන්නේ සුව පහසුව ආදරය විවාහය ප්‍රමුඛ කරුණුය. ජීවිතයේ අනෙක්‌ පැතිකඩ ගැන කතා කිරීමට අනෙක්‌ ග්‍රහයන් 8 දෙනා ගැනම කතා කළ යුතු වෙයි. "තම තම නැණ පමණින් දත යුතුවේ" යන ප්‍රකාශය අනුව තවත් ඉදිරියට සිතීමේ ශක්‌තිය ඔබට ඇත.

ජීවිතය විටෙක උක්‌ගසක්‌ මෙනි. රසය සොයා යන්නට පිට ඝන පොත්ත ඉවත් කළ යුතුය. සෙසු කොටසේ රසය උරන්නට සපා උරා ගත යුතුය. දත නැතිදා උක්‌ දඬු ගිනි තපින්නද යන ප්‍රකාශයක්‌ ජනවහරේ ඇත. ඒ කියමන මෙතැනට අගේට ගැලපෙයි. කෙනකුට සිකුරු දශාව ලැබිය යුත්තේ තරුණ වියේදීය. ළමා වියේදී ලබන සිකුරු දශාව අධ්‍යාපනයට බාධක වෙයි. වෙහෙස ප්‍රතික්‍ෂේප කර ඉගෙනීම බැරි හෙයිනි. මහලු අවදියේ ලබන සිකුරු දශාව මානසික අසහනය ගෙන දෙයි. මහලු වියේදී ලබන සිකුරු දශා කාලය අනංගයාගේ සරදමට ලක්‌ වුවත් කායික මානසික සුවය ලබාගැනීමට බැරි වුවත් ජන්මියා ජරාවාස වන්නේ නැත.

ආචාර්ය  පියසේන රතුවිතාන